පාර්ලිමේන්තුව ඇමරිකාවට විකිණුනේ රු.බිලියන 1.92 ගිවිසුමෙන්ද?
Posted on July 6th, 2019

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ උපුටා ගැන්ම දිවයින

paliment

මෑතකදී කථානායක කරු ජයසූරිය 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමාගේ සූදානම පිළිබඳව ප‍්‍රකාශයක් කළේය. එම ප‍්‍රකාශයත් සමග ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වූ ජයසූරිය ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධානතම ඉලක්කයක් බවට පත්විය. ජුනි 19 දින පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන කථානායකවරයා ඇමරිකානු සංවිධානයකින් වැටුප් ලබන ශී‍්‍ර ලංකාවේ හිටපු විදේශ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් තමාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳව උපදේශකයා ලෙස පත්කර ගැනීම සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් නැඟීය. ඒකාබද්ධ විපක්‍ෂයේ නායක මහින්ද රාජපක්‍ෂ ද කථානායකවරයාගේ තීරණය අභියෝග කළේය. කාරියවසම් දරුණු මාධ්‍ය ප‍්‍රහාරයකට ලක් විය. හිටපු විදේශ ලේකම්වරයා ඇමරිකානු ඒජන්තවරයකු ලෙස කි‍්‍රයා කරන බව යම් කණ්ඩායමක් පවසයි. 
 
 ඇමරිකාව කාරියවසම් හරහා කථානායකවරයාව තමන්හට අවශ්‍ය ආකාරයට යොදා ගන්නා බවට ඒකාබද්ධ විපක්‍ෂය බිය පළ කරයි.
 
 කථානායකවරයාට සහ හිටපු විදේශ ලේකම්වරයාට එල්ලවන චෝදනා පිළිබඳව විමසීමක් කළ යුතුව ඇත්තේ ඇමරිකාව ප‍්‍රමුඛ එම කඳවුරේ සාමාජික රටවල් ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් 2014/2015 සිට කටයුතු කරන ආකාරය සැලකිල්ලට ගනිමිනි.
 
 විශ‍්‍රාම ගිය ප‍්‍රසාද් කාරියවසම්ගේ කිසිදු මැදිහත්වීමක් නොමැතිව ඇමරිකාවට අවශ්‍ය තත්ත්වය පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ඇති කර ගැනීමේ අවස්ථාව වොෂින්ටනයට ඇත.
 
 ප‍්‍රසාද් කාරියවසම් 2017 දෙසැම්බර් මස පාර්ලිමේන්තුවේ උපදේශකයකු ලෙස පත්වීමට පෙර ඇමරිකාව අප පාර්ලිමේන්තුව තම ග‍්‍රහණයට ගත් බව අද බොහෝ දෙනකුට අමතකවී ඇත. ඇත්ත වශයෙන් ම ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුව ඇමරිකාව සමග කළ ගනුදෙනු නොදැක්කා ලෙස සිිටියේය. ප‍්‍රසාද් කාරියවසම් උපදේශකයකු ලෙස පත්වීමට වසරකට පෙර පාර්ලිමේන්තුව ඇමරිකාව සමග ගිවිසුම්ගත විය. එම කටයුත්ත රහසේ සිදු නොවීය. ගිවිසුම්ගත වීම පාර්ලිමේන්තුව තුළ සිදු වූයේ කථානායකවරයාගේ ද සහභාගීත්වයෙනි. ඇමරිකානු නියෝජිතයෝද එම අවස්ථාවට සහභාගි විය.
 
 ශී‍්‍ර ලංකාව යහපත්, නීතිගරුක දේශයක් කිරීමට තුන් වසරක ගිවිසුමකට දෙපාර්ශ්වය අත්සන් තැබීය. ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක කරනු ලබන වැඩසටහනේ මුළු වියදම ඇමරිකානු බදු ගෙවන ජනතාව දැරීය. වටිනාකම රුපියල් බිලියන 1.92 කි. 
 
 (ඇ. ඩො. මිලියන 13) 2016 සැප්තැම්බර් වොෂින්ටනයේ මෙම ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ ප‍්‍රසාද් කාරියවසම් ඇමරිකාවේ සිටි ශී‍්‍ර ලංකාවේ තානාපතිවරයාය. කථානායක කරු ජයසූරිය, ජාතික හෙළ උරුමයේ කරුණාරත්න පරණවිතාන, එජාපයේ අජිත් පී. පෙරේරා, එක්සත් ජනතා නිදහස් සංධානයේ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ සහ පාර්ලිමේන්තුවේ මහා ලේකම් දම්මික දිසානායක කණ්ඩායමේ සාමාජික සාමාජිකාවෝ වූහ. එම ගිවිසුම 2016 නොවැම්බරයේදී පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයට පත් කෙරිණි.
 
 ඒකාබද්ධ විපක්‍ෂය ප‍්‍රසාද් කාරියවසම් කථානයාකවරයාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකයා ලෙස හඳුන්වා දීම නිවැරැදි කළ යුතුය. ප‍්‍රසාද් කාරියවසම් ඇමරිකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ, ආංශික අධීක්‍ෂණ කොමිටි පිහිටුවීම ඇතුළු වඩාත් යහපත් පාලනයක් ඇති කිරීමට යැයි කි‍්‍රයාත්මක කරනු ලබන වැඩසටහන, නිසියාකාරව සිදුවේදැයි නිරීක්‍ෂණය කිරීම ඔහුගේ වගකීමයි.
 
 ඇත්ත වශයෙන්ම ප‍්‍රසාද් කාරියවසම් තම රාජකාරිය නිසියාකාරයෙන් කළා දැයි විමසා බැලිය යුතුය.
 
 පාර්ලිමේන්තුව බදු ගෙවන ජනතාවට වගකිව යුතුය. 2015 සහ 2016 සිදු කළ මහා බැංකු ‘කොල්ල කෑම. සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අදටත් කටයුතු කරන ආකාරයෙන් පෙනී යන්නේ මැති සබය කිසිදු වෙනසකට භාජන වී නැති බවයි.
 
 ඒකාබද්ධ විපක්‍ෂය ඇමරිකාව සහ පාර්ලිමේන්තුව අතර ඇති කර ගත් ගිවිසුම පිළිබඳව කිසිදු සොයා බැලීමක් කළේ නැත. ප‍්‍රසාද් කාරියවසම් ඇමරිකානු රජයෙන් පඩි ලබන්නකු ලෙස පාර්ලිමේන්තුවේ උපදේශකයකු ලෙස කටයුතු කිරීම මෑතකදී ප‍්‍රශ්න කළ බව සැබෑය. නමුත් ප‍්‍රසාද් කාරියවසම් එම තනතුරට පත්වීමට හේතුවූ පසුබිම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂය අදටත් කිසිදු විමසීමක් කර නැත. ඒකාබද්ධ විපක්‍ෂය තම වගකීම නිසියාකාරව සිදු කළා නම් ඇමරිකානු ව්‍යාපෘතිය පිළිබඳව හෙළිදරව්වක් මීට පෙර කළ හැකිව තිබිණි. අවාසනාවකට මාධ්‍ය මගින් හෙළි කළ කරුණු කාරණා පිළිබඳව විමසා බැලීමටවත් ඒකාබද්ධ විපක්‍ෂය උනන්දු නොවීය. සතියකට මාධ්‍ය හමු කිහිපයක් පවත්වමින් රජයට විරුද්ධව මෙහෙයුමක යෙදෙන ඒකාබද්ධ විපක්‍ෂයට බටහිර බලවේග කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබඳව නිසියාකාර අධ්‍යයනයක් අදටත් කර නැත.
 
 2016 නොවැම්බර් මස පාර්ලිමේන්තුවේදීම කි‍්‍රයාත්මක කළ ජනමාධ්‍ය වාර්තා කළ ඇමරිකානු ගිවිසුම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කළ ආකාරය පුදුම සහගතය.
 
 එම ඇමරිකානු ගිවිසුමට අමතරව ජර්මනිය, එංගලන්තය සහ වෙනත් ඇමරිකානු ආයතන දෙකක් සමග ඇති කර ගත් ගිවිසුම් මගින් අප පාර්ලිමේන්තුව වඩාත් යහපත් වූවාදැයි විමසිය යුතුය. විදේශීය මුදල්වලින් කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ කෙසේ වෙතත්, අප ජනතා නියෝජිතයන්ට විදෙස් සංචාරවල නිරත වීමේ භාග්‍යය උදාවී ඇත. තමන් නියෝජනය කරන පක්‍ෂය කුමක් වුවත් එම පක්‍ෂවල ජනතා නියෝජිතයෝ විදෙස් සංචාර ප‍්‍රතික්‍ෂේප කරන්නේ නැත. පාර්ලිමේන්තුව සහ රාජ්‍ය අංශය වඩා යහපත් තත්ත්වයකට පත්කිරීමට කි‍්‍රයාත්මක කර ඇති ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට අප මහජන නියෝජිතයන් ඉන්දියාවේ, චීනයේ, ඇමරිකාවේ, එංගලන්තයේ, ජර්මනියේ, නෝර්වේ, යුරෝපීය සංගමය, ඉරානය, කැනඩාව, ඕමානයේ සහ ස්විස්ටර්ලන්තයේ අධ්‍යාපන චාරිකාවල නිරත වූ බව පාර්ලිමේන්තු වාර්තාවල සඳහන් වේ.
 
 පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට සහ මැතිසබය වාර්තා කරන ජනමාධ්‍යවේදීන්ට ද විදේශ සංචාර ලබාදී ඇත්තේ ඔවුන්ගේ ද දැනුම වර්ධනය කර ගැනීමට බව එම වාර්තා සඳහන් කරයි. සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල පෙන්වා දී ඇත්තේ මෙම විදේශ සංචාරවල වියදම පාර්ලිමේන්තුව දරන්නේ නොමැති බවයි. ඇත්ත වශයෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුව රාජ්‍ය නොවන සංවිධානය තත්ත්වයට පත් කර ඇත. විදේශීය රජයන් සහ සංවිධානවලින් සීමාවකින් තොරව අප පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් නොයෙකුත් සැප පහසුකම් ලබාගනී. ප‍්‍රසාද් කාරියවසම් ඇමරිකානු ආයතනයකින් මාස් පතා පඩි ලබා ගැනීම, පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් ලෙස ඒකාබද්ධ විපක්‍ෂය සලකනවා නම්, පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්තී‍්‍රවරු 225 කටයුතු කරන ආකාරය ද විමසා බැලිය යුතුය. කථානායකවරයාගේ කි‍්‍රයා කලාපය ද විමසා බැලිය යුතුමය.
 
 ඊට පෙර ඇමරිකානු මෙහෙයුමේ ආරම්භය විමසා බලමු. ඇමරිකානු මැදිහත්වීම ප‍්‍රබල ලෙස මතු වන්නේ මහින්ද රාජපක්‍ෂ රජය කොටි සංවිධානය 2009 මැයි සටන් බිමේදී පරාජය කර දැමීමෙන් පසුවයි. හතරවැනි ඊළාම් යුද්ධය අතරමඟදී නතර කිරීමට ඇමරිකාව ඇතුළු බටහිර බලවත්තු ප‍්‍රබල උත්සාහයක් කළ බව රහසක් නොවේ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බටහිර බලපෑම්වලට යටත් නොවීය. වේලූපිල්ලේ ප‍්‍රභාකරන් මරා දමන තුරුම මෙහෙයුම කි‍්‍රයාත්මක කළේය. යුද ජයග‍්‍රහණයත් සමගම මහින්ද රාජපක්‍ෂ චීනය සමග දිගු ගමනක් යෑමට කටයුතු කරන බව ඇමරිකාව සහ චීනය චෝදනා කළේය. 2010 ජනපතිවරණයේදී රාජපක්‍ෂ කණ්ඩායමේ ප‍්‍රබලයකු වූ සරත් ෆොන්සේකා එජාප – ජවිපේ – ද්‍රවිඩ ජාතික සංධානය- මුස්ලිම් කොන්ග‍්‍රසය වෙනුවෙන් තරගයට ඉදිරිපත් විය. ඇමරිකාව පූර්ණ සහාය පළ කළේය. නමුත් ෆොන්සේකා ඡන්ද මිලියන 1.8 කින් පරාද විය. 
 
 2010 වැරදුණ කුරුමානම 2015 සාර්ථක කර ගැනීමට එම කණ්ඩායම සමත් විය. එම කණ්ඩායමට අලූතින් එක්වූ මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපති විය. ඇමරිකානු මෙහෙයුම් තීව‍්‍ර වූයේ 2014 අගය. ඒ වනවිට ප‍්‍රසාද් කාරියවසම් ඇමරිකාවේ ශී‍්‍ර ලංකා තානාපතිවරයාය. 2014 ජුලි මස ප‍්‍රසාද් කාරියවසම් දේශපාලන පත්වීමක් ලැබ සිටි එවකට ජනපති මහින්ද රාජපක්‍ෂගේ නෑයෙකු වූ ජාලිය වික‍්‍රමසූරිය දැරූ තනතුර ලබා ගත්තේය. ජාලිය වික‍්‍රමසූරිය 2008 සිට එම තානාපති ධුරය හෙබවීය. ප‍්‍රධානතම තානාපති කාර්යාලයේ වසර 7 තානාපති ධුරය දැරීමට ජාලිය වික‍්‍රමසූරියට අවස්ථාව ලැබීම අදහාගත නොහැක. එම පත්වීම කළ පාර්ලිමේන්තු කොමිටිය චමල් රාජපක්‍ෂ යටතේ කි‍්‍රයාත්මක විය. මහජන නියෝජිතයන් මහත් ආඩම්බරයෙන් සඳහන් කරන අප පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මැති සබය ජනතාවට වගකියන්නේ නැත. ප‍්‍රසාද් කාරියවසම් ඇමරිකාවේ තානාපති ධුරය හොබවන කාලයේ ඇමරිකාව ගෙනා ජිනීවා යෝජනාව යහපාලන රජය අත්දෙකම උස්සා අනුමත කළේය. 2015 සැප්තැම්බර් අග එම යෝජනාව ප‍්‍රතික්‍ෂේප කළ එවකට ජිනීවා සිටි ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ රජයේ නියෝගය අනුව අප රට වෙනුවෙන් එම යෝජනාවලියට අත්සන් තැබීය. විදේශ සේවයේ නියුතු නිලධාරීන්හට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාවක් නොමැත. ජිනීවා යෝජනාවලිය ප‍්‍රතික්‍ෂේප කළ ආරියසිංහට 2015 ඔක්තෝබර් 01 දින එය පිළිගැනීමට සිදුවිය. ඇමරිකාවේ මැදිහත් වීම මත එම ගිවිසුමට ශී‍්‍ර ලංකාව එකඟ විය. ආරියසිංහ 30/1 යෝජනාවට අත්සන් කළ ආකාරයටම ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ඒ. එල්. ඒ. අසීස් 40/1 යෝජනාවට අත්සන් කළේය. අසීස් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පොරොන්දු වූයේ 30/1 යෝජනාවලියට අදාළ ශී‍්‍ර ලංකාව ඉටුකළ යුතු පොරොන්දු 2020 මාර්තු වනවිට ඉටු කරන බවයි.
 
 ඇමරිකාවේ තානාපති ධුරය 2017 අගෝස්තු මස හිස් විය. ප‍්‍රසාද් කාරියවසම් 2017 අගෝස්තු මස විදේශ ලේකම් ලෙස පත්වීම ලැබීය. තිලක් මාරපන විදේශ ඇමැති විය. ආන්දෝලනාත්මක ඇවන්ගාඞ් ආයතනය වෙනුවෙන් පෙනී සිටියා යැයි කියනු ලබන චෝදනාව මත ජනාධිපති නීතිඥ තිලක් මාරපන 2015 නොවැම්බර් මස නීතිය හා සාමය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය. නමුත් එතුමා එජාප ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයකු ලෙස පාර්ලිමේන්තුවේ රැඳී සිටියේය. රවි කරුණානායකට මහ බැංකු වංචා විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසමේ කරුණානායක පවුල සම්බන්ධයෙන් කළ හෙළිදරව්ව හේතුවෙන් විදේශ ඇමැති ධුරය අහිමි විය. එම පුරප්පාඩුවට තිලක් මාරපන පත් කෙරිණි. මාරපන – කාරියවසම් දෙපල ජිනීවා කි‍්‍රයාවලියට කැප වූ බව රහසක් නොවේ.
 
 තිලක් මාරපන ඇමැති ධුරයේ වැඩ භාරගත් දිනයේ ජිනීවා යෝජනාවලිය සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ යාපනය දිස්ති‍්‍රක්ක පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් වොෂින්ටනයේ කර තිබූ ප‍්‍රකාශයක් පිළිබඳව විමසීමට මෙම ලියුම්කරුට අවස්ථාවක් ලැබිණ. ප‍්‍රසාද් කාරියවසම් තිලක් මාරපන පසෙකින් සිටගෙන සිටියේය. 
 
 ප‍්‍රශ්නය – විදේශ ලේකම් ඇමරිකාවේ ශී‍්‍ර ලංකා තානාපතිවරයා ලෙස 2016 කටයුතු කරන අවස්ථාවේ සුමන්තිරන් පවසා තිබුණා විදේශීය විනිසුරුවන් ශී‍්‍ර ලංකාවේ අධිකරණ පද්ධතියට සම්බන්ධ කිරීමට පවතින ව්‍යවස්ථාව කිසිදු බාධාවක් නොවන බව 2015 ජිනීවා ගිවිසුමට පෙර මෙම අධිකරණ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් ඇමරිකාව – ශී‍්‍ර ලංකාව ද්‍රවිඩ ජාතික සන්ධානය එකඟතාවකට පැමිණි බවද ඔහු පැවසීය. විදේශ ඇමැතිවරයා ලෙස ඔබ එම තත්ත්වය දකින්නේ කෙසේද?
 
 පිළිතුර – ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාව අනුව විදේශ විනිසුරුවන්හට කිසිදු ආකාරයකට එම කි‍්‍රයාවලියට සම්බන්ධ විය නොහැක. ප‍්‍රසාද් කාරියවසම් නිශ්ශබ්දව සිටියේය.
 
 හිටපු නීතිපතිවරයකු වන මාරපන එසේ පැවසුවත්, අදටත් ජිනීවා යෝජනාවලියේ විදේශීය විනිසුරුවරුන් ලංකාව පිළිගත යුතු බවට සඳහන් වැකිය එලෙසම ඇත. මංගල සමරවීර විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේ ශී‍්‍ර ලංකාව අත්සන් කළ ජිනීවා යෝජනාවලිය ඇත්ත වශයෙන්ම අප රට හිරකර ඇති ඇමරිකානු උගුලකි. කිසිදු ආකාරයක වග විභාගයකින් තොරව ශී‍්‍ර ලංකාවට එරෙහිව නැඟූ චෝදනා බටහිර රාජ්‍යයන් පිළිගත් අතර 2015 ඔක්තෝබර් ජිනීවා යෝජනාවලිය සම්මත කරගන්නා ලදි. ජිනීවා මානව හිමිකම් අසූචි වළක් ලෙස හැඳින්වූ ඇමරිකාව 2018 ජුනි මස එම එක්සත් ජාතීන්ගේ ආයතනයෙන් ඉවත් විය. නමුත් ශී‍්‍ර ලංකාවේ යහපාලන නායකයන්ට එම අසූචි වළ තවමත් සුරපුරක් ලෙස පෙනෙන බව කිව යුතුය. ඇමරිකාව ලංකාව ජිනීවා උගුලේ හිර කර ඇත. ජිනීවා උගුල දඬු කඳකි. 
 
 2017 ඔක්තෝබර් මස බි‍්‍රතාන්‍යයේ සාමි මණ්ඩලයේ නේස්බි සාමිවරයා ජිනීවා උගුලෙන් ගැලවීමට අවශ්‍ය බි‍්‍රතාන්‍යයේ රහස් වාර්තා ශී‍්‍ර ලංකාවට ලබාදුනි. යහපාලන රජය අදටත් එම වාර්තා නිල වශයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේ නැත. ප‍්‍රසාද් කාරියවසම් ඇමරිකානු ඒජන්තවරයකු ලෙස හඳුන්වන කණ්ඩායම අදටත් ඇමරිකානු මෙහෙයුම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය සියලූම පහසුකම් සපයමින් සිටී. විශ‍්‍රාම ගිය ප‍්‍රසාද් කාරියවසම්ට කළ හැකි ‘මඟුලක්. නැත. ඇමරිකාවේ ශී‍්‍ර ලංකා තානාපති (2014-2017) සහ විදේශ ලේකම් (2017 – දෙසැම්බර් 2017) ලෙස ජිනීවා මෙහෙයුමට අවශ්‍ය පහසුකම් සැලසීම ඔහු කර ඇත. ප‍්‍රසාද් කාරියවසම් 2017 අගෝස්තු මස වොෂින්ටනයේ සිට නැවත කොළඹට පැමිණියේය. පසුගිය සතිය වනතුරුම ප‍්‍රසාද් කාරියවසම් කොළඹට පැමිණීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීමට රජය කටයුතු කළේ නැත. විදේශ සේවයේ පළපුරුදු නිලධාරියකු වන රොඞ්නි පෙරේරා මෑතකදී කාරියවසම්ගේ හිස්තැන මීට දින කිහිපයකට පෙර පිරවීය.
 
 ඇමරිකාව කටයුතු කරන ආකාරයට ඇත්ත වශයෙන්ම ශී‍්‍ර ලංකාවට වොෂින්ටනයේ තානාපතිවරයකු අවශ්‍ය නැත. පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් තානාපතිවරයකු නොමැතිව ඇමරිකානු ශී‍්‍ර ලංකා සම්බන්ධතා ඉහළ තත්ත්වයට පත් වී ඇත. රොඞ්නි පෙරේරාටද සිදු වන්නේ ප‍්‍රසාද් කාරියවසම් කළ කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යෑමටය.
 
 2015 ආණ්ඩු පෙරළිය ඇති කිරීමට ඇමරිකාව කළ කාර්යය පිළිබඳව ප‍්‍රකාශයක් 2016 දී එවකට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කළේය. මියන්මාරයේ, නයිජීරියාවේ සහ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 585 වියදම් කළ බව හෙළිදරව් කළේය. මෙම මුදලින් කොපමණ ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාවේ මෙහෙයුමට වියදම් කළාද? එම මුදල් ලැබුණ දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන හෝ ජනමාධ්‍යවේදීන්ට ලැබුණාද? ශී‍්‍ර ලංකාවට ලබාදුන් මුදල් ප‍්‍රවාහය සම්බන්ධයෙන් මෙම ලියුම්කරු කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයෙන් කළ විමසීමට පිළිතුරක් ලැබුණේ නැත.
 
 පාර්ලිමේන්තුව, අධිකරණ පද්ධතිය ආරක්ෂක අංශ ඇතුළු සියලූම ක්ෂේත‍්‍රවලට ඇමරිකාව බලපෑම් කරමින් සිටී. අධිකරණ පද්ධතියට කළ බලපෑම් සම්බන්ධයෙන් මෑතකදී පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී ඒකාබද්ධ විපක්ෂය විරෝධය පළ කළේය. ප‍්‍රසාද් කාරියවසම් විශ‍්‍රාම යෑමෙන් පසු පාර්ලිමේන්තුවේ උපදේශක තනතුරක් ලබා ගැනීමට එහා ගිය ප‍්‍රශ්නයක් රටේ ඇත. අවාසනාවකට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලූම පක්ෂ සාමූහිකව අසමත් වීම තුළ ඇමරිකානු මෙහෙයුම සාර්ථකව කි‍්‍රයාත්මක වේ. ඇමරිකාව සමග පාර්ලිමේන්තුව ගිවිසුම් ගත වීම පිළිබඳව පූර්ණ විමර්ශනයක් කළ යුතුව ඇත. ආංශික අධීක්ෂණ කොමිටි පිහිටු වීම ඇමරිකාව කි‍්‍රයාත්මක කළ මෙහෙයුම අනුව සිදු කළ බව රහසක් නොවේ. පාර්ලිමේන්තුව වඩාත් යහපත් සහ කාර්යක්ෂම තත්ත්වයකට පත් කිරීමට ඇති කළ ආංශික අධීක්ෂණ කොමිටි පිහිටුවන මුවාවෙන් පාර්ලිමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ එකතු වී මහා වංචාවක් කළේය. හිටපු නිළියක් වන සබීතා පෙරේරාගේ ස්වාමි පුරුෂයාට අයත් ඞී. පී. ජයසිංහ සමාගමට අයත් ගොඩනැඟිල්ලක් වසර 5 කට ලබා ගන්නේ මසකට ලක්ෂ 210 කුලියකටය.එමව ගොඩනැඟිල්ලට කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන යෑම පාර්ලිමේන්තුවේ අවශ්‍යතාව විය. එයට හේතුව කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටුවා තිබූ ‘ගොවිජන සේවා. මන්දිරය ආංශික අධීක්ෂණ කොමිටිවලට වෙන් කර දීමය. මෙම ගිවිසුම විගණකාධිපති දුන් උපදෙස් නොතකා අත්සන් කළ බව දැනට කි‍්‍රයාත්මක වන ජනාධිපති කොමිසමේදී හෙළි වී ඇත. මසකට රුපියල් ලක්ෂ 210 මහජන මුදල් ගෙවා කුලියට ගත් ගොඩනැඟිල්ල අමාත්‍යාංශයක් පිහිටු වීමට සුදුසු නැති බව හෙළි වී ඇත. එවකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න මෙම ඒක පාර්ශ්විය ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කළ ආකාරය සහ විරෝධතා නොසලකා ඞී. පී. ජයසිංහ ආයතනයට වාසිදායක ලෙස කටයුතු කිරීම කොමිසමේදී හෙළි විය. ඇමරිකාව පාර්ලිමේන්තුව හරහා කි‍්‍රයාත්මක කරන වැඩපිළිවෙළ තවත් ‘මෙගා. වංචාවක් කිරීමට යොදා ගත් බව පැහැදිලිය. ශී‍්‍ර ලංකාව පාවා දුන් බවට ප‍්‍රසාද් කාරියවසම් චෝදනාවට ලක් වන්නේ ඔහු පාර්ලිමේන්තුවේ කරනු ලබන රාජකාරියට ඇමරිකාවෙන් මාසික වැටුපක් ලැබෙන බැවිනි. පසුගිය වසර 4 තුළ පාර්ලිමේන්තුව පිරිහී ඇති තරම විමසා බැලූ විට රුපියල් බිලියන 1.92 ක ඇමරිකානු වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් අසාර්ථක බව පැහැදිලිය. විදේශීය රාජ්‍යයකින් ප‍්‍රසාද් කාරියවසම් මාසික වැටුප ලැබීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ නම් පහත සඳහන් කරුණු කාරණා සම්බන්ධයෙන් ද එම කණ්ඩායමට නිහඬව සිටිය නොහැක. (1) 2016 ඇමරිකාව – පාර්ලිමේන්තුව අතර රුපියල් බිලියන 1.92 ගිවිසුම, (2) කථානායකවරයා චීනයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට චීන සංචාර සඳහා අවස්ථාවක් ඉල්ලීම. මේ අනුව 110 ට අධික මන්තී‍්‍රවරු චීනයේ සංචාර කළ බව සඳහන් කළ යුතුය. (3) කථානායකවරයා චීනයෙන් මන්තී‍්‍රවරු 225 ටම මේසය මත තබන පරිගණක ලබා ගැනීම (4) යහපාලන නිර්මාතෘ මාදුළුවාවේ සෝභිත හිමියන් සිහිවීමට සියලූ පහසුකම් සහිත ගමක් අනුරාධපුරයේ සෑදීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන 300 ලබා ගැනීම සහ (5) පාර්ලිමේන්තුව අනෙකුත් විදේශීය ආයතන සමග ඇති කර ගත් ගිිවිසුම්.
 
 පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ මැති සබයේ ‘හැසිරීම. පිළිබඳව පසු විපරමක් කළ යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress