පොලිස්පතිට වැඩ වරදී.. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමක්..?
Posted on September 21st, 2018
– රාවය
මෙම පුවත රාවය පුවත්පතෙන් උපුටා ගත්තකි..
පොලිස්පති පුජිත් ජයසුන්දර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන කළමනාකරණ,නිතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දීමත් සමගම පොලිස්පති පුජිත් ජයසුන්දරට සිය ධූරයේ තවදුරටත් රැඳී සිටීමට හැකිවේද යන ගැටලුව මතු වී තිබෙන බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත.
මේ අතර පොලිස්පතිවරයාට සිය ධූරයෙන් ඉවත්වෙන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් දැනුම් දී ඇති බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවූ ප්‍රවෘත්තිවලට පිළිතුරක් ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිට එවැනි දැනුම්දීමක් කර නැති බවය.එහෙත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් එබඳු නැවැරදි කිරීමක් සිදුව නොතිබුණි.
දුෂණ විරෝධී සංවිධානයේ මෙහෙයුම් අධ්යක්ෂ යැයි කියන නාමල් කුමාර නමැත්තා විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් කළ හෙළිදරව්වක් පොලිස්පති පුජිත් ජයසුන්දර හා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අතර පවතින සබඳතාවන් පිළිබඳව ද විවිධ පාර්ශවවලින් ප්‍රශ්න කිරීම්ද කර තිබුණේය.
පොලිස්පති පුජිත් ජයසුන්දර පසුගිය වකවානුව තුළ විවිධ තැන්වලදී හැසිරුණු ආකාරය පිළිබඳව කැබිනට් තීන්දු ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලදුව ඔහු ද කියා තිබුණේ පොලිස්පතිවරයාගේ හැසිරීම තමන්ද අනුමත නොකරන බවය.
ශ්රීලනිපය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරියක වන ශ්‍රියානි විජේවික්‍රම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ පරීක්ෂණය නිසි පරිදි සිදු කිරීමට නම් පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කර පරීක්ෂණ සිදු කළ යුතු බවය.
පොලිස්පතිවරයා මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කරන අවධියේ රුපියල් මිලියන 12ක් අල්ලස් ගෙන ලබා ගෙන ඇති බවට නිශාන්ත ද අල්විස් නමැත්තකු අල්ලස් හෝ වංචා දුෂණ කොමිසමට කරන ලද පැමිණිල්ල ගැන ද මේ වන විට විමර්ශනය වෙමින් පවතී.
පොලිස් කොමිසම විසින් ලබා දුන් නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට ව්‍යවස්ථාදායක සභාව විසින් පොලිස්පතිවරයාට ලබා දුන් දින 14 සිමාව මේ වන විට දී ගෙවී තිබේ.
සැප්තැම්බර් 20 බ්‍රහස්පතින්දා පැවැත් වුණු පොලිස් කොමිසමේ රැස්වීමට පොලිස්පතිවරයා ද පැමිණ සිට ඇති මුත් ඔහු දහවල් 12 වන විට රැස්වීමෙන් ඉවත් වී ගොස් ඇති බව ද දැනගන්නට ඇත.කෙසේ වුවත් පොලිස් කොමිසමේ රැස්වීම පස්වරු 4.30 දක්වා පැවැත්වී ඇත. කෙසේ වෙතත් මෙම රැස්වීමේදී නියෝජ්‍ය පොලිස්පති නලක් ද සිල්වාගේ සිද්ධිය ගැන කිසිදු කතාබහක් වී නැත්තේ අමාත්‍යංශ පරීක්ෂණ අවසන් වන තුරු බව දැන ගන්නට තිබේ.
යම් ආකාරයකින් පොලිස්පතිවරයා ඉවත් කිරමට තීරණය කළ හොත් එය අනිවාර්ය විශ්‍රාම යැවීමක් විය හැකි බව ද දැන ගන්නට ඇත.
September 21st, 2018 at 4:46 pm
The Indian interest appointed the our Police Commissioner as soon as Sirisena was installed as President.