143 වන ජන්ම දිනය සමරණ ජාතික ශිෂ්‍යභට බලකාය
Posted on April 29th, 2024

Ministry of Defence  – Media Centre

ඕනෑම රටක දරුවන් ලබන්නා වූ අධ්‍යාපනය එම රටේ අනාගතය හැඩගස්වන ප්‍රබලතම සාධකය වේ. අධ්‍යාපනය යනු පොත පතට පමණක් සීමා වන්නක් නොවන අතර, එය දරුවාගේ ශරීරය හා මනස යන දෙකම සංවර්ධනය කරන්නාවූ ක්‍රියාවලියකි. ඔහුගේ හෝ ඇයගේ අනාගත ජිවිතයම රඳා පවතින්නේ මෙලෙස ලබාගන්නා කායික හා මානසික සංවර්ධනය මතයි. අද දවසේ පාසල් තුළ ක්‍රියාත්මක වන විෂය සමගාමී ක්‍රියා සිය ගණනක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දහස් ගණනක් වූ පාසැල් තුළ ක්‍රියාත්මක වේ. මෙම විෂය සමගාමී ක්‍රියා අතරින් ශිෂ්‍ය භට කටයුතු ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබයි. ශිෂ්‍ය භටයා හෝ භටවිය රටක අභිවෘද්ධියට ඉමහත් හේතුවක් වන පුද්ගලයන් වීම එසේ ප්‍රමුඛ ස්ථානයක් ලැබීමට හේතුවේ.

            1505 පටන් බටහිර ජාතීන්ගේ ආක්‍රමණවලට ලක්වූ ශ්‍රී ලංකාව, ඒ වන විටත් බුදු දහම යටතේ පෝෂිත පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය තුළින් රටේ ජනතාවගේ දරු දැරියන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙමින් සිටි අතර, එම අධ්‍යාපනයෙන් පෝෂිත වු අප මුතුන් මිත්තන් අප ජාතියට සංස්කෘතිකමය වශයෙන් දායාද කරන ලද කලා නිර්මාණ සහ එම ලබාගත් දැනුමෙන් ඉදිකලා වු විශ්වකර්ම නිර්මාණ අප රට තුල තවමත් පවතින අතර, ඒවායින් සමහරක් ලෝක පුදුම අතරටද එක්ව ඇත. එමෙන්ම අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වාම නොයෙකුත් පරසතුරු ආක්‍රමණවලට මුහුණදුන් ආදී ශ්‍රී ලාංකිකයන් වීරෝධාර ලෙස සටන් කර මව්බිම ආරක්‍ෂා කර ගත්හ. මෙවන් වීරෝධාර, නිපුණතා සහ කුසලතා වලින් පිරුණු මුතුන් මිත්තන්ගෙන් පැවත එන වර්ථමාන අප දරු පරපුර ද අසිරිමත් ජාන උරුමයකට හිමිකම් කියයි. ඔවුන්ගේ හසුරු කෞෂල්‍යන් පුබුදුකර හෙට දවසේ නායකයන් බවට පත්කිරීම වර්ථමාන වැඩිහිටි පරපුරේ ප්‍රමුඛතම කාර්යයක් වේ.

            කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය ගැන සලකා බැලු විට බටහිර ජාතීන් විසින් කරන ලද බලපෑම සුළුපටු නොවේ. 16 වන සියවසේ සිදුවු බටහිර ජාතීන්ගේ ශ්‍රී ලංකා ආක්‍රමණ රටේ අධ්‍යාපන ක්‍රමයේ දැඩි වෙනසක් ඇති කරන ලදි. ලක්දිවට පැමිණි ප්‍රථම බටහිර ජාතිකයන් වන පෘතුගීසීන් යටතේ මිෂනාරි පාසල් කීපයක් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල පලමුව ආරම්භ වූ අතර, ඒවායේ මූලික අරමුණ වූයේ රෝමානු කතෝලික ආගම ප්‍රචලිත කිරීමයි. ඉනික්බිතිව පැමිණි ලන්දේසීන්ද ක්‍රිස්තියානි පාසල් රටතුල ස්ථාපිත කළහ. 1796 දී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයන් 1815 වන විට කන්ද උඩරට රාජධානිය ආක්‍රමණය කර මුළු මහත් ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය පාලනයට නතුකරගත් අතර, බ්‍රිතාන්‍යයන් යටතේ කොළඹ හා අනෙකුත් ප්‍රධාන නගර තුළ මිෂනාරි පාසල් කීපයක් බිහිවිය. ඒවායේ අධ්‍යාපන රටාව එවකට බ්‍රිතාන්‍යයේ පැවැති අධ්‍යාපන රටාවම විය. මෙම පාසල් අතරින් කොළඹ නගරයේ 1835 දී ස්ථාපනය කරන ලද රාජකීය විද්‍යාලය ප්‍රමුඛ වේ.

1881 දී එවකට රාජකීය විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සේවය කළ ජෝන් බී කල් මහතාගේ අදහසකට අනුව රාජකීය විද්‍යාලීය සිසුන් තුළ විනය ඉහළ නැංවීමේ අරමුණින් එහි ශිෂ්‍යභට කණ්ඩයක් පිහිටවනු ලැබූ අතර, එය ලංකා පාබල ස්වේච්ඡා හමුදාව යටතේ ක්‍රියාත්මක විය. මෙම ශිෂ්‍යභට කණ්ඩය ලංකාවේ ස්ථාපනය කරන ලද ප්‍රථම ශිෂ්‍යභට ඛණ්ඩය ලෙස ඉතිහාසයට එක්වේ. සරඹ තුළින් විනය යන තේමා පාඨය පෙරදැරිව මෙම ශිෂ්‍යභට ඛණ්ඩය ආරම්භ කරන ලදි. එහි සාර්ථකත්වය දැකීමෙන් පසුව දශක කීපයක් ඇතුලත දිවයිනේ තවත් මිෂනාරි පාසල් කිහිපයක් තුළ ශිෂ්‍යභට ඛණ්ඩ පිහිටවූ අතර, එසේ ව්‍යාප්ත වූ ශිෂ්‍යභට ව්‍යාපාරය 1902 දී ශිෂ්‍යභට බලඇණිය – ලංකා පාබල හමුදාව  (Cadet Battalion – Ceylon Light Infantry) ලෙස හඳුන්වනු ලැබූ අතර, ශිෂ්‍යභට බල ඇණිය 1919 දී ලංකා ශිෂ්‍යභට බලඇණිය (Ceylon Cadet Battalion) යනුවෙන් වෙනස් විය. 1949 වර්ෂයේදී ශ්‍රි ලංකා යුද්ධ හමුදාව පිහිටුවීමත් සමඟම, ස්වේව්ජා බලසේනාව යටතේ ලංකා ශිෂ්‍ය භට බලකාය (Ceylon Cadet Corps) වශයෙන් නම් කරන ලද අතර, 1950 දී 1 වන සහ 2 වන බලඇණි පිහිටුවා බලකායක් වශයෙන් ව්‍යාප්තවීම ආරම්භ විය.

 බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකා ස්වේච්ඡා පාබල හමුදාව (Ceylon Light Infantry (V)) යටතේ ක්‍රියාත්මක වූ ශිෂ්‍යභට බලකායේ නිශ්චිත මෙහෙවර වූයේ බ්‍රිතාන්‍ය රජයට පක්‍ෂපාතී හමුදාවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමයි. එසේ කිරීම තුළින් බ්‍රිතාන්‍ය රජයට අවශ්‍ය ලංකා හමුදාව (Ceylon Army) සඳහා වූ පිරිස් බලය රට තුළින්ම බිහිකර ගැනීම සිදුවූ අතර, ඉංග්‍රීසි මිෂනාරි අධ්‍යාපන ක්‍රමය තුළින් විෂය දැනුම ලබාගත් සමහර සිසුන් ශිෂ්‍යභට බලකායට බැඳී සරඹ හා හමුදා විෂයන් උගෙන, ලංකා හමුදාවේ නිලධාරීන් ලෙස බැඳීම එකල උසස් වංශවත් පවුල්වල නිරන්තරයෙන් සිදුවූවක් විය. ශ්‍රී ලංකාව 1972 දී ජනරජයක් බවට පත්වූ අතර, ඉන්පසුව ශිෂ්‍යභට බලකාය, ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය (Sri Lanka Cadet Corps) ලෙස හැඳින්වීමට පටන් ගත් අතර, තවදුරටත් ශිෂ්‍යභට බලකාය ක්‍රියාත්මක වූයේ යුද හමුදා ස්වේච්ඡා බල සේනාව යටතේම විය. 1972 දි බලකාය තුල තවත් වෙනසක් සිදුකරමින් පොලිස් ශිෂ්‍යභට ඛණ්ඩ ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ අධික්‍ෂණය යටතේ පිහිටුවන ලද අතර, ඉන් පසුව දිවයිනේ පාසැල් කිහිපයක බාලක හා බාලිකා පොලිස් ශිෂ්‍යභට ඛණ්ඩ ක්‍රියාත්මක විය.

