චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., P.hD.
හැඳින්‌වීම
–හාමුදුරුවනේ, ආණ්ඩුව සරණං ගච්චාමි කියා ශික්‍ෂා පදයක් නෑ නොවැයි-
-අගමැති ඩී. ඇස්. සේනානායක
–හාමුදුරුවනේ, ආණ්ඩුවේ රෙගුලාසි අනුව මේ පොලිස් නිලධාරියාව මාරු නොකරම බැහැ-
-ඩොනමෝර් ස්වදේශ කටයුතු ඇමති ඩී. බී. ජයතිලක
මෙහි ඉහතින් දැක්‌වෙන්නේ, පිළිවෙලින්, හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ව හා කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර හිමියන්ව, සිංහල දේශපාලකයින් දෙදෙනෙකු විසින් රැවටූ අවස්ථා දෙකකි.
හාමුදුරුවරුන් පාර්ලිමේන්තුවට යවන්න එපා යයි අස්ගිරි-මල්වතු මහනාහිමි වරුන් විසින් ප්‍රකාශ කිරීම හාස්‍යයට කරුණක් වන්නේ, සිංහල බෞද්‌ධ යයි කියා ගන්නා දේශපාලකයින් විසින් වැඩියෙන්ම රවට්ටන්නේ, රවටා ඇත්තේ, සුද්දන් විසින් ඔවුන්ගේ ඊනියා සාමය හා මනාපාලනය උදෙසා මෙවලම් දෙකක් ලෙස යොදා ගත් මේ සංස්ථා දෙක වීම නිසාය. පහත රටදී ඔවුන් අල්ලා ගත්තේ විද්‍යෝදය පිරිවෙනය. එංගලන්ත රජුගේ උපන් දිනයට ස්තෝත්‍ර ගැයීම එහි සම්ප්‍රදාය විය. ඒ කාලයේ මහනුවර මහානායක හිමිවරු කොළඹ ආණ්ඩුකාරයාගේ හා නුවර ඉංග්‍රීසි ඒජන්තගේ අල්ලේ සිටි බෝනික්කන් දෙන්නෙක් වගේ වෙන්නට ඇතැයි මට සිතේ. දැන් කාලයේ එංගලන්තයේ මහරැජිණ මෙනි. මනාපාලන ජරමරය සඳහා ගිහියන් වශයෙන් යොදාගත් කළුසුදු පඹයින්‌වූයේ දකුණේ, ඔබේසේකර-ද සේරම්-බණ්ඩාරනායක මුදලිලාත්, උතුරේ, මුතුපර කැඩූ කුමාරසූරියර් මුදලිලාත්‌ය.
ලොභ-ද්‌වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්‌ධවල නොයෙක් අඩුපාඩු ඇත. මාක්ස්වාදයේ පියා, පිලිප්, අන්තිමේදී ඩඩ්ලිගේ සුවච කීකරු ඇමතියෙක් විය. එහෙත් ජාතික හෙළ උරුමය අසාර්‍ථකවූයේ කුමණ වර්‌ගයේ වංක කුහකයින්, විදේශ ඔත්තුකරුවන් ඊට රිංගා ගත් නිසාද යන්න චම්පික රණවකගේ යහපාලන භූමිකාවෙන් එලිවිය. කෙසේ වෙතත්, වෙන කවුරුන් නැතත්, නුවර මහනාහිමිවරුන් දෙනම විසින් අමතක නොකල යුතු ඓතිහාසික කරුණක් නම් 2004 දී මිසිස් චන්ද්‍රිකාගේ මාක්ස්වාදී ඩිව් ගුණසේකර වෙනුවට වි. ජ. මු. ලොකුබණ්ඩාර කතානායක කර රට බෙදීමේ චන්ද්‍රිකා ප්ලෑනෙන් රට බේරාගත්තේ හෙළ උරුමයේ හාමුදුරුවරුන්ගේ එක වැඩි චන්දයෙන් බවය.
රතන, ඥානසාර, ඇල්ලේ ගුණවංශ වැනි හාමුදුරුවරුන් ආවාසයේ සිටිනවා වෙනුවට යුද පිටියට යාම නිසා රට බේරාගෙන, රටට දළදා මාළිගාවද රැකගැනීමට හැකිවූවා නොවේද? මහානායක හිමිවරු දෙනම හා මැකෝ දේශප්‍රිය වැනි අය ඇසිය යුතු වඩා සාධාරණ හා නිවැරදි ප්‍රශ්ණය නම්, මෑතකාලයේදී ගංගොඩවිල සෝම හිමියන් (සැක සහිත හදිසි වියෝව, 2003 දෙසැම්බර් 12), පීටොම් ජරමරකාලයේ ඊට විරුද්‌ධව තනියම පත්‍රිකා බෙදූ රතන හිමියන් හා 2012 මැයි සිට බොදු බල සේනාව බිහිවීම යන සංසිද්‌ධීන්ට හේතුව කුමක්ද යන්නය. හමස් පෙට්ටියට දමන ලද බුද්‌ධ ශාසන කොමිෂන් වාර්තා ක්‍රියාවට නොයෙදීම ගැන කතා නොකිරීමට මහානායක හිමිවරු තීරණය කළේ මොන බුද්‌ධ ශාසන ප්‍රතිපත්තිය උඩද?
එකැස් කණා- වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමිඳුන්
කොසොල් රජතුමාගේ සීන දාසැයේද පැහැදිලිවම සඳහන් කර ඇති සංඝ සමාජයේ පිරිහීම හා හාමුදුරුවරු දේශය-පාලනයට ඒම පටලවා ගෙන ඇත්තේ ලංකාවේ මාක්ස්වාදීන් හා කළු සුද්දන් විසින්‌ය. හාමුදුරුවරු රැග් කිරීම, පෙලපාලි ගොස් කදුළු ගෑස් කෑම වැනි දේවත්, රහතුන් පහලවී සිටීම, බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන් බව කීම, මංගල සමරවීර ත්‍රිවිධ රත්නයක් නැතැයි කීම යනාදියත් ඉදිරියේ අසරණවූ මහානායක දෙනම, ඇමෙරිකන් තානාපතිනියට අටපිරිකර ගෙනගොස් මාදුළුවාවේ සෝභිත හිමියන් රවටා ගන්නට ඉඩදී අන්ද මන්දව සිටියෝය. දුටුගැමුණු රජතුමාගේ නම නොදන්නා, තමන් සිංහල බෞද්‌ධයයි කීමට බියගුළු වූ කාලයක ගංගොඩවිල සෝම හාමුදුරුවන් කල සේවයට මහානායක හිමි දෙනම දුන් සහයෝගය කුමක්ද? බුද්‌ධ ශාසනය බේරා ගැනීම පමණක් නොව, රජුන් තැනීමේ හා රජුන් ඉවත්කිරීමේ කාර්යයද වැලිවිට සරණංකර හිමිඳුන් ඉටුකලේය. කෝපාවිෂ්ටවූ රජු මේ එකැස් කණා අල්ලා ගැනීමට කලින් හිමිඳුන් සිය පණ බේරාගෙන පලා ගියේය. ඒ අතර උන්වහන්සේගේ ඝාතනය සඳහා දෙතුන් වරක්ම කොළඹින් ක්‍රිස්තියානී දූතයින්ද උඩරටට ගියේය.
පන්සලේ විප්ලවය
මාවිල් ආරු සටනේදී රතන හිමියන් මෙන් හෝ යුද පෙරමුණේදී ඇල්ලේ ගුණවංශ හිමියන් මෙන් හෝ දෙයක් නොව පන්සල් දෙකට එකතුවන අදායම හා දළදා මාළිගාවේ ආදායම දුප්පත් පන්සල් වලට හෝ මායිම් ගම්මානවල පන්සල් වලට අස්ගිරි-මල්වතු පන්සල් වලින් බෙදා දෙනවාද යන්න මම නොදනිමි. රාවයේ වික්ටර් අයිවන් විසින් හුදෙක් සෝම හාමුදුරුවන්ට මඩ ගැසීම සඳහා කුලියට ලියූවක් ලෙස මා සළකන පන්සලේ විප්ලවය (2009) නම් පොතේ ඇති ඇතැම් නරුම අදහස් කියවූ පසු, ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසය (1798-2019), පන්සල හා පාලක සුද්දන්-කළුසුද්දන් අතර ඇතිවූ නිරන්තර අරගලයක කතාවක් නොවේද යන ප්‍රශ්ණය මගේ සිතට නැඟුණි. මීට අදාලව මා විසින් කල අධ්‍යයනයකින් මෙම ඉතිහාසයේ අවධි රැසක් වෙන්කර හඳුනා ගැනීමට හැකිවිය. ඒ හැම අවධියකම වාගේ ඊට සම්බන්‌ධව ඉදිරියෙන් සිටි හාමුදුරුවරු එක නමක් හෝ කිහිප නමක් සිටියේය. මෙහිදී පෙනී යන කරුණක් නම් මෙම පහත රට/මුහුදුබඩ හාමුදුරුවරු නිසා නොවන්නට ථේරවාද බුද්‌ධාගම ලංකාවෙන් තුරන්‌වී යාමට හොඳටම ඉඩකඩ තිබූ බවය. තවද, මෙම අවධි වැටකින් වෙන් කලා මෙන් නොව, එකිනෙක මත වැටේ.
පන්සල (සිවුර) හා සුදු-කළුසුදු පාලකයින් අතරවූ නොනවතින අරගලයේ අවධි
1 – බුද්ධාගම කියන්නේ බොරුවක් යයි පැවසුණු අවධිය, 1798-1873 (වාරියපොළ සුමංගල/මිගෙට්ටුවත්තේ ගුණානන්ද)
2 – බුද්ධාගම පණ අදිමින් සිටි අවධිය, 1840–> (වලානේ සිරි සිද්‌ධාර්‌ථ)
3 -ඕල්කොට්-අනාගාරික ධර්‍මපාල අවධිය, 1880-1915–> (හික්කඩුවේ ශ්‍රී සුමංගල)
4 -ඩොනමෝර් අවධිය 1931-48, විද්‍යෝදය සමාජ සේවය (කළුකොඳයාවේ පඤ්ඤාශෙඛර, සිකිම් (ටිබැට්) ජාතික එස් මහින්ද හිමි)
5 – විද්‍යාලංකාර සේවය 1946–>විද්‍යාලංකාර ප්‍රකාශණය/භික්‍ෂුවගේ උරුමය
(යක්කඩුවේ ප්‍රඥාරාම/ වල්පොල රාහුල)
6 – පංච මහා බලවේගය 1956-59 (හේන්පිටගෙදර ඥානසීහ/බද්දේගම විමලවංශ/කොටගම වාචිස්සර/කලල්‌ඇල්ලේ ආනන්දසාගර)
7 – අඳුරු යුගය- 1960-1978 පෙඩරල්කාරයින් බලවත්‌වීම හා නිල් කොල රතු පක්‍ෂ මාරුවෙන් මාරුවට රට විනාශ කිරීම
8 – අධර්මිෂ්ඨ සමාජය 1978–2005 (මාදුළුවාවේ සෝභිත, ගැටඹේ පන්සලේ හාමුදුරුවෝ)
9 – සෝම හාමුදුරුවන්ගේ භූමිකාව 2000-2003
10 – පිරිත් නූල් කඹ යුගය 2004-2010 (ඇල්ලේ ගුණවංශ/අතුරැලියේ රතන)
ජාතික හෙල උරුමය
11 – බොදු බල සේනාව 2012 මැයි (ගලබොඩඅත්තේ ඥානසාර)
12 – 2015- 2019 නොවැම්බර් (යහපාලන සිවුරු දඩයම, රංජන් රාමනායක, මිසිස් චන්ද්‍රිකා, මංගල සමරවීර යන අය බුද්‌ධ ශාසනයට නිග්‍රහ කිරීම නොහොත් නිර්‍වස්ත්‍රම් පරමං සුඛං අවධිය)
- අස්ගිරි ප්‍රකාශණය 2017 ජූනි 20 හා ජූලි 4 නිවේදනය (මේ මඟින් බලාපොරොත්තුවුන අස්ගිරි විප්ලවය සිදුවූයේ නැත)
14 – 2019 නොවැම්බර් 16 (ආරණ්‍යවාසී හාමුදුරුවරුන් පවා අවුරුදු 40 කට පසු චන්ද පොලට පැමිණ, මුස්ලිම් හා දෙමළ පක්‍ෂ නායකයින්ට තිබෙනවාය කියන තීරක චන්ද බලය පිළිඹඳ කළුසුද්දන්ගේ මිථ්‍යාව, රටේ සිවුරුවල මැදිහත් වීම මඟින් විසින් ශුන්‍ය කර දැමීම)
මෙම අවධි සම්බන්‌ධවත්, පන්සලේ විප්ලවය, අස්ගිරි විප්ලවය යනුවෙනුත් මා ලියූ දීර්‌ග ලිපි ලංකාවෙබ් වෙබි අඩවියේ පලවිය. මෙහි දැක්‌වෙන්නේ ඉන් උපුටාගත් යම් කාරණා ස්වල්පයක් පමණය. උඩරට ගැමි පුනරුථාපන කොමිෂම (1951), බෞද්‌ධ ශාසන තොරතුරු කොමිෂන් සභා වාර්‌තාව (1956 පෙබරවාරි), බුද්‌ධ ශාසන කොමිෂන් වාර්‌තාව (1957), පුවත් පත් කොමිෂම (1964), සිංහල කොමිෂන් වාර්‌තාව (1997), බුද්‌ධ ශාසන කොමිෂන් වාර්‌තාව (2002), අයුතු ලෙස අන්‍යාගමීකරණය පිළිඹඳ වාර්‌තාව (2009), බෞද්‌ධ හිමිකම් කොමිෂන් සභාව (2019), යනාදි වශයෙන් ප්‍රසිද්‌ධවූ සිංහල බෞද්‌ධයාගේ දුක්ගැනවිලි වල ප්‍රතිපල ලෙස අද ඉතිරිව ඇත්තේ විද්‍යෝදය-විද්‍යාලංකාර පිරිවෙන් දෙක බෞද්‌ධයින්ට අහිමිවීම හා අන්තිමේදී බුද්‌ධ ශාසන අමත්‍යංශයක් හා ඇමති කෙනෙක් අටවා කල විනාශයය. නිලධාරීන්ගේ ලැයිස්තුවලින්, අන්‍යාගමික සංවිධාන වලට පන්සල් වල අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීමට ඉඩ පාදාදීම හැර මේවායින් වුනේ අගතියක්මය. මිසිස් චන්ද්‍රිකා පත්කල කොමිෂමේ 2002 වාර්‌තාව, 2019 පාස්කු ප්‍රහාරය ගැන කල අනාවැකියක් වැනිය. 2012 බොදු බල සේනාව බිහිවූයේ, එම 2002 වාර්‌තාවේ නිර්දේශ සළකා බලන ලෙස කල ආයාචනා මුස්ලිම් චන්ද පෙරේත කමට ආණ්ඩු විසින් නොසළකා හැරීම නිසාය.
1815 දී බ්‍රවුන්‍රිග් විසින් දුන් බුද්ධාගම ආරක්‍ෂාකිරීමේ පොරොන්‌දුව හිට්ලර් විසින් දුන් පොරොන්‌දු වැනි විය. අල්ලාගත් දෙමළ රජ බිසවලාගේ හැට්ට, ආභරණ හා මෙවලම් පවා ලන්ඩන් වෙන්දේසිවල විකුණුනේ ඒ නිසාය. ක්‍රිස්තියානී ආණ්ඩුවක් ඊට පටහැනි ආගම ධර්‍මයක් රැකදීමට බොරුවට හෝ එකඟවූ තවත් අවස්ථා ලෝක ඉතිහාසයේ තිබෙනවාද? කෙසේ වෙතත් 1840 ස් ගණන් වනවිට ලංකාවේ හා ලන්ඩනයේ ක්‍රිස්තියානීන්ගේ විරුද්ධත්වය නිසා මේ බොරු ප්‍රතිපත්තියත් වෙනස්විය. 1818 හා 1848 කැරළි වලදී පන්සල් විදේශිකයාගේ පැත්ත ගත්තේ නැතිබව පමණක් නිසැකය.
ප්‍රසිද්‌ධියේ බෞද්ධ විරෝධී බවක් එළි නොකලත් බෞද්ධයින්ට පල්ලියෙන් සිදුවූ හතුරුකම් වැලැක්‌වීමට සුද්දන් ඉදිරිපත්‌වූයේ නැත. වැසියන් ක්‍රිස්තියානිකරණයවීම යටත් විජිත පාලන ක්‍රමයට හිතකර වන බව අද වුවද ලංකාවේ සිටින කළු සුද්දන්ගේ ක්‍රියාවලින් සක් සුදක්සේ පැහැදිලිවේ. ආගමික චින්තන නිදහස නැතිකල විට බිහිවන්නේ දක්කා ගෙන යාහැකි බටළුවන් රැළවල්‌ය. එහෙත් අද මෙන් නොව ඒ කාලයේ මෙය කරගෙන ගියේ ක්‍රිස්තියානි මිෂන් පාසැල් ක්‍රමය හරහාය. ඒ සඳහා රීති මඟින් උදව් කිරීමත් (උදාහරණයක් වශයෙන් හැතැම්මේ දුර නීතිය), ගම් වල පන්සල් අධ්‍යාපනය අඩපණ කිරීමත් යන දෙකම එකවර හෙමින් සීරුවේම සිදුවිය. බුද්ධාගම බොරුවක් කියමින් නොනැවතී ඒ ගැන වාදයකට එන ලෙස කළු සුදු පූජකයින් නිතර නිතර හාමුදුරුවරුන්ට අභියෝග කලේය.
බුද්ධාගම බොරුවක් යයි ඇතිවූ ක්‍රිස්තියානි තර්‍ජනය නිසාම ඊට විරුද්ධව ප්‍රතික්‍රියාවක් මතුවිය. පසු කලෙක සිංහල භාෂාව රැක ගැනීමේලා පඬිවරයෙකුවූ ඔබේසේකර-බණ්ඩාරනායක-ද සේරම් ක්‍රිස්තියානි පවුල්වලට අයත් ජේම්ස් ද අල්විස් 1840 ස් ගණන්වල කියා සිටියේ දශක දෙකකදී පමණ බුද්ධාගම ලංකාවෙන් නැතිවී යන බවය. අන්ත අසරණ භාවයට පත්‌වු සිංහල ජනයා තමන් ගලවා ගැනීමට දියසේන කුමාරයෙක් එනතෙක් හූල්ලමින් සිටියේය. කාලිංග මාඝ හෝ චෝල ආක්‍රමණ හෝ පෘතුගීසි සංහාර ආදියෙන් සමූලඝාතනය කල නොහැකිවූ ගහට පොත්ත වැනි බැඳීමක් තිබූ ගම හා පන්සල විසින් රැකගත් ත්‍රිපිටකය-ජාතක කතා ඇතුළු සිංහල බෞද්ධ සාරධර්‍ම පද්ධතියක් දිවයිනේ ඉතිරිව තිබුණේය. යුදෙව් හා අයිරිස් යන ජාතීන් දෙක ලෝක ශිෂ්ටාචාරයට කල සේවය මෙන් සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයද අඛණ්ඩව පැවතියේය. පුන්න තෙරුන් බුදුන් දවස අරාබිකරයට බුදු දහම ගෙන ගියා මෙන් ටොලමිගේ සිතියමේ ටැප්‍රොබේන් නමින් හඳුන්වන ලද ලංකාව, බ්‍රිතාන්‍ය දූපත් සමඟ සසඳනවිට විශාල කේන්ද්‍රීය දූපතක් විය.
ගමේ පිරිවෙන්වල අධ්‍යාපනය ලද හාමුදුරුවරු සතුරාගේ උපක්‍රම ඉගෙනගෙන ඒවායින් පෙරලා සතුරාට පහරදීමේ ක්‍රියාවලියද ලෝක යටත් විජිත ඉතිහාසයේ වැදගත් සිදුවීමකි. උදාහරණයක් වශයෙන් කලින් බෞද්ධාගමට අපහාස කරණ පත්‍රිකා මුද්‍රණය කල කෝට්ටේ තිබූ මිෂනාරී ප්‍රින්ටින් ප්‍රෙස් එකක් මිලට ගෙන ඒවාට ප්‍රතිුත්තර මුද්‍රණය කිරීමට හාමුදුරුවරු ක්‍රියාකළේය. ඊට අමතරව සියම් රජුගේ ආධාරයෙන් ලංකෝපකාරය නමින් මුද්‍රණාලයක් ගාල්ලේ ආරම්භ විය. මේවා සිදුවූයේ 1862 දීය. මෙම ක්‍රියාදාමය, යුරෝපයේ මාටින් ලූතර්ගේ (1483-1546) යුරෝපයේ කතෝලික පූජක බලයට විරුද්ධව ගෙනගිය ප්‍රොටෙස්ටන්ට් ව්‍යාපාරයට සමාන කරමින් ක්‍රිස්තියානී ස්ටැන්ලි තම්බයියා හා ඔහුගේ ගෝලයින්වන ගණනාත් ඔබේසේකර හා එච් එල් සෙනෙවිරත්න, ඇමෙරිකාවේ සිට ඇන්ත්‍රොපොලොජි පොත් ලියුවේය. ඉංග්‍රීසි කතාකරණ ලෝකය නොමඟ යැවූ ඔවුන්, ලංකාවේ ප්‍රොටෙස්ටන්ට් බුඩිසම් ගැන ලියා ප්‍රසිද්ධියට පත් විය. මෙය පිටරට සිට පැමිණ නුවර ක්වීන්ස් හෝටලයේ නැවතී සිට, ගැමියන්ගේ කතරගම දෙවියන් ඇදහීම ගැන පොත් ලියුවා වගේමය. විදුලි ඉංජිනේරු රක්‍ෂාවෙන් සමාජ විද්‍යාවට මාරුවුන සුසන්තා ගුණතිලක විසින් පසු කාලයක ලොවට හෙළිකරනතුරු මෙය මහාචාර්ය රහසක් ලෙස පැවතියේය.
ලූතර් විප්ලවයක් කලේ දෙවියන් හා දුප්පත්/නූගත් කතෝලිකයා අතර සිටි අතරමැදියාවූ පූජක පන්තියට විරුද්ධවය. ඒජන්ට් කෙනෙක් නැතිව කෙළින්ම පල්ලියේදී දෙවියන් ලඟට යා හැකි බව ඔහු කියා සිටියේය. ඉන්ඩෙල්ජන්ස් නම් සහතිකය මිලට ගෙන කරන ලද පව් දියකර (වාෂ්පකර) නිරය වෙනුවට දිව්‍යලෝකයට යා හැකිය යන ජාවාරම පෝප් ප්‍රමුඛ පූජකවරුන් විසින් කරගෙන ගියේය. මෙය දැන් කාලයේ ලංකාවේ සෝවාන් හා සකෘදාගාමි සහතික දෙනවා වගේය. තමන් රහත් බව කියන බුදුකෙනෙක්, දෙන්නෙක් ඌරුමස් කමින් උපන් දින පාටිදානවා වගේය. විඳීම වෙනුවට වින්දනය යන ඕමාර් කයියාම් ක්‍රමය අනුගමනය කරමින්‌ය.
ලංකාවේ මුහුදුබඬ තීරයේ හාමුදුරුවරු කලේ මෙවැනි දෙයක් නොවේ. ආගමික නිදහස යන සීමිත කවුළුව ප්‍රයෝජනයට ගෙන, මර්‍ධනකාරී යටත් විජිත ආණ්ඩුව හා ගැටෙන ව්‍යාපාරයක් නොවන ආකාරයට තමන් සතු සීමිත සම්පත් යොදාගෙන පොදු ජාතික සතුරාට පහර දීමය. අරක්කු රේන්ද මඟින් ධනවත්‌වූ, විශේෂයෙන් කරාව කුලයේ දෙමාපියන්ගේ දරුවන් තමන්ට දෙවන නොව තුන්වැනි පන්තියේ පිරිසක් ලෙස සුද්දන් සළකන බව ගැන කළකිරී බෞද්ධ පුනරුදයකට අත දීමට ඉදිරිපත් විය. මෙහිදී අනාදිමත් සේවයක් කලේ පානදුරේ වලානේ සිට සටන් සිදුවන පෙරමුණ ලෙස ඒ කාලයේ සැලකුණ කොළඹට (රත්මලානට) පැමිණ 1842 දී පරම ධම්මචේතිය පිරිවෙන ආරම්භකල ශ්‍රී සිද්ධාර්‍ථ හිමියන් විසිනි. එය 1848 කැරැල්ලට පෙරය.
කළු සුද්දන් බෝකිරීම
1551 දී දොන් ජුවන් ධර්‌මපාල කෝට්ටේ රජු වීමත් සමඟ කතෝලික ආගමට හැරී, ඉන් පසු ලන්දේසි කාලයේදී රෙපරමාදුවී, නැවත ඉංග්‍රීසි කාලයේදී ඇන්ග්ලිකන් වුන පිරිසේ දරුවන්ට ඉංග්‍රීසි කටගස්වා කීකරු සේවකයින් කොටසක් බිහිකරගත හැකි බව නෝත් ආණ්ඩුකාරයාද කියා සිටියත්, එය නිල වශයෙන් ප්‍රකාශ කලේ 1832 කෝල්බ්‍රැක්-කැමරන් කොමිෂමෙනි. මේ අනුව 1836 දී දැන් රෝයල් කොලේජ් එකත් 1851 දී සැන් තෝමස් එකත් බිහිවිය. ඒ වන විට ඇමෙරිකන් මිෂනාරීන් යාපනේ හා මඩකලපුවේ පාසැල් වැඩ අරඹා බොහෝ කල් ගතවීය. මේ සංකල්පය 1835 දී ඉන්දියාවේ ප්‍රචලිත කලේ තෝමස් මැකෝලි විසිනි. හමේ පාටින් හා ලේ වලින් ඉන්දියානු වුනත් හැසිරීමෙන් හා සිතීමෙන් ඉංග්‍රීසි වන, පාලකයා හා මහජනයා යන දෙකොටස අතර අතරමැදියන් වශයෙන් සිටින දුඹුරුපාට බ්‍රිතාන්‍යයින් කොටසක් බිහිකල යුතුබව ඔහු කියා සිටියේය. අද ලංකාවත්, සෙසු පරණ යටත් විජිතත් විනාශකරන්නේ මෙසේ බෝකල කළු සුද්දන්ගේ පන්තියය. වලානේ සිද්ධාර්‍ථ හිමියන්ගේ සේවය තක්සේරු කලයුතු මෙම පසුබිම යටතේය. මිගෙට්ටුවත්තේ හිමියන්, අද නිසැකවම ලංකාවට අවශ්‍යවන මිලිටන්ට් බුඩිසම් පාරේ යද්දී (උන්වහන්සේගේ පාත්‍රයට ගොම තැම්බක් දැමීම), ශාස්ත්‍රීය-ප්‍රාචීන පණ්ඩිත විනයධර භික්‍ෂු පරපුරක් ගොඩ නැඟීමේ අවශ්‍යතාවය වලානේ හාමුදුරුවන් වටහා ගත්තේය. 1924 ඊළම් විෂබීජය පැලකරන කාලයේ සිට ක්‍රිස්තියානි සිංහල කළු සුද්දන් විකාර නටමින් රට විනාශයකරා ගෙන යද්දී ඊට විරුද්ධ බලවේගයක් වශයෙන් ක්‍රියාකල විද්‍යෝදය (1873) හා විද්‍යාලංකාර (1875) පිරිවෙන් දෙක බිහිකලේ පරම ධම්මවේතිය පිරිවෙනේ සිද්ධාර්‍ථ හිමියන්ගේ ගෝලයින් දෙනමක් වන හික්කඩුවේ සුමංගල හා රත්මලානේ ධම්මාලෝක යන හාමුදුරුවරුන් විසිනි. ගිහි විශ්ව විද්‍යාලකර විනාශ කරණ තුරුම මේ පිරිවෙන් දෙක සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ මුදුන් මල්කඩ දෙකක් විය.
බුද්ධාගම පණ ඇද්ද අවධිය බුද්ධාගමේ පුනරුද අවධිය ලෙස හැරවූයේ හාමුදුරුවරුන් විසිනි. කෙසේවෙතත්, 1880 දී ඕල්කොට්-බ්ලැවැස්කි දෙදෙනා ලංකාවට ඒමෙන් සිදුවූයේ හාමුදුරුවරුන් තිරයෙන් පිටුපසට ගොස් ගිහියන් ඉදිරියට ඒමය. 2000 වර්‌ෂයේදී සෝම හාමුදුරුවන් සහ 2004 දී ජාතික හෙළ උරුමය බිහිවන තෙක් හාමුදුරුවරු දේශපාලන වේදිකාවට කෙළින්ම ආවේ නැත. 1956 විප්ලවයේදීද හාමුදුරුවරු සිටියේ පසුබිමේය.ලණුවෙන් බැඳි ගොනා මෙන් කළු සුද්දන්ගේ පාලන ක්‍රම රාමුව තුල කොටුකර ගෙන සිටි හාමුදුරුවරු, ලණුව කඩා ගෙන චිරානුගත බණ මඩුවෙන් පාරට බැස මිලිටන්ට් ලෙස ඉදිරියට ගියේ 2012 මැයි මස බොදු බල සේනාව බිහිවීමත් සමඟය. සිංහල බෞද්‌ධයාට, සිංහල බෞද්‌ධ දේශපාලකයා සළකන්නේ හරියට සමහර පිරිමි හිත හොඳ ගෑණුන්ට සළකනවා වගේ යයි ශුද්‌ධ සිංහලෙන්, ධර්‌මපාලතුමා අතීතයේදී කලා මෙන් පෙන්‌වා දීම නිසා සමස්ථ කළු සුදු දේශපාලන ක්‍රමයම ඥානසාර හිමියන්ගේ හිස ඉල්ලා සිටියේය. අපි දේශපාලකයින්ට කොඩි උස්සාගෙන ගොස් අන්තිමේදී අපිට ඉතුරුවුනේ කොඩ් පොලු පමණයි කියා ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් සටහන් කරන්නේ බුදු අම්මෝ හා ඕ මයි ගෝඩ් දෙකේ වෙනසය.
ලෝකයේ ප්‍රථම සුදු බෞද්ධයා ලෙස හැඳින්‌වෙන ඕල්කොට්තුමා හාමුදුරුවරුන්ට ලැබුණ, සුද්දන් සමඟ ගණුදෙණුකල හැකි විදේශීය සුද්දෙක් විය. මේ නිසා 1883 කොටහේන ප්‍රහාරයේදී ආණ්ඩුව කතෝලික පැත්ත ගත්‌විට, ලන්ඩන් ගොස් බෞද්ධයින් වෙනුවෙන් කතා කිරීමට, සියම් හා අමරපුර නිකාය වල හාමුදුරුවරුන් හත් නමකගේ අත්සණින් යුත් බලපත්‍රයක් ඕල්කොට්තුමාට දෙන ලදී. බෞද්ධ කොඩිය නිර්‍මාණය කිරීමේදී, වෙසක් පෝය නිවාඩුදිනයක් කිරීමේදී හා සිංහල බෞද්ධයින්ට ඉංග්‍රීසි හා සිංහල පාසැල් පිහිටුවීමේදී ඔහුගේ සංවිධානාත්මක දක්‍ෂතාවය ලබාදෙන ලදී. 1812 වනවිට මිෂනාරීන් උතුරේ ජනයාට පාසැල් ආරම්භකල කලේය. දකුණේ සිංහල බෞද්ධ පාසැල් ඇරඹුණේ 1880 න් පසුවය.
විදේශික ඕල්කොට් නම් ලංකා සිංහල බෞද්ධ මිතුරාගේ භාෂා පරිවර්තක ලෙස මුලින් ඔහුට සම්බන්‌ධවූ ධර්‍මපාල තරුණයා සිංහල බෞද්ධයින්ගේ ආත්ම විශ්වාසය හා ආත්ම ගෞරවය නඟාසිටුවීමටත්, හාමුදුරුවරුන් විසින් සමාජ සේවයට මැදිහත්‌වීමේ අවශ්‍යතාවය පෙන්වාදීමටත් ක්‍රියාකලේය. පඹයෙක් සදා ඊට සුදුහුණුගා ගේ ඉදිරිපස තබා උදේ සවස පර සුද්දා! පර සුද්දා! කියමින් පයින් ගසන්නට යයි කියා සිටියේ සුද්දාට අපහාස කිරීමට නොව මිනිසුන්ගේ යටි සිතේ සැඟවුණ හීනමානය ඉවත්කිරීමේ පරමාර්‍ථයෙනි. සිංහලයින්ගේ උදාසීනකම තුරන්කර ගැනීමේත්, ජපානය, ජර්‌මනිය හා ඇමෙරිකාවේ මෙන් විද්‍යාව හා තාක්‍ෂණය අධ්‍යාපන ක්‍රමයට ඇතුලත් කිරීමේ වැදගත් කමත් එතුමා පෙන්නා දුන්නේය. ඇමෙරිකාව, එංගලන්තය වැනි විදේශවලට බුදු දහම ගෙනයාමේ කාර්යද ඔහු ආරම්භ කලේය. එහෙත් එතුමාගේ භාෂාව හා මතවාදය සුද්දන්ට පමණක් නොව, ඩී. එස්. සේනානායක, ඩී. බී. ජයතිලක වැනි දේශපාලකයින්ට පමණක් නොව 1911 වනවිට නැඟිිෙමින් සිටි පිටරට අධ්‍යාපනය ලබා පැමිණි සිංහල හා දෙමළ කළු සුද්දන්දටද බලවත් තර්‍ජනයක් විය. මෙය හරියටම අදවනවිට ඥානසාර හිමියන්ට සිදුවී ඇති දෙය වැනිමය. 1915 සිංහල-මුස්ලිම් කෝලාහලයට පසුව කල්කටාවේදී හිර අඩස්ස්සියේ තබාගෙන, ලෙඩරෝග වලට ප්‍රතිකාර ගන්නට ලංකාවේ ඥාතීන් ලඟට ඒමටවත් සුද්දෝ අවසර නොදුන්නේය. ලංකාවට ඇවිත් හිරිහැර මධ්‍යයේ ජීවත්‌වනවා වෙනුවට එතුමා ලංකාව හැරදමා ගියේය. මේ කාලයේදී ලංකා ජාතික සංගමය සමඟද සාකච්චා පැවතුනත්, සිංහල-දෙමළ සමඟිය පිළිඹදව ක්‍රිස්තියානි සිංහලයින් පවත්‌වන කෘතිම සම්බන්‌ධය නිෂ්ඵල බව එතුමාට වැටහුණි. 1933 දී හාමුදුරුනමක් වශයෙන් බුද්ධගයාවේදී අපවත් විය.
ඩොනමෝර් අවධිය (1931-48) තුල, කළු සුද්දන් දේශපාලන බලය අල්ලා ගැනීමටත්, මාක්ස්වාදීන් බංගවේවා-මැලේරියා-සූරියමල් දේශපාලනයත්, දමිළ ඊළම්වාදීන් රට කඩා ගැනීමටත් ක්‍රියා කරද්දී, අදද රටට ඉතාමත් යෝග්‍යවන අන්දමේ සමාජසේවා ව්‍යාපාරයක් විද්‍යෝදය පිරිවෙණේ උගත් භික්‍ෂූන් වහන්සේලා කීපනමක් විසින් ආරම්භකරණ ලදී. ධර්‍මපාලතුමාගේ ආභාෂය නිසා කළුකොඳයාවේ පඤ්ඤාශෙඛර හිමියන් විසින් අක්බාර් විනිසුරුගේ හා තරුණ සහකාර පොලිස් අධිකාරී ඔස්මන්ඩ් ද සිල්වා සමඟ දියත් කල ග්‍රාම සංවර්‍ධන හා අපරාධ මර්‍ධන ජාතික ව්‍යාපාරය මෙහිදී කැපී පෙනේ. එයට උපකාර කිරීමට එවකට ස්වදේශ ඇමතිව සිටි ඩී බී ජයතිලක මහතාට නොහැකිවීම, කළු සුද්දන් හා නිලධාරීන් එය කඩාකප්පල් කිරීම, හා මාක්ස්වාදීන් ඊට සහාය නොදීමත් ඒ වගේම කැපී පෙනෙන කරුණුය.
ඩොනමෝර් අවධිය අග වන විට බිහිවූ තවත් භික්‍ෂූ ව්‍යාපරයක් වුයේ විද්‍යාලංකාර පිරිවෙණේ සේවය ය. 1946 විද්‍යාලංකාර ප්‍රකාශණය හා භික්‍ෂුවගේ උරුමය මේ සේවය සංකේතවත් කරයි. ඩී එස් සේනානායක මහතා විසින් ගෙනෙගිය සුද්දන් රවටා හෝ පාලන බලය ලබාගැනීමේ ව්‍යාපාරයට යක්කඩුවේ ප්‍රඥාරාම හා වල්පොල රාහුල යන හිමිවරු බලවත් තර්‍ජනයක් විය. ප්‍රසිද්ධියේ ඩී එස්ට අභියෝග කල යක්කඩුවේ හිමියන් 2014 දී මහින්ද රාජපක්‍ෂ මහතාව පරදවන බවට අභියෝගකල අතුරැලියේ රතන හිමියන් හා සමාන කල හැකිය. අවසාන අවස්ථාවේ හෝ ජාතික හෙල උරුමයේ යෝජනාවලට ඇහුංකන් දුන්නා නම් රාජපක්‍ෂ ජනාධිපති අමාරුවේ වැටෙන්නේ නැත.
ඕල්කොට්-ධර්‍මපාල අවධියේදී හාමුදුරුවරුන් පසුබිමට තල්ලුවී ගියේ ඇයි? උතුරේ කුමාරස්වාමි පරම්පරාව හා දකුණේ ඔබේසේකර-ද සේරම්-බණ්ඩාරනායක පරම්පරාව මඟින් සුද්දන් ගෙනගිය පාලන කාලය වෙනස් වෙමින් 1910 වනවිට කරාවේ-දුරාවේ හා සලාගම උගත් තරුණ පරම්පරාව (නෝ බොඩීස් සම්බොඩීස් වීම) ව්‍යවස්ථාදායක සභාවට කල ඉල්ලීම් ඉදිරියට ආවේය. මේ සමඟ 1915 මුස්ලිම් කෝලාහලයට පසුව ඒ නිසා හිරභාරයට ගත් අමධ්‍යප ව්‍යාපාරයට සම්බන්‌ධ සිංහල නායකයින්ට දේශපාලන දෑවැද්දක් හිමිවිය. මෙසේ බිහිවූ අළුත් උගත් මධ්‍යම පන්තිය රටේ පාලන බලය බොහෝදුරට සුද්දන්ගෙන් තමන් අතට ලබාගන්නට 1910 සිට 1931 වැනි සුළුකාලයකදී සමත් විය. 1832 සිට පැවත ආ ජාතීන් අනුව නියෝජනය වෙනුවට භූමි ප්‍රදේශය අනුව නියෝජනය 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමයෙන් ආරම්භවිය. මෙසේ මහජනයාට සර්‍වජන චන්දබලය දීමට විරුද්ධ නොවූයේ කම්කරු පක්‍ෂ නායකයාව සිටි ඒ ඊ ගුණසිංහ මහතා පමණය. සිකිම් (ටිබැට්) ජාතික එස් මහින්ද හිමියන් හුදකලාව ජාතිකාණුරාගය නැංවූවා පරිදිමය.
1923 වනවිට මතුවූ අළුත් ප්‍රශ්නයක්‌වූයේ දමිළ ඊළම් අදහසේ සම්භවයය. ක්‍රිස්තියානි සිංහල පිරිස් විසින් දමිළ ඊළම් පිරිස් හා නොයෙක් ඩීල්ස් දමාගත්තේ සිංහල බෞද්ධයින්ගේ, හාමුදුරුවරුන්ගේ අදහස් විමසා නොවේ. දැන් රටේ වෙනදේ වගේමය. ඕල්කොට් අවධියේ සිටම උගත් හාමුදුරුවරුන්, විදේශීය උගතුන්ට බුද්ධාගම අධ්‍යයනය කිරීමට උපකාර කලේය. තම වෙනස් අදහස් නිසා සිවිල් සේවයෙන් නෙරපණ ලද, පසුව ලන්ඩන් පාලි භාෂා සමාගම ආරම්භකල රීස් ඩේවිඩ්ස් මේ පිළිඹද හොඳම උදාහරණයය. ඒ මිසක් අඩුතරමින් උතුරේ හරිජනයා අතරට (මේ පහත් කුලවලට අයත්සේ සලකන ජනයා යාපනේ සිටි සිංහල ජනයා කියා මතයක් ඇත) බුද්ධාගම ගෙනයාමටවත් මේ හමුදුරුවරු ක්‍රියා කලේ නැත්තේ ජී ජී පොන්නම්බලම් විසින් ඇතිකල ජාතිවාදී භේදය නිසා අනවශ්‍ය ප්‍රශ්ණයක් මතුවිය හැකියයි සිතූ නිසා විය යුතුය. අනුරාධපුර පැරණි නගරය සංරක්‍ෂණය කිරීමට අරමුදල් සැපයීම පවා සුළු ජාතියට කල වෙනස්කමකට උදාහරණයක් ලෙස සෝල්බරි කොමිෂමට අවලාද කීමට තරම් පොන්නම්බලම් පහත් මනසක සිටියේය. අම්බෙඩ්කාර් මහතා ඉන්දියාවේ ඩලිත් ජනයා සමඟ දශලක්‍ෂ ගණනින් බුද්ධාගමට ආවේ ලංකාවේ හාමුදුරුවරුන්ගේ මැදිහත් වීමකින් නොවේ.
හාමුදුරුවරුන් දේශපාලන වශයෙන් නිහඬවීමට තවත් හේතුවක් වන්නට ඇත්තේ උන්වහන්සේලා බුරුතු පිටින්ම ඩොනමෝර් බෞද්ධයින්ට රැවටීමය කියා සිතේ. සිංහල නොදන්නා හා බුද්ධාගම ගැන නොදන්නා හෝ අළුතෙන් ආපසු බුද්ධාගමට හැරුණු (මෙසේ හිටපු හැටියේ අතේ පිරිත්නූල් බැඳගෙන ඉන්නා අය කීදෙනෙක් අද ඉන්නවාද?) පරණ රදළ හෝ රේන්ද, මිනිරන්, වතුවගා කරුවන් හෝ ඔවුන්ගේ දරුවන් චන්දය ඉල්ලා මහජනයා ඉදිරියට ගියේ ගමේ හාමුදුරුවරුන් ඉදිරියට දමමින් සිවුරට මුවාවීය. 1931 හා 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීන් 50 දෙනාගේ නම් පරීක්‍ෂාකරන විට මෙය පැහැදිලිවේ. බලයට ආපසු මොවුන්ට සිංහල බෞද්ධ ප්‍රශ්න ගැන දැනුමක් නොවීය. එසේ නැත්නම් ඒවාට අතගසන්නට ඔවුන් සූදානම්වුනේ නැත. නැත්නම් සුද්දන් ඊට ඉඩක් දුන්නේ නැත. ඩී. එස්. සේනානායක හා කෛරාටික ඔලිවර් ගුණතිලක යන අය පෙරමුණට ආ 1940ස් ගණන් වනවිට තමන් රැවටෙමින් ඉන්නාබව හාමුදුරුවරුන්ට වැටහෙන විට එය මෙම කළු සුද්දන්ට බලවත් තර්‍ජනයක් විය. මේ නිසා කලින් ධර්‍මපාලතුමාට පිංකැට හොරා යයි ලේබල් ගැසුවා මෙන් පොලිටිකල් මන්ක්ස් යනුවෙන් හාමුදුරුවරුන් හංවඩු ගැසීමට පටන් ගත්තේය. 1956 දී කළු සුද්දන් එලිපිට පරාජය වුවත් රාජ්‍ය සංස්ථාමය රාමුවේ බලය ඔවුන්ගෙන් ගිලිහුනේ නැත. අද වනවිට ඉන්නේ හංපඩයින්ගෙන්ද මිශ්‍රවුනු කළු සුද්දන් රැළකි. උඩ සිට පහලටම මන්ත්‍රීන්ලා දෙසත්, නිලධාරීන් හා එන්ජිිෝ කාරයින් දෙසත් බලන්න.
ඊළම් ව්‍යාපාරය මෙන්ම හානිකර වූයේ මාක්ස්වාදීන්ගේ බංගවේවා දේශපාලනයය. දුටුගැමුණු රජතුමා ගඩොල් මෝඩයෙක් යැයි කියා සිටි මොවුන්ට විරුද්ධව හාමුදුරුවරු අනුගමනය කලේ උපේක්‍ෂාවාදී ප්‍රතිපත්තියකි. ඊට තවත් හේතුවක් වූයේ විශේෂයෙන් විද්‍යාලංකාර හාමුදුරුවරු බුද්ධාගමේ ඇති සමාජවාදී ලක්‍ෂණ මාක්ස්වාදය හා ගැලපෙන බව ප්‍රකාශ කිරීමය. මෙහිදීද සිදුවූයේ හාමුදුරුවරු රැවටීමකට අසුවීම මය. දුප්පත් තරුණ හාමුදුරුවරු 1971 වනවිට ජේවීපී කැරළිකාරයින්ගේ පන්ති පහට ගියා වැනිමය. මෙම මාක්ස්වාදීන් ලංකාවට කල විනාශය අදත් එසේම කරගෙන යන්නේ කෙසේ හෝ යම් වලිගයක එල්ලී යම් බලයක් ලබාගැනීමේ ගිජුකම හා අනාථ භාවය නිසාය. නිල් හා කොල දේශපාලන හොරුන්ගේ නොමනා හා අයථා ක්‍රියා නිසා දුප්පත් ජනයා අතර යම් මතවාදයක් ගොඩනඟා ගන්නට මොවුන්ට අවකාශයක් ලැබී ඇත. මහින්ද රාජපක්‍ෂ-මෛත්‍රීපාල සිරිසේන යන සරම අඳින දේශපාලකයින්ගේ අකටයුතු ක්‍රියා නිසා දැන් පෙරටුගාමී පක්‍ෂයට ඔක්‍ෂිජන් ලැබෙන පරිදිය.
පංච මහා බලවේගය (1956-59) ලංකාවේ හාමුදුරුවරුන් හා ලංකාවේ කළු සුද්දන් අතර ඇතිවූ ගැටුමේ ඓතිහාසික අවස්ථාවකි. බුද්ධරක්ඛිත-සෝමාරාම යනු පසුව 1962 කුමණ්ත්‍රනයෙන් එලියට පැන්න කළු සුද්දන්ගේ බලය අල්ලා ගැනීමේ සටනේ ඉත්තන් දෙදෙනෙකි. හේන්පිටගෙදර ඥානසීහ/බද්දේගම විමලවංශ/කොටගම වාචිස්සර, කලල්‌ඇල්ලේ ආනන්දසංගාර යන හාමුදුරුවරු මේ අවධියේදී කැපී පෙනේ. පොලිටිකල් මන්ක්ස් කියමින් අපහාස කලාට ඩී එස් විසින් හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ව තම දේශපාලනයට යොදාගත්තේ බොරු පොරොන්‌දු දෙමින්‌ය. මෑත කාලයේ මාදුළුවාවේ සෝභිත හිමියන් රැවටුනා වගේය. 29 වගන්තිය යටතේ ආණ්ඩුව සරණං ගච්චාමි කියා පදයක් නැතිබව ඩිිෙස් ලැජ්ජාභයක් නැතිව කියා සිටියේ රටේ ඉතිහාසය හෝ භූගෝල විද්‍යව නොදත් නූගත් ඔහු, අයිවෝර් ජෙනින්ස්ගේ පඹයාවූ නිසාය.
සිවිල් සේවයේ එන්. කියු. ඩයස් මහතා කලිසම් කෝට් ගලවා දමා ජාතික ඇඳුම ඇඳගෙන වැඩට යාම 1956 විප්ලවයට පෙර ඔහු කල පුද්ගලික විප්ලවයය. ගුනපාල මලලසේකර මහතා තම ක්‍රිස්තියානි නම වෙනස් කලේය. එසේ වෙතත් මේ අය ප්‍රධාන ගිහි-පැවිදි පිරිස එක්තරා අන්දමේ අතරමංවීමකට පත්‌වූ බව කිංස්ලි ද සිල්වාගේ ජේ ආර් ජයවර්‍ධන චරිත කතා පොත කියවනවිට පෙනී යයි. 1956 ට පෙර තමන්ට නායකයෙක් නැතිකම නිසා ඔවුන් මුලින් ගියේ ඩඩ්ලි සේනානායක ලඟටය. ඔහු ක්‍රිස්තියානි මවකගේ පුතෙකි. ඔහු කියා ඇත්තේ බණ්ඩාරනායක ලඟට යන්නය කියාය. ඔහු ක්‍රිස්තියානි පරම්පාරවකින් ආ අයෙකි. මේ කාලයේ බෞද්ධ බලවේගය ගොඩනැඟූ එල් එච් මෙත්තානන්ද මහතා මාස කීපයක් තුලම බණ්ඩාරනායක ආණ්ඩුව විවේචනය කලේ අගමැතිවරයා නියම බෞද්ධ ප්‍රතිපත්ති නොදන්නා අයෙක්‌වීම නිසාය. උදාහරණයක් වශයෙන් සී සී දිසානයකට (රවි කරුණානායකගේ මවගේ පියා) පොලිස්පතිකම නොදුන්නේ ඔහු කතෝලිකයෙකුවීම නිසාය. මේ හැර ගිහි බෞද්ධ නායකයින් විසින් භාෂා ප්‍රශ්ණයේදී දෙමළ ජනයාට අසාධාරණ ලෙස සැළකුවේය.
ඉඩම් හා රට සභා ප්‍රශ්ණය ඉන් වෙන් කිරීමට ඔවුන් අසමත්‌වූවා පමණක් නොව ඉන් රටට හානියක් කිරීමට ජේ ආර්-ඩඩ්ලි දෙන්නාට මඟ පාදා දුන්නේය. ඉඹුල්ගොඩ වීරයාවූ ඩී එස් බණ්ඩාරණායක තරුණ මන්ත්‍රී අගමැතිට යෝජනා කලේ යූ එන් පී එකත් ආණ්ඩුවට හවුල් කරගන්නා ලෙසටත්, සිංහල හා දෙමළ ලිපිකරුවන් විශාල ප්‍රමාණයක් රජයේ සේවයට බඳවා ගන්නා ලෙසත්‌ය. ඒ වනවිට අගමැති සිටියේ මේ අදහස් තේරුම් ගැනීමට නොහැකි තරමට දේශපාලනයෙන් හෙම්බත්‌වීය. සිංහල බෞද්ධයින්ගේ නැතිවීගිය අයිතිවාසිකම් 1956 බුද්ධශාසන කොමිෂම් වාර්තාවේ සඳහන් වුවත්, සංස්කෘතික දෙපාර්තමේන්තුව, ශාසනාරක්‍ෂක සමිති වැනි යම් යම් වෙනස් කම් ඇතිවුවත් කළු සුද්දන්ගේ බලය හා ක්‍රිස්තියානී පෙඩරල් බලය ගැඹුරු මුහුදේ දියවැලක් මෙන් යටින් පැවතියේය. 1959 බණ්ඩාරනායක ඝාතනය හා 1962 පොලිස් කුමණ්ත්‍රනය අප දන්නා උදාහරණ දෙකක් පමණය.
මේ නිසා රටට අඳුරු යුගයක් (1960-1978), පෙඩරල්කාරයින් බලවත්‌වීම හා නිල් කොල රතු පක්‍ෂ මාරුවෙන් මාරුවට රට විනාශ කිරීම දිගටම සිදුවී අන්තිමේදී අධර්මිෂ්ඨ සමාජයක් (1978–2005) බිහිවිය. මාදුළුවාවේ සෝභිත හිමියන් මෙහිදී පෙරමුණ ගත්තේය. මහාචාර්ය සරච්චන්ද්‍රද ගුටි කෑවේය. ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ රාජ්‍යයක් පිහිටුවන්නට පොරොන්‌දුවීම මේ කාලයේදී සිදුවුයේ ඊට කලින් සෙනසුරාදා-ඉරිදා වෙනුවට පෙරපෝය-පෝය සති අන්ත නිවාඩු බොරුවක් අටවාය. ලෝකයේ කුඩා දිළිඳු රටක් වශයෙන් මෙය ප්‍රායෝගික නැත. බාහිර විප්ලවය සිදුවන්නේ සන්තානගත විප්ලවයක්ද සමඟ යයි ජේ. ආර් වෙනුවෙන් රට වටේ ගියේ බෞද්ධ දර්‍ශනය පිළිඹද මහාචාර්ය ඩබ්ලිව් එස් කරුණාරත්නය. ඔහුට ඒ ගැන කළකිරීමට වැඩිකාලයක් ගියේ නැත. ජේ. ආර් සමඟ ඇතිවූයේ අති දූෂ්‍ය, ඉතාමත් කැත සමාජයක් බිහිවීමත් රට තව තවත් ප්‍රපාතයට යෑමත්‌ය. ප්‍රේමදාස මහතාට හාමුදුරුවරුන් බලෙන් රැස්වීම්වලට ගෙනයාමට අවශ්‍යවූයේ ඒ නිසාය. ලංකාවේ කිසිම රජ කෙනෙක් නොසෑදු තරම් විහාර සංඛ්‍යාවක් ඔහු විසින් සැදෙව්වේද මේ නිසාමය.
මෙසේ රට ක්‍රමයෙන් බල්ලාට යන අවධියක සෝම හාමුදුරුවන්ගේ භූමිකාව (2000-2003) ඇතිවී නැතිවී ගියේය. ඒ වනවිට ලෝකයේ ශාරියා මුස්ලිම් ව්‍යාප්තිවාදයත්, ක්‍රිස්තියානි අන්‍යාගමීකරණයත්, ලෝක සමාගම් එන්ජිිෝ හරහා රටවල් සූරා කෑමත්, මෙහිදී රටවල් කැබලිකර සුනු විසුනු කිරීමේ කඩතුරාව ලෙස මානව හිමිකම් හුටපටයක් ඉස්සරහට දැමීමත් දිවයින පුරා පිළිකාවක්සේ පැතිර යමින් තිබිණ. චන්ද්‍රිකා යුගයේ ගෙනා පැකේජ් ඩීල් පැරදවූයේ භික්‍ෂූ බලවේගය විසිනි. මේ බලවේගවලට බොරු උත්තරයක් ලෙස දේශපාලන හොරු විසින් පිරිත් නූල් කඹ යුගයක් 2004 න් පසුව ආරම්භ කරන ලදී. ඇල්ලේ ගුණවංශ, අතුරැලියේ රතන හා ගලබොඩඅත්තේ ඥානසාර යන හාමුදුරුවරු ක්‍රියාශීලිවූයේ මේ කාලයේය. සිංහල උරුමය හා ජාතික හෙල උරුමය බිහිවිය. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට හාමුදුරුවරු රාජ්‍යපාලනයට, පාර්ලිමේන්තුවට ගියේ 2004 දීය. එහෙත් 1956 දී මෙන් එය අසාර්‍ථකවූයේ එය තුලට හතුරන් රිංගා ගෙන සිටීම නිසාය. මාක්ස්වාදී පෙඩරල්කාරයෙක් කතානායක වීම නිෂේධ කිරීම හා ආනන්දසංගාරීට මන්ත්‍රීධූරයක් පූජා කිරීම (හා ඒ මඟින් ඔහුගේ ජාතික අවංකභාවය පරීක්‍ෂාවට හසුකිරීම), දෙඟිඩියාවෙන් සිටි ජනාධිපතිට යුද්ධයට යෑමට බලකිරීම යන ක්‍රියා ඒ මඟින් සිදුකලත් අද රට වැටී ඉන්නේ කබලෙන් ලිපටය.
මේ රටේ 1948 න් පසුව ඇතිවිය යුතුව තිබූ සුද්දගෙ නීතියෙන් ගැලවීම සිදුවුනේ නැත. සුද්දගෙ නීතිය අපට එපා කීමෙන් අදහස් වන්නේ මේ රටේ සුළු ජන කොටස් වලට අසාධාරණයක් කිරීම නොවන බව පෙන්වා දීම ආරම්භකලේ බොදු බල සේනාව විසින් 2012 මැයි මාසයේදීය. රට කැබලි කිරීමේ තම ව්‍යාපාරය සඳහා උන්වහන්සේගේ යම් දුර්‍වලතා කළු සුදු පක්‍ෂ දේශපාලකයින් විසින් අල්ලාගත්තේ ධර්‍මපාලතුමාට ඒ කාලයේ නොයෙක් අපහාස කලා මෙන්‌මය. පණිවුඩකාරයා මරා දැමීමට බැලීමය. මෙහිදී ප්‍රමාදවී හෝ ඉදිරියට ආ අස්ගිරි පණිවුඩකරුවාට බැට දීමට යහපාලනකාරයින් තැත් කලේය. මේ මඟින් ඇතිවිය හැකි බලවේගය තුලට රිංගා එයට, 1956-59 හෝ 2000-03 දී සෝම හාමුදුරුවන්ට හෝ 2004 ජාතික හෙල උරුමයට හෝ කලදේම කිරිම පක්‍ෂ දේශපාලකයින්ගේ, එන්. ජී. ඕ. කාරයින්ගේ උපක්‍රමය විය. නිසි ලෙස සිතා නොබලා හදිසියේම, කළු සුද්දන්ගේ රැල්ලට හසුවී හාමුදුරුවරු පාර්ලිමේන්තුවට යනවාට අස්ගිරි-මල්වතු දෙපාර්‌ශය විරුද්‌ධ වන්නේ මෙසේ ඇමකෑම නිසා වියයුතුය. සංඝ කාරක සභා රැස්වීමක්ද නැතිවය.
නාමල් උයනේ වනවාසී රාහුල හිමියන් කියන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා විශ්‍රාම ගැනීම ඔහු කලයුතු නම්බුකාර ක්‍රියාවක් බවය. රතන හාමුදුරුවන් කියන්නේද මෙයය. එහෙත් බෙල්ලන්‌විල ධම්මරතන, මැදගොඩ අභයතිස්ස, බෙංගමුවේ නාලක යන හාමුදුරුවරු, රතන-ඥානසාර සුසංයෝගයෙන් බිහිවන බලවේගයට දොස් පවරන්නේ, ඒ දෙනම නඟන මූලික තර්‌කය අමතක කරගෙන හෝ පිටපොට පටලවා ගෙනය. කුරුණෑගලින් චන්දය නොිල්ලා ජාතික ලැයිස්තුවෙන් ඒමට මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කලේ මෙම තර්‌ක වලට ප්‍රසිද්‌ධියේ මුහුණ දීමට ඔහු අසමත් නිසාය. වල්පොල රාහුල හා යක්කඩුවේ හාමුදුරුවන් ලංකාව විනාශකලා යයි ලියන එච්. එල්. සෙනෙවිරත්නත්, උතුරේ ආණ්ඩුකාරයාව සිටි රඝුවානුත් මෑතකදී ලිව්වේ, රටේ තරුණ හාමුදුරුවරු එකතුව විප්ලවයක් කලයුතු බවය.
රතන හාමුදුරුවන්ට නාමයෝජනා නොදීම නිසා උන්වහන්සේ ඥානසාර හිමි සමඟ චන්දයට එනවා යයි මඩගැසීම, කැස්බෑවා හිස වැල්ලේ ඔබාගන්නවා වැනි ක්‍රියාවකි. පසුගිය මාස තුනේදී ගත හැකිව තිබූ ප්‍රතිපත්ති තීරණ (උදාහරණ වශයෙන් ඒක රටක්, එක නීතියක්, වස විසෙන් තොර රටක්, ගල් අඟුරු-තෙල් වලින් ගැලවීම) ගෝඨාභය මහතා විසින් නොගත්තේ තුනෙන් දෙකේ ප්‍රශ්ණයක් නිසා නොව, මුස්ලිම්-දෙමළ චන්ද පෙරේත කමට පරණ දේශපාලක රැල විසින් ඊට ඉඩ නොදීම නිසාය. මේ පරණ කළුසුද්දන්ට තාමත් නොතේරෙන දෙයක් නම් ගෝඨාභය දිණුවේ සිංහල බෞද්‌ධ චන්ද නිසා බවත්, පරණ සෙල්ලමටම ගියොත් සිංහල බෞද්‌ධ චන්ද නොලැබී යාහැකි යාහැකි බවත්‌ය. 13- ඒ අහෝසි කරනවා යයි කෙළින්ම මහජනයාට කියනවා වෙනුවට, අළුත් ව්‍යවස්ථාවක් ගේනවා යයි කීම ජනයා සළකන්නේ උගුරට හොරා බේත් කෑමේ උත්සාහයක් ලෙසය. 13-ඒ ගැන පොහොට්ටු පක්‍ෂය මෙතරම් භය ඇයි? 13-ඒ නිසා ලංකාව පෙඩරල් රටක් යයි සුප්‍රිම් උසාවිය තීරණය කර ඇති නිසා, ඒකීය රටක් කතාව සිංහල බෞද්‌ධ ජනයා රවටන බේගලයක් නොවේද? 2014 පරාජයට හේතුව සිංහල බෞද්‌ධ චන්ද අහිමිවීම මිස සුළු ජාතික චන්ද නැතිවීම නොවේ.
පොහොට්ටු පක්‍ෂය විසින් ජාති මාමක නමක් දෙකක් ජාතික ලැයිස්තුවට දමා ඇතත්, එම පක්‍ෂයේ ඇති කළුසුද්දන්ගේ බලය යටපත් කිරීමට ඔවුන්ට හැකිවේවිද? රට වෙනුවෙන් දිවි කැපකල හාමුදුරුවරු පාර්ලිමේන්තුවට යායුත්තේ මේ නිසාය. ඔවුන්ගේ අරමුණ මේ තාක් සිංහල බෞද්‌ධයින්ගේ අයිතිවාසිකම් ගැන නිහඬව සිටි (1948 සිටම එකම නීතියක් වත් සම්මත කර නැත) පාර්ලිමේන්තුවේ තීරක බලයක් ලබා ගෙන ගෝඨාභය මහතාට ශක්තිය ලබා දීමය. 1948 සිට මහානායක හිමිවරු හැම පැත්තෙන්ම අසාර්‌ථක වී නැද්ද? මෙය කළු සූද්දන් 1948 සිට මන්ත්‍රීන් වශයෙන් අසාර්‌ථක වුණා වැනිමය. කොටින්ම කියනවා නම් කොසොල් රජතුමාගේ සීන දාසැය සැබෑවී තිබියදී ඊට මුහුණ දීමට මේ පන්සල් දෙක කලේ කුමක්ද? රටේ අධ්‍යාත්මික නායකත්‌වයක් තමන්ට ඇතැයි සිතනවා නම්, රට මෙතරම් ප්‍රපාතයට යෑම ගැන මේ මහානායක හිමි වරු දෙන්නාද, පක්‍ෂ දේශපාලකයින් මෙන්ම ඊට වගකිව යුතු නොවේද?
මෙතෙක් සිදුවන හැම දෙයකින්ම පෙනෙන්නේ ගෝඨාභයට රට ගලවා ගත හැකි බවත්, මහින්ද රාජපක්‍ෂ හා ඔහුගේ ගෝල බාල කළු සුද්දන් ඊට හරස් නොවිය යුතු බවත්‌ය. ගතානුගතික දේශපාලකයෙක් වන මහින්ද රාජපක්‍ෂ මහතාට, ඒ කාලයේ, එක පැත්තකින් මර්වින් සිල්වා-සජින් වාස් ගුණවර්‌ධනගේ සිට අනිත් පැත්තෙන් දයාන් ජයතිලක වැනි දාර්‌ශනික කළු සුද්දන්ගෙන් හා තමන් වටා ඉන්නා පෙඩරල්හිතවාදී, බහු ජාතික-සර්‌වාගමිකවාදී සිංහල ඇමතිවරුන්ගේ ග්‍රහණයට අසුවී සිටියා මෙන්, දැනුත් පරණ වයින් පරණ බෝතල් වල දමන්නට හදනවාද යන සැකයක් රටේ මතුවෙමින් පවතී. මේ නිසා රෑ වටුන වලේ දවල් නොවැටී, චන්දයෙන් පාර්ලිමේන්තුවට ගියත් නැතත් රතන-ඥානසාර බලවේගය ජනාධිපති ගෝඨාභය පිටු පසින් සෙවනැල්ලක්සේ සිටිනවා ඇත.