අවසන් නොකළ චිත්රය
Posted on September 2nd, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංග
තිරිඟු කුඹුරට ඉහලින් පියඹා ගිය කවුඩනි
නොදුටුවේද රන් පැහැති තිරිඟු
සුළඟට වැනෙනා අයුරු
තෙලි තුඩින් නිම වූ
ගෙඩි පිරුණු ප්ලම් ගස
දුඹුරු පැහැති අතු විහිදා
බලා සිටියි ඔබ එනතුරා
කහ පැහැයෙන් පිරිපුන්
සුරියකාන්ත මල් කිනිති
මවයි දසුනක්
සිත් වසඟකරවනා
රාත්‍රිය එළඹී ඇත
විහිදේ චන්ද්‍ර කාන්තිය
අහසේ දිලෙයි තරුකැට
මවමින් විසිතුරු රටා
මළානිකවූ ලන්තරුමේ පිහිටෙන්
රුදුරු කුසගිනි නිවාගන්නට
අර්තාපල් බුදින දුගී පැල්පතේ නිවැසියන්
දැන සිටියේද ඔහු ගැන යන්තමින්වත්
තම තෙලිතුඩින් නිමකළ
අසමසම චිත්‍රයනට
ඔහු කොතෙක් ඇලුම්කලද
එම මනස්කාන්ත චිත්‍රයන්
ඇළුම්කලේද ඔහු හට
සිත්තරෙකුගේ ඉරණම
මෙතරම් කටුක වුයේ මන්ද
අහෝ වැන්ගෝ මිතුර
ඇයි නුඹ අත් හැරියේ ජීවිතය
අවසන් නොකළ චිත්‍රයක් සේ