            1988 දී බලකා සංවිධානය තුල විශාල වෙනසක් සිදුකරමින් 1985 අංක 40 දරණ මිනිස් බල උපයෝගිතා හා පරිපුරක හමුදා පනතට අනුව 1881 පිහිටවනු ලැබු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බල සේනාව යටතේ ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවති ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය හා 1972 දී පිහිටවනු ලැබු ශ්‍රී ලංකා පොලිසීය යටතේ ක්‍රියාත්මක වු ශ්‍රී ලංකා පොලිස් ශිෂ්‍යභට බලකාය එක් කරමින් ජාතික ශිෂ්‍යභට බලකාය පිහිටවනු ලැබු අතර, ශිෂ්‍යභට බලකාය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන ආයතනයක් බවට පත්කරන ලදි.

එවකට අධ්‍යාපන, යෞවන කටයුතු හා රැකී රක්‍ෂා අමාත්‍යවරයා වූද, මිනිස් බල උපයෝගීතා නියෝජ්‍ය ඇමතිවරයා වූද, වර්තමාන ශ්‍රී ලංකාවේ ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ජාතිය හා දේශයේ යහපත උදෙසා අධ්‍යාපනයට ධනාත්මකව බලපාන අයුරින් මෙම කාලීන වෙනස සිදුකරන ලදි. පාසල් සිසු දරු දැරියන් අනාගත නායකයන් හා විනයගරුක පුරවැසියන් කිරීමේ අරමුණ ඇතිව මෙසේ ප්‍රථිසංවිධානය කරනු ලැබු ශිෂ්‍යභට බලකාය 2008 දි නැවත වෙනස් වීමකට ලක්වු අතර, යුධ, ගුවන්, නාවික හා පොලිස් වශයෙන් අංශ හතරකට බෙදන ලදි. ඒ අනුව පාසල් තුල ඉහත අංශවලට අයත් ශිෂයභට ඛණ්ඩ බිහිවු අතර, ශිෂ්‍යභට කටයුතු කරගෙන යාමේදි පැණනැඟුන ගැටළු සැලකිල්ලට ගනිමින් 2020 වසරේදි යුධ, ගුවන් හා නාවික අංශ එක්කර ආරක්‍ෂක ශිෂ්‍යභට ඛණ්ඩ බිහි කල අතර, ආරක්‍ෂක ශිෂ්‍යභට ඛණ්ඩ සහ පොලිස් ශිෂ්‍යභට ඛණ්ඩ, ජාතික ශිෂ්‍යභට බලකා අධ්‍යක්‍ෂ තුමාගේ අධීක්‍ෂණය යටතේ වර්ථමානයේ පවත්වාගෙන යනු ලබයි. මේ අනුව ජාතික ශිෂ්‍යභට බලකාය ආරක්‍ෂක අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව වසරකට ලක්‍ෂ සංඛ්‍යාත ශිෂ්‍යභටයන් සංඛ්‍යාවක් අනාගත නායකයන් බවට පත්වීමට අවශ්‍ය පුහුණුව ලබාදෙමින් 1881 සිට වසර 143ක් පුරාවට ජාතියට අමිල මෙහෙවරක් ඉටුකරමින් ඉදිරියටම ඇදේ.              

1881 දී ශිෂ්‍ය භටයන් 25 දෙනෙකුගෙන් කොළඹ රාජකීය විද්‍යාලයේදී ආරම්භ කරන ලද ශිෂ්‍ය භට ව්‍යාපාරය වර්තමානය වන විට වසරකට ලක්‍ෂයකට වැඩි ශිෂ්‍ය භටයන් ප්‍රමාණයකට ශිෂ්‍ය භට පුහුණුව ලබාදෙන අතර, ඒ සඳහා දිවයින පුරා ව්‍යාප්ත වූ ශිෂ්‍යභට ඛණ්ඩ හාරදාහකට අධික සංඛ්‍යාවක්, දිවයිනේ පළාත් නවය තුළම බලඇණි තිහක් යටතේ ක්‍රියාත්මක කරමින් ජාතියට අමිල වූ මෙහෙවරක් ජාතික ශිෂ්‍යභට බලකාය විසින් ඉටුකරමින් සිටි. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සේවය කරන අධ්‍යාපන පරිපාලන සේවය, විදුහල්පති සේවය, ගුරු සේවය හා ගුරු උපදේශන සේවය යන සේවාවන්ට අයත් නිලධාරීන් හා නිලධාරිනියන් තුන්දාහකට අධික සංඛ්‍යාවක් ජාතික ශිෂ්‍යභට බලකායේ අධිකාරීලත් නිලධාරී වරුන් වශයෙන් බලකායේ අභිවෘද්ධිය වෙනුවෙන් ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරින් සමග නිරන්තරයෙන්ම කැපවී සේවය කරනු ලබයි. එය අප රටේ දූදරුවන්ගේ හෙට දවසට අවශ්‍ය නායකත්ව ගති ලක්‍ෂණවලින් හෙබි, මනා පෞරුෂයකින් යුත්, ඕනෑම ජීවන පැවැත්මකට අනුව ජීවත් විය හැකි යෞවනයන් ජාතියේ අභිවෘද්ධිය සඳහා හැඩගැස්වීමේ අරමුණින් සිදුකරනු ලබන උතුම් රාජකාරියක් ලෙස සැලකිය හැක.

තවද, ශිෂ්‍යභට කටයුතු සඳහා පමණක් සීමා නොවූ ජාතික ශිෂ්‍යභට නිලධාරීන් අප රටෙහි ආරක්‍ෂාවට මෙන්ම පැවැත්මට තර්ජනයක්වූ සෑම අවස්ථාවකදීම සක්‍රීය සේවයට වාර්ථා කරමින්, සන්නද්ධ හමුදාවන් සමඟ එක්ව කටයුතු කිරීමෙන් ජාතියට මහඟු සේවයක් ඉටුකර ඇති බවත්, එසේ රාජකාරී ඉටුකිරීමේදී මව්බිම වෙනුවෙන් දිවිපිදූ නිලධාරීන් 09 දෙනෙකුද වන බවටත් සඳහන් කරනුයේ මහත් වූ අභිමානයෙන් සහ එම නිලධාරීන්හට ගෞරවයක් වශයෙනි.    

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ශිෂ්‍යභට ඛණ්ඩ වර්ග කීපයක් ඇති අතර, ආරක්‍ෂක, පෙරදිග තූර්ය වාදන, බටහිර තූර්ය වාදන, පොලිස් යන ශිෂ්‍යභට ඛණ්ඩ වයස අවුරුදු දාහතරකට වැඩි සහ විස්සට අඩු පාසල් සිසුන් හා සිසුවියන් සඳහා ක්‍රියාත්මක වන අතර, වයස අවුරුදු දොළහත් – දාහතරත් අතර ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සඳහා කනිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩ ක්‍රියාත්මක වේ. වසර පුරා ක්‍රියාත්මක වන විෂය සමගාමී ක්‍රියාවක් වන ශිෂ්‍යභට කටයුතු සඳහා මනා ලෙස සැලසුම් කරන ලද විෂය මාලාවක් පාසල් මට්ටමින් ක්‍රියාත්මක වේ. මේ සඳහා පාසල් තුළ රාජකාරි ඉටුකරනු ලබන ශිෂ්‍යභට බලකායේ නිලධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ සිදුවන අතර, මෙම ශිෂ්‍යභට බලකා නිලධාරීන් ලංකාව පුරා ව්‍යාප්තව පවතින්නාවූ බලඇණි තිහක් යටතේ රාජකාරින් ඉටුකරමින් සිටිති. බලඇණියක් අණදීම, බලඇණි අණදෙන නිලධාරී විසින් සිදුකරනු ලබන අතර, ඔහුගේ සහායට විධායක අධිකාරීවරයෙක්ද, පුහුණුවීම් භාර නිලධාරීවරයෙක්ද, යුධ, ගුවන්, නාවික හමුදාවලට සහ ශ්‍රී ලංකා පොලිසියට අයත් නිත්‍ය කාර්ය මණ්ඩල උපදේශකවරුන්ද, සිවිල් සේවක මණ්ඩලයකින් ද සමන්විත සේවක මඩුල්ලක් බලඇණි මුලස්ථානය තුළ රාජකාරී ඉටුකරති.

බලඇණි අණදෙන නිලධාරීවරුන් මෙහෙයවනු ලබන්නේ පලාත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරුන් විසින් වන අතර, දිවයිනේ පළාත් නමයට අදාළව පළාත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරුන් 09 දෙනෙක් අධ්‍යක්‍ෂ ජාශිබ විසින් පත්කර ඇත.

ජාතික ශිෂ්‍යභට බලකා මූලස්ථානය අංක 15, දුටුගැමුණු මාවත, පාමංකඩ, දෙහිවල ලිපිනයේ ස්ථාපිත කර ඇති අතර, ජාතික ශිෂ්‍යභට බලකායට අණ දෙනු ලබන්නේ ගරු ජනාධිපතිතුමන් විසින් පත්කරනු ලැබුවාවු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් විසිනි. ඔහු ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කරනු ලබයි. මුළු දිවයිනේම ශිෂ්‍යභට කටයුතු පාලනය කරනු ලබන්නේ ජාතික ශිෂ්‍යභට බලකා මූලස්ථානය විසිනි. මෙම මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් දිවයිනේ සියලුම ශිෂ්‍ය භටයන් හට අවශ්‍ය පුහුණු, පාලන සහ භටකාර්යය සම්පාදන කටයුතු ඉටුකරමින් ඉමහත් සේවයක් ජාතියට ඉටුකරති. මෙම මුලස්ථානයේ විශේෂ ලක්‍ෂණයක් වන්නේ යුධ, ගුවන් සහ නාවික හමුදාවලට හා ශ්‍රී ලංකා පොලිසියට අයත් නිලධාරීන් හා නිත්‍යකාර්ය මණ්ඩල උපදේශකයන් එම මූලස්ථානයේ රාජකාරීවල නිරත වීමයි.

වර්ථමාන ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ උපදෙස් පරිදි ජාතික ශිෂ්‍යභට බලකායේ පුහුණු මධ්‍යස්ථානය 1990 වසරේදි රංටැඹේ පිහිටවු අතර, ජාතික මට්ටමේ සියලු පුහුණු කඳවුරු එම පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබේ. නමුත් බලකායේ පුළුල් විමත් සමග පුහුණු කටයුතු සඳහා ඉඩකඩ සහ පහසුකම් ප්‍රමාණවත් නොවු බැවින් මෙතෙක් ශිෂ්‍යභට බලකාය සතුව තිබූ එකම පුහුණු මධ්‍යස්ථානය වූ රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයට අමතරව තවත් පුහුණු මධ්‍යස්ථානයක් මුලතිව් හි ස්ථාපිත කෙරිනි. එම පුහුණු මධ්‍යස්ථානය 2023.08.09 වන දින යුද්ධ හමුදාව වෙතින් ජාතික ශිෂ්‍යභට බලකාය වෙත පවරා දෙන ලද අතර, 2024.04.07 වන දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් ශිෂ්‍යභට අයිතියට පවරා දෙන ලදි. එම පුහුණු මධ්‍යස්ථානය ඉදිරි අනාගතයේදී තවත් දස දහස් ගණනක් වූ ශිෂ්‍ය භටයන් බිහිකිරීමට ඉමහත් සේවයක් ඉටුකරන්නාවූ ආයතනයක් වනු නියතය.

            ජාතික ශිෂ්‍යභට බලකාය විසින් සැලසුම් කරනු ලබන ලැබූ විෂය මාලාව ඝණ සරඹ, අවි සරඹ, ශාරීරික අභ්‍යාස, ජීව වෙඩිතැබීම, භූමි උපක්‍රම, සිතියම් කියවීම, ත්‍රිවිධ හමුදා දැනුම, බලකා රාජකාරි වැනි හමුදා විෂයන්ද රටේ නීතිය, ආපදා කලමණාකරණය, මත්ද්‍රව්‍ය නිවාරණය, නායකත්වය, ප්‍රථමාධාර, සමාජ සාරධර්ම වැනි සිවිල් විෂයන්ද ඉදිරිපත් කිරීමේ පරීක්‍ෂණය, විවිධ ප්‍රසංගය සහ ආත්ම විශ්වාස පරීක්‍ෂණය වැනි අනාගත නායකයෙකු බිහිකිරීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම ශිෂ්‍යයෙකු තුළ තිබිය යුතු ගුණාංග එම සිසුවා තුළ ඇති කිරීමේ අරමුණින්ම සකස් කරන ලද්දකි. මෙම විෂය මාලාව පළමුවෙන්ම පාසැල් මට්ටමින් සිදුකරනු ලබයි. මෙසේ පාසැල් මට්ටමින් සිදුකරන පුහුණුවීම්වලට අමතරව අදාළ බලඇණි මගින් පවත්වනු ලබන එක් දින හා දෙදින පුහුණු කඳවුරු මගින් ශිෂ්‍ය භටයාට අවශ්‍ය අතිරේක දැනුම සහ පුහුණුව ලබාදීම නිරන්තරයෙන් සිදුකරනු ලබන අතර, එසේ පුහුණු කිරීමෙන් අනතුරුව වසරේ පලමු කාර්තුව තුළදී බලඇණි මට්ටමින් ශිෂ්‍යභට ඛණ්ඩ ඇගයීමට ලක්කර ඔවුන්ගේ පරිසාදන මට්ටම අනුව ඉන් අනතුරුව පළාත් මට්ටමින් ඇගයීම් කරනු ලබයි. පළාත් මට්ටමින් උසස් දස්කම් දක්වන්නා වූ ශිෂ්‍යභට ඛණ්ඩ වසරේ සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස වලදී ජාතික මට්ටමින් ඇගයීමට ලක්කරනු ලබයි. සමස්ත ලංකා මට්ටමින් ක්‍රියාත්මක වන පෙරදිග තූර්ය වාදන ඇගැයීම් කඳවුර, බටහිර තූර්ය වාදන ඇගැයීම් කඳවුර, පොලිස් ඇගයීම් කැඳවුර හා කනිෂ්ඨ ශිෂ්‍යභට ඇගයීම් කඳවුර මෙලෙස පැවැත්වෙන ජාතික මට්ටමේ කඳවුරු වේ. ඔක්තෝබර් මාසය තුළදී පැවැත්වෙන බලකායේ බාලක ආරක්‍ෂක ශිෂ්‍යභට ඛණ්ඩ සඳහා වූ හර්මන් ලූස් කුසලානය සඳහා වු කඳවුරත්, බාලිකා ආරක්‍ෂක ශිෂ්‍යභට ඛණ්ඩ සඳහා පැවැත්වෙන ද සොයිසා කඳවුරත් ජාතික ශිෂ්‍යභට බලකායේ ඇගයීම් කඳවුරු අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී. දිවයිනේ ඕනෑම ශිෂ්‍ය භටයෙකුගේ සිහිනය වන්නේ මෙම ජාතික මට්ටමේ කුසලානයන් සඳහා උසස් මට්ටමින් තරඟ කර තම පාසලට එම කුසලානය හිමිකර දීමයි. ඒ වෙනුවෙන් ඔවුන් වසර පුරා ඉමහත් කැපකිරීමක් සිදුකරති. 

පාසලක ක්‍රියාත්මක වන ශිෂ්‍යභට ඛණ්ඩයක් තුළ සැරයන් වරයෙක්ද, ජ්‍යෙෂ්ඨ කෝප්‍රල්වරුන් තිදෙනෙක්ද, ලාන්ස් කෝප්‍රල් වරුන් තිදෙනෙක්ද, ශිෂ්‍ය භටයන් 18 දෙනෙක්ද සිටිති. වසරක කාලයක ඛණ්ඩය තුල සැරයන් වරයෙකු වශයෙන් කටයුතු කල පසුව ශිෂ්‍ය භටයෙකුට ඔහු අයත් බලඇණිය තුළ රාජකාරී සිදුකළ හැකි අතර, එතැන් පටන් ඔහු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීවරයෙකු බවට පත්වේ. ඒ අනුව මාණ්ඩලික සැරයන්, කණ්ඩායම් භාර සැරයන් මේජර්, උපකරණ පාලක සැරයන් මේජර් හා රෙජිමේන්තු සැරයන් මේජර් යන නිලතල සඳහා බලඇණිය තුළ උසස් වීම් ලබන අතර, මෙලෙස උසස් වීම් ලබන ශිෂ්‍ය භටයන් සහ භටවියන් අතරින් එක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භටයෙකුට සහ භටවියකට බලකා රෙජිමේන්තු සැරයන් මේජර්වරයා සහ සැරයන් මේජර්වරිය වශයෙන් කටයුතු කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවේ. මෙය ශිෂ්‍ය භටයෙකු තම ශිෂ්‍යභට කාලය තුළ දී ලබා ගත හැකි ඉහළම නිලය ලෙස සැලකේ. මෙම කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා සෑම වසරකම ආරම්භයේදී ශිෂ්‍යභට උසස් පුහුණු පාඨමාලාවන් රංටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදි පැවැත්වෙන අතර, ඒ සඳහා දිවයින පුරා විසිර සිටින කොමිෂන් නොලත් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් දහස් ගණක් සහභාගි වෙති. මෙසේ පුහුණුව ලැබු කොමිෂන් නොලත් නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් පාසල්, බලඇණි, පලාත් හා ජාතික මට්ටමින් සිදුකරනු ලබන ශිෂ්‍යභට කටයුතු වලදි නායකත්වය ගෙන රාජකාරි ඉටුකරනු ලැබේ. මෙලෙස ජාතික ශිෂ්‍යභට බලකා, ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරින් සමග රාජකාරි ඉටුකිරිම තුලින් ඔවුන් ලබාගන්නා පන්නරය තුලින් ඔවුන්ගේ අනාගත ජිවිතයේ ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි නායකත්ව කුසලතා සහිත පුද්ගලයින් බවට නිතැනින්ම පත්වේ.

මෙලෙස පාසල් කාලය තුළදී ශිෂ්‍ය භටයන් ලෙස පුහුණුව ලබන දරුවන් පාසලෙන් බැහැර වී සමාජගත වූ පසුවත් ඔවුන් ලබාගත්තා වූ පුහුණුව, මනා ශික්‍ෂණය හා ආකල්ප ඔවුන්ගේ ඉදිරි අනාගතයට ධනාත්මක ලෙස බලපානු ලබයි. අප රටේ ජනාධිපතිවරුන්, අගමැතිවරුන් හා තවත් බොහෝ දේශපාලන නායකයන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගුරු වැනි වෘත්තිකයන් මෙන්ම ඉතා දක්‍ෂ ව්‍යාපාරිකයන් වැනි විවිධ කුසලතාවලින් සහ මනා පෞරුෂයකින් යුක්තව කටයුතු කළ සහ කරන දහස් ගණනක් අතීත ශිෂ්‍ය භටයන් අප රටට හා ලෝකයට ඉමහත් සේවයක් ඉටුකර ඇති අතර, වර්තමානයේද ඉටු කරමින් සිටී. වසර එකසිය 142ක් තිස්සේ ඉටුකරන ලද මෙම අතිමහත් ජාතික සේවය අගය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් 2023 පෙබරවාරි මස 19 දින ජාතික ශිෂ්‍යභට බලකායට ජනාධිපති හා බලකා වර්ණ ප්‍රධානය කරන ලද අතර, එය ජාතික ශිෂ්‍යභට බලකාය සිය දීර්ඝ ඉතිහාසය තුළ ලැබුවා වූ උසස්ම ජයග්‍රහණය ලෙස සැලකිය හැක.

කලාපයේ අනෙකුත් රටවල්වල ශිෂ්‍ය භටයන් හා ශිෂ්‍ය භටවියන් අතර සහයෝගයෙන් සහ සංහිඳියාවෙන් ක්‍රියාත්මක වෙමින් ජාතික ශිෂ්‍ය භට බලකාය තම නිලධාරින්, ශිෂ්‍ය භටයන් සහ භටවියන් ඉන්දියාව, මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය වැනි රටවලට ‘තරුණ හුවමාරු වැඩසටහන’ යටතේ සංචාරවල නිරත කරවන අතර, එම රටවල ශිෂ්‍යභට නිලධාරීන් හා ශිෂ්‍ය භටයන්, භටවියන් අප රටේද සංචාරය කරති. මේ තුළින් ශිෂ්‍ය භටයන් හා භටවියන් ලබාගන්නා වූ ජාත්‍යන්තර අත්දැකීම් ඔවුන් හට සුවිශේෂ ඝණයේ අත්දැකීම් ලබාදෙන අතර, මේ නිසාම ඔවුන් අනාගත නායකයන් බවට පත්වූ පසුව නායකත්ව භූමිකා ඉටු කිරීමේදි එම අත්දැකීම් ඉවහල් වනු ඇත.

ජාතික ශිෂ්‍යභට බලකාය විසින් ශිෂ්‍ය භටයන් පුහුණු කිරීමට අමතරව පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වන පාසැල් වල කාර්ය මණ්ඩල, ශිෂ්‍යනායක මණ්ඩල හා ක්‍රීඩා කණ්ඩායම් සඳහා වූ බැහැරගත හා නායකත්ව අභ්‍යාස පාඨමාලාව පාසල් ප්‍රජාව අතර මේ වනවිට ඉතා ජනප්‍රිය වෙමින් පවතී. මෙම වැඩසටහන යටතේ විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම මත රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයට පැමිණෙන බොහෝ කණ්ඩායම් මනා පුහුණුවක් හා පරිචයක් ලබාගන්නා අතර, ඒ තුළින් ඔවුන් මුවහත් කරගන්නා වූ නායකත්ව ගති ලක්ෂණ හා ආකල්ප සංවර්ධනය ඔවුන්ගේ ආයතනවල දියුණුව සඳහා යොදා ගැනීමට යුහුසුළු වෙති.

ශ්‍රි ලංකාවේ ජනාධිපති හා ආරක්‍ෂක අමාත්‍යතුමා ලෙස ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එල්එල්බි (ගෞරව) එක්සත් රාජධානි එල්එල්එම් (ඕස්ට්‍රේලියාව), ජාතික ආරක්‍ෂක උපදේශක සාගල රත්නායක, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී පීඑස්සී එම්ෆිල් ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් හා අධ්‍යාපන අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ මඟ පෙන්වීම සහ සහයෝගය ජාතික ශිෂ්‍යභට බලකායේ දියුණුවට අතිමහත් හේතුවක් වන අතර, වර්තමානයේ ජාතික ශිෂ්‍යභට බලකායට නායකත්වය ලබාදෙනු ලබන බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා යූඑස්පී පීඑස්සී තුමන් බලකායේ ඉදිරි ගමන සඳහා නිරතුරුව කැපවී ක්‍රියාත්මක වෙමින් ඉමහත් සේවයක් බලකාය වෙත ඉටුකරනු ලබයි. එතුමන්ගේ නායකත්වය යටතේ පසුගිය වසර හා මෙම වසර තුල ජයග්‍රහන රැසක් ජාතික ශිෂ්‍යභට බලකාය ලබාගෙන ඇති බව සතුටින් සඳහන් කරමි.

අභියෝග රැසක් මැද වසර 142ක් තිස්සේ ඉදිරියටම ආ ජාතික ශිෂ්‍යභට බලකාය සිය 143 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන උත්සව මාලාව 2024 අප්‍රේල් 28, 29 හා 30 තෙදින තුල රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ දී ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා යූඑස්පී පීඑස්සි ගේ ප්‍රධානත්වයෙන් සහ සියලු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුකරනු ලබයි.

2024 අප්‍රේල් මස 28 වන දින මහියංගණය රජමහා විහාරයේදී ජාතික ශිෂ්‍යභට බලකා ධජයන්ට සෙත් පැතිම සිදුකරන ලද අතර, 2024 අප්‍රේල් මස 29 දින එනම් අද දින පෙරවරුවේ ජාශිබ අධ්‍යක්‍ෂවරයා වෙත පිරිනමන සම්මාන මුරය හා රාත්‍රියේදී සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාව ක්ද පැවැත්වීමට නියමිත අතර, 2024 අප්‍රේල් මස 30 වන දින උදෑසන සංඝගත දක්ෂිනාවෙන් පසුව එම උත්සව මාලාව නිමාවට පත්වනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් දෙපාර්තමේන්තුව එක්වී රටේ දරු පරපුර මනා සමබල පෞරුෂයකින් යුතු කායික ශක්තියෙන් මෙන්ම නැණ නුවණින් ද සවිමත්, සමෘද්ධිමත් අනාගතයකට හිමිකම් කියන්නා වූ පරපුරක් බවට පත්කිරීම සඳහා ගන්නාවූ මෙම යෝධ පරිශ්‍රමයෙන් උපරිම ප්‍රතිඵල නෙළා ගැනීමට උත්සුක වන මෙන් වර්තමාන සිසු දරුවන්ගේ දෙමව්පියන්ගෙන්ද, ගුරු භවතුන් හා විදුහල්පතිවරුන්ගෙන්ද මෙන්ම අධ්‍යාපන බලධාරීන්ගෙන්ද ඉල්ලා සිටින්නෙමි.

දිවයින පුරා විසිරී සිටින ලක්‍ෂ සංඛ්‍යාත සිසු දරුවන්ට ඔවුන්ගේ අනාගත නායකත්ව ගති ලක්‍ෂණ ඔපමට්ටම් කරමින්, යහසිරිත් කාවද්දමින් ජාතියට උතුම් මිනිස් පරපුරක් දායාද කිරීමට ජාතික ශිෂ්‍යභට බලකාය වෙත තව තවත් බලය, ශක්තිය හා වාසනාව ලැබේවායි අප ඉත සිතින් ප්‍රාර්ථනා කරමු . . . !

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress