ප්‍රතිවිරෝධයන් සහ එදිරිවාදීකම්
Posted on April 6th, 2016

වෛද් රුවන් එම් ජයතුංග

කුඩා කාලයේ සිට මේ දක්වා විවිධ මිනිසුන් අතර තිබෙන  ප්‍රතිවිරෝධයන් සහ එදිරිවාදීකම් මා නිරීක්‍ෂනය කරමි සමහර විට අත් දකිමි. පාසල් කාලයේදී විවිධ පාසල් අතර තිබූ  ප්‍රතිවිරෝධයන් සහ එදිරිවාදීකම් මට මතකය​. ආනන්දේ සහ නාලන්දේ කොල්ලන්ට රෝයල් සහ තර්ස්ටන් යන විදුහල් සමග එදිරිවාදීකමක් තිබුනේය​. එසේම වරක් අපගේ පාසල් බස් රථය තුම්මුල්ලේ නවතාගත් තර්ස්ටන් සිසුන් නාලන්ද සිසුන්ට පහර දුන් හ​. වාසනාවකට මෙන් මම එදින පාරේ බස් රථයකින් නිවසට ගිය නිසා තර්ස්ටන් පෝරියල් එකෙන් බේරුනෙමි.

නමුත් මට රෝයල් , තර්ස්ටන් , ඉසිපතන​, සාන්ත ජෝසෆ් , සාන්ත පීතර පමණක් නොව හින්දු කොලේජ් එකේ පවා මිතුරන් ළමා කාලයේ පටන් සිටි නිසාද මම ඔවුන් සමග ක්‍රිකට් ඔට්ටු සෙල්ලම් කල නිසාද මේ එදිරිවාදීකම මට ජීර්ණ නොවීය​. පසු කාලයක මධ්‍ය මහා විද්‍යාල පමණක් නොව ගමේ පාසල් වලින් ආ මිනිසුන් සමගද මම සුහදත්වයෙන් ක්‍රියා කලෙමි.

ediriwadu

පාසල් නාමයෙන් මිනිසුන් ගේ හොඳ නරක මැනීමට යාම අනුවනකමකි. නමුත් කොලඹ උසස් යැයි සම්මත පාසල් වලින් එන සමහරක් සිසුන් තුල තිබෙන අධි මානයත් ගමේ පාසලෙන් එන සමහර සිසුන් තුල තිබෙන හීනමානයත් ඔවුන් ගේ වර්තමාන චර්‍යාවට බලපෑම් කරන අයුරු මම දැක තිබේ.

වෛද්‍ය අධ්‍යාපනය සඳහා සෝවියට් දේශයට ගිය විට මොස්කව් රාජ්‍ය විද්‍යාලයේ සිසුන් සහ ලුමුම්බා මිත්‍රත්ව සරසවියේ සිසුන් අතර එදිරිවාදිකම් තිබුනේය​. මොස්කව් රාජ්‍ය විද්‍යාලයේ සිසුන් තමන් ගේ විශ්ව විද්‍යාලය ලුමුම්බා මිත්‍රත්ව සරසවියට වඩා උසස් යැයි කියූ අතර  ලුමුම්බා මිත්‍රත්ව සරසවි  සිසුන් තමන් මොස්කව් රාජ්‍ය විද්‍යාලයට වඩා උසස් කීහ​. වරක් ලුමුම්බා මිත්‍රත්ව සරසවියේ උගත් වෛද්‍යවරියක් (මම එකල මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වූයෙමි) තම සරසවිය උසස් කොට මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය පහත් කොට කතා කලාය​. වෘත්තීය මටටමට ආවද සමහරෙකුට  ප්‍රතිවිරෝධයන් සහ එදිරිවාදීකම් ලේ වලට කා වැදී තිබෙනු මම ප්‍රත්‍යක්‍ෂ කලෙමි.

කෙසේ නමුත් ලුමුම්බා – මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාල එදිරිවාදීකම ලංකාවේදී ක්‍ෂය වී ගියේ ලුමුම්බා වූවද මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාල වූවද වෙනසකින් තොරව සමහර දේශීය වෛද්‍යවරු විසින් ඔවුන්ට පොදුවේ සබුක්කුව දීම නිසාය​.

ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය වෛද්‍යවරු අතර තිබෙන ප්‍ර්තිරෝධතා මම නිබඳව දැක තිබේ. කොලඹ වෛද්‍ය පීඨයේ  සමහරක් ඔවුන් පේරාදෙනිය වෛද්‍ය පීඨයට වඩා උසස් යැයි කීහ​. එසේම සමහර පේරාදෙනිය වෛද්‍ය පීඨ වෛද්‍යවරු රුහුණු හා කැළනි  පීඨ පහත් කොට කතා කලහ​.

මට කොලඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය සුමිතුරන් සිටිති. එසේම පේරාදෙනිය රුහුණු හා කැළනි පීඨ වල ඉගෙනුම ලැබූ මිතුරන් සිටිති. එසේම යාපනය වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය රාම් මනෝහර් , වෛද්‍ය සුදර්ශන් මට සොහොයුරන් බඳුය​. මේ හැර පෝලන්තයේ, බල්ගේරියාවේ , රුමේනියාවේ ,කියුබාවේ පමණක් නොව චීනයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය මිතුරන් ද මට සිටිති. වැදගත් වන්නේ ඉගෙනුම ලැබූ වෛද්‍ය පීඨය නොව ඔවුන් සතු දැණුම සහ කුසලතා බව මම සිතමි.

යුද හමුදා රෝහලේ සේවය කළ කාලයේ හමුදාව තුල තිබූ ප්‍රතිරෝධතා මම නිරීක්‍ෂනය කලෙමි. ලොකුම ප්‍රතිරෝධතාව තිබුනේ නිත්‍ය සහ ස්වේච්ඡා හමුදා අතරය​. ඉන් පසු බළකා අතර ප්‍රතිරෝධය දුටුවෙමි. අර්ටිලරි සහ සී. එල් .අයි හෙවත් පාබල බලකා අතර සීතල යුද්ධයක් තිබුනේය​. සිංහ ,විජයබා සහ ගැමුණු තම තමන් උසස් බව සිතූහ​.  කමාන්ඩෝ සහ විශේෂ බලකා අනෙකුත් බළකා මායිම් කලේ නැත​. සමහර විට යුද්ද කාලයේ තුවාල ලැබූවන් ගෙන ඒමේදී ද බළකා  ප්‍රතිරෝධ මත ප්‍රමුඛතා වෙනස් කරන ලදි.

ලංකාවේ සෞඛ්‍යය සේවයේ වෘත්තිකයන් අතර තිබෙන ප්‍රතිවිරෝධතා තරම් ප්‍රතිවිරෝධ අඟහරු ලෝකයේවත් නොමැත​. වෛද්‍යවරු , සහකාර වෛද්‍යවරු . හෙදියන් , පවුල් සෞඛ්‍යය නිලධාරීන් , සුළු සේවකයන් රණ්ඩු කර ගනිමින් ගහ මරා ගනිමින්  රෝගී සත්කාරය කරති.

ප්‍රතිවිරෝධතා තිබෙන්නේ පෘතග්ජන මිනිසුන් අතර පමනක් නොව කෙලෙසුන් ප්‍රහීන කිරීම සඳහා සිවුරට බට මහණුන් තුලද ප්‍රතිවිරෝධතා තිබෙති වරක් එක් භික්ශුවක් වෙනත් භික්ශුවක් ගැන සඳහන් කරමින් මට මෙසේ පැවසූ සේක : “උන්නාන්සේ අපි වගේ මල්වත්තේ අස්ගිරියේ උපසම්පදා උනේ නෑ නෙව . උන්නාන්සේ උපසම්පදා උනේ මේ කොලඹ කොහේද පන්සලකනේ “

ප්‍රතිවිරෝධය, එදිරිවාදීකම සහජ මිනිස්  ලක්‍ෂණයකි. තව දුරටත්  පරිනාමය වන අප බොහෝ වනචාරී ගති තවමත් පහ කොට නොමැත​. තම ගෝත්‍රය කෙරෙහි තිබෙන අවිඥානික බැඳීම , අනාරක්ශිත බව , ළමා කාලයේ ලද කාංසාමය අත්දැකීම් ආදිය නිසා මිනිසුන් ප්රතිවිරෝධයන් , එදිරිවාදීකම් සංරක්‍ෂිත ප්‍රයෝග හෙවත් Deface Mechanisms ලෙස භාවිතා කරති. නමුත් දැණුම අත්දැකීම පලල් වන විට බොහෝ මිනිසුන් මේ ප්‍රතිවිරෝධයන් , එදිරිවාදීකම් බැහැර කරති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress