සජිත් බලය බෙදනවාද, නැද්ද?
Posted on October 2nd, 2019

කතු වැකිය  උපුටා ගැන්ම  අරුණ පුවත්

ජනාධිපතිවරණයේ දී තමන්ගේ සහය ලබා ගැනීමට නම් දෙමළ ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් සතියක් ඇතුළත ඉදිරිපත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබේ. ඔවුන් මේ බව දැනුම් දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂ නියෝජිත පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදීය. දෙමළ ජාතික සන්ධානය මේ මතුකර ඇත්තේ ඔවුන් පමණක් නොව රටම දැනගන්නට නොඉවසිල්ලෙන් සිටින වැදගත් කාරණයකි.

එක්සත් ජාතික පක්ෂය ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දරන ස්ථාවරය ඉතා පැහැදිලි එකකි. ඔවුන් පෙනී සිටින්නේ උපරිම බලය බෙදීමක් වෙනුවෙනි. උපරිම බලය බෙදීමක් යැයි කී විට එහි සීමාව ෆෙඩරල් තත්ත්වයක් දක්වා වුවද දිගු විය හැකිය. මේ වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අදහස් කරන බවටද ඔවුන් 2015 මහ මැතිවරණයේදී ද පොරොන්දුවක් දී තිබේ. මේ ස්ථාවරය වෙනස්කොට ඇති බවක් තවමත් ප්‍රකාශ වී නැති නිසා එය තවමත් ඔවුන්ගේ ස්ථාවරය ලෙස පිළිගැනීමට අපට සිදු වේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා වුවද සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා ලෙසය. ඔහු දැනටමත් ඉඟි කරමින් සිටින්නේ තමන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට වඩා වෙනස් වූ ගමනක් යන්නට සූදානමින් සිටින බවය. තමන් රට කරවන්නට බලාපොරොත්තු වන්නේ තම පියාණන් වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිවලට අනුව බවද ඔහු වැඩිදුරටත් කියා ඇත. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා රට පුරා රැස්වීම් තබමින් ජනතාව වෙනුවෙන් දිවි පුදන්නට සූදානම් බව ප්‍රකාශ කොට තිබේ. එහෙත් ජනතාවට බලපාන කිසිදු ප්‍රධාන කරුණක් සම්බන්ධයෙන් ඔහුගේ මතයක් හෝ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කොට නැත. උතුරේ දෙමළ ජනතාව කේන්ද්‍ර කර ගනිමින් පවතින අර්බුදය, මෙරට සෑම මැතිවරණයකදීම තීරණාත්මක කාරණයකි. ජනපති අපේක්ෂකයන්ද, දේශපාලන පක්ෂද එය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන්හි ප්‍රමුඛ කාරණයක් කොට සලකන්නේ ඒ නිසාය. එහෙත් සජිත් ප්‍රේමදාස මහතා ඒ ගැන හෝ කිසිදු අදහසක් ඉදිරිපත්කොට නැත. ඒ මේ ප්‍රශ්නයට විසඳුමක් යෝජනා කරන්නට තරම් ඔහුට දේශපාලන අවබෝධයක් නැති නිසාද? නැතහොත් සටකපටකමටද යන්න අප දන්නේ නැත.

පෙනෙන ආකාරයට අපට පමණක් නොව ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ස්ථාවරය ගැන ඔහු නියෝජ්‍ය නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයටද පැහැදිලිතාවක් නොමැති සේය.

ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා දීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට, බලය බෙදීමට හා දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට පියවර ගන්නා බවට පක්ෂය ඔහුගෙන් පොරොන්දුවක් ලබාගෙන ඇත්තේ එනිසා විය යුතුය.

අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා එලෙස පොරොන්දු වුවත් සජිත් ප්‍රේමදාසට තවමත් උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය හෙළිදරව් කිරීමට හැකි වී නැත. දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවමත් සිය මතය ප්‍රකාශ කොට නැත්තේද මේ නිසාය. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ සහාය නොමැතිව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකට කුමන මැතිවරණයක් වුවද ජය ගැනීමට නොහැකි බව කවුරු නැතත් එජාප නායකයා ඉතා හොඳින්ම දන්නා කාරණයකි. සජිත් ප්‍රේමදාස මහතා උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දරන ස්ථාවරය සම්බන්ධයෙන් රටේ ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටින්නේ මේ නිසාය. ඒ හේතු දෙකක් මුල් කර ගනිමිනි. පළමුවැන්න නම් 2015 දී එක්සත් ජාතික පක්ෂය හා දෙමළ සන්ධානය අතර රහස් ගිවිසුමක් තිබූ බවට පවතින විශ්වාසයයි. මේ නිසා ඇතැම් විටෙක සජිත් ප්‍රේමදාසද නොදැන එක්සත් ජාතික පක්ෂය විසින් මෙවරත් එවැනි රහස් එකඟතාවකට එළැඹෙන්නට ඉඩ ඇතැයි යන සිතුවිල්ලය.

තමන් අනුගමනය කරන්නේ තම පියාණන්ගේ ප්‍රතිපත්ති බවට සජිත් ප්‍රේමදාස මහතා කරන ප්‍රකාශය දෙවැන්නය. වසර 30 ක් තිස්සේ මේ රට විනාශ කරන්නට හේතු වූ කොටි සංවිධානයට ආයුධ හා මුදල් දුන් එකම විධායක ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන් වන රණසිංහ ප්‍රේමදාස බව සජිත් අමතක කර ඇතත් මේ රටේ ජනතාවට හොඳහැටි මතකය.

නිදි වැරීම හෝ ජනතාව වෙනුවෙන් මැරෙන්නට සූදානම් බවට හැඟුම්බර කතා කිරීම පමණක් ජනාධිපති ධුරයක් දැරීමට සුදුසුකමක් නොවන බව සජිත් ප්‍රේමදාස මහතා දැන්වත් තේරුම්ගත යුතුය. ජනාධිපති ධුරයට පත්වන අයකුට මේ රටේ දෙකෝටියකට අධික ජනතාවගේ කුදුමහත් ප්‍රශ්න පමණක් නොව ලෝකයේ රටවල් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සමගද ගනුදෙනු කරන්නට සිදු වේ. ඒ සඳහා පක්ෂය කුමක් වුවත් තමන්ගේ කියා දැක්මක්, දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබිය යුතුය. එක්සත් ජාතික පාක්ෂිකයන් දැන්ද, අනාගතයේද භුක්ති විඳිනු ඇත්තේ එවැන්නෙකු තෝරා නොගැනීමේ පාඩමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress