විනිසුරුට එරෙහිව දැමූ ෆැලෝපීය නාල නඩුව
Posted on August 3rd, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

මේ දවස්වල අපේ රටේ වැඩියෙන් ම කතාවට ලක්වුණු මිනිස් ඉන්ද්‍රිය ‍ෆැලෝපීය නාලය කියලා හිතන එකේ වැරැද්දක් නෑ. අපි හැම කෙනෙක් ම වගේ ඒ ගැන කතා කරලා තියෙනවා. මේ ලිපිය ලියන්නේ ඒ කතාවට අත්වැල් අල්ලන්න නම් නෙවෙයි. මේක රට කතාවක්. හැබැයි මේක එසේ මෙසේ රටක වෙච්ච කතාවක් නෙවෙයි. මේ කියන්න හදන සිද්ධිය ඇතිවෙලා තියෙන්නේ ඇමෙරිකා ජනපද සංගමයේ.

ඉන්දියානාව කියලා කියන්නේ ඇමෙරිකා ජනපද සංගමයේ ඊසාන පැත්තට බර ව මහා විල්වලට දකුණින් පිහිටලා තියෙන ජනපදයක්. මේ කියන්න සිද්දිය ඇතිවෙලා තියෙන්නේ ඒ ජනපදයේ.

1971 අවුරුද්දේ ජුලි 9 වැනි දා ඉන්දියානාවේ ඕර්බන් කියන නගරයේ ජීවත්වුනු අම්මා කෙනෙක් නඩුවක් පැවරුවා. ඒ නඩුවෙන් කියැවුනේ මෙහෙම දෙයක්.

මේ අම්මාගේ දුව තමයි ලින්ඩා කේ ස්පිල්ටර්. ඒ වෙද්දි ලින්ඩාගේ වයස අවුරුදු 15 යි. මේ ගෑණු ළමයා හොඳට ඉගෙනගත්ත කෙනෙක්. හැම දා ම පංතියේ හොඳට ලකුණු ගන්නවා. ඒත් ලින්ඩා නිතර නිතර වැඩිහිටි පිරිමි ළමයි එක්ක රස්තියාදුවේ යනවා. රෑටත් ඒ ළමයි එක්ක ඉන්නවා. ඉතින් අම්මා මේ ගැන වදවුනා. උඩින් කියපු නඩුව පවරන්න අම්මා තීරණය කළේ මේ කාරණය මුල් කරගෙන.

දුව බේරගන්න කියලා හිතාගෙන දාපු ඒ නඩුවෙන් අම්මා විසඳුමක් ඉල්ලලා තිබුණා. ඒ විසඳුම වෙන මොකක්වත් නෙවෙයි. අනේ නඩුකාර හාමුදුරුවනේ, මගේ දෝණියැන්දාව වඳ කරලා දෙන්න” කියන එක තමයි ඒ ඉල්ලීම. නඩුව අතට ගත්ත ගමන් ම දෙපාරක් නොහිතා හැරල්ඩ් ඩී. ස්ටම්ප් කියන නඩුකාරයා තීන්දුව දුන්නා. මේ තීන්දුව දෙද්දි නඩුවට අදාළ අනිත් පාර්ශ්වය (ඒ කියන්නේ ලින්ඩාව) උසාවියට කැ‍ඳෙව්වේ නෑ. ඇය වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයකුට අවස්ථාවක් දුන්නේ නෑ. කොටින් ම නඩුවක් ඇහුවේ ම නෑ!

ඒ තීන්දුව දීලා සතියක් විතර ගත වෙද්දි (හරියට ම කියනවා නම් ජූලි 15 වැනි දා) ලින්ඩාව ඉස්පිරිතාලෙකට එක් කරගෙන ගියා. ඒ විදිහට එක් කරගෙන ගියේ ලින්ඩාගේ උණ්ඩුකපුච්ඡය අයින් කරන්න ඕන කියලා. ඉතින් ඒ ගැන වදවෙන්න ඕනකමක් ලින්ඩාට තිබුණේ නෑ. ශල්‍යකර්මය අවසන් කරලා යථා තත්ත්වයට පත්වුනාට පස්සේ ලින්ඩාව ගෙදර එක් කරගෙන ආවා.

මේ සිද්දියෙන් අවුරුදු දෙකකට පස්සේ ලින්ඩා විවාහ වුනා. ඒ, ලියෝ ස්පාක්මන් කියන හාදයා එක්ක. ඒත් ඊට පස්සේ (1975 අවුරුද්දේ දී) කරපු වෛද්‍ය පරීක්‍ෂණයක දී එළිදරව් වුනේ මහ පුදුමාකාර දෙයක්. කසාද බඳින්න අවුරුදු දෙකකට කරපු ශල්‍යකර්මයේ දී ලින්ඩාගේ ෆැලෝපීය නාල ගැට ගහලා. ඒ කියන්නේ ලින්ඩාව වඳ කරලා!

මෙන්න මේ වෙලාවේ තමයි නඩුකාරතුමා කරපු හපන්කම එළිදරව් වුනේ. ඉතින් දැන් මොකද කරන්නේ? අලුත් ජෝඩුව එකතුවෙලා නඩුකාරතුමාටයි, ලින්ඩාගේ අම්මාටයි, වැඩේට හවුල් වෙච්ච අනිත් අයට විරුද්ධව නඩු දැම්මා. මේ නඩුව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ හැරල්ඩ් ඩී. ස්ටම්ප් ඇතුළු පිරිසට එරෙහිව ලින්ඩා කේ ස්පාක්මන් සහ ලියෝ ස්පාක්මන් (Harold D. Stump, et al. v. Linda Kay Sparkman and Leo Sparkman) කියලා. Stump v. Sparkman කියන නමෙන් හෙව්වත් මේ ගැන හොයාගන්න පුළුවන්.

නීතිය ගැන දන්න කියන අයට පුළුවන් මේ ගැන හොයලා වැඩි විස්තර අපිට කියලා දෙන්න. මට නීතිය ගැන තේරුමක් නෑ. ඒ හින්දා මට පුළුවන් විදිහට කතාවේ ඉතිරි කොටස කියන්නම්. වැරැද්දක් වෙලා තියෙනවා නම් නිවැරැදි කරන්න.

නීතිය නොදන්න මෝඩ අපිට තේරෙන විදිහට හිතුවාම නම් පේන්නේ මේ කට්ටිය එකතුවෙලා කරලා තියෙන්නේ මහා අපරාධයක් කියලා. ඒත් නඩුකාර හාමුදුරුවරු එහෙම හිතලා නෑ. මුලින් ම නඩුව ඇහුවේ දිස්ත්‍රික්ක උසාවියේ. ඒ උසාවිය කිව්වා මේ අම්මා ඇතුළු කට්ටිය අදාළ කටයුත්ත කරලා තියෙන්නේ නඩුකාර උන්නාන්සේ දීපු තීන්දුව මත පදනම් වෙලා කියලා. ඒ හින්දා ඒ අයට විරුද්ධව අදාළ නඩුව පවරපු එකේ තේරුමක් නෑ කියලා දිස්ත්‍රික්ක උසාවිය කිව්වා. එහෙම නම්, නඩුකාර උන්නාන්සේ? නීතියේ හැටියට නඩුකාර උන්නාන්සේ නඩු කටයුත්තක දී දීපු තීන්දුවකට විරුද්ධව නඩු දාන්න බෑ. ඒ හින්දා එතුමාත් නිදහස්!

දැන් මොකද කරන්නේ? ලින්ඩායි මහත්තයායි අභියාචනාධිකරණයට ගියා. ඒ උසාවියෙන් දිස්ත්‍රික්ක උසාවියේ තීන්දුව අනිත් පැත්ත හැරෙව්වා. ලින්ඩාගේ අම්මා පවරපු අර නඩුව අහද්දි හැරල්ඩ් ඩී. ස්ටම්ප් නඩුකාරයා නියම ක්‍රියා පටිපාටිය අනුගමනය කරලා නැති හින්දා උන්නාන්සේට නඩුවෙන් බේරෙන්න මුක්තිය අහිමි කරගෙන තියෙනවා කියලා අභියාචනාධිකරණය කිව්වා.

ඊට පස්සේ?

ඊට පස්සේ හැරල්ඩ් ඩී. ස්ටම්ප් නඩුකාර උන්නාන්සේත් සහචර පිරිසත් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇරගෙන ගියා. 1978 මාර්තු 28 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණා. ඒක පහට – තුන (5:3) විදිහට බෙදුණු තීන්දුවක්. ඒ තීන්දුවෙන් ස්ටම්ප් නඩුකාර උන්නාන්සේත් අනිත් කට්ටියත් නිදහස් කරලා තිබුණා.

ලින්ඩාගේ අම්මා පවරපු නඩුව අහද්දි හැරල්ඩ් ඩී. ස්ටම්ප් නඩුකාරයා අදාළ නීති පටිපාටිය අනුගමනය නොකළත් ඔහු කරලා තිබුණේ නඩු කටයුත්තක් හින්දා ඒකට විරුද්ධව කටයුතු කරන්න නීතියට බෑ කියලා විනිශ්චකාර මණ්ඩලයේ බහුතරය (ඒ කියන්නේ, පස් දෙනෙක්) කිව්වා. මේ නරුම වැඩේ මොන ම හේතුවක් හින්දාවත් නඩු කටයුත්තක් කියලා කියන්න බෑ කියලා සුළුතරය (ඒ කියන්නේ, තුන් දෙනා) කිව්වා.

ඉතින් හැරල්ඩ් ඩී. ස්ටම්ප් නඩුකාර උන්නාන්සේ නිදහස් වුනා. ඊට පස්සේ තව තවත් නඩු අහලා මිනිස්සුන්ට වෙච්ච අසාධාරණකම්වලින් ඒ අයව මුදාගත්තා!

(The Blanket She Carried කියන පොත ලියලා තියෙන්නේ Jamie Renae Coleman කියන ලේඛිකාව. ඒ ලේඛිකාවගේ මුල් නම දන්නවා ද? ඒක තමයි, Linda Kay Sparkman).

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress