හර්ෂාගේ බොළද බොරුවලට වෘත්තිකයන්ගෙන් පිළිතුරු
Posted on April 8th, 2016

යුතුකම සංවාද කවය

එට්කා ගිවිසුම පිළිබදව කොළඹ දී පැවති සම්මන්ත්ර්ණයකදී අදහස් දැක්වු තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්රමසිංහ මහතා විසින් ඉන්දියානු චේතනාව සහ හර්ෂ ද සිල්වා නියෝජ්ය ඇමති තුමා විසින් පැවසූ බොරු කිහිපයක් පිළිබද විග්රහ කළේ මෙසේය.

ඉන්දියාවේ ආසන්නතම ආර්ථික චේතනාව කුමක්ද?

ඉන්දියාව වැදියෙන්ම ගනුදෙනු කරන්නේ චිනයත් එක්ක. 2014 වසරේදී චීනය විසින් ඉන්දියාවට ඇමරිකානු ඩොලර් බිලියන 50 ක පමණ භාණ්ඩ අපනයනය කරන විට ඉන්දියාව විසින් චීනයට අපනයනය කරන්නේ බිලියන 15 ක භාණ්ඩ පමණයි. එනිසා ඉන්දියාවට චීනය සමඟ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් බිලියන 35 ක පමණ සෘණ වෙළඳ පරතරයක් තිබෙනවා. 2014 දී චීන අගමැති ජින්පින් මහතා ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේදී ඉන්දීය අගමැති මෝදි විසින් ඉල්ලීමක් කරනවා මේ වෙළඳ පරතරය අඩු කරගන්න ඉන්දියාවට උදව් කරන්න කියලා. ඉන්දියාවට මේක ගැටළුවක්. ඉන්දියාව විසින් ඒ පාඩුව පියවා ගැනීම සඳහා වටේ තිබෙන රටවල් වලට වෙළද ගිවිසුම් සහ සේවා ගිවිසුම් යෝජනා කරනවා. එයින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඒ රටවලින් විදේශ විනිමය ඉපැයීම. එමඟින් ලංකාව සහ ඉන්දියාව අතර දැනට අපට අවාසි සහගත ලෙස පවතින ඩොලර් බිලියන තුනහමාරක පමණ වන සෘණ වෙළද පරතරය තවත් වැඩි කිරීමට ඉන්දියාව ක්‍රියා කරනවාට නොඅනුමානයි.
 
අවාසනාවකට මෙහේ ඉන්න පිරිසක් ලංකාව උගසට තියලා ඉන්දියාවේ වුවමනාව වෙනුවෙන් ක්‍රියා කරනවා. මේ ඊනියා උපදේශකයෝ කියන්නේ මේ ගිවිසුම් win-win ගිවිසුම් කියලා. හැබැයි මේගොල්ලා කල්පනා කරලා බලන්නේ නෑ ඉන්දියාව තමන් වැඩියෙන්ම ගනුදෙනු කරන චීනයත් එක්ක ඔය කියන Win-win ගිවිසුමකට යන්නේ නැත්තෙ ඇයි කියලා. ඉන්දියාව, චීනය සමඟ කිසිදු වෙළද ගිවිසුමකට යන්නේ නෑ. එහෙම ගිවිසුමකට ගියොත් දෙරට අතර වෙළද පරතරය ඉන්දියාවට අවාසි සහගත විදියට වැඩිවෙන බව ඉන්දියාව දන්නවා.

මේ ගිවිසුමේ මෝඩ් 4 (නිදහස් පුද්ගල සංචරණය) නැතැයි පැවසීම බොරුවකි

 
මේ රාමු ගිවිසුමේ මෝඩ් 4 හෙවත් දෙරට අතර නිදහස් පුද්ගල සංචරණය නෑ කියලා රජය කියනවා. නමුත් මේ අපට ලබා දුන්නු පිටපත බැලුවහම මෝඩ් 4 නෑ කියලා නෑ. පළමු මෝඩ් තුන පමණයි තියෙන්නේ කියලත් නෑ. රටවල් දෙක වසර ගාණක් තිස්සේ සාකච්ඡා කළේ මෝඩ් 4 තිබෙන ගිවිඩුමක් ගැන. දැන් මේකේ මෝඩ් 4 නැත්නම් අපි ඉන්දියාවට යවන කෙටුම්පතේ ඒක විශේෂයෙන් සදහන් කළ යුතුයි. එහෙම සඳහන් කරලා නෑ. මේක වෘත්තිකයන් ගොනාට අන්දන්න කියන කතාවක්. මේකේ මෝඩ් 4 තියෙනවා කියන එක ඉතාම පැහැදිලියි. මෝඩ් 4 නැත්නම් මෝඩ් 4 නෑ කියලා මේ කෙටුම්පතට දාලා ඉන්දියාවට යවලා පෙන්නන්න.
 

වෘත්තිකයන් සඳහා අවම වැටුපක් යෝජනා කරන ආචාර්ය හර්ෂා

 
ළඟදී හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමති තුමා මේ ගිවිසුම සම්බන්ධයෙන් තවත් බොරු කිහිපයක් කීව්වා. එතුමා පැවසුවා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් සඳහා අවම වැටුපක් පනවනවා කියලා. ඒක ඉතාම බොලද කතාවක්. එහෙම අවම වැටුපක් පනවන එක ප්‍රායෝගික නෑ වෘත්තිකයන්ට. අනෙක මේ ද්විපාර්ශවික ගිවිසුම් කියන ඒවා එන්නේ ගෝලීයකරණය කියන සංකල්පය තුළ දේශසීමා අභිබවමින් භාණ්ඩ සහ සේවා පුළුල් කළ යුතුයි කියන දර්ශනය ඇතුලේ. මේ ගිවිසුම් එම දර්ශනය ක්‍රියාවට නැංවීම සඳහා භාවිතාවන උපාංග. මේ දර්ශනය විශ්වාස තබන්නේ නිදහස් වෙළදපල ආර්ථිකය ගැන, එතනදී රාජ්‍ය මැදිහත් වීම අවම විය යුතුයි. ඉතින් එහෙම තැනකට රජය මැද්දට පැනලා වෘත්තිකයාගේ වැටුපත් නිර්ණය කරනවා කියලා ආර්ථික විද්‍යාඥයකුට නම් කියන්න පුළුවන් කතාවක් නෙමෙයි. අපට හොයලා බලන්න වෙනවා හර්ෂ ද සිල්වාත් ආචාර්ය උපාධියක් ගත්තේ මර්වින් සිල්වා ගත්තු විදියටමද කියලා.
 

මේ ගිවිසුම නිසා මැදපෙරදිගට අම්මලා තව වැඩිපුර යවන්න සිද්ධ වෙන ආකාරය

 
හර්ෂ ද සිල්වා නියෝජ්ය ඇමතු තුමා බොහොම හැගීම්බරව ප්‍රකාශ කළා අපි හැමදාමත් මැදපෙරදිගට අම්මලා යවනවා විතරද අපි කවදද භාණ්ඩ සහ සේවා වෙළඳාම් කරන්නේ කියලා. අපිත් කියන්නේ බොරුවට හැඟිම්බර වෙලා වැඩක් නෑ. මැදපෙරදිගට අම්මලා යැවීම අඩු කරන්න කියලා තමයි අපිත් කියන්නේ. හැබැයි මේ ගිවිසුමෙන් මැදපෙරදිගට අම්මලා යවන එක අඩු වෙනවාද? නෑ. මේ ගිවිසුමෙන් මැදපෙරෙදිගට අම්මලා යන එක වැඩි වෙනවා. අද අම්මලා මැදපෙරදිග යවන්න එක හේතුවක් තමා අපේ ගෙවුම් ශේෂයේ වෙනස අවම කරගන්නට ඒ අය උපයන විදේශ විනිමය වුවමනා වීම. දැන් මේ ගිවිසුමෙන් පස්සේ මොකද වෙන්නේ. අනිවාර්යයෙන්ම ඉන්දියාව සහ ලංකාව අතර වෙළඳ පරතරය තව තවත් වැඩි වෙනවා. එතකොට ඒක අපේ රටේ ගෙවුම් ශේෂයට සෘජුවම බලපානවා. එතකොට මේ හිඟය පියවන්න තියෙන පහසුම ක්‍රිමය තමයි මේ මවුවරුන් රට යවන එක. හර්ෂ ඇමතිතුමා අවම වැටුපක් යෝජනා කිරීම මඟින් එතුමා පිළිගන්නව මේ ගිවිසුම නිසා වැටුප් අඩුවන බව. ඒ කියන්නේ සමස්ථ ශ්‍රමයේ මිල පහත යනවා. එතකොට අර අම්මාට මෙහේ ඉදන් ලැබෙන මුදල අඩු වෙනවා. ඇයට පේනවා මැදපෙරදිග ගියොත් ඇයට මෙහෙදි ලැබෙන මුදලට වඩා සැළකිය යුතු මුදලක් උපයාගත හැකි බව. ඒ නිසා ඇයගේ පෞද්ගලික ජීවිතයෙනුත් වැඩි පෙළඹමවීමක් ලැබෙනවා මැදපෙරදිග යන්න. අන්න ඒ පෞද්ගලික අවශ්‍යතාවය ගැට ගැසෙනවා මේ ගිවිසුම නිසා වැඩිවන ගෙවුම් ශේෂයේ හිඟය පියවීමේ සාර්ව ආර්ථික වුවමනාව සමඟ. ඒ විදියට මෙ ගිවිසුම නිසා රටේ මවුවරුන් මැදපෙරදිගට විකිණීම වැඩිවෙනවා. හර්ෂ ඇමතිතුමාටත් පුළුවන්නම් බොරුවට හැඟීම්බර වෙන්නේ නැතුව ආර්ථික විද්‍යානුකූලව පහැඳිලි කරන්න කොහොමද මේ ගිවිසුමෙන් මව්වරුන් රට යවන එක අඩුවෙන්නේ කියලා අපි ඒක අගය කරනවා.

මාළු සහ එට්කා

මේ ගිවිසුමට වෙනුවෙන් කටයුතු කරන ලංකාවේ උපදේශකයෝ තුන්දෙනා ක්‍රියා කරන ආකාරය බැලුවහම මටනම් හිතෙනවා මේ ලංකාවේ උපදේශකයෝ තුන්දෙනා පත් කරන්නෙත් ඉන්දියාවේ කැමැත්ත අනුව කියලා. ඉන්දියානු ධීවරයෝ ඇවිත් අපේ මත්ස්‍යය සම්පත ඩැහගෙන යනවා. කොටියෙක් නිදහස් කරගන්න කොළඹ දුවන්න ගරු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහත්තයට තියෙන උනන්දුව නෑ ඒ උතුරු ප්‍රදේශයේ ජනතාවට අයිති මත්ස්‍ය සම්පත කොල්ල කාගෙන යන එක ගැන. දැන් මේ ගැන සාක්ච්ඡාවක් හෝ නැවත තිබෙන්නේ මැයි මාසේ. අපට අයිති මත්ස්‍ය සම්පත කොල්ල කාගෙන යන එක ගැන කතා කරන්න ඉන්නවා මැයි මාසේ වෙනකම්. හැබැයි මේ භයානක එට්කා ගිවිසුම අත්සන් කරන්න බොහොම හදිස්සයි. දැනට තිබෙන ඉන්දු ලංකා වෙළඳ ගිවිසුමේ ගැටළු බොහොමයක් තිබෙනවා. ඉන්දියාවේ ප්‍රාන්ත මඟින් නොයෙකුත් සංකීර්ණ බදු පනවනවා. ඇතැම් විට ඔවුන් වරායන් නම් කරනවා ඒවට විතරයි අපේ බඩු යවන්න පුළුවන්. ඉන්දියාවේ සිටින ලංකාවේ භාණ්ඩ ගැනුම්කරුවා ඒ සඳහා ආනයන බලත්‍රියක් ලබා ගත යුතුයි. ඒක දෙන්න ඔහුව සෑහෙන්න රස්තයාදු කරවලා ලංකාවෙන් භාණ්ඩ ගෙන්වන එක එපා කරවනවා. ඒ ප්‍රශ්න ගැන කතා කරාම ඉන්දියාව නෑ කියන්නේ නෑ. ඔවුන් පිළිගන්නවා මේ ගැටළු තිබෙන බව. ඒ සදහා ඔවුන් හරි අපූරු විසදුමක් යෝජනා කරනවා. ඒ තමයි තව මේ ගිවිසුම පුළුල් කරමින් සේවා ගිවිසුමක් අත්සන් කරන එක. ඒක තමයි එදා සීපා දැන් එට්කා කියලා එන්නේ. මේකට මැදිහත්වන ලංකාවේ ව්‍යාපාරික පුද්ගලයන් එදා ඉදලම කියන්නේ මේ ගැටළු මුලින්ම දැනට තියෙන නිදහස් වෙළද ගිවිසුමේ වපසරිය තුළම විසද ගන්න කියන එක. ඉතාම සාධාරණ ඉල්ලීමක්. ඊට පස්සේ පුළුවන් අළුත් එකක් ගහනවද නැත්ද කියන එක ගැන හිතන්න පටන් ගන්න. අපිත් රජයට කියන්නේ මුලින් මේ තියන ගැටළු ටික විසදලා ඉන්න. උතුරේ ධීවරයන්ගේ ගැටළුව ගැන ඉන්දියාව එක්ක කතා කරලා ඉන්න. දැන් ඉන්න කිසිම කෙනෙක්ගෙ විශ්වාසය දිනා ගැනීමට අසමත් වෙච්ච රජයේ උපදේශකයින් තුන්දෙනා මේ වැඩෙන් අයින් කරලා රටට හිතැති උපදේශකයන්ගෙන් උපදෙස් ගන්න.

එට්කා ගිවිසුමේ එන ගැටළු වලට දෙන අපූරු ඉන්දියානු විසඳුම

ඊළඟ කාරණය තමයි මේ ගිවිසුම අත්සන් කළොත් මේ ගිවිසුම නොයෙකුත් අර්බුද එනවා. ඒවා ගැන ඉන්දියාව එක්ක කතා කර්න්න ගියොත් ඉන්දියාව මොනවා යෝජනා කරයිද? වෙළඳ ගිවිසුමේ ගැටළු වලට විසඳුම ලෙස සේවා ගිවිසුමක් ඉදිරිපත් කළ මේ ඉන්දියානු ලොකු අයියා අපිට කියාවි මල්ලි ධන්ස්කොඩි ඉදලා මන්නාරමට පාලමක් ගැහුවම ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙනවා කියලා. ඒ දවස වැඩි ඈතක නෑ. මෑතකදී අපේ අගමැති තුමා ඉන්දියාවේ ගිය වෙලාවේ මේ ගැන කතා කළා කියල ඉන්දියානු මාධ්‍ය වාර්තා කළා. එදාට ලංකාපදීපය, දිවයින වගේම ‘ද අයිලන්ඩ්’ කියන පත්තරවල නම් පවා වෙනස් කරගන්න වෙනවා. එහෙම ටික දවසක් යනකොට “ද නේෂන්” කියන එකත් නැතිවේවි. ඒ නිසා මේ එට්කා රාමුව අප පරාජය කළ යුතුයි. රට පුරා වපුළන බොරු වෙනුවට මේ සත්‍යය ඔබ ගෙන යන්න. ඔබේ කෑම මේසයට, තේ මේසයට මේ සත්‍යය අරගෙන යන්න. අපට මාධ්‍යයේ ඉඩ අඩුයි. සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ අසත්‍යයට එරෙහිව සත්‍යය වපුරන්න.
 
එට්කා ගිවිසුමට එරෙහි සත්‍යයේ වාහකයෙක් බවට ඔබ පත් වන්න.

-තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංසදය

 

යුතුකම සංවාද කවය
www.yuthukama.com

One Response to “හර්ෂාගේ බොළද බොරුවලට වෘත්තිකයන්ගෙන් පිළිතුරු”

  1. Kumari Says:

    I’m very happy that the Sri Lankan professionals have got together to save the professions. From our young days the only mantra heard in many households was to study.

    I listened to few of the speeches and would like the readers to listen to Architect Nalaka Jayaweera and Engineer Palitha Abeywardena also to realise the dangers the country is facing through ETCA.

    In one speech it was mentioned that the Joint Opposition doesn’t want to get involved in the efforts of professionals. Very good. So be it. Don’t politicise. Let all the professionals stand on their own. Please don’t make this movement a Rajapakse vs Ranil.

    Dear Editor, please let us know in advance, when the next meeting, protest of the professionals are. Thank you.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress