වෙද මහත්තයා
Posted on August 11th, 2015

 වෛද් රුවන් එම් ජයතුංග 

සිංහරත්න වෙද මහත්තයා පාරම්පරික වෙදෙකි. ගුලි, කල්ක පිළිබඳ මනා දැනුමක් තිබෙන සිංහරත්න වෙද මහත්තයා නිතරම සිංහල වෙදකම පාරට්ටු කළේ ගෞරවයෙනි.

“අපේ මේ වෙදකම එන්නේ රාවණාගේ කාලේ හිටං. ඕනෑම ලෙඩකට බෙහෙත් අපේ පුස්කොළ පොත්වල ලියලා තියෙනවා. ඉස්සර කාලේ අපේ වෙද්දු මොලේ ශල්‍යකර්ම පවා කරලා තියෙනවා”

තැපැල් මහත්තයා සිංහරත්න වෙද මහත්තයා සමග ඉඳ​හිට වාද කළේය.  ඉංග්‍රීසි බෙහෙත් වලට පුරුදුව සිටි තැපැල් මහත්තයගේ දියවැඩියා බෙහෙත් වල අගුණ කියාපෑමට සිංහරත්න වෙදමහතා පැකිලූණේ නැත.

vedamahattaya

” බලන්න තැපැල් මහත්තයෝ,  ඔහේ දියවැඩියාවට ඔය කොච්චර කරල් ගන්නවද? දැන් අවුරුදු දෙකයි. කෝ, ලෙඩේ සනීපද?

පරාදවීමට අකමැතිවූ තැපැල් මහත්තයා සිංහරත්න වෙදමහත්තයාගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ තවත් ප්‍රශ්නයකිනි.

” ඉතිං සිංහල වෙදකමේ දියවැඩියාව නිට්ටාවට සුවකිරීමට බෙහෙත් තියෙනවද?

“නැතුව  තැපැල් මහත්තයෝ,  අපේ පුරාණ පොත් වල දියවැඩියාව නිට්ටාවට සුවකිරීමට හැකි බෙහෙත් වට්ටෝරු තියෙනවා.”

” ඉතිං තියෙනවා නම් ඒවා එළියට දාලා  මේ රටේ ඉන්න දියවැඩියා රෝගීන් ටික සනීපකරලා දානවකෝ” තැපැල් මහත්තයා දුමක් අදින ගමන් කීවේය.

“ඒවා එහෙම එළියට දාන්න පුළුවන් වට්ටෝරු නෙවෙයි. ඒවා පරම්පරාගත රහස්. ඒවා ඔය එක එකාට ඕනෑ විධියට එළියට දාන්න බැහැ. එක එකා අතට පත්කරන්න බැහැ.”

” ඒක මොන කුහක කමක්ද වෙදමහත්තයෝ. දැන් බලමු. සුද්දා වසූරිය රෝගය වලක්වන්න එන්නත හොයා ගත්තා. ​ ඒක පරම්පරා රහස් වට්ටෝරුවක් කියලා හංගාගෙන හිටියේ නැහැනේ. මුළු ලෝකේම යහපතට ඒක ඉදිරිපත් කළා. දැන් බලන්න, වසූරිය මේ ලෝකෙන් තුරන්වෙලා. බැරිවෙලා හරි වසූරිය එන්නත ඔහේලගේ වෙද මහත්තයෙක් සොයාගත්තනම් ඒක වට්ටෝරුගත කරලා මඩිගහ ගනියි. ඒක උන්දැගේ මරණෙත් එක්කම යට යාවි.”

තැපැල් මහත්තයාගේ කථාවට සිංහරත්න වෙදමහතාට ඇතිවූයේ කෝපයකි. “කථාකරන්න එපා තැපැල් මහත්තයෝ සුද්දෝ ගැන. පස්ස හොදාගන්නේ නැති මිනිස්සු නෙවැ. උන් කොච්චර උත්සාහ කරනවද අපේ රහස් වට්ටෝරු අරගන ඒවා පිටරට ගෙනියලා ඛෙහෙත් හදන්න.”

“ඉතින් ඒකේ වැරැද්දක් තියෙනවද? තැපැල් මහත්තයා  ශාන්තව ඇසුවේය. “සුද්දා  ඒක අරගන යයි. ඒක පේටන්ට් ගතකරලා වෙළදපෙළට දායි. ඊට පස්සේ ලෝකේ ඕනෑම කෙනෙකුට ඒක මිළදී ගන්න පුළුවන්. වට්ටෝරු ගතකරලා කාටවත් නොදී යටි මඩි ගහගෙන ඒක එක්ක මැරිලා යනවාට වඩා ඒක හොඳ නැද්ද?˜

තැපැල් මහත්තයාගේ කථාවට වෙදමහත්තයාට හොඳටම තරහ නැග්ගේය.

“මොන දේශද්‍රෝහී කථාවක්ද තැපැල් මහත්තයා ඔහේ කියන්නේ. එතකොට අපේ පාරම්පරික දැණුම සුද්දට විකුණා ගෙන කන්න දෙන්න ඕනෑ”

” වෙදමහත්තයා දැන් බලමු, ගිය අවුරුද්දේ ඔහේගේ ලොකු අයියා වකුගඩු අමාරුවක් හැදිලා ඉන්දියාවට ගිහිල්ලා වකුගඩුවක් බද්ධ කරගන ආවා. ඒක කළේ සුද්දා හොයාගත්ත දැණුමෙන් නේද? බැරිවෙලා සුද්දා වකුගඩු බද්ධ කිරීම පිළිබඳ දැණුම තුන් වෙනි ලෝකේ රටවලට දෙන්න බැහැ  කියලා තහනමක් දාලා තිබුනා නම් ඔහේගේ ලොකු අයියා අද මේ ලෝකේ හුස්ම ගන්නවාද? මේ බලන්න වෙද මහත්තයෝ, ඔහේලාගේ කට්ටිය කුහකකමට දැණුම හංගාගෙන හිටපු එකයි කරේ.  ඒක හරියට දිමියන් වසා ගන්නා දිමි ගොට්ට වගේ. කාටවත් පළප්‍රයෝජනයක් ගන්න දුන්නේ නැහැ.  ඒ දැණුම එක්ක උන්දලාද මිය ඇදුණා. පරම්පරාවල මිනිස්සු පුස්කොල වට්ටෝරු හැංගුවා. අන්තිමට වංශේ කබල්ගානවා වගේ සිංහල වෙදකමේ ප්‍රාතිහාර්ය ගැන කථාකරනවා.”

“එහෙම කථාකරන්න එපා තැපැල් මහත්තයා˜” වෙදමහත්තයා   ආවේගයෙන් කථාකළේය. “ඔහේ ළිඳෙන්  වතුර බීලා මුහුදට ආවඩනවා.”

තැපැල් මහත්තයත් අත ඇරියේ නැත. “ළිඳෙන්  වතුර බොන්න ළිඳේ   වතුර තියෙන්න එපැයි වෙද මහත්තයෝ,   ඔය පෙනිසිලින් කියන ප්‍රති ජීවකය හොයා ගැනීම නිසා මිලියන ගණනක ජීවිත බේරුණා කියලා මම ළඟදී පත්තරේක කියෙව්වා. දැන් ඔය පෙනිසිලින් බෙහෙත  වෙද මහත්තයෙක් සොයා ගත්තා නම් ඒක ලෝකේ ජනතාව අතරට පත්කරයිද, නැත්නම් වට්ටෝරු ගත කරලා  හංගා ගනියිද, කියලා ඔහේම කල්පනා කරල බලන්න. වෙදකමට රහස් තියෙන්න බැහැ. සුද්දා කරත් වෙද මහත්තුරු කරත් කරන්නේ ජීවිත බේරගන්න එක. ඒ නිසා මිනිස්සු ජීවත් කරවන මිනිස්සු සුවපත් කරවන දැණුම සමාජ ගත කරන්න ඕනෑ. ඒවා හංගාගෙන ඉන්නේ අන්තිම කුහකයෝ. ඒ මිනිස්සු අන්තිමට කසාය වලට ඉංග්‍රීසි  බෙහෙත් දියකරල දෙනවා කිසිම ලැජ්ජවක් නැතුව. ඔන්න වෙදකමට ගිය කල”

“ඔහේ එක්ක වාද කරන්න අපි ඉගෙන ගත්තා මදි තැපැල් මහත්තයෝ. ඔහේලා ඉතිං සුද්දට කත් ඇද ඇද ඉන්නවකෝ. මම යනවා.”

වෙද මහත්තයා තම බස්තම අතට ගත්තේ තැපැල් කාර්යාලයෙන් පිටවීමටය. වෙද මහත්තයාට තරහා ගියබව දැනගත් තැපැල් මහත්තයා සන්සුන්ව කතා කළේය.

” වෙද මහත්තයෝ, මම සුද්දන්ට කත් අදින්න කතා කළේ නැහැ. මම කතා කළේ ඇත්ත යුක්ත. සුද්දා  උනත් හොඳක් කළොත් ඒක කියන්න ඕන. දැන් බලන්න වෙද මහත්තයා පොඩි කාලේ ක්ෂය රෝගයට එන්නත් ලබා ගත්තනේ. මටත් පොඩි කාලේ එන්නත් කරලා තියෙනවා. අපිට කාසෙ නොහැදුණේ ඒ එන්නත් නිසා. ඒක හොයාගත්තේ සුද්දෙක්. සුද්දගේ දැනුමෙන් අපි ජීවත් වෙනවා. අපේ දැණුමෙන් සුද්දත් ජීවත් කරවනවා. අන්න ඒකයි අපි කරන්න ඕනේ. ඔය රහස් වට්ටෝරු තවදුරටත් රහස් වශයෙන් තියාගෙන ඉන්න එපා. මිනිසුන්ගේ යහපතට මානව වරගයාට ඒක දෙන්න.”

සිංහරත්න වෙද මහත්තයාගේ මුහුණට සමච්චල් සිනහවක් අවේය.

“මහත්තයෝ, ඔය එක එකා කියන විදියට අපේ රහස් වට්ටෝරු එළියට දාන්නේ නැහැ. ඒවා අපි පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරගෙන ආවේ පණ වගේ. මං යනවා යන්න”

මෙසේ කියූ වෙද මහත්තයා තැපැල් කාර්යාලයෙන් ඉවතට පැමි‚යේ තැපැල් මහත්තයාට හොඳ හැටි හිතෙන් බනිමින්ය.

 වෛද් රුවන් එම් ජයතුංග 

2 Responses to “වෙද මහත්තයා”

  1. Christie Says:

    ඉස්සර කාලෙ ලෝකේ කොහෙත් අපේ වෙද්දුන්ගෙ වැඩ වගෙ තමයි වැඩකෙරුනෙ. පහලොව දාසය සතකවල තමයි සහතික රජ ලිපි (Royal Letters of Patent) දෙන්න පටන්ගත්තෙ. සුද්ද ගියාට පස්සෙ සී එස් අයි ආර් ඕ කියල එකක් හදල සින්හල අපේ බඩු වැඩ දැනුම ලෝකයෙන්ම සහතික කරගන්න තමයි සැලසුම. නමුත් ඉන්දියාව බන්ඩ දාල අපිට කෙලිය.

  2. Senevirath Says:

    මුසිලයා වාගේ නොවන ඕනෙම කෙනෙකුට වෙදකම උගන්වන්න සිංහල වේද මත්වරු කමතිය් එහෙත් සුද්දෝ කරන්නේ මේවා අරගෙන බෙහෙත් සමාගම් හදල තමන්ගේ රටවල් සරු කරගන්න අපේ දේවල් හොරකම් කරන එකය් සුරාකන්නන් අතට වෙදකම යාම වලක්වීමටය් එවාරහසේ තියාගත්තේ . රුවන් දොස්තරත් සමාගම් දාල දුප්පතුන් සුරා නොකනවනම් සිංහල වෙඅකම ඉගෙනගත්තැ කි වෙදමහත් වරුන්ගෙන් නිකම් පාච්චල් නොකර එහෙම කරන්න .
    දැන් ඉස්සර වාගේ බෙහෙත් රහසේ තියා ගන්න ය නැහැ හොඳ ගෝලයන්ට උගන්වනවා
    බටහිරත් ඒ අයගේ ම බෙහෙත් ගැන ලොකු විවේචන තියනවා මොන තරම් අගුණ ඉ න්ග්රීසිබෙහෙත් තියනවද කියල පොත් පවා ලියල තියනවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress