පඬියන්ගේ සිංහල ජාතිවාදය
Posted on March 17th, 2015

නලින් ද සිල්වා

පසුගිය දිනෙක රාජ්‍ය මාධ්‍යයක දිවයින හා රිවිර පුවත්පත් විවේචනය කරමින් එක් පඬියකු ලිපියක් ලියමින් මා සම්බන්ධයෙන් කියා ඇත්තේ මා ජාතීන් අතර සංහිඳියාවට අකුල් හෙළන විසකුරු ම මතවාද පතුරුවන පුද්ගලයා ලෙස ඉතිහාසගත ව සිිටින බව ය. ඔහු මා විදුසර පුවත්පතට ලියන ලිපි ගැන ද සඳහන් කරමින් ව්‍යංගයෙන් කියන්නේ අද වෛද්‍යවරුන් ඉංජිනේරුවන් බවට පත්ව සිටින ඇතැම් අය ඒ ලිපි කියවා  ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් පෙළෙන බව ය.

රාජ්‍ය මාධ්‍යයේ සදාචාරයට අනුව වෙනත් ජන මාධ්‍යයක නම සඳහන් කර පහර ගැසීම සුදුසු වුව ද ඉරිදා දිවයින ඒ සදාචාරය අනුගමනය නොකරන බැවින් මගේ නිදහස සීමාවෙයි. රනිල් වික්‍රමසිංහ මහතාට ආවඩන තවත් ඥාති පෞද්ගලික පුවත්පතක තීරු ලිපියක ද එය ම නොවුන ද කිට්ටු අදහසක් පළකර තිබිණි.  

මේ පුස්සන් සිංහල ජාතිවාදය යනුවෙන් හඳුන්වන්නේ සිංහල ජාතිකත්වය ය. සිංහල ජාතිකත්වය යටත්විජිත විරෝධී ය. හදවතින් යටත්විජිතවාද විරෝධීන් වන මාක්ස්වාදීන් කිහිප දෙනකු හැරෙන්නට හදවතින් යටත්විජිතවාද විරෝධීන් වනුයේ සිංහලයන් පමණකි. බොහෝ මාක්ස්වාදීහු පොතපත කියවා බුද්ධිය කුරුවළු කරවාගත් පසු හදවතින් යටත්විජිතවාද විරෝධීහු නො වෙති. ඔවුන්ගේ යටත්විජිතවාද විරෝධය පොතට සීමා වෙයි. ඒ පොතේ යටත්විජිතවාද විරෝධය සිංහල ජාතිකත්ව විරෝධයක් බවට පත්කර ඇත. අද බොහෝ මාක්ස්වාදීන් යැයි කියාගන්නා අය  සිංහල ජාතිකත්ව විරෝධීහු හා මහින්ද විරෝධීහු වෙති.

පුස්සන්, මාක්ස්වාදීන් ආදීන් මා ජාතිවාදයකු යැයි කීම මට ප්‍රශ්නයක් නො වේ. ඔවුන් ඔවුන්ගේ භාෂාවෙන් කියන්නේ මා සිංහල ජාතිකත්වය වෙනුවෙන් බිඳිය නොහැකි තර්ක අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ ගෙනැවිත් ඇති බව ය. ඇතැම් සිංහල ජාතිකවාදීන් ඒ මතය සමග එකඟ නොවන බව ද මම දනිමි. ඒ ඔවුන්ගේ කුහකත්වය හේතුකොටගෙන ය. එය ද මට ප්‍රශ්නයක් නො වේ. මගේ යටත්විජිතවාද විරෝධය දැනුමට ද පැතිර යයි. මා බටහිර විද්‍යාවට විරුද්ධ වන්නේ ප්‍රධාන වශයෙන් ම එහි ඇති ආධිපත්‍යවාදය හේතුවෙනි. යටත්විජිතවාදයට විරුද්ධ වන්නකුට බටහිර විද්‍යාවට හා පොදුවේ බටහිර දැනුමට ආවැඩිය නො හැකි ය, එහි අනුගාමිකයකු විය නො හැකි ය. 

පඬියන් හා මාක්ස්වාදීන් ඊනියා සිංහල ජාතිවාදයක් ගැන අද කතාකරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙනි. රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා දිවයිනට හා රිවිරට එරෙහිව නමින් ම තර්ජනය කළේ ඊනියා ජනමාධ්‍ය සදාචාරයක් වෙනුවෙන් නො වේ. ඔහු තම තර්ජනාංගුලිය එසෙව්වේ ඊනියා ජාතිවාදය පතුරවන ජනමාධ්‍යවලට විරුද්ධව ය. රනිල් වික්‍රමසිංහ මහතාට හා එ ජා පක්‍ෂයට අද වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය වෙයි. ඔවුන් සිතන්නේ ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ලැබූ ඡන්ද එ ජා පක්‍ෂයට හා ඔවුන්ට හිතවත් දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවලට ලැබී ජයග්‍රහණය කර  ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වේය කියා ය. මැතිවරණය කල් ගියහොත් තමන්ට ඒ ඡන්ද ප්‍රමාණය නොලැබෙනු ඇතැයි ඔවුහු සිතති. 

ඔවුන්ගේ උපකල්පන නිවැරදි නො වේ. අපේ අරමුණ උපකල්පන පිළිබඳ විග්‍රහයක් කිරීමට ද නො වේ. එහෙත් ඊනියා සිංහල ජාතිවාදය එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන්ගේ මෙන් ම අනුගාමිකයන්ගේ ද ආධාරකාරයන්ගේ ද  සුබ පතන්නන්ගේ ද හිත්වල හොල්මන් කිරීමට පටන් ගෙන ඇත. මේ සියල්ලෝ  ම විවිධ හේතු නිසා සිංහල ජාතිකත්ව විරෝධීන් බවට පත්ව සිටිති. ඇතැමුනට ඇත්තේ බටහිර යටත්විජිවාදී මනස ය. පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අපට ලැබෙන්නේ බටහිර ගැති මනසකි. බටහිර විද්‍යාවේ ආධිපත්‍යය අද මුළු මහත් ලෝකය සිසාරා පැතිර ගොස් ඇත. ඒ ආධිපත්‍යය මත පදනම් වෙමින් බටහිර දැනුම විසින් අපේ මතවාද අදහස් ප්‍රවාද සංකල්ප ආදිය හසුරුවනු ලැබෙයි. ඇතැමුනට තමන් කුඩා කළ විඳි දුක් ගැහැට සිංහල සමාජය විසින් ඇති කරන ලද්දක්  සේ පෙනෙයි. එය බටහිර සමාජ ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුහු නො දකිති. ඔවුන්ට සිංහල සමාජය හා සිංහල ජාතිකත්වය කෙරෙහි ඇත්තේ වෛරයකි. රනිල් වික්‍රමසිංහ මහතාගේ සිට විවිධ පඬියන් දක්වා මේ සිංහලත්ව විරෝධය, එසේත් නැතහොත් සිංහල ජාතිකත්ව විරෝධය පැතිරී ඇත. 

දෙමළ සමාජයේ දැඩි කුල පීඩනයක් තිබුණ ද ඔවුහු ඒ සියලු පීඩන සිංහල ජාතිකත්වයට එරෙහිව පෙළ ගස්වති. ඔවුන්ගේ බටහිර යටත්විජිතවාදයට විරුද්ධවීමක් නැත. බටහිර යටත්විජිතවාදයට හදවතින් ම විරුද්ධ වූවෝ සිංහලයෝ ම වෙති, උඩ සිට ක්‍රියාත්මක වන දෙමළ සමාජය ඉංගිරිසි අධ්‍යාපනයෙන් යටත්විජිතවාදීන්ට අවශ්‍ය ආකාරයට සකස් කිරීමට හැකි වුව ද සිංහල බහුතරය වෙනස් කිරීමට සුද්දන්ට නොහැකි විය. සුද්දන්ට කළු සුද්දන් යම් ප්‍රමාණයක්ව බිහිකර ගැනීමට හැකි වුව ද බහුතර සිංහලයෝ අදත් මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දෙති. මහින්ද රාජපක්‍ෂ මහතාගේ අඩුපාඩුකම් නැතැයි අපි නො කියමු. එහෙත් ඒ මහතා වත්මනෙහි යටත්විජිත විරෝධී අරගලයෙහි නායකයා ද සංකේතය ද වෙයි. 

රනිල් වික්‍රමසිංහ මහතා අද ව්‍යාජ ජාතිකත්වයක් මවා ගැනීමට සැරසෙන්නේ මැතිවරණයේ දී ඔහුගේ සිංහල විරෝධත්වය මතුවන බව දන්නා බැවිනි. ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය බටහිර ගැති ය. ඉන්දියාවට පක්‍ෂපාති ය. චීන විරෝධී ය. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වුවත් විදේශ ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහ මහතාගේ ය. මංගල සමරවීර මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ මිස මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විදේශ ඇමති නො වේ. අද එංගලන්තයේ ඩේවිඩ් කැමරන් ලංකාවට පැනලා ආධාර කිරීමට සූදානමින් සිටියි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන ලේකම් ෆෙල්ට් මේ ආණ්ඩුවට ස්තොත්‍ර ගයයි. ඔහුට අනුව ආණ්ඩුව තව තවත් දෙමළ ජාතිවාදයට කප්පන් ගෙවිය යුතු ය. තව තවත් අධිආරක්‍ෂිත කලාප නැති කර ඒ ඉඩම් දෙමළ ජනයාට බෙදා දිය යුතු ය. 

පසුගිය ආණ්ඩුව ඉඩම් අක්කර විසදාහක් පමණ ආපසු දෙමළ ජනයාට දී ඇති විට, මේ ආණ්ඩුව අක්කර දාහක් දීම ප්‍රශ්නයක් කර ගත යුත්තේ ඇයි දැයි ගණිතය නොතේරෙන ඉලක්කම් පමණක් දන්නා ඇමතිවරයකු ප්‍රශ්න කර ඇත. ඉඩම්වල වැදගත් කම මැනෙන්නේ අක්කර ගණනින් නොව අධි ආරක්‍ෂිත කලාප ලෙස ඒ ඉඩම්වල පිහිටීම හා වෙනත් කරුණු මත ය. පලාලේ ගුවන් තොටුපල ආසන්න ඉඩම්වල වැදගත්කම අමුතුවෙන් කිවයුතු නො වේ. 

මේ අතර ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කලාපීය අධ්‍යක්‍ෂවරයකු ලංකාව ඒකාධිපති ආණ්ඩුවක් පෙරළා දැමීමට සමත් වී ඇති බව ප්‍රකාශ කර ඇත. මෙරට ආණ්ඩු ඒකාධිපති ද නැත් ද යන්න තීරණය කරන්නේ ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව ද? ඉතා පැහැදිලි ව ම බටහිර රටවල් හා ඉන්දියාව මේ ආණ්ඩුව රකියි, ඒ වෙනුවෙන් පෙනී සිටියි. ඇමරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා තිබුණේ මේ ආණ්ඩුව පත් කළේ තමන් බව ය. 

රනිල් වික්‍රමසිංහ මහතා තම බටහිර ගැති ඉන්දීය පක්‍ෂ චීන විරෝධ විදේශ ප්‍රතිපත්තිය හා සිංහල ජාතිකත්ව විරෝධ ප්‍රතිපත්තිය හෙළිදරවු වීම වැළැක්වීමට උත්සාහ කරයි. රිවිරට හා දිවයිනට ඔහු විරුද්ධවන්නේ ඒ පුවත්පත් සිංහල ජාතිකත්වයට පක්‍ෂය යන පදනමෙනි. ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යාජ ඉන්දීය විරෝධයක් ද  මවා ගැනීමට උත්සාහ කරයි. ඉන්දීය අගමැතිවරයකු ලංකාවට පැමිණ ඇත්තේ අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම හා ඒ මගින් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අප මත පැටවීමට පැමිණි රජිව් ගාන්ධි පැමිණියාට පසුව ය. මෝදි මෙහි පැමිණියේ කිනම් එකඟතාවකට පැමිණීමට ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. අද ලංකාණ්ඩුවේ ඇත්තේ චීන විරෝධයකි. ඒ බව ඉන්දියාව ද පිළිගෙන ඇත. ඉන්දියාවට අනුව අද ලංකාව චීන විරෝධී ය.  

මේ බටහිර ගැති ඉන්දීය පක්‍ෂපාති චීන විරෝධී විදේශ ප්‍රතිපත්තිය වසං කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබීමට කතාකර අනාගත්තේ ය. ඔහුට ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ ද ජනමාධ්‍යයේ ද විරුද්ධතාවක් ඇති විය. ඔහු අපට ඉන්දීය විරෝධයක් පෙන්වීමට ගොස් තරමක් අමාරුවේ වැටුණේ ය.  දේශපාලනයේ අවුරුදු තිහකට අධික කාලයක් ගත කළ ද රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයකු ලෙස තවමත් රාජ්‍ය පාලනයේ කෝඩුකාරයෙකි. සිංහල විරෝධී දේශපාලනයක යෙදෙන රනිල් වික්‍රමසිංහ මහතාට සිංහල ජාතිකත්වය නයාට අඳුකොළ මෙනි. ඔහු සිංහල ජාතිකත්වයට බය ය. ඔහු ඊනියා ජාතිවාදයක් ගැන කතාකරන්නේ මේ බිය නිසා ය.    

නලින් ද සිල්වා

2015 මාර්තු 15

3 Responses to “පඬියන්ගේ සිංහල ජාතිවාදය”

  1. anura seneviratna Says:

    Helabasa fonts bari nisaaye mese, Nalinge mema lipiyata imahath pesasum – Jayaweva!

  2. Leela Says:

    මුහුදු සීමා කඩන ඉන්දීය ධිවරයන්ට වෙඩි තැබිය යුතු යයි බොරු පාරම් බාන දොන් ජුවන් රනිල් 2003නේදී TNL වැඩ සටහනක දී කිවේ ඔහුට යුද්ධ කිරිමට බැරි බවත් කොටි සමග යුද්ධ කිරීමට අවශ්‍ය නම් වෙනත් නායකයෙකු සොයා ගත යුතු බවත්ය.

  3. Wickrama Says:

    Anura,

    සිංහලෙන් කෙටි comment එකක් දාන්න ඕන නම් මේක පාවිච්චි කරන්න.

    http://www.google.com/intl/si/inputtools/try/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress