ඉඩම් හිමිකම් ඇමරිකාවට – සිකුරිටි කම්කරු රස්සා ජනතාවට
Posted on July 17th, 2019

මතුගම සෙනෙවිරුවන්

ගෙන ඒමට යෝජිත ඉඩම් පනත් වලින්  මෙරට ජනතාවට භූමියේ හිමිකම් ලැබෙන බව අගමැති වරයා පවසයි. මෙම අයිතිය වලක්වාලන්නට මෙරට සංවිධාන දෙකක් වැඩ කරන බවද ඒවාට නොරැවටී ජනතාවගේ ඉඩම් අයිතිය ලබා ගත යුතු බවද ඔහු  වැඩිදුරටත් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.මෙතෙක් කල් බලපත්‍ර හිමිව සිටි ස්වර්ණ භූමි සහ ජයභූමි ඔප්පු හිමිව සිටි ලංකාවාසී ජනතාවට සින්නක්කරවම ඔප්පු ලැබෙන්නේ යැයි කියන මේ ප්‍රකාශයෙහි සත්‍යතාවයක් තිබේද. දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ඉඩම් විශේෂ විධි විධාන පනත යනුවෙන් හඳුන්වන පනත ට කැබිනට් අනුමැති හිමිව නැතිබවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසා ඇත. එසේම මෙම ඉඩම් පනත ආණ්ඩුක්‍රම ව්‍යවසථාවට පටහැනි බවට අධිකරණයට පෙත්සම් කීපයක් ද ඉදිරිපත්ව තිබේ.එසේම ඉඩම් බැංකු පනත නමින් තවත් පනතක් ඉදිරිපත් කරලීමට  ද යෝජිතව තිබේ.

        වර්ෂ 1840 දී බ්‍රිතාන්‍යයන් විසින් ගෙන ආ අනවසර ඉඩම් ආඥා පනත මගින් සිංහල ජනතාව සතුව තිබූ උඩරට සහ පහතරට සාරවත් ඉඩම් අක්කර ලක්ෂ ගණනාවක් රජයට පවරාගත් හැටි අපට මේ අවස්ථාවේ දී මතකට නැගේ . යම් අයිතිවාසිකමක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ සෑම බිම් අඟලක්ම බ්‍රිතාන්‍යයන් අතපත් කරගෙන ඒවා හෙළි පෙහෙළි කොට කෝපි තේ සහ රබර් වවන්නට කටයුතු කළහ. මේ සඳහා 1897 අංක 01 මුඩුබිම් පනත ගෙන එන ලදී.ලංකාවේ වර්තමානයේ පවතින ඉඩම් පනත් වල මූලාරම්භය සනිටුහන් වන්නේ මේ පනත් වලින් සහ 1800 සිට නිකුත් කරන ලද ඉඩම් නිවේදන මගිනි.  1903 වර්ෂයේ දී ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටුවා 1931 අංක 20 පනත මගින් ප්‍රථම වරට ජනතාවට ඉඩම් ලබා දීමට කටයුතු සිදු කර ඇත. වර්තමානය වන විට මේ රටේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වන්නේ 1935 අංක 19 දරණ පනත සහ එහි සංශෝධන අවස්ථාවන්ය.

      එහෙත්  මෙම පනත් මගින් සැබෑ ලෙසටම එදා පැහර ගත් ඉඩම් වල අයිතිය සිංහලයන්ට ලැබී තිබෙන්නේ දැයි මොහොතක් කල්පනා කළ යුතුය. සැබෑ ලෙසටම එසේ ලැබී නොමැත. ඒ වෙනුවට ඉඩම් නිරවුල් කරලීමේ ආඥා පනත මගින් නින්දගම් ඉඩම් පරවේණී ඉඩම් ආදී සියල්ල රජයට පවරා ගැනිණ. මේ මෑත කාලයේ දී සංචාරක හෝටල් වලට අතයට විකුණා දමන්නට කටයුතු යෙදුණේ මෙලෙස පවරා ගත් ඉඩම්ය. එසේම විහාර දේවාලගම් සතුව පැවති ඉඩම් සෑහෙන ප්‍රමාණයක් මෙලෙස අන්සතු කර තිබෙන බව දකින්නට හැකිය. විශේෂයෙන්ම උතුරු පළාත උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල තිබෙන පැරණි සිද්ධස්ථාන සතු ඉඩම් ( දීඝවාපිය සෙරුවිල  මෙන්ම මුහුදු මහා විහාරය ) රාශියක් එක්කෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත ලෙසට වෙන්කර ගෙන ඇත. නැතිනම් ඉංග්‍රීසීන් විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ඇත. කොළඹ දිස්ත්‍රික්කය ගතහොත් පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙනටත් කලුතර දිසුත්‍රික්කයේ විද්‍යාරත්න පිරිවෙනටත්  අදාල ඉඩම්  දෙකට මැද්දෙන් දෙබෑ වන ලෙසට මහපාරවල් දමා මේ ඉඩම් රජය සතු කරගෙන තිබේ.මෙවැනි අවාසානාවන්ත අසරණ තත්ත්වයකට සිංහල ජනතාව මෙන්ම බුද්ධ ශාසනයත් ඇද දමා තිබෙන්නේ ඉංග්‍රීසීන් ගේ ඉඩම් ප්‍රතිපත්තිය සහ වර්තමානයේ විශේෂයෙන්ම 1948 සිට ලංකාව පාලනය කළ දේශපාලඥයන් ගේ බටහිර ගැති ප්‍රතිපත්තිය නිසා බව නොකියා බැරිය. විවිධ සංවර්ධන ව්‍යාපාර මගින් නැවත ඉඩකඩම් ලැබුණද ඒ ලැබෙන්නේ  අක්කර පහක් වර්තමානයේ නම් හෙක්ටයාර් දෙකහමාරක වපසරියක් පමණි. මහවැලියට යටවුණු අක්කර පහ දහය ඉඩම් හිමිව තිබූ භූමිපුත්‍රයන් ගේ නව පරම්පරාව ඉඩම් නොමැතිව නගරයට සංක්‍රමණය වන්නේ එහෙයිනි.

        මෙවැනි පසුබිමක් මැද ඉඩම් විශේෂ විධි විධාන පනත නමින් නව පනතක් ගෙන ඒමට වර්තමාන රජයේ කැබිනට්ටුව පවා අවසර නොදී තිබෙන පසුබිමක  ප්‍රජාතන්ත්‍ර විරෝධීව ඒවා සම්මත කර ගන්නට උත්සාහ කරන්නේ ඇයිද යන්න විමසිය යුතුය. මෙම පනත් මගින් රජයේ ඉඩම් පදාන පත්‍ර මගින් ජනතාව සතු කර ඇති ඉඩම් වල පරම අයිතිය ප්‍රදානය කරලීමට නීති සැකසේ .  මෙම ඉඩම් ගොවි පන්තියේ ඉඩම් කියාද හඳුන්වා දී ඇත. ගොවි පන්තියේ ඉඩම් බෙදා දීමට කටයුතු කරන ලද්දේ ජනපද කරණයත් සමගිනි. ඔවුන් එම ඉඩම් අස්වැදදීමකින් තොරව විකුණා දැමීම නවත්වාලීමට දිසාපති ගේ අවසරය මත පමණක් තම පසු අයිතිය දරුවන්ට හිමිවන පැවරුමක් කරලන්නට මෙහිදී ඉඩක් ලබා දී ඇත. දැන් ජනපද වල ට දිගු අතීතයක් තිබේ. ඒවායේ දෙවනි හෝ තුන්වන පරම්පරාවන් ද  ඒවා භුක්ති විඳිති. වර්තමාන නාගරීකරණය මත ඒවායින් ඉවත් වීමටද ඉඩම් විකිණීමටද අවශ්‍යතාවය තරුණ පරම්පරාවට ඇත. එයට හේතුව මෑතකදී සිට ගොවිතැන දිගින් දිගටම අ‍ධෛර්ය කරලීමට රජය මගින් කටයුතු කරලීමයි. වී වලට නිසි මිලක් නොමැති වීම. අතර මැදියන් විසින් ගසා කෑම රසායනික වස විස මගින් ඉඩම් නිසරු වීම ජලය හිඟ වීම මෙන්ම වකුගඩු රෝග සහ වෙනත් මාරාන්තික රෝග නිසා ගොවිතැන අත් හැරීමේ ප්‍රවණතාවය සීදු වී තිබේ. බස්නාහිර පළාතේ කුරණෑගල දිසිත්‍රික්කයේ මහනුවර මාතලේ දිස්ත්‍රික්කවලද ඒ තත්ත්වය සීඝ්‍රයෙන් වර්ධනය වේ. මෙවැනි සුබිමක් තුළ ඉඩම් වල පරම අයිතිය ප්‍රදානය කරලීම පිළිබඳව විශ්ලේෂණාත්මකව සිතා බැලිය යුතුය.

        මේ අතර ඇමරිකාව විසින් වර්තමාන රජය සමග අත්සන් කලීමට යෝජිත සෝෆා සහ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් හරහා කොළඹ සිට ත්‍රිකුණාමලයටත් කොළඹ සිට හම්බන්තොටත් විශාල ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කරලීමේ අභිප්‍රායෙන් පසු වේ. මේ  කොරිඩෝව සදහා ඉඩම් ලබා ගැනීමට සිදු වන්නේ ජනතාවගෙනි. ඉඩම් වලින් නිදහස් වී නාගරීකරණයට ලොල් වන ගමේ තරුණයාට මෙය හොඳ අවස්ථාවකි. ඔහු තම පියාට ලැබුණු  ගොවි පන්තියේ ඉඩම් විකුණා දමනු ඇත. එවිට ගොවිතැනත් ඉඩමත් දෙකම මෙම භූමිපුත්‍රයන්ට  නැති වේ. මේ උප්පපරවැට්ටිය අලුත පැමිණී දෙයක් නොවේ. විහාරගම් දේවාලගම් ආඥ පනත ගෙනවුත් රජයේ මැදිහත් වීම එයට ඇති කල  ඉංග්‍රීසි ආණ්ඩුව 1870 අංක 04 සේවා භුක්ති ආඥා පනත හඳුන්වා දුන්හ. එය ඉදිරිපත් කරනු ලැබූවේ විහාරගම් වල ඉඩම් අස්වැද්දූ ගොවියන් ඉන් නිදහස් කරලීමටයි. ඉඩමෙන් නිදහස් වීමේ ප්‍රීතිය නිසා සුද්දන්ගේ මේ පනතට කිසිවෙක් විරුද්ධ නොවූහ. නමුත් අවසානයේ දී සිදු වූයේ දහස් ගණන් ඉඩම් කැලෑවට යට වීමයි. එසේම දළදා මාළිගය නාථ දේවාලය  මල්වතු අස්ගිරි මහා විහාරය සතු ඉඩකඩම් රාශියක් මුස්ලිම් ජනතාව විසින් බදු වශයෙන් ලබා ගෙන පසුව සින්නක්කරවම අයිති කර ගැනීමයි.සේවා භුක්තිකයන් ගේ මේ තත්ත්වය නිදහස් අධ්‍යාපන පනතින් පසු නිවරදි කිරීමට ඉඩ තිබුණු නමුත් එලෙස සිදු නොවුණි.

        ඉඩම් විශේෂ පනතේ මුල් කොටුම්පත් බිහි වන්නේ අද ඊයේ නොවේ 1996 වැනි ඈත කාලයකදී බව මතක් කළ යුතුය .1996 මාර්තු මාසයේ දී ලෝක බැංකුව විසින් ලංකා ආණ්ඩුව වෙත වැවිලි නොවන භෝග ක්ෂේත්‍රය සඳහා ප්‍රතිපත්ති විකල්ප නමින් නිර්දේශ වාර්තාවක් ඉදරිපත් කර තිබුණි.එම වාර්තාවේ අර්ථය වූයේ ලංකාවේ ගොවීන් කුඩා ඉඩම් කැබලි වල වී වගාව වැනි මිල අඩු භෝග වගා කරමින් සිටින අතර මිල වැඩි අපනයන භෝග කරා වහා මාරු විය යුතු බවත්ය. එයට සුදුසු පියවර වන්නේ ඉඩම් වෙළෙද පළ නිදහස් කිරීම යනුවෙන් එහි දක්වා තිබුණි.නිදහස් ඉඩම් වෙළෙඳ පළක් බිහි කරලනු වස් දැනට මෙම ඉඩම් විකිණීමට ඇති සියලු බාධක ඉවත් කළ යුතු බවට එහි කියා තිබුණී.ඉන්පසු පැවති කාල වකවානුවේ දී ලෝක බැංකුවේ විශේෂඥ කණ්ඩායමක් ජෙසිකා මොට් නම් කාන්තාවගේ නායකත්වය යටතේ ලංකාව තුළ සිටිමින් සැලසුම් සකස් කළහ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාපතිනිය අවදියේ දී  රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ කාල වකවානුවේ දී ලෝක බැංකුව විසින් තම ණය කෙන්දේසි පිට මේ පනත් ගෙන ආ යුතු යැයි රජයට බලපෑම කළහ. එම කාලයේ දී පැවති සංවර්ධන සමුලුවෙන් පසුව  එම රජය යලි පුබුදමු ශ්‍රී ලංකා නමින් සැලැස්මක් සකස් කළහ. ශ්‍රී ලංකාවේ දිළිඳු භාවය අඩු කිරීම සඳහා උපාය මාර්ගයන් වර්ධනය කිරීම සමග සම්බන්ධ කිරීමව මෙහි අරමුණ බව එහි සඳහන් වෙයි. ඉඩම් හිමිකම් පනත මතුව ආයේ එලෙසිනි.කෙසේ වතත් එම අවදියේ දී එවැනි පනත් සම්මත කර ලීමට ආණ්ඩුවට නොහැකි විය.

     ඇමරිකානු ආධාර යටතේ කොටි ත්‍රස්ත ව්‍යාපාර ශක්තිමත් වූයේ මෙවැනි යටත් විජිත ප්‍රවණතාවයන් හි මූල බීජ වැපිරීමටයි. 2009 දී කොටි ව්‍යාපාරය අවසන් වූවායනි පසුව  ඇමරිකාවේ යටත් විජිත න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යෑම ප්‍රශ්ණයක්  විය. රට තුල දෙමළ ජාතිවාදය වැපිරීමට අවස්ථාව නැති වය. මහින්ද රජපක්ෂ රජය තුළ කෙතරම් අඩුපාඩු තිබුණද මේ දෙමළ ජාතිවාදය  විශේෂයෙන්ම දෙමළ දෙශපාලඥයන්ගේ ජාතිවාදය ඉස්මතු කරලීමට අවස්ථාව හීන විය. ඒ නිසා තමන්ගේ ඒජන්තයා වන රනිල් වික්‍රමසිංහ ලවා කළ කුමන්ත්‍රණයකින් පසු ඇමරිකා ඔත්තු සේවාවන් විසින් එම රජය පෙරළා දැමිණි. එසේම ජිනීවා වලදී බොරු යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරන ලද්දේ ද ඇමරිකාවයි.ඒ මගින් ලක් රජයේ අත කරකවා ඇමරිකන් අවශ්‍යතාව ඉෂ්ට සිද්ධ කරගැනීමට මාන බැලීය නමුත් දිනෙන් දින වර්ධනය වූ මහජන විරෝධය මත යහපාලන රජය අසාර්ථක අඩියට පත් වී තිබේ. ජනතාව වෙනසක් බලාපොරෙත්තු වෙමින් සිටී. සහරාන් වැනි මුස්ලිම් අන්තවාදීන් ලවා පාස්කු ප්‍රහාරය ඇමරිකාව විසින් සැලසුම් කරන්නට ඇත්තේ මේ නිසාය. එය සුලු සිද්දියකින් නිමා කරන්නට සැලසුම් කළද විශාල සිද්දියක් බවට පත් විය. වර්තමාන ඇමරිකන් තානාපතිනිය මේවාට සෘජුව සම්බන්ධ බවට තිබෙන කටකතා බොරුවක් වන්නට බැරිය.ඉතා සුලු සිද්දියක් බලාපොරොත්තු වූ බව හිටපු ආරක්ෂක ලේකම් ගේ කටින් පිටවූයේ මේ පසුබිම මත්තේය.මේ සියල්ලගේ ම අරමුණ වූයේ ඇමරිකන් නව යටත් විජිත කරණයට අවශ්‍ය පනත් කීපයක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීමයි.ඒ සඳහා අද රජයේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව වක්‍ර ආකාරයෙන් සම්බන්ධ කර ගෙන තිබේ. එම ආයතනය හරහා ආර්ථික කොරිඩෝ න්‍යාය ගැසට් කරගන්නට සූදානම් වෙමින් පවතී.

      මේ අතර ඇමරිකන් හමුදාවලට ලක් පොලවේ රිසි ලෙස හැදිරීමට හැකි ඇක්සා නමින් ගිවිසුමත් පිලිබඳ අපට අසන්නට ලැබේ. එසේම ලංකාවේ විශ්‍රාමික හමුදා නිළධාරින්ට මෙන්ම ශක්තිමත් හොඳ තරුණයන්ට මේ ඇමරිකන් හමුදා මගින් කරන ඉඳි කිරීම් ව්‍යපෘති වල සිකුරිට සහ කම්කරු කම් ලබාදෙන්නටද අන්තර් ජාලය හරහා ඇප් එකක් විවෘත කර තිබේ.ඇමරිකන් ගාඩ් නමින් ඒ සඳහා සමාගමක්ද හෝර්ටන් පෙදෙසේ පිහිටුවා තිබෙන බව අන්තර්ජාලයේ දක්වා තිබේ. මෙයින් අපට පොනී යන්නේ මේ රට බියකුරු අගාධයකට ඇදගෙන යෑමට වර්තමාන පාලකයන් අවශ්‍ය සෑම දෙයක්ම කිරීමට පසුබට නොවන බවයි. මෙරට භූමිපුත්‍රයන්ට සැබෑ ලෙසටම ඉඩම් හිමිකම් තහවුරු කරලිය හැක්කේ වර්ෂ 1800 පමණ සිට පැවතගෙන පැමිණි යටත් විජිත පනත් විමර්ශනාත්මකව වෙනස් කරලීමෙන් පසුවයි. එසේ නොමැතිව ඇමරිකන් න්‍යාය පත්‍ර වලට මෙරට ඉඩම් වෙළෙඳ පළ සක්‍රීය කරලීමට ඉඩ හැරීම භයානක ප්‍රතිඵල ලබා දෙන්නකි.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress