19: ශූන්‍යයයි, බල රහිතයි?
Posted on November 7th, 2018

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

ඇමෙරිකා ජනපද සංගමයෙන් අපේ රටට තානාපති නෝනා කෙනෙක් පත්කරලා. ඒ නෝනාට ඇලෙයිනා බී. ටිප්ලිට්ස් වගේ නමක් තියෙන්නේ. නම මොකක් වුනත් කමක් නෑ. අපිට වැදගත්වෙන්නේ ඒ නෝනා කරන වැඩනේ. අලුතින් තානාපති කෙනෙක් පත්වෙලා ආවාම මුලින් ම කරන්නේ අපේ ජනාධිපතිතුමා මුණගැහිලා අක්ත පත්‍ර භාරදෙන එක. මේ නෝනා තවමත් ඒ වැඩේ කළ බවට නම් ආරංචියක් නෑ. ඒත් ආ පයින් ම කතානායකතුමාවත්, දෙමළ ජාතික සංධානයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් සමන්විත විපක්‍ෂයේ නායකයාත් මුණගැහිලා. කතානායක කරූ ජයසූරිය මහත්තයා මුණගැහුණාට පස්සේ ඒ නෝනා කියනවා තෝරාපත් කරගෙන ඉන්න නියෝජිතයෝ එකතුවෙලා ප්‍රජාතාන්ත්‍රිය විදිහට” දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නය විසඳගන්න කියලා.

ජනාධිපතිවරයා කියලා කියන්නෙත් අපේ රටේ මිනිස්සු එකතුවෙලා තෝරාපත් කරගත්ත නියෝජිතයෙක්. එහෙම නැතුව එංගලන්තයේ එලිසබෙත් රැජින විසින් පත්කරලා එවපු නියෝජිතයෙක් නෙවෙයි. අපේ රටේ ජනතාවට අයිති විධායක බලය ක්‍රියාත්මක කරවන්නේ මේ විදිහට අපි තෝරාපත් කරගෙන ඉන්න විධායක ජනාධිපතිවරයා මාර්ගයෙන්.

අපේ රටේ ව්‍යවස්ථාදායකයකුත් තියෙනවා. ව්‍යවස්ථායක බලයත් අයිති අපිටමයි. අපිට එකතුවෙලා ඒ බලය ක්‍රියාත්මක කරන්න බැරි හින්දා අපි තවත් පිරිසක් ඒ වැඩේට තෝරාපත් කරගෙන තියෙනවා. ඒ අයට අපි කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියලා. ඒත් අපේ ව්‍යවස්ථාදායක බලය මුළුමනින් ම නියෝජනයකිරීමේ ඉඩක් අපි ඒ අයට ලබාදීලා නෑ. සමහර කරුණු කාරණා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න කෙළින් ම අපේ කැමැත්ත ඕන වෙනවා. අපි අපේ ඒ කැමැත්ත ලබාදෙන්නේ ජනමත විචාරණ මාර්ගයෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපි පවරපු කාර්යයක් තියෙනවා. ඒ තමයි අපේ රට පාලනයකරන්න උවමනාකරන නීති, අණ පනත් සම්පාදනය කරන කටයුත්ත. ඉතින් ඒ අයට අපි පවරලා තියෙන්නේ ව්‍යවස්ථාදායක බලයක්. ඊට අමතරව අපේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්න ඕනකරන ආයතන හදලා දෙන වගකීමත් අපි ඒ අයට පවරලා තියෙනවා.

හැබැයි අපේ රටේ විධායක බලය අපි පවරලා තියෙන්නේ ඡන්දයෙන් තෝරා පත්කරගත්ත ජනාධිපතිවරයාට. අගමැතිවරයෙක් පත්කරනවා කියලා කියන්නේ, ඇමැතිවරු පත්කරනවා කියලා කියන්නේ, ඒ අය ඉවත්කරනවා කියලා කියන්නේ අපේ විධායක බලයට අයිති වැඩ. ඒ, ව්‍යවස්ථාදායක බලයට අයිති කටයුතු නෙවෙයි. ඒ වගේ ම, පාර්ලිමේන්තුව කැඳවන එක, පාර්ලිමේන්තුව වාරාවසාන කරන එක, පාර්ලිමේන්තුව විසුරවන එක අයිතිවෙන්නෙත් අපේ විධායක බලයට. මේ කටයුතු ව්‍යවස්ථාදායක බලයට අයිති නෑ.

ව්‍යවස්ථාදායක බලය වගේ ම විධායක බලයත් රටේ ජනතාවට අයිති එකක්. අපි තෝරාපත් කරගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපේ ව්‍යවස්ථාදයක බලයෙන් යම් ප්‍රමාණයක් ක්‍රියාත්මකකිරීමේ වගකීමත් අපි තෝරාගත්ත ජනාධිපතිවරයාට අපේ විධායක බලය ක්‍රියාත්මකකිරීමේ වගකීමත් අපි පවරලා තියෙනවා. මේ දක්වා පවත්වපු මැතිවරණවල දී, ජනාධිපතිවරණවල දී අපි කරලා තියෙන්නේ මේ විදිහට අපේ බලය ක්‍රියාත්මකකිරීමේ වගකීම පවරන වැඩේ.

ඉතින් 2015 ජනවාරි 8 වැනි දා පවත්වපු ජනාධිපතිවරණයේ දී අපේ මුළු රට ම තනි ඡන්ද කොට්ඨාශයක් විදිහට ක්‍රියාකරලා රටේ ජනතාව තමන්ගේ විධායක බලය ක්‍රියාත්මක කිරීමේ වගකීම මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට පවරලා දුන්නා. මේ විදිහට පවරලා දුන්නේ ජනතා පරමාධිපත්‍යයට අයිති බලයක්. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ඒ බලය නියෝජනයකිරීමේ වගකීම පවරාගත්තේ අවුරුදු හයක කාලයක් ‍සඳහා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂාකරලා, අනුගමනය කරන්න එතුමා ඒ වගකීම පවරාගන්නා අවස්ථාවේ දිවුරුම් දීලා තියෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තමයි අපිට අයිති ඒ බලය සංග්‍රහකරලා තිබුණේ.

මේ පරමාධිපත්‍යය බලයේ කිසියම් වෙනසක් කරනවා නම් ඒක කරන්න ඕන කොහොම ද කියන එකත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වලා තියෙනවා. අපිට හිමි මේ බලයෙන් – ඒ කියන්නේ ජනාධිපතිවරයාට අපි පවරපු විධායක බලයෙන්; අංශු මාත්‍රයක්වත් එක පෑන් ඉරකින් කපලා, අවලංගුකරලා දාන්න පාර්මේන්තුවට බෑ. මේ බලයේ යම් වෙනසක් කරන්න ඕන නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 150 කට වඩා ඡන්දය දීලා සම්මත කරගත්ත යෝජනාවක් ජනමත විචාරණයකටත් ඉදිරිපත්කරලා සම්මත කරගන්නත් ඕන. ඊට පස්සේ ඒ විදිහට අනුමත කරගත්ත යෝජනාව ජනාධිපතිවරයාගේ අත්සනින් සහතික කරන්නත් ඕන.

ඒත් 2015 අප්‍රේල් මාසයේ 28 වැනි දා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එකතුවෙලා සම්මත කරගත්ත ජනතාවගේ විධායක බලය අඩුකරන යෝජනාව ජනමත විචාරණයකට ඉදිරිපත් කළේ නෑ. හැබැයි මේ විදිහට සම්මත කරගත්ත යෝජනාව නම් කරලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය කියලා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් ඉතාමත් වැදගත් වගන්තියක් තියෙනවා. ඒ තමයි 75. (අ) වගන්තිය. ඒ වගන්තියෙන් කියනවා “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ එහි යම් කොටසක හෝ ක්‍රියාකාරීත්වය අත්හිටුවන්නා වූ නීතියක් පැනවීම පාර්ලිමේන්තුව විසින් නොකළ යුත්තේ ය” කියලා. මේ 75 කියන වගන්තියෙන් තමයි පාර්ලිමේන්තුවට ජනතාව විසින් පවරපු ව්‍යවස්ථාදායක බලය පැහැදිළි කරලා දෙන්නේ.

ඒත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියලා සම්මත කරගත්ත යෝජනාවෙන් මොකක්ද කරලා තියෙන්නේ? ජනතාවගේ විධායක බලතල විශාල ප්‍රමාණයක් ජනතාවගෙන් අහන්නේ නැතිවම කප්පාදු කරන එක නෙවෙයි ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් කොටස්වල ක්‍රියාකාරීත්වය අත්හිටුවන එක නෙවෙයි ද?

අපි ජනාධිපතිවරයෙක් පත් කරගන්නේ අපිට අයිති විධායක බලය ක්‍රියාත්මක කරවන්න. ජනාධිපතිවරයාට ඒ වැඩේ තනියම කරන්න අපහසු හින්දා අමාත්‍ය මණ්ඩලයක් පත්කරගෙන ඒ අයත් එක්ක එකතුවෙලා “ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පිළිබඳ පාලනය” සිදුකරන්න එතුමාට සිද්දවෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42. (1) වගන්තියෙන් කියන්නේ මේ ගැන.

දැන් අපි ආයෙත් හිතමු. මේ බලය අයිති කාට ද? ජනතාවට. මේ බලය ක්‍රියාත්මක කරන්න අපි පත්කරගන්නේ කවුද? ජනාධිපතිවරයා. ඒ වැඩේ එයාට තනියෙන් කරන්න අපහසු හින්දා එතුමා ඒ වැඩේට හවුල් කරගන්නේ කවුද? අමාත්‍ය මණ්ඩලය.

  1. (3) වගන්තියෙන් කියැවෙන විදිහට “ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා ද වන්නේ ය.” මේ කියන කතාව හරියට ම හරි. විධායක බලය ක්‍රියාත්මකකිරීමේ වගකීම අපි එතුමාට පවරලා තියෙන හින්දා තමයි මෙහෙම වෙන්නේ.

මෙතෙන් දී අපි තව කාරණයක් තේරුම්ගන්න ඕන. ඒ තමයි, මේ ඇමැතිවරු හැම කෙනෙක් ම ජනාධිපතිවරයා විසින් පත්කරන අය. මොකද එතුමා විසින් ක්‍රියාත්මකකරන්නේ ජනතාවගේ විධායක බලය. මෙතැන දී කරන්නේ ඒ බලයෙන් යම් ප්‍රමාණයක් විෂයානුබද්ධ විදිහට වෙනත් පිරිසක වෙත නියෝජනය කිරීමක් විතරයි. එහෙම නැතුව අපේ විධායක බලය මේ විදිහේ පිරිසකට සින්නක්කරව පවරාදෙන්න අයිතියක් ජනාධිපතිවරයාට නෑ. ඒක තාවකාලික නියෝජිතයන් පිරිසක් පත්කරගැනීමක් විතරයි.

ආණ්ඩුවේ පාලනය අවුලක් නැතිව මෙහෙයවන්න ඕන හින්දා ජනාධිපතිවරයාට පුළුවන් “තමන්ගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙසින්” පත් කරගන්න. 42. (4) වගන්තියෙන් කියන්නේ මේ ගැන.

ඒ විතරක් නෙවෙයි. “අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සළකන අවස්ථාවන්හි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා, අමාත්‍යංශවරයන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යාංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරයන්ට පවරන විෂයය සහ කාර්යය ද නිශ්චය” කරන්න පුළුවන්. 43. (1) වගන්තියෙන් කියන්නේ මේ ගැන.

ඊට පස්සේ 43. (3) වගන්තියෙන් මෙහෙම කියනවා. “ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක දී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂයය සහ කාර්යය වෙනස්කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස්කිරීම ද කරනු ලැබිය හැක්කේ ය.”

ඉතින් මේ හැම කාරණයක් ම ඉතාමත් හොඳින් තේරුම්ගන්න අපිට පුළුවන්. මේ හැම වගන්තියකින් ම කියන්නේ අපි ජනාධිපතිවරයාට පවරපු විධායක බලය ක්‍රියාත්මකකිරීම සඳහා එතුමා විසින් අනුගමනය කළ යුතු යම් යම් ක්‍රියාමාර්ග කීපයක් ගැන. ඒත් 19 වැනි සංශෝධනය කියන ලියැවිල්ලෙන් කරලා තියෙන්නේ මොකක්ද? මේ විදිහට තමන්ගේ පහසුව වෙනුවෙන් පත් කරගන්න අයව අවශ්‍ය අවස්ථාවල දී ඉවත්කරන්න තියෙන බලය එක පෑන් පහරකින් නැතිකරලා දාන එක නෙවෙයි ද?

මේ විදිහට නැතිකරලා තියෙන්නේ ජනාධිපතිවරයාට අයිති බලයක් නෙවෙයි. මේ නැතිකරලා තියෙන්නේ ජනතාවට අයිතිවෙලා තිබුණු බලයක්.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන ලියැවිල්ලෙන් ජනතාවට අහිමිකරලා තියෙන්නේ මේ බලය විතරක් නෙවෙයි. 70. (1) වගන්තියෙන් ජනාධිපතිවරයාට පවරලා තිබුණු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයත් ඉතාමත් බරපතල විදිහට මේ ලියැවිල්ලෙන් කප්පාදුකරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ජනතාව සතුව තිබුණු ව්‍යවස්ථාදායක බලය පවා බරපතල විදිහට කප්පාදුකරන්න මේ ලියැවිල්ල යොදාගෙන තියෙනවා. මේ කාරණය සම්බන්ධයෙන් පෙන්නන්න පුළුවන් හොඳම උදාහරණය තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණු 85. (2) වගන්තිය.

  1. (2) වගන්තියෙන් දක්වලා තිබුණේ ව්‍යවස්ථා සංශෝධන වැනි කටයුතුවලට අදාළ නොවන පනත් කෙටුම්පතක් ජනමත විචාරණයකට ඉදිරිපත් කරලා අපේ අනුමැතිය ලබාගැනීමට තිබුණු ඉඩ ප්‍රස්ථාවයි. මේ වගේ යම් පනතක් අනුමතකිරීම පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්‍ෂේප කරනවා නම් ඒක ජනතාවට ඉදිරිපත් කරලා අනුමත කරවාගන්න ඒ මාර්ගයෙන් ඉඩක් දීලා තිබුණා. ඒත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන ලියැවිල්ලෙන් කරලා තියෙන්නේ ඒ ඉඩ ප්‍රස්ථාව මුළුමනින් ම කපාහරින එකයි.

ඒ කියන්නේ ජනතාවට අයිතිවෙලා තිබුණු ව්‍යවස්ථාදායක බලයකුත් 2015 අප්‍රේල් 28 වැනි දා කඩිමුඩියේ සම්මත කරගත්ත 19 වැනි සංශෝධනයෙන් ඉවත්කරලා තියෙනවා.

මේ විදිහට 19 වැනි සංශෝධනය කියන ලියැවිල්ලෙන් ඉවත්කරලා තියෙන්නේ, කප්පාදුකරලා තියෙන්නේ විධායක ජනාධිපතිවරයාට අයිති බලතල නෙවෙයි කියන එක අපි තේරුම්ගත යුතුයි. මේ හැම දෙයක් ම ජනතාවට අයිතිවෙලා තිබුණු බලතල. අපි කරන්නේ ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ මාර්ගයෙන් අපේ බලය ක්‍රියාත්මකකිරීමේ වගකීම ඒ ඒ ආයතනවලට තාවකාලිකව පවරලා දෙන එක. මේ බලය නැතිකරලා දාන්න පුළුවන්කමක් ඒ ආයතනවලට නෑ.

ඒත්, 19 වැනි සංශෝධනය කියන ලියැවිල්ලේ අදහස් ඇතුළත් කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තමයි දැන් භාවිතයේ තියෙන්නේ. මේක වුනේ කොහොම ද? ජනමත විචාරණයක් පවත්වන්නේ නැතුව ජනතාවගේ බලය කප්පාදුකරපු ලියැවිල්ලක තියෙන නීතිමය වලංගුභාවය මොකක් ද? අපි මේ ගැන හිතමු.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

[email protected]

2018 නොවැම්බර් 7

සැළැකිය යුතුයි: 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල අසීමිත ලෙසින් වැඩි කළ බවට චෝදනාවක් තිබෙන නිසා, මෙම ලිපියට ඇසුරු කළේ 2001 අවුරුද්දේ ඔක්තෝබර් 3 වැනි දින දක්වා සංශෝධිත (එනම් 17 වැනි සංශෝධනය ඇතුළත්) ව්‍යවස්ථාවත් 2015 මැයි මස 15 වැනි දින දක්වා සංශෝධිත (එනම් 19 වැනි සංශෝධනය ඇතුළත්) ව්‍යවස්ථාවත් බව සළකන්න

5 Responses to “19: ශූන්‍යයයි, බල රහිතයි?”

  1. aloy Says:

    All the minority parties including JVP are enjoying undue advantage because of a blunder done by President Premadasa. He changed the minimum 12% limit required by JR’s constitution for a candidate to be elected from a district to 5%, on his own, without a referendum. And all these people are now ganging together against the majority. I think all the amendments that has taken the rights of the citizens without a referendum should be cancelled.

  2. aloy Says:

    I think some group should take up above mentioned anomalies or fundamental violations of our rights that has brought the country to the present chaotic situation affecting everybody’s day to day living. The supreme court should be asked to revisit all the amendments including that of 13A by which NE has been given undue powers to act as no go areas for the majority. These should be addressed before going for another general or presidential election. The present system of governance should not be allowed to continue.

  3. Hiranthe Says:

    I totally agree with Aloy!

    They have done these changes for their own personal advantages and as a result Mother Lanka suffers.

  4. DR M D P DISSANAYAKE Says:

    I agree too with Dr Chankeerthi. Fine analysis. JR’s constitution was designed for strongest democracy.

    Most of us hated him at that time, but he was brilliant and forward looking.

    With PM Mahinda in the saddle, we should not lose any sleep. MR is stronger and intelligent than JR

  5. Christie Says:

    J R J is a quarter Indian.

    His Indian drafted constitution was for a strong Indian administration of its colony.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress