එම් ඕ එච් හෙවත් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී
Posted on April 12th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

එම් ඕ එච් හෙවත් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ජනතාවගේ සෞඛ්‍යය රැක්ම සඳහා වැදගත් රාජකාරියක් කරයි. එසේම එය  අභියෝගාත්මක  රාජකාරියකි. මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේදී මම විවිධ අත්දැකීම් ලැබුවෙමි.

මිනිපේ දිස්ත්‍රික්කය විශාලය එහි බොහෝ ග්‍රාමසේවා වසම් තිබුනේය​. මේ සෑම ග්‍රාමසේවා වසමක්ම ආවරණය වන සේ පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් සේවය කලහ​. ඔවුන් ගර්භණී  මව්වරුන් ගේ සුවතාවය , ළමුන් ගේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් , පාසල් ළමුන් ගේ සෞඛ්‍ය වැනි විශාල වපසරියක් තුල තම දායකත්වය ලබා දුන්හ​.

moh

මා යටතේ පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයන් , මැලේරියා මර්ධන ඒකකයේ නිලධාරීන් සිටි අතර අපගේ ප්‍රධාන කාර්‍යාලය පිහිටියේ හසලක නගරයේය​. ළමුන් ගේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් වලදී මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ඒකකය විසින් විශාල වැඩකොටසක් කරන ලදි. ගලමුදුන උඩගල දෙබොක්ක වැනි වාහනයකින් යාමට පාරවල් පවා නොවූ අලින් ගෙන් ගහන වූ ප්‍රදේශ වලටද මේ සේවාවන් ලබා දෙන ලදි.

වරක් වන ජීවී කාර්‍යාලයෙන් ආරක්‍ෂකයෙකු ලබාගෙන මම සෞඛ්‍යය සේවා නිලධාරිනියන් සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයන් කිහිප දෙනෙකු සමගින් පයින්ම පුරා පැය තුන හතරක් දුෂ්කර මාර්ගයක ගමන් කොට ගලමුදුන ගම්මානයට ගොස් එහි සිටි ගම්වාසීන්ට සෞඛ්‍ය සායනක් කලෙමි.  දුප්පත් ගැමියන් අපට කොස් සමග බත් උයා දුන්හ​.තේ දුන්නේ ප්‍රණීත නැවුම් කිතුල් හකුරු සමගය.  අප ඔවුනට සැමන් ටින් සහ බිස්කට් ගෙන ගියෙමු.  සෞඛ්‍ය සායනය නිම කිරීමෙන් පසු අප සවස් වරුවේ නමෝ විත්තියෙන් පල්ලම් බැස්සේ අලියන් ගෙන් බේරීමටය​. වන ජීවී කාර්‍යාලයේ ආරක්‍ෂකයා ලඟ තුවක්කුවක් ද අලි වෙඩිද තිබුන නිසා සහනදායි හැඟීමක් පිරිසට දැනුන මුත් ඊට මාස කීපයකට එපිටදී අලියෙකු විසින් පහර දී ගම්වාසියෙකු මරු දැක තිබුනි.

අප සමග කොලොන්ගොඩ ග්‍රාමයේ ගැමියන් කිහිප දෙනෙකුද ගමන් කල අතර හින්නි මුදලාලි නම් ගැමියා නොයෙකුත් විනෝද කතා කීමෙන් ,සීපද කීමෙන් අපගේ වෙහෙස දුරු කලේය​. මෙම දුෂ්කර ගමන දැන් අගනා සිහිවටනයකි.  මේ අත්දැකීම දිගාමඩුල්ල ගැන ලියූ මායා රන්ජන් ගේ අත්දැකීම් වලට සමාන වෙයි.

වාර්ශිකව පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් අප ඉතා ආශාවෙන් සහ උනන්දුවෙන් කලෙමු. ප්‍රජා වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ මිය අපට මනා සහයක් දුන්නාය​. එසේම මේ වැඩසටහන් සඳහා පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් විසින් ස්ව කැමැත්තෙන්ම කිසිම මැසිවිල්ලකින් තොරව කරන ලද වැඩ කොටස ගැන සිතන විට අද මා විමතියට පත් වෙමි. වාහන පහසුකම් , ශීතතකරණ පහසුකම් නොතිබූ නොදියුණු පසුගාමී දිස්ත්‍රික්කයක ඔවුන් සැතපුම් ගනන් පයින් ගොස් ළදරුවන්ට පෝලියෝ ප්‍රතිශක්තිකරණය ලබා දුන්හ​.

පෝලියෝ වැක්සීනය නිරන්තරයෙන්ම අයිස් සමග ගැටෙමින් තිබිය යුතු අතර ශීතතකරණ නොමැති ප්‍රශ්නය අප නිරාකරනය කලේ ඉතා ගොරහැඩි නමුත් එලදායී ක්‍රමයක් මගිනි. අප උපත් පාලන කොපු වලට වතුර පුරවා ඒවා හසලක නගරයේ තිබූ ඉතා සීමිත ශීතතකරණ වල තබා අයිස් වන්නට හැරියෙමු. ඉන්පසු මේ   අයිස් කොපු කුඩා කන්ටේනර් වල බහා ඒ මධ්‍යයේ පෝලියෝ වැක්සීන වයල් තබා දිස්ත්‍රික්කය තුල අදාල ග්‍රාම සේවා වසම් වලට ප්‍රවාහනය කලෙමු.

අපට තිබුනේ එකම එක ඩබල් කැබ් රථයකි. එහෙත් මා සමග මිතුරු කමින් සිටි  මිනිපේ  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ  ඉංජීනේරුවරු වූ අබේරත්න සහ සිරිල් නානායක්කර යන මහතුන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කැබ් රථය  පෝලියෝ ප්‍රතිශක්තිකරණ දිනයේදී අපට දුන්නෝය​. එසේම  ජාතික ශිෂ්‍යභට බලකායේ රන්ටැඹේ කඳවුරේ මේජර්  සූරියකුමාර සහ කපිතාන් මිල්ලවාන ද අපට වාහන ලබා දීමෙන් මෙම වැඩසටහනට උපරිම සහයක් දුන්නෝය​. මේ හැර හසලක ප්ලෑන් ආයතනයද අපට උදව් කලහ​.

විවිධ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග මා විසින් පවත්වාගෙන ගිය මිතුදම් නිසා එක දුරකථන පණිවිඩයක් මගින් බොහෝ දේ කර ගැනීමට හැකි විය​. පෝලියෝ ප්‍රතිශක්තිකරණ දිනවලදී මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ රියැදුරු පුංචි  බණ්ඩා මහතා සහ අනෙකුත් නිලධාරී මහතුන් වූ මිල්ලගස්පතන , හේරත් (සමහරෙකුගේ නාමයන් මට අමතකය​) නොනිඳා සර්ව රාත්‍රිකව පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අවශ්‍ය දේවල් පිලියෙල කලෝය​. මේ සියලුමදෙනා සේවය කලේ වැටුපට නොව ආත්ම තෘප්තියටය​.

මේ වැඩසටහන් වලදී විනෝද ජනක දේවල් ද සිදු වූ බව මතකය​. මමත් මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ රියැදුරු පුංචි  බණ්ඩාත් අපගේ කැබ් රථයේ ලවුඩ්ස්පීකරයක් බැඳ පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහන ගැන ගමින් ගමට යමින් ගැමියන් දැනුවත් කලෙමු. එක් පණ්ඩිත ගැමියෙකුද අපගේ වාහනයට නැග කවි බසින් ඒ මහා භයානක පේලියෝ රෝගය​ට  (ඔහු පෝලියෝ රෝගයට කිව්වේ පේලියෝ රෝගය කියාය​) ප්‍රතිශක්තිකරණ අහවල් දිනයේ අහවල් තැන තියෙන බව කියා අවසානයේ සාදුකාරයක් දුන්නේය​.

තවද අපගේ පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනී කෙල්ලකගේ ගේ අතපසුවීමකින් ප්‍රතිශක්තිකරණ වැඩසටහන අවසානයේදී කොන්ඩොම්වල බහාලූ අයිස්  දියවීමෙන් පසු ඉතිරි වූ කොපු ඇය කසල ගොඩකට විසි කරන ලදි. මෙම ප්‍රතිශක්තිකරණ වැඩසටහන මොරයාය ප්‍රදේශයේ පන්සලක තිබූ අතර පන්සලේ කසල ගොඩේ උපත් පාලන කොපු විසිරී තිබීම නිසා විහාරාධිපති අපගේ ඇඟට ආ සේක​. මෙම අයිස් දමා තිබූ  ඉතිරි වූ උපත් පාලන කොපු  යළි හසලක සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට ගෙනවිත් එහිදී බැහැර කරන ලෙස මා උපදෙස් දී තිබුනද මෙම මධ්‍යස්ථානයේ සිටි පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් දෙදෙනාට එය අමතක වීමෙන් මේ ගැටුම හට ගත්තේය​. අවසානයේදී අප විහාරාධිපතිගෙන් සමාව ඉල්ලා කසල ටික සිලි සිලි මළු වලට  පුරවාගෙන ගෙනැවිත් බැහැර කලෙමු.

එම් ඕ එච් ලෙස සේවය කිරීමේදී වරක් මම හසලක නගරයේ අපිරිසිදු හෝටල් වැටලුවෙමි. එක් හෝටලයක කක්කුස්සිය අසලම ගැසූ නල ලිඳක් ද විය​. මේ අපිරිසිදු තත්වයන් සතියක් තුලදී වෙනස් කරන ලෙස මම ඔවුනට දැන්වූයෙමි. එසේම මේ හෝටල් වල අරක්කැමියන් ගේ නිය කැපීමටත් මාස හයක​ට වරක් ඔවුනට පණු බෙහෙත් ද ලබා දුන්නෙමු.

සමහර වෛද්‍යවරු එම් ඕ එච් තනතුර   සායනක අත්දැකීම් වලින් තොර ඉතා කාන්සිජනක එකක් ලෙස සලකති. නමුත් ප්‍රජාව සමග සම්බන්ධ වෙමින් සෞඛ්‍යය වැඩසටහන් කරන අයුරු මා ඉගන ගත්තේ මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදීය​. පසුකාලීනව පුත්තලම් දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍යය සම්බන්ධීකරණ නිලධාරී ලෙස සේවය කරන කාලයේදීද , කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව මහාචාර්‍ය ජිම් ඇල්කොක් යටතේ මානසික රෝගී තත්වයන් නිසා නිවාස  රහිත ( homeless )  ප්‍රජාව ගැන අධ්‍යනයේදීද මෙම මිනිපේ අත්දැකීම බොහෝ සෙයින් ප්‍රයෝජනවත් විය​.

වෛද් රුවන් එම් ජයතුංග 

3 Responses to “එම් ඕ එච් හෙවත් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී”

  1. dhane Says:

    Dear Dr Ruwan Jayathunga. I know you are a Nalandian. I am a Anandian in 1950s from your brother school. Although I live far away country I read most of your articles with your past experiences. When I am readying your articles I was wondering whether you can find any Medical Dr, Engineer or any grade Public servant today who were devoted to their service like in your articles. Forget about the politicians. There is non. Still I hope there are few public servants who are devoted but isolated. “එම් ඕ එච් ලෙස සේවය කිරීමේදී වරක් මම හසලක නගරයේ අපිරිසිදු හෝටල් වැටලුවෙමි. එක් හෝටලයක කක්කුස්සිය අසලම ගැසූ නල ලිඳක් ද විය​. මේ අපිරිසිදු තත්වයන් සතියක් තුලදී වෙනස් කරන ලෙස මම ඔවුනට දැන්වූයෙමි.”
    How many this type of Hotels in Colombo & other major cities. Once in a way raided but no action.

  2. Dham Says:

    Dhane,
    I have worked in many countries including Singapore where I believe people work hardest.
    But I have never seen a man dedicated to his public service as ex Auditor General of Sri Lanka ( who also worked in the treasury ). He is one of my close friends 100% clean honest man unfortunately sacked by MR few years ago. He works 365 days. No one can match him. Still live in a small apartment bought from government when he retired.
    I believe food selling places and restaurants were controlled to some extent lately during last years of MR’s rule. They are much better than in the 90s. But bribing still works.

  3. . Says:

    Dear Dhane; Thank you for your kind words, I am a simple man who did my duty as a MOH . Of course there are public servants who are devoted but isolated. But they have no voice.
    Ruwan

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress