රජ කාලයෙන් පසු පළමු වතාවට ලංකාවේ රාජාණ්ඩුවක් බිහිවේ..
Posted on December 3rd, 2018

 සරත් කලුගමගේ සංවිධායක රටට හෙටක් – සමාජ සත්කාරක වැඩසටන

රටට හෙටක් සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අභියාචනාධිකරණය විසින් නිකුත්කරන ලද අතුරු තහනම් නියෝගය නිසා සිංහල රජ කාලයෙන් පසු පළමු වතාවට ශ්‍රී ලංකාව රාජාණ්ඩුවක ස්වරූපයට පත්ව ඇත.

මෙම තහනම් නියෝගය නිසා එක්සත් ජාතික පක්ෂය  ප්‍රමුඛ විපක්ෂයට සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි දෙයකි. අතුරු තහනම් නියෝගය මගින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ කටයුතු එම නඩුව අවසන් වනතුරු  අත්හිටුවා ඇත. ඒ අනුව රාජ්‍ය නායකයා ලෙස රාජ්‍ය පවත්වාගෙන යාමේ අභිමතානුසාරී බලය අවසන් වශයෙන් පැවරෙන්නේ විධායක ජනාධිපතිවරයා හටය.

රජ කාලයෙන් පසු පළමු වතාවට ලංකාවේ රාජාණ්ඩුවක් බිහිවේ..

අභියාචනාධිකරණය ට නඩුවක් ගොනු කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරවා ගැනීම නිසා අදාල නඩුව අවසන් වන තුරු අග්‍රාමාත්‍යවරයකු පත් කරන්නැ’යි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ද මේ නිසා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට අවස්ථාව  උදා නොවෙයි.

අනෙක් අතින් මෙම නියෝගය නිකුත් කර ඇති නිසා පාර්ලිමේන්තුව රැස්කිරීම ඉබේම අත්හිටවෙන්නේය. ආණ්ඩුවක් නොමැතිව විපක්ෂයකින් පමණක් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යා නොහැකිය. ආණ්ඩුව පාර්ලිමේන්තුව සභා වාර වර්ජනය කිරීම වෙනම කරුණ කි. එහෙත් පාර්ලිමේන්තුව රැස්වීම සඳහා ආණ්ඩුව සහ විපක්‍ෂය නමැති ආකෘතිය අවශ්‍ය වේ. නීතිය, රීතිය,භාවිතය සහ සම්ප්‍රදාය අනුව සැලකීමේදී ආණ්‌ඩුව නොමැතිව විපක්ෂයකින් පමණක් පාර්ලිමේන්තුවක් රැස් කළ නොහැකි ය. මක්නිසාදයත් පාර්ලිමේන්තුව රැස්කර වන්නේ රට කරවීම සඳහා වන හෙයිනි.  රට කරවන ආණ්‌ඩුවේ ක්‍රියාකාරීත්වය අත්හිටුවා ඇති හෙයින් පාර්ලිමේන්තුව රැස්කිරීම ඒ අනුව ඉබේම අත්හිටවෙන්නේය.

එසේම,මෙම නියෝගය මෙසේ තිබියදී දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවේ තීන්දුව අනුව මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් වුවහොත් හෝ ජනාධිපතිවරයාගේ මුක්තිය මත ජනමත විචාරණයක් ප්‍රකාශයට පත් වුවහොත් හෝ එම කුමන මැතිවරණයක් වුවද පැවැත්වෙනු ඇත්තේ සියලු පාලන බලතල ක්‍රියාත්මක කිරීමේ නිසි බලධාරියා ලෙස ජනාධිපතිවරයා යටතේ ය.

ඒ අනුව මෙම නඩුව ගොනු කිරීමම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය විසින් සිදු කර ගත් බරපතල ගණයේ අත් වැරැද්ද කි.

එබැවින් මෙවැනි නඩු ගොනු කිරීම සඳහා මෝඩ තකතීරු නීති උපදෙස් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට ලබා දෙන්නේ කවුරුන් විසින් දැයි ඔවුන්ගේ පාක්ෂිකයන් විසින් ප්‍රශ්න කරනු නොඅනුමානය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය විසින් රට වලපල්ලට දක්කාගෙන යාම අරමුණු කරගෙන ගත් මෙම පියවර නිවැරදි කොට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුව නැවත ස්ථාපිත කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්‌ඩුව  තීරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ සතුටට කරුණකි.

සරත් කලුගමගේ
සංවිධායක
රටට හෙටක් – සමාජ සත්කාරක වැඩසටන

One Response to “රජ කාලයෙන් පසු පළමු වතාවට ලංකාවේ රාජාණ්ඩුවක් බිහිවේ..”

  1. Hiranthe Says:

    Great to hear this view!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress