රටට අහිමි කළ බිලියන 12ක් අපේ ආණ්ඩුවකින් යළි ලබාදෙනවා
Posted on October 18th, 2016

Adaderana

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඉල්ලා අස්වීම, එම කොමිසම පිළිබඳ ජනතා විශ්වාසය ඇතිවීමට හේතුවක් බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

‍අල්ලස් කොමිසම පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ඇඟවුණේ ඇය පිළිබඳ විශ්වාසයක් නැතිකම යයිද,එබැවින් ඇය ඉවත්කිරීමට ප්‍රථම ඉල්ලා අස්වීමට තීරණය කරන්නට ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද(18)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහෙත් පෙර රජ කල ඉඟුරු දී මිරිස් ගත් අයුරින් දිල්රුක්ෂි යවා අර්ජුන් මහේන්ද්‍රන් එම පුටුවට පත්කරාවිදැයි නොදන්නා බව ද ඔහු සඳහන් කළේය.

අනෙක් අතට ජනාධිපතිවරයා කියා සිටියේ අල්ලස් කොමිසම ගැන පමණක් නොවන බවත්, පොලීසිය ගැනද සඳහන් කළ බැවින් දැන් පොලිස්පතිවරයාටද එම ආදර්ශය අනුව දිල්රුක්ෂි ගිය මාවතේම ගමන් කළ හැකි බවත් ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨයක් තමයි මෙගා ඩීල්.  ඒ කාලයේ මෙගා ඩීල් ගැන මෙගා බොරු කියලා දැන් මෙගාපොලිස් භාරව ඉන්න පච රණවක ඇමතිතුමා කිව්වේ අධිවේගි මාර්ග පිරිවැයෙන් 90%ක්ම කොමිස් කියලා.  එතුමාගේ ලොකුම පච වැල වන “මෛත්‍රී පාලනයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ විසි වන පිටුවේ ඒ ගැන සඳහන් වන්නේ මෙහෙමයි. “රටේ සිදු වුණු මෙගා දූෂණය නවතාලීම මගින් පමණක් පසුගිය වසර හය තිස්සේ සිදු වූ සංවර්ධනය මෙන් දස ගුණයක සංවර්ධනයක් රටට ලබා දීමට කටයුතු කරන්නෙමි”.  කතාව හරිනෙ.  පිරිවැයෙන් 10%ට ව්‍යාපෘතියක් කරන්න පුළුවන් නම් දස ගුණයක සංවර්ධනය කරන්න මුදල් තිබෙනවානෙ.   ඒත් දැන් මොකද වෙලා තිබෙන්නේ ?

අපේ ආණ්ඩුව මධ්‍යම අධිවේගි මාර්ගය හදන්න බාර දුන්නු චීන සමාගමටමයි වත්මන් ආණ්ඩුවත් බාරදීලා තිබෙන්නේ.  රාජපක්ෂ ආණ්ඩුව සමග ඒ සමාගම කඩවත – මීරිගම කොටස සැකසීමට ගිවිසුම අත්සන් කළේ රුපියල් බිලියන 146කට.  මෙගාඩීල් චක්‍රවර්ති පාච රණවක ඇමතිතුමා කියූ විධියට සිරිසේන ආණ්ඩුව මේ ගණනෙන් 10%කට ඒ කියන්නේ රුපියල් බිලියන 14.6කට පාර හදන්න ඕනෑ.  නමුත් ආණ්ඩුව විසින්
සමාගම සමග ගිවිසුම අත්සන් කරලා තිබෙන්නේ රුපියල් බිලියන 158කට.  ඒ කියන්නේ බිලියන 12ක් වැඩිපුර.

 මොකක්ද මේකෙන් එන්න පුළුවන් නිගමනය. එකක් තමයි රාජපක්ෂ ආණ්ඩුවේ මෙගා ඩීල් ගැන කියා ඇත්තේ මෙගා බොරුය. එසේ නැත්නම් අනික් නිගමනය තමයි මහින් රාජපක්ෂ යුගයේ 90% කොමිස්නම් මේ ආණ්ඩුවේ 95%ම කොමිස්ය.   ඒ දෙකෙන් කුමක්ද හරි කියා පැහැදිලි කිරීම මේ ආණ්ඩුවේ වගකීමක්.  ඒ කොහොම උනත් මේ ආණ්ඩුව එදා කී මෙගා ඩීල් ගැන දැන් වැරදිලිවත් කතාකරන් නෑ. ගරු පා.ච . රණවක ඇමතිතුමන්නම් වැරදිලාවත් රෑපවාහිනී වවාදයකටවත් එන් නෑ එතුමන්ගෙන් මේ ටික අහන්න.  ඒ වගේම එතුමා තව පොරොන්දු උනා ඉන්ධන මත සියලුම බදු ඉවත්කරන  බවට.  නමුත් ඉන්ධනවල කිසිම බද්දක් ඉවත් කරල නෑ.
 
මෙගා බොරු විශ්වාස කරපු රාජ්‍ය නොවන සංවිධාන රාජපක්ෂ ආණ්ඩුව අත්සන් කර තිබුණු ගිවිසුම අවලංගු කරන්න බල කළා.  ආණ්ඩුවත් ඒ ගිවිසුම අවලංගු කළා.  ඒ ගිවිසුම අවලංගු නොකළා නම් එක පැත්තකින් ආණ්ඩුවට බිලියන 12ක් ඉතුරු වෙනවා.  අනිත් පැත්තෙන් මේ වන විට අධිවේගි මාර්ගයේ ඒ කොටස විවෘත කරන්නත් තිබුණා. අපේ ආණ්ඩුවක් බලයට පැමිණියාම මේ ගිවිසුම අවලංගු කරලා රටට බිලියන 12ක් පාඩු
කළ දේශපාලකයින් එන්ජීඕකාරයින් ඇතුළු සියළුදෙනාට දඬුවම් කරලා ඒ මුදල යළි අය කර
දෙනවා කියන ප්‍රතිඥාව ජාතියට ලබා දෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress