ජන ගඟ පිටුපස ඇත්තම ඇත්ත
Posted on September 8th, 2018

මාගම්පුත්‍ර උපුටාගැණීම  මව්බිම

කොළඹ වටලා ආණ්ඩුවට දැනෙන හඬක් නැඟීමට තැත් කිරීමේ උත්සාහයට විවිධ අර්ථකථන තිබුණද එජාපයටවත්, ජවිපෙටවත් එක්රැස් කරගත නොහැකි ජන ගංගාවක් කොළඹට කැඳවන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවිය. හිස්ගෙඩිවලින් අසවල් ගණනක්ය කියා ගණන් බලන්නට ඕනෑ තරම් අය සිටියද ආණ්ඩුවට එරෙහිව ජනතාවගේ විරෝධය පෑම බලවත්ය යන්න ඒකාබද්ධය ලෝකයටම කියා පෑවේය.

විදෙස් මාධ්‍ය කිහිපයක්ම මෙම උද්ඝෝෂණය පිළිබඳව වාර්තා කර තිබුණේය. එයින් කියැවුණේ ආණ්ඩුව 5000ක පමණ පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් යොදවා ආරක්ෂාව තර කර තිබුණු බවය. කොළඹ ප්‍රදේශයේ බොහෝ රජයේ ආයතන හා පෞද්ගලික ආයතනවල සේවකයන්ගේ පැමිණීමේ යම් අඩු වීමක් තිබුණු බවත්, වාර්තා කර තිබුණු විදෙස් මාධ්‍ය කිහිපයකම දක්වා තිබුණේ රජය මෙම උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට උත්සාහයක යෙදෙන බවට තොරතුරු පළවූ ආකාරයක් විරෝධතාවට එක්වූ ප්‍රබලයන්ගෙන් උපුටා දක්වමිනි.

කෙසේ වෙතත් ආණ්ඩුව පැහැදිලි ලෙසම උද්ඝෝෂණයට පෙර සිටම තැතිගැන්මක පසු වූයේය. ආරක්ෂාව සඳහා පොලිස් බළඇණි වැඩි වශයෙන් කොළඹට කැඳවූ අතර, සිවිල් ඇඳුමින් සැරසුණු ඔත්තු සේවා නිලධාරීන් බුරුතු පිටින් තැන තැන රැඳවීය. රජයේ ප්‍රධාන මර්මස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදවමින් ආණ්ඩුව පෙන්වන්න උත්සාහ කළේ…
“ඒකාබද්ධයේ අය කොළඹට ඇවිත් මහජන දේපළවලට හානි කරාවි, පහර දේවි, ලොකු විනාශයක් කරාවි” කියලාය. ඒ නිසාවෙන්ම ඊට ගැළපෙන ආරක්ෂාවක් දිය යුතු බවය. අරලියගහ මන්දිරිය ඇතුළත ආරක්ෂාව කලින්ට වඩා විශේෂයෙන් තර කිරීමෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් ප්‍රකට කර වූයේ.

“අරලියගහ මන්දිරය වට කරලා, තාප්පෙන් පැනලා විරෝධතාකරුවන් පහර දෙන්නට පුළුවන්” යන්න විය යුතුය. ඒ මුවාවෙන් ජනාධිපති නිල නිවෙසටත් අරලියගහ මැඳුරටත් සුවිශේෂ ආරක්ෂක විධිවිධාන යොදවා තිබිණි. මතුපිටට නොපෙන්නුවාට ආණ්ඩුව හොඳටෝම බය වී ආරක්ෂාව වෙනුවෙන් කරන්නට තිබුණු හැමදේම කර තිබුණේය.
මේ වග වටහාගත් මෙම උද්ඝෝෂණයේ සංවිධායකයකු වූ නාමල් රාජපක්ෂ බීබීසී ගුවන් සේවයට පවසා තිබුණේ.

“අපේ විරෝධතාව සාමකාමී එකක්. මහජනතාවට අවම පීඩාවක් වෙන විදියටයි විරෝධතාව පැවැත්වෙන්නේ” කියලායි.

උද්ඝෝෂණයට සහභාගි වීම සඳහා ජනතාවට කොළඹට එන්නට පෙරම ආණ්ඩුවේ තැති ගැන්මේ තරම ප්‍රකට වී තිබිණි. හාලිඇළ බෝගහ මඩිත්තේදී උද්ඝෝෂකයන් පැමිණීමට තිබුණු බස් රථයකට අලුයම දීම ප්‍රහාරයක් එල්ල වුණේය. එය ශ්‍රී ලංකා මානාව හිමිකම් කේන්ද්‍රයද තහවුරු කර තිබුණේය. අංක තහඩු වසාගත් කැබ්රියකින් පැමිණි බේස් බෝල් පිති වැනි දෙයකින් බස් රථයට පහරදී ඇති බවත්, එම පහර දුන් අය කිසියම් නිල ඇඳුමකට සමාන ඇඳුමක් ඇඳ සිටි බවත් ප්‍රකාශ විය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ද ප්‍රකාශයක් කරමින් පැවැසුවේ සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීම පුරවැසියන්ගේ අයිතියක් බවත් එම අයිතියට ගරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වගකීමක් බවත්ය.

රාජ්‍ය මාධ්‍ය බෙහෙවින් තැති ගෙන තිබුණු බවක් දක්වමින් රජයේ වැඩකටයුතු අතිශයෝක්තියෙන් වර්ණනා කරමින් පුවත් මෙහෙයුමක වැඩසටහන් යුද්ධයක නිරත වී සිටියේය. ඔවුන් කියන්නට උත්සාහ කළේම ඒකාබද්ධය තුළ බෙදීම් ඇති බවත් සහෝදරයන්ම කුලල් කා ගන්නා බවකි. එහෙත් මෙම උද්ඝෝෂණයේදී එම තර්ක බිඳ දැමීමට ලක්කරමින් මහින්ද, ගෝඨා මෙන්ම ශ්‍රීලනිප මෛත්‍රි පිලෙන් ඉවත්වූ 16 කණ්ඩායමේ සාමාජිකයෝද එකට එක්වී සිටියහ. බැසිල් සහභාගි නොවුණේ ඔහු විදෙස් ගතව සිටි නිසා වුවත් මෙය භේද භින්නතා නිසා වූවක් බවට ඒත්තු ගන්වන්නට රාජ්‍ය මාධ්‍ය උත්සාහ කළේය.

වෙන කවරදාකවත් නැති ආකාරයෙන් උද්ඝෝෂණය ආවරණය සඳහා විශේෂ අවධානයක් රාජ්‍ය මාධ්‍ය යොමු කළ යුතු බවට ඉහළින් උපදෙස් ලැබී තිබිණි. ඒ අනුව උද්ඝෝෂණයේ සිදු වෙන අඩුපාඩුකම් හසුකරගන්නටත් ඒවා පුන පුනා ප්‍රචාරය කිරීමටත් උපදෙස් ලැබී තිබිණි. මෙයින්ම උද්ඝෝෂණය පිළිබඳව ආණ්ඩුවේ තැති ගැන්ම ප්‍රකට විය.

ඒකාබද්ධයේ නායකයන් සියලු දෙනාම උද්ඝෝෂණයට සහභාගි වන සියලු දෙනාටම කණ්ඩායම් නායකයන් හරහා පණිවිඩයක් යවමින් කියා තිබුණේ ජන ගංගාව අතරට එන බාහිර පුද්ගලයන් ගැන අවධානයෙන් සිටින ලෙසටය. කිසියම් වැරැද්දක් සිදු කරන්නේ නම්, එය යම් සැක සහිත බවක් ගනී නම් තමන් ළඟ ඇති ජංගම දුරකථනයෙන් රූපගත කරගෙන ඒ තොරතුරු කණ්ඩායම් නායකයන්ට ඉතා ඉක්මනින් දැනුම් දෙන ලෙසටය.

ඒ අනුව ජන ගංගාව තුළට ආණ්ඩුවේ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු වුවද, වෙනත් කිසියම් අයකු ඇතුළු වුවද ඒ වෙනස දැනගත හැකි විය. ජන ගංගාව ගලද්දී ඊට බාහිරින් එකතු වන අයට කුඩා කණ්ඩායම් තුළ එම කණ්ඩායමේ නායකයන්ගෙන් ඉඩක් නොලැබුණේ ඒ නිසාය. එය කල්තියාම ඒකාබද්ධයේ නායකයන් සැලසුම් කර තිබුණු නිසාම ජන ගංගාවේ පිරිස් අතරින් කිසියම් හෝ වරදක් සිදු විනැයි වාර්තා කර ගන්නට නොහැකි විය. මෙය ආණ්ඩුවේ ඇතැම් මහමොළකාරයන්ට හිතට වද දෙන්නක් විය.

මීට පසුබිම්ගත හේතුව වූයේ ආණ්ඩුවේ මහ මොළකාරයන් සිතා සිටි දේවල්ය. “එන සෙනඟ අතරින් සමහරු අතට අහුවන දේවල්වලින් කඩ සාප්පුවලට ගහන්න පුළුවන්. රජයේ දේපළවලට හානි කරන්න පුළුවන්, අරලිය ගහ මන්දිරය වටලන්න පුළුවන්, ජනාධිපති නිල නිවෙස වටලලා කලබල කරන්න පුළුවන්. එතැනදී රාජ්‍ය විරෝධී කැරැල්ලක් වගේ මෙහෙයවන්න පුළුවන්. එහෙම කළොත් ඒ ටික හවස රූපවාහිනි මාධ්‍යයෙන් පෙන්වන්න අපට පුළුවන්. ඒකෙ අපකීර්තිය ඒකාබද්ධයට එල්ල කරන්න පුළුවන්.”

මේ ආකාරයට එක එක කතා කියමින් බලා සිටි ආණ්ඩුවේ මහමොළකාරයෝ බලාපොරොත්තු වූ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු වුණේ නැත. ඉතාමත් සාමකාමී උද්ඝෝෂණයක් සිදු කරමින් උද්ඝෝෂකයෝ කොළඹට එක් රැස්වී රාත්‍රි වනතුරු රැඳී සිට ඒකාබද්ධයේ නායකයන් හා හඬ නඟා කීවේ.

“මේ පරගැති ආණ්ඩුව විසුරුවා දමලා අපට අලුත් ආණ්ඩුවක් දියව්” කියලාය. ලංකාවේ උද්ඝෝෂණයකදී එකම තැනකට වැඩිම පිරිසක් එක්රැස් කරවමින්, විලක්කු දල්වමින්, හඬ නඟමින් රැඳී සිටිමින් බලපෑම් කණ්ඩායමක් ලෙස උද්ඝෝෂණයක් රාත්‍රි වන තුරුම කෙරුණේ ප්‍රථම වතාවටය යන්න කාගේත් කතාබහට ලක්විය.

උද්ඝෝෂණයේ අරමුණ කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකොට එහි වැදගත්කම නැති කර ගන්නට නොව ආණ්ඩුවට කිව යුතු දේ කියා දැනවන්නට බව මහින්දගේ කතාවෙන් ප්‍රකට කළේය.
“වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කරමින් රට ඒකාධිපතිත්වයක් කරා ගෙන යනවා. අධික බදු බර, ජීවන වියදම ඉහළ යෑම නිසා ජනතාව පීඩාවට පත්වෙලා. මේ පීඩනය දරාගන්න බැරිව ජනතාව අද පාරට බැහැලා. ඒ අතරේදී ආණ්ඩුව මැතිවරණ කල් දමමින් ජනතාවගෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කරමින් රට ඒකාධිපති ගමනකට ගෙන යනවා.

මහින්ද කිව යුත්ත හා මෙහි අරමුණ කෙටියෙන් කීවේ ජනතාවගේ දැඩි ප්‍රතිචාර මැදය. මහින්ද මෙහිදී විදෙස් මාධ්‍යයටද දැනෙන්න. ලෝකයටම ඇසෙන්න කියූ වැදගත් දෙයක් විය. එය මෙසේය.

“අවුරුදු 20කට පස්සෙ උතුරු පළාතට මැතිවරණයක් තිබ්බෙ මමයි, යුද්ධය ඉවර කරලා ප්‍රජාතන්ත්‍රවාදය උදා කරපු හින්දා ජනාධිපතිත් අගමැතිත් උතුරට ගිහින් මට බනිනවා. අපි යුද්ධය ඉවර කරලා ජනතාවට නැවත ප්‍රජාතන්ත්‍රවාදය දිනා දුන්නා. ඒ නිසා උතුරේ ඒ මිනිස්සු අද නිදහසේ හුස්ම ගන්නවා. මම මැතිවරණ පැවැත්වූවා. ඒත් ආණ්ඩුව මැතිවරණ කල් දානවා.”

මෙහි ඇති වැදගත් කරුණ නම් තරුණ බලවේග රැසක එකමුතුවෙන් තාක්ෂණයද උපයෝගී කරගෙන ජාත්‍යන්තර අත්දැකීම්වලද ආදර්ශ ලබා ගනිමින් කළ අලුත් විදිහේ උද්ඝෝෂණයක් වීමය. ඉතා සුළු සුළු අඩුපාඩුකම් පෙන්වමින් ආණ්ඩුව බෙරිහන් දෙමින් මෙහි සාර්ථකත්වය යටපත් කරමින්, මොට කරමින් මඩ ප්‍රචාර ගෙන යන්නෙ ඒ නිසා යැයි ඒකාබද්ධයේ ප්‍රමුඛයන්ගේ අදහසය.

ජනතාවගේ දුක්ඛ දෝමනස්සයන් වීදි සටන් තුළට ගොනු කිරීම ලෝක ප්‍රවණතාවකි. එහි යහපත් ප්‍රතිඵල ලැබී ආණ්ඩු ඇද වැටුණු අවස්ථා ඕනෑ තරම්ය. මේ උද්ඝෝෂණයද එවන් ආණ්ඩු පෙරළියක එක් තියුණු අවස්ථාවකැයි ඒකාබද්ධයේ නායකයන් කියන්නේ ඒ නිසාය. ඒ නිසා ආණ්ඩුව සැහැල්ලුවෙන් හුස්ම ගෙන මේ හඬ නැඟීම නොතකා හරින්නේ නම් එය ආණ්ඩුවේ අවසානයක ආරම්භය බවට නැඟෙන මතවාද ප්‍රබලය. එබැවින් මේ ගත වන්නේ ඉතාමත් තීරණාත්මක කඩඉමක්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress