මානසික රෝගීන් අතර
Posted on May 30th, 2018

වෛද් රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි. ඉතා සුළු කොටසක් ඇරුනු කොට බොහෝ මානසික රෝගීන් ආක්‍රමණකාරී නොවෙති.  ලංකාවේ මෙන්ම වෙනත් රට වලද මෙම මිත්‍යාව විශ්වාස කරන්නන් මට හමුවී තිබේ. බොහෝ විට ප්‍රචණ්ඩ ක්‍රියා , ඝාතන ආදිය සිදු කොට තිබෙන්නේ ප්‍රකෘතිමත් මානසික තත්වයක් ඇති බවට සලකන ලද පුද්ගලයන් මිස මානසික රෝගීන් නොවෙති. 

මෝහ අක්‍රමතා (Delusional Disorders  ) , භින්නෝන්මාදය (Schizophrenia ) මනෝව්‍යාධික විශාදය (Psychotic Depression ) ඔතෙලෝ සින්ඩ්‍රෝමය හෙවත් ව්‍යාථවේදී මාත්සර්‍ය්‍යය (Pathological Jealousy) විඝටන ආබාධ (Dissociative Disorders ) පෞරුෂ අක්‍රමතා (Personality Disorders ) යන මානසික රෝගී තත්ව තිබූ   රෝගීන්  අතරින් සුළුතරයක් විසින් අපරාධ සිදු කොට තිබෙන බව සැබෑය​. උදාහරණයක් ලෙස ජෝන් ලෙනන් ඝාතනය කල මාක් ඩේවිඩ චැප්මන් එම අපරාධය වෙත යොමු වන්නේ ඔහුට තිබූ පැරනොයිඩ භින්නෝන්මාදය නිසාය​. එසේම රොබට් කෙනඩි හට වෙඩි තැබූ සර්හෑන් සර්හෑන් නම් පුද්ගලයා විඝටන ආබාධයකින් පෙළුණු බව සැක කෙරේ. 

මාගේ සායනික ජීවිතයේදී ආක්‍රමණකාරී මානසික රෝගීන් ස්වල්ප දෙනෙකු මට හමුවී තිබේ. 1991 වසරේදී යූක්‍රයීනයේ යූෂින්කා මානසික රෝහලේ මනෝ වෛද්‍ය ලුද්මිලා වේව්ස්කයා විසින් වෛද්‍ය සිසුන් වූ අපට පෙන්වන ලද කාන්තාවක් අධි ප්‍රචණ්ඩත්වයේ ලක්‍ෂණ පෙන්වූවාය​. ඇය ද්වී ද්‍රැව විශාදයෙන් (Bipolar Affective Disorder) පෙළුණු කාන්තාවකි.  මේ කාලයේදී මනෝ වෛද්‍ය ලුද්මිලා වේව්ස්කයා විසින් රොස්ටොව්හි සීරියල් ඝාතකයෙකු වූ අන්ද්‍රේ චිකිතීලෝ ගැන අපට විස්තර කරනු ලැබීය​. ඔහු විසින් ඒ වන විට ළමුන් සහ කාන්තාවන් පනස් ගනනකට අධික සංඛාවක් ඝාතනය කොට තිබුනි. අන්ද්‍රේ චිකිතීලෝ පසු කාලයක බටහිර ලෝකයේ අවධානය ට පාත්‍ර වූ  චරිතයක් විය. ඔහුගේ චරිතය ආශ්‍රයෙන් නිශ්පාදනය කරන ලද සිටිසන් එක්ස් චිත්‍රපටය ජනප්‍රිය විය​. එම චිත්‍රපටයේ ස්ටීවන් රියා සහ ඩොනල්ඩ් සදලන්ඩ් රඟපාන ලදි. අන්ද්‍රේ චිකිතීලෝ පිලිබඳ මානසික විශලේෂණය කරන ලද්දේ රොස්ටෝව් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය බුහනොව්ස්කි විසිනි. කහවත්ත සීරියල් ඝාතන වන සමයේදී මම මහාචාර්‍ය බුහනොව්ස්කිව ඇමතුවෙමි. එම කහවත්ත ඝාතන අධ්‍යනය කල ඔහු ඒවා අාශ්‍රයෙන් ඔහු වැදගත් කරුණු  කිහිපයක් හෙලි කලේය​.  

එංගලන්තයේ රෝයල් බ්‍රොම්ප්ටන් රෝහලේ වෛද්‍යවරයෙක් වරක් මට ඔහුගේ අත්දැකීමක් කීවේය​. මානසික රෝග වාට්ටුවකදී අනපේක්‍ෂිතව රෝගියෙකු විසින් ඔහුට පහර දෙන ලදි. මෙවැනිම ආකාරයේ අත්දැකීමක් මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා වරක් මට හෙළි කලේය​. වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා එංගලන්තයේ පුහුණුව ලබන කාලයේදී  වාට්ටුවට යමින් සිටි අවස්ථාවක බ්‍රිතාන්‍ය -ජැමෙයිකානු  මානසික රෝගියෙකු විසින් ඔහුට පහර දෙන ලදි. රෝහල් බලධාරීන් විසින් මෙම රෝගියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදහස් කලද වෛද්‍ය නීල් ප්‍රනාන්දු ගේ ඉල්ලීම මත එය අත් හැර දමන ලදි. 

වරක් ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් රෝහලේදී මනෝ විද්‍යාඥ සුසන් රොජර්ස් විසින් EMDR ප්‍රතිකාරය සඳහා ගල්ෆ් යුද වෙතරානුවෙකු මට යොමු කලාය​. ඔහු සුදු ඇමරිකානුවෙකි. ඔහු ස්පෙෂල් ෆෝර්සස් හෙවත් විශේෂ බලකායේ සෙබලෙකි. ඉරාකයේදී ලත් යුද අත්දැකීම් නිසා ඔහු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුනේය​. මෙම රෝගියා සම් බන්ධයෙන් ප්‍රතිකාර වටය ආරම් භ කිරීමට යත්ම ඔහු විඝටන ප්‍රතික්‍රියාවකට ලක් විය​. මගේ හමේ පැහැය නිසා ඔහු සමහරක් විට මාව සතුරු සොල්දාදුවෙකු කියා දකින්නට ඇත​. කෙසේ නමුත් අනෙක් කාමරයේ විපරමින් සිටි මනෝ වෛද්‍යවරයෙකු මගේ සහයට විත් රෝගියාව සන්සුන් කලේය​. මෙම උස මහත ශක්තිමත් ස්පෙෂල් ෆෝර්සස් භටයාට එක අතින් මගේ බෙල්ල කුකුලෙකුගේ බෙල්ලක් කඩන්නාක් මෙන් කඩා දැමීමට හැකියාවක් තිබුනේය​. 

1998 අතර කාලයේ මීගමුව රෝහලේ මානසික රෝග සායනය සඳහා පැමිනියේ මනෝ වෛද්‍ය ලලින් ප්‍රනාන්දු මහතාය​. මේ සායනය සඳහා වෛද්‍ය ලලින් ප්‍රනාන් දු මහතාගේ සහායට රෝහල් වෛද්‍යවරයෙකු සහභාගී වෙයි. බොහෝ විට මම එම සායනයට ගියෙමි. වරක් එම සායනයේදී මානසික රෝගී තරුණියක් සායනික පොත් නිකුත් කරන උපස්ථායකයෙකු වූ කැමිලස් වෙත කඩා පැන ඔහුට පරිභව කරන්නට වූවාය​. මාද අසල වූයෙන් ඇයගේ වාග් ප්‍රහාරයට මාවද  ගොදුරු විය​. කෙසේ නමුත් හැලඩෝල් එන්නතක් විදීමෙන් ඇයව සන්සුන් කරන ලදි.  

කළුබෝවිල රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ එස්.ඩී ෆොන්සේකා මහතා යටතේ ස්ථාපන පුහුණුව ලබන කාලයේ එතුමාගේ වාට්ටුවේ භින්නෝන්මාදයෙන් පෙළුණු වෛද්‍යවරියක් සේවය කලාය​. වෛද්‍ය සහ හෙද කාර්‍යමණ්ඩලය ඇයට කිසිදු වෙනස්කමකින් තොරව සලකන ලදි. එහෙත් මේ වෛද්‍යවරිය මෝහ තත්වයන් නිසා සමහරක් විට යම් යම් අභූත චෝදනාවන් කියමින් කාර්‍ය මණ්ඩලයට තදින් දෝෂාරෝපණය කිරීම කරන ලදි. වරක් ඇය මට චෝදනා කලේ රෝගියෙකුට අනවශ්‍ය ලෙස ඊසීජී පරීක්‍ෂණයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙනි. ක්‍රමක් ක්‍රමයෙන් වාග් ප්‍රහාරය එල්ල කරමින් ප්‍රචණ්ඩ වන මෙම කාන්තාව සමනය කරන ලද්දේ වෛද්‍ය සබේෂන් විසිනි.  මෙම රෝගියා සබැඳිව එවැනි පරීක්‍ෂණයක් මා විසින් නියෝග නොකල බව වෛද්‍ය සබේෂන් දැන සිටියේය​. පසු කාලයක මෙම කාන්තාව වෙනත් රෝහලක සේවය කරමින් සිටියදී යලිත් මනෝව්‍යාධික තත්වයක් නිසා මා මිත්‍ර වෛද්‍ය චන්ද්‍රසිරි තෙන්නකෝන්ට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා  හඹා ආ බව පසු කාලයකදී ඔහු මට හෙලි කලේය​.  එසේ නමුත් මානසික රෝගයකින් පෙළුනු රෝගී වෘත්තිකාවකට  වෙනස් කමකින් තොරව සැලකීමට වෛද්‍ය කාර්‍ය මණ්ඩලය ක්‍රියා කල බව කියන්නේ ඔවුන් කෙරෙහි ගරුත්වයකිනි. 

යුද හමුදා රෝහලේ මානසික රෝග වාට්ටුවේ රෝගීන් සුළුතරයක් ආක්‍රමණශ්‍රීලී චර්‍යා රටා පෙන්වූහ​. වරක් අළුත් වැඩියාව වාට්ටුවේ පැරණි බිත්තියක් කුළු ගෙඩියක ආධාරයෙන් බාස් කෙනක් කඩමින් සිටි අතර එම ශබ්දය ආර්ටිලරි හඞක් බව වරදවා වටහා ගත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුණු සෙබලෙකු ප්‍රචණ්ඩ විය​. ඔහු වාට්ටුවේ සිටි සිවිල් සේවයකුටද තවත් රෝගියෙකුටද පහර දී සෙල්ලම් බඩුවක් පෙරලන්නාක් මෙන් තම යකඩ ඇඳ උස්සා විසි කලේය​. මෙම රෝගියා වෙත කිට්ටු වීමට හෙද නිලධාරීන් ද බිය වූහ​. වාසනාවකට මෙන් වාට්ටුව අසලින් ගිය කමාන්ඩෝ භටයෙකු අපගේ උපකාරයට ආවේය​. ඔහු එකවරම රෝගියා වෙත පැන රෝගියාව ග්‍රහනය කර ගත් අතර ඒ අවස්ථාවේදී මෙම රෝගියාට එන්නතක් විද ඔහුව සන්සුන් කරන ලදි. 

තවත් අවස්ථාවක ප්‍රචණ්ඩ වූ රෝගියෙකු වීදුරු බෝතලයක් අතින් ගෙන තර්ජනය කරමින් සිටියේය​. මේ රෝගියාට මා විසින් ප්‍රතිකාර කොට තිබූ නිසා අප අතර යම් ප්‍රතිකාරාත්මක සබඳතාවක් තිබුනේය​. එම නිසා මම අවදානමක් ගෙන ඔහු වෙත ගොස් ඔහු අසල වාඩිවී ඔහුට සන්සුන්ව කතා කොට බෝතලය ඉල්ලා සිටියෙමි. කිහිප වරක් බෝතල පොලවේ ගැසීමට උත්සහ කල ඔහු අවසානයේදී බෝතලය මගේ අතට දී මාව වැළඳගෙන හඞන්නට විය​. මෙම රෝගියා සම්බන්ධයෙන් චෝදනා ගොනු කොට ඔහුගේ ඒකකයට යැවීමට ප්‍රධාන හෙද නිලධාරියා සූදානම් වූවද මම එය වැලැක්කුවෙමි. ඒ මන්ද යත් ද්වී ද්‍රැව විශාදයෙන් පෙළුණු මෙම රෝගියාට ඔහුගේ මව් ඒකකයේදී හිරිහැර වලට මුහුණ දීමට ඉන් අවකාශ ලැබෙන නිසාය​. මේ සිදු වීමෙන් වසර දෙකකට පමණ පසුව මේ රෝගියා මට මුල්ලේරියාව රෝහලේදී හමු විය​. ඒ වන විට ඔහු හොඳ සුවයක් ලබා තිබුණි. 

තවත් අවස්ථාවකදී ද්වී ද්‍රැව විශාදයෙන් පෙළුණු රෝගියෙකු වාට්ටුව අසල නවතා තිබූ මාගේ වාහනයට තදින් පා පහරක් දී ඊට අලාබ හානි කලේය​. රෝහලේ දෙවන අණ දෙන නිලධාරී ලෙස ක්‍රියා කල සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකු මවෙත පැමිණ රෝගියා සම්බන්ධයෙන් පැමිනිල්ලක් කරන ලෙස කීවද මම එය ප්‍රත්ක්ශේප කොට රක්‍ෂණ සමාගම මගින් වාහනය අළුත් වැඩියා කර ගත්තෙමි. පසු කාලයක මානසික රෝගියෙකු විසින් මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන් ද්‍ර මහතාගේ වාහනයටද අලාභ හාණි  කල බව මට අසන්නට ලැබුනේය​. මේවා ප්‍රොෆෙෂනල් හැසාඩ්ස් හෙවත් වෘත්තීය උවදුරු වෙයි. 

2006 වසරේදී මම මනෝ වෛද්‍ය  නීල් ප්‍රනාන්දු මහතා යටතේ අංගොඩ රෝහලේ මානසික රෝග පිලිබඳ  වැඩිදුර  පුහුණුවක් ලැබුවෙමි. මේ කාලයේ අංගොඩ රෝහලේද ජාතික රෝහලේ පවත්වන ලද මනෝ වෛද්‍ය සායනයටද මම වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග සහභාගී වූයෙමි. වරක් අංගොඩ රෝහලේ වෝඩ් රවුන්ඩ් අවසන් කොට අප දෙදෙනා කතා කරමින් පිරිමි වාට්ටුව අසලින් ගියෙමු. ඒ අවස්ථාවේදී වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මාවද පසෙකට තල්ලු කොට ඔහුද පසෙකට පැන ගත්තේය​.  පසුව මට කාරනය තේරුම් යන ලදි. වාට්ටුවේ එක් රෝගියෙකු අසූචි සහ මුත්‍රා මිශ්‍ර කොට ප්ලාස්ටික් කෝප්පයකට දමා අප වෙත දමා ගැසීමට කල උත්සහය නීල් ප්‍රනාන්දු මහතාගේ  වෑයම නිසා වැලකී ගියේය​. ඉන් පසුව වාට්ටු වල ජනෙල් අසලින් යාමේදී මම බෙහෙවින්ම ප්‍රවේසම් වූයෙමි. 

 කැනඩාවේදීද මම භයානක අත් දැකීමකට මුහුණ දුන්නෙමි. වරක් මනෝ වෛද්‍ය පීටර් සෙලීනා මට රෝගියෙකු යොමු කලේය​. ඔහුව හමු වීම සඳහා ඔහුගේ කාමරයට මම ගියෙමි. මෙම තරුණ උස මහත රෝගියා කොකේන් සහ ක්‍රිස්ටල් මෙත් භාවිතය නිසා මනෝව්‍යාධික ලක්‍ෂණ පෙන්වූ රෝගියෙකි. ඔහු අනපේක්‍ෂිතව ඇඳෙන් නැගිට මා වෙත එන්නට විය​. මම ක්‍රමක් ක්‍රමයෙන් පසුපසට ගියෙමි. ඔහු තර්ජනාත්මක ලීලාවෙන් මවෙත ආවේය​. ඇත්තෙන්ම එදින මම බිය වූයෙමි. මම සන්සුන් ලෙසින් හෙදියන් සිටි නර්සින් ස්ටේ‍ෂන් එක වෙත ගියෙමි. ඔහුද මා පසුපස ආවේය​. එහි සිටි එක් හෙදියක්  මාව දැක එලියට ආවාය​. ඇය වහාම රෝගියා අමතා ඔහුගේ කාමරයට යන ලෙස නියෝග කලාය​. ගුරුවරියකට කීකරු වන සිසුවෙකු මෙන් රෝගියා ඔහුගේ කාමරයට ගියේය​. ඉන්දියානු ජාතික කුඩා ශරීරයකින් හෙබි හෙදිය ගර්භණී තැනැත්තියක බව මට මට පෙනුනි. ඇයගේ නිර්භීත බව මගේ ඉමහත් ගරුත්වයට ලක් විය​. පසු සතියක මම තවත් හෙදියෙකුගේ ආධාරයෙන් මෙම රෝගියාගේ රෝග ඉතිහාසය ලබා ගත්තෙමි. එදින ඔහු ඉතා සන්සුන් අයුරින් මට උත්තර දුන්නේය​. 

මානසික රෝගීන් ගෙන් සුළු කොටසක් ප්‍රචණ්ඩ හැසිරීම් පෙන්විය හැක​. නමුත් බහුතරය ඉතාම සන්සුන් වෛද්‍ය කාර්‍ය මණ්ඩලය කෙරෙහි අගතියකින් තොරව ක්‍රියා කරති. එහෙත් සමාජය මානසික රෝගීන් කෙරෙහි බියක් දක්වති. එය අනවශ්‍ය බියකි.  ඔවුනට නිසි ප්‍රතිකාර ලබා  දෙන්නේ නම් ඔවුන් ගෙන් සමාජයට උවදුරක් නොමැත​.  

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress