සාදුකින් පෙලෙන උන් මැයි දිනයට නැගිටියව් !
Posted on April 26th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි 1 වන දා ලං ලංව එයි. මෙය ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස සැලකුනද, ශ්‍රී ලංකාවේ ඇති සියලුම ධනවාදී පක්ෂ ද මැයි දින සැමරුම් උත්සව පැවැත්වීම සාමාන්‍ය සිරිතකි.

මේ දිනවල කාගේත් අවධානයට ලක්ව ඇති කරුණ වන්නේ මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මතුව ඇති අර්බුදයයි. ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන ඇතුලු රජයට එකතු වූ පිරිස තම මැයි දින රැලිය ගාල්ලේදී පවත්වන්නට සියලු කටයුතු සූානම් කර ඇති අතර, ඒකාබද්ධ විපක්ෂය ද වැඩ කරන ජනතාව වෙනුවෙන් කිරුළපනදී වෙනම මැයි රැලියක් පවත්වන්නට සැරසෙමින් සිටී. එජාපයේ මැයි රැලිය සුපුරුදු පරිදි කැම්බල් පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ ශ්‍රීලනිප යේ මැයි රැලි අර්බුදය පිලිබඳව අදාල දෙපාර්ශ්වය අතරද, වෙනත් පාර්ශ්වයන් අතරද විවිධ ආකාරයේ කතාබහ මාධ්‍ය තුලින් ඇසේ. මේ කතාබහ සියල්ල අතර වඩාත්ම හාස්‍යජනක වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම ගැන එක්සත් ජාතික පක්ෂය හෙලන කිඹුල් කඳුලුය. වරෙක මහින්ද රාජපක්ෂ ඇතුලු කණ්ඩායම ශ්‍රීලනිප ය දෙකඩ කරන්නට හදන බවට චෝදනා කරන මොවුන් මී ලඟට, මෙතරම් වංචා දූෂණ  කල මහින්ද රාජපක්ෂට මැයි දින රැලියක් පැවැත්වීමට අයිතියක් නැති බව පවසති.

එසේ නම්? ඒ අයිතිය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට කියාද ඔවුන් පවසන්නේ? ප්‍රධානවම මේ චෝදනාව කරන එජාපය කතා කරන්නේ හරියට මැරී ඉපදුනා වගේය. ජාත්‍යන්තර කම්කරු දිනයක් එලැඹෙමින් ඇති මේ මොහොතේ ඔවුන්ගේම රජයක් යටතේ 1980 ජුලි වැඩ වර්ජකයන්ට අත් වූ ඉරණම මේ මැති ඇමතිලාට මතක් කර දිය යුතුය.

1980 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව පැවැත් වූ සමුලුවක දී එලඹුන ප්‍රධානතම තීරණය වූයේ සියලුම රජයේ හා පෞද්ගලික අංශවල සේවකයන්ට රු.300 ක වැටුප් වැඩිවීමක් සහ තවත් කරුණු කිහිපයක් රැගත් ඉල්ලීම් කිහිපයක් රජයට ඉදිරිපත් කිරීමටත්, රජය මීට සවන් නොදෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යාමටත්ය.

මේ වන විට කලින් පැවති රජය යටතේ භාණ්ඩ හිඟය, පෝලිම් සංස්කෘතිය වැනි ප්‍රශ්ණ නිසා ජනතාව අත්විඳි දුෂ්කරතා විකුණාගෙන විශාල ජන බලයක් ලබාගත් එජාප රජයට වසර තුනක් ගතව තිබිනි. ඔවුන් බලයට පැමිනි වහාම විවෘත කල ආර්ථික ප්‍රතිපත්ති ඹස්සේ රට තුලට ගලා ආ ආනයනිත ආහාර ඇතුලු භාණ්ඩ කන්දරාව මගින් ජනතාවගේ අවශ්‍යතාවයන් සහ අභිලාශයන් මහා පරිවර්තනයකට හසු කරමින් තිබූ අවධියයි ඒ. නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පවා දිනෙන් දින ඉහල යන විට ජනතාවට කන අඳින දේ පෙනෙන්නට තිබුනා කියා ඇති ඵලය කුමක්ද? ඔවුන්ට ඒවා මිලදී ගන්නට හැකියාවක් නොමැත. නමුත් මේ කාලයේ ද මගේ මතකයේ හැටියට පාර්ලිමේන්තු මැති ඇමති වරුන්ට තීරුබදු රහිත වාහන ඇතුලු වෙනත් වරප්‍රසාද ලැබෙමින් පැවතුනි. ඒ වන විට කඩිනම් මහවැලිය වැනි යෝධ ව්‍යාපෘතීන් ඔස්සේ රටට ගලා ආ ධනස්කන්ධයක් තිබියදී ද මෙසේ ජනතා ප්‍රශ්ණ දිනෙන් දින ඉහල යන්නට හේතුවද, ඔවුන් අද මහින්ද රාජපක්ෂට ඇඟිල්ල දිගු කොට කරන චෝදනාත්මක හේතූන්මය. එනම් නාස්තිය, දූෂණය සහ වංචාවය.

එදා, අද මෙන් සමාජ වෙබ් අඩවි භාවිතයේ නොතිබුන අතර, විද්‍යුත් මාධ්‍යයන් ඉතා සීමිත විය. ජනතාවට පුවත් මගින් හෝ ගුවන් විදුලිය මගින් ලැබෙන තොරතුරු වලින් සෑහිමකට පත් වන්නට සිදුවී තිබින. ඒවායිනුත් බහුතරයක් රජයේ ග්‍රහණයට හසුව තිබිනි. එබැවින් එකල සිදු වූ දූෂණ – වංචා කතාවන් වැඩි දුර දිග ගියේ නැත.

මෙවන් තත්වයක් මත එදා රජයේ සහ පෞද්ගලික අංශ සේවකයන් මසකට රු. 300 ක වැටුප් වැඩි වීමක් ඉල්ලුවේ දිනෙන් දින ඉහල යන ජීවන වියදම දරාගනු නොහැකි තැනය. ඒ වන විටත් අඩු තරමින් ජේ ආර් 77 දී දෙන්නට පොරොන්දු වූ ඇට රාත්තල් 8 වත් දී තිබුනේ නැත. මෙම ඉල්ලීම්වලට රජය කන් නොදුන් තැන 1980 ජුනි මස 5 වන දින දිවා ආහාර පැයේදී දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයකට එළැඹීමට වෘත්තීය සමිති තීරණය කලහ. එදා ඒ සංකේත වැඩ වර්ජනයට එජාප රජය යෙදවූ මැර පිරිස් පහර දුන් අතර, ඉන් එක් වර්ජකයකු මියගොස්, තවත් කිහිප දෙනෙකු තුවාල ලදහ.

රජයේ මේ හිතුවක්කාර ප්‍රතිපත්තයට එරෙහිව එම වසරේ ජුලි මාසයේදී වෘත්තීය සමිති විසින් සැලසුම් කල මහා වැඩ වර්ජනය ඇරඹිනි. සේවයට වාර්තා නොකරන පිරිස් සේවය අතහැර ගියා සේ සලකන බව රජය පාර්ශ්වයෙන් නිවේදනය කරන ලදී. එම තර්ජනයෙන් නොනැවතී, රජය විසින් ඒකමතිකව එළැඹුන තීරණයට අනුව වර්ජනයට සහභාගී වූ රජයේ සේවකයන් 40, 356 දෙනෙකු සේවයෙන් පහ කල බව 1980 ජුලි මස 24 වනදා අගමැති ආර්. ප්‍රේමදාස විසින් නිවේදනය කරන ලදී.

මේ වන විට රජය විසින් විශේෂයෙන් තම පාක්ෂිකයන්ට රැකියා ලබාදීම අරමුණු කර ගෙන පිහිටුවන ලද රැකියා බැංකුවල ලියාපදිංචි වී සිටි පිරිස් යොදාගෙන වහාම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට රජය පියවර ගත්තේය. එදා තමන්ගේ මේ හපන්කම ගැන ජේ ආර් උදම් ඇනුයේ ‘ ඔය අලියා යන්තම් හොඬවැල හෙලෙව්ව විතරයි’ කියමිනි.

මෙය, තම සේවක අයිතිවාසිකම් සඳහා ඉදිරිපත් වන්නන්ට වැදුනු මරු පහරක් වූ අතර, පසු කලකදී මෙම අත්තනෝමතික තීරණයේ අතුරු ඵල වශයෙන් මෙසේ රැකියා අහිමි වූවන්ට සහ ඔවුන්ගේ දරු පවුල් වලට විශාල දුර්විපාක වලට මුහුණ දීමට සිදුවිය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පලමු වරට මැයි දිනය තහනම් දිනයක් බවට පත්වූයේ එජාප රජය තම දැවැන්ත මර්ධනකාරී ආඥාදායකත්වය සියලු විපක්ෂ ක්‍රියාකාරීන් හමුවේ මුදාහැර තිබූ වකවානුවේය. ඒ 1987 මැයි 1 දාය. එයට එරෙහිව විපක්ෂය නාරාහේන්පිට අභයාරාමයේදී මැයි දිනය සැමරූ අතර ආණ්ඩුව පොලීසිය යොදවා වෙඩි තබා දෙදෙනෙක් ඝාතනය කරන ලදී.

ඒ වත්මන් අගමැතිවරයාද කැබිනට් අමාත්‍ය ධූරයක් හෙබවූ 77 -94 එජාප දුර්දාන්ත පාලනයේ මුල්ම සමය තුල සිදු කල හපන් කම්ය. මහින්ද රාජපක්ෂට වැඩ කරන ජනතාව එක් රැස් කරන්නට අයිතියක් නැතැයි පවසන්නේ එහෙව් එක්සත් ජාතික පක්ෂයයි.

අජිත් මාන්නප්පෙරුම හෝ ලක්ෂ්මන් කිරිඇල්ල වැනි එජාප ඇමතිවරුන් හෝ ඊනියා සම්මුතිවාදී රජය සමග එක් වූ සන්ධාන ඇමතිවරුන් ද පවසන පරිදි ශ්‍රීලනිප ය දෙකඩ කරන්නේ මහින්ද ද? එය  හැබෑවටම සිදු කරන්නෙ එජාපයයි. ඔවුන් ඒ සඳහා පාවිච්චිකල ඉත්තා මෙෙත්‍රීපාල සිරිසේනය. එදා ඔහු එජාපය ඇතුලු වෙනත් පක්ෂවල ආශීර්වාදයෙන් මහින්ද රාජපක්ෂ පැරදවූ අතර, ඊට ප්‍රති උපකාර ලෙස එජාප රජයේ බලය තබා ගැනීමට සන්ධානයේ පිරිසක් තනතුරු වරදාන මගින් රජයට නම්මා ගත්තේය. මේ නයින් බැලූ කල එජාපයේ හිත සුව පිනිස වැඩකරමින් සිටින්නේ සැබැවින්ම මෙෙත්‍රී පිල නොවේද?

මේ ආකාරයෙන් තම වාසියම අරමුණ කරගෙන, යථාර්තයට දෑස වසාගත් පිරිසකට කිසි දිනෙක වැඩ කරන ජනතාවගේ දුෂ්කරතා වැටහෙනු නැත.

ඉතා සුලු ඡන්ද ප්‍රමාණයක් ලබාගත් සරත් ෆොන්සේකා එජාප ය සමග ගිවිසුම් ගතව, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගෙන ඇමතිකමක් ද ලබාගෙන ඇත. එජාපය, මෙෙත්‍රීපාල සිරිසේන මෙන්ම මොහුවද භාවිතා කරන්නේ පැහැදිලිවම රාජපක්ෂ පිලට පහර ගැසීමටය. පසුගිය සතියක පුද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී, ඔහු තමන්ට මහජන සේවය සඳහා ගමන් බිමන් යාමට රු. ලක්ෂ 400 ක් වටිනා වාහනයක් ඉල්ලා සිටීමේ කරුණ සාධාරණීකරනය කලේය. ඔහු පැවසුවේ අනිකුත් මැති ඇමතිවරු පාවිච්චි කරන්නේ රු. ලක්ෂ 500 වාහන බවත්, තමා ඒ අතින් රජයට රු. ලක්ෂ 100 ක ලාභයක් කල බවත්ය. මහජන සේවය සඳහා ලක්ෂ 400 ක ම වාහනයක් අවශ්‍යමද යනුවෙන් ප්‍රශ්ණකරු විමසූ විට, තමාට තම රාජකාරි සඳහා සුව පහසුවට යාමට අවශ්‍ය බවත්, එවන් වාහනයක නොගියහොත් තම ඇඟ පත තැලී පොඩිවී, මහජන සේවය පසෙක තබා ඇඟේ අමාරුවට නිදා ගන්නට සිදුවනු ඇති බවත් ඔහු පැවසීය. අප රටේ මහජන නියෝජිතයෙකු ලෙස  මේ උද්දච්ච මිනිසා වෙතින් පිළිබිඹු වූ ආකල්ප සහ සංවේදීභාවයේ තරම දුටු විට ඔහු වෙතින් ජනතාවට අපේක්ෂා කල හැක්කේ ‘පාන් ගණන් වැඩි නම් කේක් කාපල්ලා’ යන උපදෙසට වැඩි දෙයක් නොවේ.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ තත්වය අමුතුවෙන් විස්තර කල යුතු නොවේ. ඉතින් බස් රිය, දුම්රියවල තැලී පොඩිවී, දූවිලි කාගෙන, තනි කකුලෙන් හිටගෙන ගොස් සේවා ස්ථානවලට යන වැඩ කරන පන්තියේ ජනතාවට, මෙවන් ඇමතිවරුන් මෙවර මැයි රැලියේ වේදිකාවේදී රට නගා සිටුවන්නට උපදෙස් දෙනු ඇත. රට කරවන ඇත්තන්ට ලක්ෂ 400 ට අඩු වටිනාකමින් යුතු වාහනයක ගිය විට ඇඟපත තැලී නිදා ගන්නට සිදු වෙනවා නම්, අප රටේ පොදු ප්‍රවාහණ සේවයේ ගමන් කරන වැඩ කරන පන්තියේ ජනතාවගෙන් විශිෂ්ඨ ගනයේ සේවාවක් කෙසේ අපේක්ෂා කරමුද?

පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින් 225 ට තීරුබදු රහිත වාහන මිලදී ගැනීම සඳහා $ 62 500 බැගින් වටිනා බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ලැබී ඇත. ඒ අතර එජනිස ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර පැවසුවේ තම රජය, රජයේ සහ පුද්ගලික අංශයේ වැටුප් රු. 10 000 කින් වැඩිකල බවත්, මේවාට වැඩිවන වියදම් පියවීමට රජයට ආදායම් අවශ්‍ය බවත්ය. මැයි 1 දා සිට වැඩිවන වැට් බද්ද සම්බන්ධව ඔහු පවසන නිදහසට කරුණ එයයි. ඒ අනුව මේ වැටුප් වැඩි කිරීම පෙන්වා උදුරා ගැනීමකි.

එමෙන්ම පසුගිය දිනෙක රූපවාහිනී නාලිකාවන් ඔස්සේ කතාකල මහරගම පිලිකා රෝහලේ අධ්‍යක්ෂකවරයා, තම රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිල දී ගැනීමට දායකවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කිසිදු ඵලදායිතාවක් නැති තකතිරු දේශපාලකයින් රැලක් නඩත්තු කරන්නට ඉතා විශාල මුදල් කන්දරාවක් වියදම් කරන අප රටේ, අසරණ පිලිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය උපකරණ මිලදී ගන්නට ප්‍රතිපාදන වෙන්ව නැත ! මේ ගැන සෞඛ්‍ය ඇමති නිහඬය. මන්ද ඔහුට යන්තම් හෘදයාබාධ ලක්ෂණ පහල වන විටම විදේශ රටකට ගොස් ප්‍රතිකාර ගැනීමේ හැකියාව ඇත. ඔහුට පාලු නැත. ඔහුගේ පවුල පිටින්ම එහි ගොස් උපන්දින සාද පවත්වති. අනිත් පාර්ලිමේන්තු සගයෝ ඔහු දකින්නට නෑගම් යති. මේ ගැන මාධ්‍ය කතාකල විට ඒ ඔවුන්ගේ පුද්ගලික මුදල් බව පවසති. මේ පුද්ගලික මුදල් ඔවුන්ට කොහෙන්ද? ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාට අනුව රු. ලක්ෂයක වැටුපෙන් ඔවුන් ජීවත් වන්නේ අමාරුවෙනි ! එසේ නම් ඔය පෞද්ගලික මුදල් ලැබෙන ක්‍රම ගැන සොයාගන්නට මොලයක් ඇති කෙනෙකුට කිරිඇල්ලගේ කිරිපල්ල අතගාන්නට අවශ්‍ය නොවනු ඇත.

මහජනතාවට සිදුව ඇත්තේ මේ අවස්ථාවාදී, අසික්කිත දේශපාලන සංස්කෘතිය දෙස සිත් වේදනාවෙන් බලා සිටින්නට පමනි. තම තමන්ගේ පෞද්ගලික සැප පහසුව ගැන මේ අයුරින් ඉතාම ආත්මාර්ථකාමී ලෙස, පහත් අයුරින් කතා කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරු, වැඩ කරන ජනතාව වෙනුවෙන් හඬ නැගීම පිලිබඳ අයිතිවාසිකම් තම භුක්තියට තබා ගන්නේ කෙසේද?

දැන් දැන් මේ මැයි රැලි වලට සෙනග අදින්නට සැරසෙන ක්‍රම සහ ඊට වියදම් කරන්නට යන මුදල් මිලියන ගනන් පිලිබඳවත් මේවා සංවිධානය කරන අයගේ පැටිකිරිය ගැනත් සමාජය තුල කසු කුසු ඇසෙයි.

මේ නම් වැඩ කරන ජනතාව ගැන සහානුකම්පාවෙන් සිදු කරන ක්‍රියාවන් නොවේ. මේ චරිතයන් තුල ජාත්‍යන්තර කම්කරු දිනයේ අර්ථය පිලිබඳවත් අවබෝධයක් වේ දැයි සැක සහිතය.

ශ්‍රී ලංකාවේ වැඩ කරන පන්තියේ ජනතාවට, රට කරවන පන්තියේ ජනතාව වෙතින් ලැබෙන සැලකිල්ල මෙයාකාරය !

One Response to “සාදුකින් පෙලෙන උන් මැයි දිනයට නැගිටියව් !”

  1. Christie Says:

    සින්හලයේ කම්කරුවෝ සිටියේ නැත. හැම කෙනෙකුටම ජීවනෝපායක් තිබින. ඒ නිසා තමයි බිරිතානියෝ කලුවහලුන් වෙනුවට ඉන්දියානු පරපෝසිතයන් ගෙනැවිත් අපේ ජීවනෝපායන් නැතිකරල දැම්මෙ. .

    උන්ගෙන් තමයි අපේ ඔය කියන කම්කරු සෙල්ලම පටන් ගත්තෙ. ඒවයෙ සින්හල නායකයෝ ඉන්දියානු පරපෝසිත වෙලෙන්ඳන්ගෙ කාසි වලින් තමයි ඔය කියන කම්කරු වියාපාර ගෙනගියෙ. හොඳම උදාහරනය තමයි ණ්M සහෝදරයා. මුන් ඉන්දියානු පරපෝසිත දනපතියන් ගැන කවද්ද කතාකලේ. උන් කලේ උන්ගෙන් කාල සින්හල වියාපාරිකයන් විනාස කිරීමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress