පෙරදිගට ගමනක් 8 —ෆෝ-ඉන්-වන් සිංහලයෝ …
Posted on April 4th, 2016

වරුණ චන්ද්‍රකීර්ති

මෙයට පෙර ලිපිය අවසානයේ සඳහන් කළ ආකාරයට අද අපේ සමාජය හඳුනාගත යුත්තේ කලවම් සංස්කෘතික පදනමක් මත. මෙය ඕනෑ ම සමාජයකට පොදු කාරණයක් කියා කෙනකුට කියන්න පුළුවන්. ඒක ඇත්ත. මේ කියන්නේ ඒ ඇත්ත අපේ සමාජයට අදාළ වෙලා තියෙන ආකාරය ගැන. එහෙම නැතිව මේ ඉස්මතු කරන්නේ නිර්මල” සිංහල – බෞද්ධ සංස්කෘතියක අවශ්‍යතාව පිළිබඳ කන්නලව්වක් නම් නෙවෙයි. අද මේ ඉන්න අපි කවුද? අපේ කලවම් සංස්කෘතිය මේ විදිහට සැකසුනේ කොහොම ද? අපි මේ ගැන සැකෙවින් විමසා බලමු. හැබැයි මේ ගැන කියන්න කලින් එක දෙයක් අවධාරණය කරන්න ඕන. ඒ තමයි, මේ කියන්නේ අපේ සිංහල සංස්කෘතිය ගැන කියන එක බව. මේ නිර්මල” සිංහල – බෞද්ධ සංස්කෘතියක් ගැන කීමක් නොවනවා වගේ ම බහු ජාතික – බහු වාර්ගික” සංස්කෘතියක් ගැන කරන විමසීමකුත් නෙවෙයි. මම නැවතත් කියන්නම්. මේ විමසා බලන්නේ අපේ කලවම් සිංහල සංස්කෘතිය ගැන!

පසුගිය ලිපි කිහිපයෙන් පෙන්වා දුන් ආකාරයට අපි අපේ ම අනන්‍යතාවක් තියෙන ජාතියක්. මම මේ ලියන සිංහල භාෂාව ඉන්දු-ආර්ය පවුලට ඇතුළත් කරලා සැළකුවාට ඒ තුළත් විශේෂිත අනන්‍යතාවක් ගොඩනඟාගන්න අපි සමත්වෙලා තියෙනවා. වාග්විද්‍යාඥයින් පෙන්වාදෙන විදිහට මේ වෙනස ක්‍රිස්තු පූර්ව හතරවැනි සියවස වෙනකොටත් සිදුවෙලා ඉවරයි. සිංහල කියන්නේ වාක්‍යාංශයක මූල වචනයෙන් වම් අතට විහිදෙන විදිහට පද සැකැසෙන භාෂාවක් – ඒ කියන්නේ වම් ශාඛා භාෂාවක්. ජපන්, චීන වගේ භාෂාත් ඒ වම් ශාඛා රටාව අනුගමනය කරන ඒවා විදිහට සැළකෙනවා. හැබැයි ඉංග්‍රීසි කියන්නේ වාක්‍යාංශයක මූල වචනය දකුණට විස්තර කරන භාෂාවක් – ඒ කියන්නේ, දකුණු ශාඛා භාෂාවක්. මේ කාරණය උදාහරණයකින් විස්තරකරන්න පුළුවන්. මේ කඩේ වැඩකරපු අර මනුස්සයා ගිය මාසේ අස්වෙලා.” මේ වාක්‍යයේ මූල වචනය තමයි මනුස්සයා.” ඒ ගැන විස්තර කරන්නේ ඒ වචනයට වම්පැත්තෙන්. ඒත් ඉංග්‍රීසි භාෂාවේ දී මෑන්” කියලා කියන්නේ මුලින් ම. ඊට පස්සේ තමයි ඒ මෑන්” ගැන විස්තරයක් එතැනින් දකුණට කරන්නේ. ඉන්දු-ආර්ය ගොනුවේ අනෙකුත් භාෂා බොහෝ දුරට මේ දකුණු ශාඛා රටාව පෙන්නුම්කරන ඒවා. ඒත් සිංහල කියන්නේ ඉතාමත් දැඩි විදිහට වම් ශාඛා රටාව පිළිපදින භාෂාවක්.

ඒ විතරක් නෙවෙයි. සිංහල කියන්නේ වචන – උක්තය, අඛ්‍යාතය වගේ වැදගත් වචන; විශාල වශයෙන් අත් ඇරලා හසුරුවන්න පුළුවන් භාෂාවක්. ඒ වගේ වැදගත් වචන හැලුවා කියලා වාක්‍යයෙන් කියැවෙන අදහස් වෙනස්වෙන්නේ නෑ. ජපන්, චීන වගේ භාෂාත් එහෙමයි. ඉංග්‍රීසි වගේ භාෂාවල මේ හපන්කම කරන්න බෑ. සිංහල අයිතියි කියලා කියන ඉන්දු-ආර්ය ගොනුවේ අනෙකුත් භාෂාවලටත් මේ වැඩේ මේ විදිහට කරන්න බෑ. අපේ සිංහල භාෂාවේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි, වාක්‍යයක පද පිළිවෙල ගැන – උක්තාඛ්‍යාතාදිය යෙදෙන පිළිවෙල ගැන, වැඩි තැකීමක් නොකරන එක. අපි කතා කරන වෙලාවට හිතිච්ච හිතිච්ච විදිහට වචන පාවිච්චිකරනවා. මං මේ ගැන හැම වෙලාවේ ම කල්පනාකරනවා” කිව්වත් එකයි හැම වෙලාවේ ම මං කල්පනාකරනවා මේ ගැන” කිව්වත් එකයි. වාග්විද්‍යාඥයෝ පෙන්නලා දීලා තියෙන විදිහට මේ අනන්‍යතාව අපේ භාෂාව ලබාගෙන තියෙන්නේ මීට අවුරුදු දෙදාස් හාර පන්සීයකට කලින්.

අපේ මේ අනන්‍ය බව භාෂාවට විතරක් සීමාවෙච්ච එකක් නොවන බව අපි දන්නවා. ඒ ගැන කොච්චර නම් පම්පෝරි කතා අපි කියලා තියෙනවා ද? ඒ නිසා, ඒ දේවල් නැවත නැවතත් කියන්න ඕන නෑ. ඒත්, එක දෙයක් නම් නො කියා බෑ. ඒ තමයි, ඒ කාලේ අපි ළඟ තිබුණු නිර්මාණශීලි බව. අනුරාධපුර යුගයේ සිංහල මිනිස්සු ගැන කියන හැම වර්ණනාවකට ම පදනම්වෙච්ච කාරණය තමයි ඒ අය සතුව තිබුණු නිර්මාණශීලි බව. වැව්, දාගැබ්, පෙති පිළිම ආදියේ විතරක් නෙවෙයි අපේ භාෂාව ඇතුළේ පවා ඒ නිර්මාණශීලි බව දකින්න පුළුවන්. අපි අපේ ම කියලා වචන හැදුවා. ඒ වචන හදන්න ඕන විදිහ පවා හොඳින් දැනගෙන හිටියා. ඊලියන් ද සිල්වා මහත්තයා හැම වෙලාවේ ම කියපු දෙයක් තමයි අලුතෙන් වචනයක් හඳුන්වලා දෙනකොට මුලින් ම කරන්න ඕන ඒ වචනයට අදාළ ක්‍රියාපදය හදාගන්න එක කියලා. ඒක තමයි සිංහල සම්ප්‍රදාය. කනවා” කියන ක්‍රියාපදය හදාගත්තාට පස්සේ කන්නේ, කෑවේ, කාපු දේ” මොනවා ද කියලා තීරණයකරන්න පුළුවන්. ඒ තමයි කෑම.” එහෙම නැතිව ආහාර” කියන නාමපදය මුල් කරගත්තා නම් අපට සිද්දවෙන්නේ දැන් අපි වචන හදන විදිහට ආහාරකරනවා” වගේ අපභ්‍රංසයක් හදාගන්න. මේ සම්බන්ධයෙන් දක්වන්න පුළුවන් හොඳ ම උදාහරණය තමයි පානයකරනවා” කියන ක්‍රියාපදය. බොනවා” කියන ක්‍රියාපදයෙන් තමයි බීම” සම්බන්ධ බොහෝ දේ අපි කිව්වේ. ඒත් පාන” කියන ආගන්තුක වචනයට මුල්තැන දුන්නා ම ඒක කරන්න බැරිවුනා. මේ ක්‍රියාපද හැදිල්ල දැන් අවුරුදු දාහක විතර ඉඳලා නැවතිලා තියෙනවා. හරිශ්චන්ද්‍ර විජයතුංග මහත්තයා පෙන්නලා දීලා තියෙන විදිහට දැන් අපේ භාෂාවේ විශාල ක්‍රියාපද හිඟයක් තියෙනවා. දැන් සෑහෙන්න තියෙන්නේ කරනවා-කරනවා ක්‍රියාපද. ඒ කියන්නේ අපේ නිර්මාණශීලි බව ඒ පැත්තෙනුත් කඩා වැටිලා. දැන් අපි සෑහෙන දුරකට වඳ ජාතියක් බවට පත්වෙලා. ඒ හින්දා තමයි දැන් අපි පුද්ගලිකකරණය කරනවා” වගේ ක්‍රියාපද හදන්නේ.

මේ සම්බන්ධයෙන් තවත් දෙයක් කියන්න ඕන. ඒ තමයි, තියෙන ක්‍රියාපද වෙනුවට වෙනත් භාෂාවලින් ක්‍රියාපද ඈඳන විට සිද්ද වෙන දේ. අපේ සමහරු කැමැතියි නටනවා” කියන එක ඩාන්ස්කරනවා” කියලා කියන්න. ඒ වගේ ම, වාහන ඩ්‍රයිව්කරනවා,” සංගීත උපකරණ ප්ලේකරනවා” වගේ ඒවත් කියනවා. මෙතෙන් දී, කරනවා” කියලා කියන්නේ නැතුව ඒ ඈඳගත්ත ක්‍රියාපද සිංහල ක්‍රියාපද බවට පෙරලන්න බෑ. ඉතින් දැන් අපි සෑහෙන්න ක්‍රියාපදත් කරනවා.

මෙහෙම වුනේ ඇයි? මේක අද ඊයේ වෙච්ච දෙයක් කියන්න බෑ. ඇත්තෙන් ම මීට අවුරුදු පන්සීයකට විතර කලින් සිදුවුනු පරංගි ආගමනයට පස්සේ අපේ භාෂාවට පෘතුගීසි, ලංන්දේසි, ඉංග්‍රීසි වචන සෑහෙන ප්‍රමාණයක් එකතුවෙලා තියෙන බව ඇත්ත. ඒත් ඒ විදිහට එකතුවෙලා තියෙන්නේ චවන විතරයි. අපේ භාෂාවේ ආකෘතික ස්වරූපය ඒ බලපෑම්වලින් වෙනස්වෙලා නෑ. මේ ෂොප් එකේ වර්ක්කරපු අර යං එක්කෙනා ලාස්ට් මන්ත් එකේ රිසයින්වෙලා අනේ” වගේ කතා එෆ් එම් නිවේදක භාෂාවෙන් කියනවා අපිට දැන් නිතර ම ඇහෙනවා. ඒත් ඒ අය වුනත් කතාකරන්නෙත් ලෙෆ්ට්-බ්‍රාන්චිං” සිංහල. ඒ අය කරන්නේ එහෙන් මෙහෙන් අහුලගත්ත ඉංග්‍රීසි වචන ටිකක් අපේ ආකෘතියට දාලා කතාකරන එක විතරයි.

අපි දන්නවා දඹදෙණි යුගය වෙනකොට අපේ භාෂාවට සෑහෙන්න – ඇත්තෙන් ම, නො සෑහෙන්න; සංස්කෘත වචන එකතුවෙලා තිබුණු බව. මහාචාර්ය හේමපාල විජේවර්ධනයන් පෙන්වා දී ඇති විදිහට අනුරාධපුර යුගයේ අග භාගය වෙනකොට අපේ ගී කාව්‍ය රචනාවලට සංස්කෘත අලංකාර ශාස්ත්‍රයේ හෙවනැල්ල වැටෙන්න පටන් ඇරන්. විශේෂයෙන් ම, චෝල ආක්‍රමණයෙන් රට නිදහස් කරගත්තාට පස්සේ ලියැවුණු මුවදෙව්දාවත, සසදාවත, කව්සිළුමිණ වගේ ගී කාව්‍යවල මේ ලකුණ අඩුවක් නැතිව දකින්න පුළුවන්. චෝල ආක්‍රමණයෙන් පස්සේ සඳකඩපහනින් ගොන් රූපය අයින් වුනාට අමතර ව තවත් බොහෝ වෙනස්කම් අපේ සංස්කෘතිය තුළ සිදු වූ බව ඒ අනුව තේරුම්ගන්න පුළුවන්.

චෝල ආක්‍රමණයෙන් රට මුදාගත්තාට පස්සේ ඇතිවුණු තවත් විශාල වෙනසක් දකින්න පුළුවන් අපේ දේව ඇදහීම් තුළ. වෛශ්‍රවණ, ධ්‍රතරාෂ්ඨ, විරූඪ, හා විරූපාක්ෂ කියන සතර වරම් දෙවිවරු අද පොතට විතරක් සීමාවෙලා. දැන් ආටානාටිය සජ්ඣායනා කරන්නේ නිකම් චාරිත්‍රයට වගේ. අපි අදහපු දෙවිවරු පළවා හැරලා ඒ අයට හිමිවෙලා තිබුණු තැන් හින්දු දෙවිවරුන්ට ලබාදීලා. කෝට්ටේ යුගයේ ලියපු කෝකිල සංදේශයේ තමයි පත්තිනි ඇදහිල්ල ගැන විස්තරයක් මුලින් ම දකින්න ලැබෙන්නේ. පත්තිනි නමින් කණ්ණගිය දේවත්වයට පත්කළ උත්සවයට ගජබා රජ්ජුරුවෝ සම්බන්ධ වුනා කියලා දෙමළ සීලප්පදිකාරම් පොත කීවත් මේ රටට පත්තිනි ඇදහිල්ල ලැබිලා තියෙන්නේ චෝල බලපෑමෙන් පස්සේ බව පැහැදිළියි. දඹදෙණි යුගයේ හරි ඊට පසුව හරි ලියැවුණා කියලා සැළකෙන ධාතුවංශය කියන විදිහට කාචරගාමයෙහි කිරිවෙහෙර හදලා තියෙන තැන සමවත් සුවයෙන් වැඩ හිටිය බුදුරජාණන්වහන්සේ ඒ භූමිය ආරක්‌ෂා කරන්න කියලා පවරලා තියෙන්නේ මහාඝොෂ කියන දෙවියන්ට. ඒත් අපි දැන් කතරගම භාරදීලා තියෙන්නේ ස්කන්ධ (මුරුගන්) දෙවියන්ට. මේ හින්දු දෙවියන්ට තමයි අද මේ රටේ ජනතාවගෙන් වැඩි ම පිරිසක් පුද පූජා තියන්නේ. මේ ආදේශය කළේ අපේ රටේ පාරවල් හදන්න ආපු දෙමළ කම්කරුවන් විසින් බවට මතයක් තියෙනවා. චෝල බලපෑම නිසා පත්තිනි දේවාලයක් බවට පත්වුනු මුන්නේශ්වරම පුදබිම ඒ විදිහට ම කාලි දේවාලයක් බවට පත්වෙලා තියෙනවා.

ගණදෙවියන් ගේ ආගමනය සිද්දවෙලා තියෙන්නේ නුවර යුගයේ දී. පැරැණි යුගවලට අයත් කිසි ම පුරාවිද්‍යා ස්ථානයකින් මේ දෙවිවරුන්ට අපේ රටේ මිනිස්සු පුද පූජා පවත්වපු බවට කිසිදු සාධකයක් හමුවෙලා නෑ. පසුගිය සියවසේ මැද භාගය වෙනකොට සරස්වතියත් මේ රටට ඇවිල්ලා. අන්තිමට ම අපේ රටට ගෙනාවේ ලක්‍ෂමි වන්දනාව. ඒකට මුල් වුනේ අලුතින් පටන්ගත්ත ජ්‍යෝතිෂ්‍ය පත්තරේක කර්තෘ කෙනෙක්. ඒ, 1994 අවුරුද්දේ ජනාධිපතිවරණයට ටික කාලයකට කලින්.

අපේ සංස්කෘතිය තවත් ආකාරයකින් වෙනස්වෙන්න පටන්ගත්තේ මෙයට අවුරුදු පන්සීයකට පමණ පෙර සිදු වූ පෘතුගීසින් ගේ ආගමනයෙන් පස්සේ කියන එක අපි කවුරුත් දන්නවා. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යටත්විජිත පාලන කාල තුළ සිදු වූ සංස්කෘතික වෙනස්කම් විවිධාකාරයෙන් විග්‍රහකරලා තියෙනවා. කොහොමත් මේ වෙනම ම කතා කළ යුතු කාරණයක්. ඒ කටයුත්ත වෙනුවෙන් ඊ ළඟ ලිපිය වෙන්කරන්නම්.

අවසාන වශයෙන් අපි අපේ දේවල් බවට පත්කරගත්තේ ඉන්දියාව” කියන රට හැදුවාට පස්සේ ඒ හරහා ගලාගෙන ආපු, දිල්ලි සුල්තාන් – මූගල් උරුමය මත ගොඩ නගාගත්ත සංස්කෘතික අංග. මේ ගැන දීර්ඝ විදිහට මේ ලිපි පෙළේ මුල් ලිපිවලින් විමසා බැලුවා. මේ ඔස්සේ අපි කරගෙන තියෙන්නේ අපේ සමාජ පිළිවෙල එක්තරා ආකාරයකින් මුස්ලිම් සංස්කෘතික ආකල්පවලිනුත් සරසවාගැනීම. අපේ බොහෝ දෙනෙක් වික්ටෝරියානු සදාචාරය විදිහට වැරැදියට විග්‍රහකරන්නේ මේ සංස්කෘතික සැරසීම්. වික්ටෝරියානු සදාචාරයත් යම් ප්‍රමාණයකට අපේ සංස්කෘතියට බලපාලා තියෙන බව ඇත්ත. ඒත් අද අපි අපේ ම උරුමයක් විදිහට විශ්වාසකරමින් වැළැඳගෙන ඉන්නේ වික්ටෝරියානු සදාචාරයෙන් උරුමකරගත් ඇවැතුම් පැවැතුම්වලට වඩා ඉන්දියාව” කියන රට හරහා උකහාගත් හැසිරීම්. ඉන්දියාව” අපේ ළඟ ම නෑදෑයා කියන අදහස ඇතිකරගන්න මේ විශ්වාසයත් හේතුවෙලා තියෙනවා. මෑතක ඉඳලා අපේ අය තමන් ගේ දරුවන්ට හින්දි නම් යොදන්න පවා පුරුදුවෙලා. 1993 අවුරුද්දේ විතර ඉඳලා මේ රටට ගලාගෙන එන හින්දි චිත්‍රපට රැල්ල, මේ මෑතක ඉඳලා දවල් රෑ නැතුව එක දිගට පෙන්නන ජෝදා-අක්බාර් වගේ ටෙලි නාට්‍ය මේ අලුත් ම සංස්කෘතික බලපෑම ඇතිකරන්න හේතුවුන බවට සැකයක් නෑ.

කොහොම හරි අපි දැන් ප්‍රධාන වශයෙන් ම ෆෝ-ඉන්-වන් ජාතියක්. අපේ අනන්‍ය බව, අභිමානවත් බව ගැන කියන කොට අපි පෙන්වන්නේ ඈත අතීතයේ ඉඳලා ගොඩනගාගත්ත ශාක්‍ය ලකුණුවලින්” පිරිච්ච සිංහලකම. ඊට අමතර ව අපේ සිංහලකමට චෝල අනුපානත් එකතුවෙලා. යූරෝපීය යටත්විජිත උරුමය ඔස්සේ ලබාගත් දේත් සුළුපටු නෑ. අන්තිමට අපි ඉන්දියාව” කියලා හදලා තියෙන රට හරහා දිල්ලි සුල්තාන් – මූගල් සංස්කෘතික ආභාෂයත් ලබාගනිමින් ඉන්නවා.

වරුණ චන්ද්‍රකීර්ති෴

4 Responses to “පෙරදිගට ගමනක් 8 —ෆෝ-ඉන්-වන් සිංහලයෝ …”

  1. aloy Says:

    Varuna,
    Thank you very much for this. I never knew Sinhala was such an old and well developed language. Your first few paras are very informative.
    Thanks again.

  2. Dham Says:

    I remember some 10 years ago Sunil Vijaypala wrote a letter in lankaweb what will happen to Sinhalaya in near future. It has come true 50% currently.

  3. Dham Says:

    “කනවා” වෙනුවට “ආහාර ගන්නවා” කියනවිට වඩා ශිෂ්ඨත්වයක් පෙනෙයි. “ආහාරකරනවා” අවශ්‍ය නැත​. ” අපභ්‍රංස ” යනු පරණ බසකි. සිංහල බස ද එයින් පැවත එනබවට කතාවක් තිබේ.

  4. Senevirath Says:

    දැන් ආහාර අරගෙනද —–ආහාර ටිකක් ගම්මුද— කොහොමද කඩේ ආහාර …. වැනි යෙදුම් හරිම කෘතිමය් , ධම්‌
    දැන් කෑම කාලද — කෑම ටිකක් කමුද — කොහොමද අපේ කඩේ කෑම — වැනි දේ වඩා හුරුය් සු දුසුය්

    ආයතනයකට ගිහින් ”සභාපති මහත්තය ” ඉන්නවද කියල අහන්න දැන් කාටවත්හ් ප්පුරුදු නැහැ අහන්නේ චෙයාමන් ඉන්නවද කියල . නැත්නම් ”’ගොඩයෙ ක් ” වෙනවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress