විග්නේස්වරන්ගේ දෙමළ ජාතිවාදය
Posted on March 16th, 2015

නලින් ද සිල්වා

ඇතැමුනට අනුව ඉතාම විෂම ජාතිවාදී අදහස් ලියන්නේ මා ය. ඔවුන් මෙහි දී ජාතිවාදය යනුවෙන් අදහස් කරන්නේ ඊනියා සිංහල ජාතිවාදයකි. මේ අයට දෙමළ ජාතිවාදයක් නැත. එහෙත් මේ රටේ කිසි දිනෙක සිංහල ජාතිවාදියක් තිබී නැත.

සිංහලයෝ පෘතුගීසීන්ගෙන් කරදර විඳි මුස්ලිම් ජනයා ආරක්‍ෂා කළහ. මුස්ලිම් ජනයා වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කරනු ලැබුයේ සිංහල රජවරුන් විසිනි. ඉන්පසු කතෝලික ජනතාව ලන්දේසි රෙපරමාදුන්ගෙන් ආරක්‍ෂා කරනු ලැබුයේ සිංහල බෞද්ධයන් විසිනි. මාතලේට නුදුරු වහකෝට්ටේ කතෝලික ජනතාවක් පදිංචි වී සිටින්නේ ඒ අනුග්‍රහයෙනි. මෑතක දී සාන්තුවරයකට ඔසවනු ලැබූ ජුසේ ද වාස් පියතුමාට තම ආගමික ප්‍රචාරක කටයුතු කරගෙන යෑමට සිංහලේ රජුගෙන් අනුග්‍රහය ද ලැබිණි. ඒ බවක් සාන්තුවරයට උසස් කිරීම පිළිබඳ උත්සවවල වාර්තාවක දැකගන්නට හෝ අසන්නට හෝ නොලැබීම කණගාටුදායක ය. කෙසේ වෙතත් තමන් ලැබූ බටහිර අධ්‍යාපනය (සිංහල මාධ්‍යයෙන් ලැබුවත් බටහිර අධ්‍යාපනය අවසානයේ දී සේවය කරන්නේ බටහිර යටත්විජිතවාදයට ය) හා විවිධ හේතු නිසා සිංහල සමාජය සමග ඇති වෛරය හේතුවෙන් සිංහල ජාතිකත්වයට එරෙහි මනස් ඇති මේ පඬියන් සිංහල ජාතිවාදය යැයි කියන්නේ සිංහල ජාතිකත්වයට ය. මේ පුස්සන් කියන්නේ සිංහල ජාතිකත්වය වෙනුවෙන් මා නොබිඳිය හැකි තර්ක ඉදිරිපත් කරන බව ය. පුස්සන් කීව ද එය අගය කළ යුතු ය.   

මෙරට දෙමළ ජාතිවාදය ඇති කළෝ ලන්දේසීහු ය. ඔවුහු තමන්ගේ දුම්කොළ වගාව සඳහා වත්මන් දකුණු ඉන්දියාවෙන් වෙල්ලාල කෘෂිකාර්මික කම්කරුවෝ ලංකාවට ආනයනය කළහ. ඉන් පෙර නාගදීපයේ (යාපන අර්ධද්වීපයෙහි) සෙසු පළාත්වල මෙන් ම  බහුතරය සිංහලයෝ වූහ. සිංහලයන් කුලී වැඩ නොකිරීම මෙහි දී ද බලපෑ ප්‍රධාන සාධකයක් විය. ඒ් අතර ලන්දේසිහු සිංහල රජුගෙන් නැගෙනහිර වෙරළ තීරය ලබාගැනීම සඳහා දෙමළ ජනයාට බොරු ඉතිහාසයක් ලිවීමට අනුබල දුන්හ. යාපන වෛපව මාලෙයි නමින් හැඳින්වෙන කවි පොත ඊනියා ඉතිහාස පොතක් ලෙස අර්ථකථනය කරනු ලැබිණි. දෙමළ ජනයා විජයගේ කාලයේ සිට ලංකාවේ පදිංචි බව කියැවෙන්නේ ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් ලියැවුණු මේ කවි පොතෙහි ය.

ඉංගිරිසිහු වරප්‍රසාද, තනතුරු ආදිය මගින් වෙල්ලාලයන් සමාජයේ ඉහළට එසවූහ. පොන්නම්බලම් රාමනාදන් ඇතුළු දෙමළ නායකයෝ මේ ගණයට අයත්වූහ. උතුරු පළාතේ මහා ඇමති විග්නේස්වරන් ද අයත් වන්නේ මේ කුලකයට ය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උතුරු පළාතට ගිය අවස්ථාවේ දී මහා ඇමති විග්නේස්වරන් ජනාධිපති හා වෙනත් අය අමතා කළ කතාවක කියා ඇත්තේ මෙරට දෙමළ ජනයා වෙන ම ජාතියක් බව ය. මෙය අලුත් කතාවක් නො වේ. චෙල්වනායගම් නාගනාදන් ආදීහු අවුරුදු හැත්තෑවකට පමණ පෙර ද මේ කතාව කීවෝ ය. එයට පෙර අරුණාෂලම්ලා ද රාමනාදන්ලා ද සුන්දරලිංගම්ලා ද ඒ වචනවලින් ම නොවූවත් ඒ අදහස ප්‍රකාශ කළහ. 1976 වඩුකොඩෙයි සම්මේලනයේ දී ඒ කතාව යෝජනාවක් ලෙස සම්මත කෙරිණි.

විග්නේස්වරන් උතුරු පළාතේ මහා ඇමති ලෙස ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඇතැම්හු ඔහුගේ උගත්කම, විදග්ධභාවය, පෞරුෂය, සත්‍යගරුකබව ආදී වශයෙන් ගුණ ගැයූහ. ඇතැම් ඊනියා උගත් සිංහලයෝ ද එයට එකතු වූහ. ඔවුන්ට අනුව විග්නේස්වරන් කොළඹ හැදී වැඩී සිංහලයන් ගැන දත්තෙකි. ඔහුට උසස් පාසල් අධ්‍යාපනයක් ලැබී ඇත. ඔහු ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවෙක් විය. ඔහු අනෙක් බොහෝ දෙමළ දේශපාලනඥයන්ට වඩා වෙනස් ය ආදී වශයෙන් නගරවල හැදුණු වැඩුණු සිංහලයන්ගෙන් ඇතැම්හු විග්නේස්වරන් ගුණ ගැයුහ. 

එහෙත් මේ බොහෝ අය අමතක කළ කරුණක් වූයේ පැරණි දෙමළ දේශපාලන නායකයන්ගෙන් ද බොහෝ් දෙනා කොළඹ උගත් අය බව ය. දෙමළ ජාතිවාදය 1833 දී ඉංගිරිසින් විසින් දේශපාලන වශයෙන් බෞතීස්ම කරනු ලැබුයේ ම දෙමළ වෙල්ලාල ප්‍රභූන් යොදා ගනිමිනි. සාමාන්‍ය දෙමළ ජනයාට දෙමළ ජාතිවාදයක් නො තිබුණේ ය. දෙමළ ජාතිවාදය තිබුණේ ම ප්‍රභූ වෙල්ලායන්ට ය. ඔවුන් අතරින් ද ඉංගිරිසි උගතුන්ට ය. ඔවුන්ට තිබූ ප්‍රශ්නය වූයේ රටේ නායකත්වය තමන් අතට ගැනීම ය. රටේ ජනගහනයෙන් ඊනියා ලාංකික දෙමළ ජනයා  සියයට දහයක් පමණක් වුවත් ඉංගිරිසි උගතුන් අතර දෙමළ ජනයා බහුතරය විය. මේ බහුතරය ඉංගිරිසින් විසින් අධ්‍යාපනය මගින් ඇති කරන ලද්දකි.

1833 දී ඉංගිරිසින් විසින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට නිල නොලත් මන්ත්‍රීවරු හයදෙනෙක් පත්කරනු ලැබූහ. ඉන් තිදෙනෙක් යුරෝපියයෝ වූහ. සිංහල, දෙමළ, බර්ගර් ජනයා වෙනුවෙන් එක් මන්ත්‍රීවරයකු බැගින් මන්ත්‍රීවරු තුන්දෙනෙක් පත්කරනු ලැබූහ. එය මෙරට දෙමළ ජාතිවාදය දේශපාලන වශයෙන් බෞතීස්ම කරනු ලැබූ අවස්ථාව ය. ඉන්පසු සිදුවූයේ දෙමළ ප්‍රභූන් ක්‍රමයෙන් මෙරට දේශපාලන නායකත්වය තමන් යටතට ගැනීම ය.  

ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ රටේ නායකත්වයට ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල ප්‍රභූන් පත්කිරීම ය. දෙමළ ප්‍රභූන්ට තමන් සිංහලයන්ට වඩා උසස් ය යන හැඟීම විය. මේ අදහස් ඉංගිරිසින් විසින් මෙන් ම දකුණු ඉන්දියාවේ දෙමළ කතෝලික උගතුන් විසින් ද පෝෂණය කෙරිණි. දෙමළ ජාතිවාදයේ න්‍යායික නායකත්වය මුල දී සැපයුනේ වත්මන් තමිල්නාඩුවේ දෙමළ කතෝලික පූජකවරුන් අතිනි. අදත් ලංකාවේ ඒ සම්ප්‍රදාය දිගට ම පැවැත්වෙයි.

විග්නේස්වරන් ඉතා පැහැදිලි ව ම දෙමළ ජාතිවාදියෙකි. දෙමළ ජාතිවාදීහු සිංහල ජාතිකත්වයට මෙරට හිමි විය යුතු තැන ලබා නොදීමට කටයුතු කරති. අපේ රටේ ඇත්තේ අවුරුදු පන්සියයකට අධික කාලයක් තිස්සේ සිංහල ජාතිකත්වයට හිමි තැන නො ලැබීම ය. විග්නේස්වරන් තමා කොළඹ දී ලැබූ අධ්‍යාපනය හා ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරකම තම දෙමළ ජාතිවාදය වසා ගැනීමට යොදා ගනියි.  විග්නේස්වරන් පොන්නම්බලම් අරුනාෂලම්ගෙන් වෙනස් නො වෙයි. වෙනත් වචනවලින් කිවහොත් අරුනාෂලම් විග්නේස්වර්ගෙන් වෙනස් නො වේ. අරුනාෂලම් මෙරට ප්‍රථම ලාංකික නීතිපති වූ බව ද ඔහු ඒ තනතුරට පත්කරන ලද්දේ ඉංගිරිසින් විසින් බව ද අමතක නොකළ යුතු ය. 

1833 සිට පැවති දෙමළ ජාතිවාදය දෙමළ බෙදුම්වාදයක් බවට පත්වූයේ දෙමළ නායකයන් සිංහල බහුතරය හමුවේ සර්වජන ඡන්දයෙන් පසු රටේ නායකත්වයට පත්විය නොහැකි බව තේරුම් ගැනීමෙන් පසු ය. සුන්දරලිංගම්ලා චෙල්වනායගම්ලා නාගනාදන්ලා කරළියට පැමිණියේ ඉන් පසු ය. ඔවුහු ද ඉංගිරිසි අධ්‍යාපනයක් ලැබූ උගත්තු වූහ. දෙමළ බෙදුම්වාදය යුක්තියුක්ත කෙරුණේ ඊනියා දෙමළ ජාතිය, ස්වයංනීර්ණ අයිතිය ආදී සංකල්ප යොදා ගනිමිනි. එහෙත් මෙරට ජාතික ව්‍යාපාරයට මේ දෙමළ ජාතිවාදී අදහස පරාජය කිරීමට හැකි විය. පසුව දෙමළ බෙදුම්වාදය මත පදනම් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වය යටතේ අපේ රණවිරුවන්ට හැකි විය. ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර පඬියන් තේරුම් නොගත්ත ද එහි දී  පංචෙන්ද්‍රිය ගෝචර නොවන බලවේගවල ශක්තිය ද අපේ හමුදාවන්ට ලැබිණි. දෙමළ ජාතිවාදීහු පසුබැස්සෝ ය.

එහෙත් අද සිංහල ජාතිකත්වය තරමක් පසු බැස ඇත. මහින්ද රාජපක්‍ෂ මහතා  පරාජය කිරීමට සියලු විජාතික (දේශීය හා විදේශීය) බලවේග එකතු විය. දෙමළ ජාතිවාදය අද නැවතත් ඉදිරියට පැමිණ ඇත. විග්නේස්වරන් ඊනියා දෙමළ සංහාර ගැන පළාත් සභාවේ යෝජනා සම්මත කර ගනියි. ඒ අතර ජනාධිපති ඉදිරියේ දී ම වෙන ම දෙමළ ජාතියක් ගැන කතා කරයි. මේ නැවතත් දෙමළ ත්‍රස්තවාදයට පසුබිම සකස් කිරීමකි. චෙල්වනායගම් නොවන්නට ප්‍රභාකරන් නැත. එහෙත් ඇතැම් සිංහලයන් ද සිතන්නේ චෙල්වනායගම් සාන්තුවරයකු වූ බව ය. එහෙත් ඔහු සිංහලයන් කෙරෙහි වෛරී දේශපාලනයක නිරත විය. 

නැති දෙමළ ජාතියක් ගැන කතාකිරීමෙන් විග්නේස්වරන් කරන්නේ වැඩි කලක් නොගොස් ම ප්‍රභාකරන් කෙනකු ඇති කිරීම ය. මෙරට තබා ඉන්දියාවේවත් (භාරතයේවත්) කිසි දිනෙක දෙමළ ජාතියක් තිබී නැත. එකල වත්මන් දකුණු ඉන්දියාව් චෝල, චේර පාණ්ඩ්‍ය ආදී වාංශික රාජ්‍ය පමණක් තිබී ඇත. එහෙත් වාංශික රාජ්‍ය තිබූ පමණින් දෙමළ රාජ්‍ය තිබිණි යැයි කිව හැකි නො වේ.  ලංකාවේ ඉංගිරිසින්ට විරුද්ධව දෙමළ නායකයන් කළ සටනක් නැත. දෙමළ ජනයා ඒ සඳහා කිසිවක් කර නැත. මෙරට දෙමළ වෙල්ලාල ප්‍රභූන් කර ඇති එකම කාර්යය ඉංගිරිසින්ගේ බළල් අතක් ලෙස සිං්හල ජාතිකත්වයට එරෙහිව ක්‍රියා කිරීම පමණකි. අද අවශ්‍ය වන්නේ බටහිරයන්ට හා යටත්විජිතවාදයට විරුද්ධව සිංහලයන් සමග එකතු වී කටයුතු කළ හැකි දෙමළ නායකත්වයකි. එය කිසි දිනෙක විග්නේස්වරන්ලා, සම්බන්ධන්ලා, සුමන්තිරන්ලා අතින් සිදු නො වේ.  අපට එවන් නායකත්වයක් දෙමළ ජනයා අතරෙන් බිහිකරගත හැකි නම් දෙමළ ජාතිවාදය මුළුමනින් ම අතුගා දැමිය හැකි ය. සිංහලයෝ බහුතරය ජාතිකත්වයක් මත පිහිටා යටත්විජිතවාදීන්ට එරෙහිව සටන් කළහ. අදත් සටන් කරති. බටහිරයන් පසුපස යන නිවට පඬියන් කිහිප දෙනකු කුමක් කීව ද එ ජා පක්‍ෂය සිංහල විරෝධී මතයක සිටිය ද බහුතර සිංහලයෝ යටත්විජිතවාදයටත් එය විසින් පෝෂණය කෙරෙන දෙමළ ජාතිවාදයටත් දෙමළ බෙදුම්වාදයටත් විරුද්ධ වෙති. ජනාධිපතිවරණයේ දී සිංහලයන්ගෙන් 58%ක් පමණ ඡන්දයකින් ඒ බව ප්‍රකාශ විය.   

නලින් ද සිල්වා

2015 මාර්තු 15

One Response to “විග්නේස්වරන්ගේ දෙමළ ජාතිවාදය”

  1. ranjit Says:

    Prof.We have to arrange mass protests in towns and cities against this Jarapalana Govt instead of town meetings here and there. We have to show these traitors how strong we are and how many were against them for their dirty way of Governance. There isn’t a single person in this Govt whom we can trust or we can say good. They have come to destroy the freedom and peace we got with a price after thirty years of war. We the Sinhalese cannot sleep and do nothing while the Tamil & Muslim terrorists come and do things which is very dangerous to the sovereignty of the nation. Without MR & Gota we feel naked and lifeless. People live in fear nobody knows what will happen next with this Jarapalanaya we have today. Wake up Sinhalese to fight the enemy together and bring peace to the nation we love so dearly.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress