ප්‍රතිසංස්කරණය කළ සිරිමතීපාය ජනපති අගමැති සුරතින් විවෘත වෙයි
Posted on January 20th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ප්‍රතිසංස්කරණය කළ සිරිමතීපාය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) දින පෙරවරුවේ විවෘත විය.

කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතේ අංක 58 දරණ ස්ථානයේ පිහිටි මෙම ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මෙරට අග්‍රාමාත්‍යවරුන් අට දෙනෙකුගේ කාර්යාල පරිශ්‍රය පිහිටි ස්ථානය වීම විශේෂත්වයකි.

කොළඹ සිටි ධනවත් ව්‍යාපාරිකයකු වන ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා මහතා තමන්ගේ ආදරණීය එකම පුත්‍රරත්නය වන ශ්‍රීමත් ඇල්බර්ට් අර්නස්ට් ද සිල්වා මහතා වෙනුවෙන් වර්ෂ 1916 දී මේ මන්දිරය ඉදි කර සිරිමතීපාය නමින් නම් කර ඇති අතර මනරම් පරිසරයක පිහිටි මෙම දෙමහල් මන්දිරය 1960 වර්ෂයේ දී අර්නස්ට් ද සිල්වා මැතිණිය විසින් රජයට පවරා දී තිබේ.

වසර 105ක් පැරණි මෙම ගොඩනැගිල්ල අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස්  පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයාව සිටියදී මුල් ආකෘතියට හානි නොවන අයුරින් ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි කළ මගපෙන්වීම අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලදි.

සමරු ඵලකය නිරාවරණය කරමින් ප්‍රතිසංස්කරණය කළ සිරිමතීපාය කාර්යාල කටයුතු සඳහා විවෘත කළ ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා අනතුරුව එහි වූ බුද්ධ ප්‍රතිමාවහන්සේට මල් පූජා කළහ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් සිරිමතීපාය පිළිබඳ තොරතුරු ඇතුළත් සමරු පුස්තකය (Coffee Table Book) මෙහි දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාට භාර දුන් අතර එතුමා විසින් එම ග්‍රන්ථය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් පිළිගැන්නුවේය.

අනතුරුව අග්‍රාමාත්‍ය ලේකම් ලෙස ගාමිණී සෙනරත් මහතා ඉටු කළ සේවාව පිළිබඳ ඡායාරූප ඇතුළත් අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේ අභිමානවත් මතක” ඡායාරූප එකතුව අග්‍රාමාත්‍යතුමා විසින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාට පිරිනැමීය.

ප්‍රතිසංස්කරණය අවසන් කළ සිරිමතීපාය කාර්යාල කටයුතු සඳහා විවෘත කිරීමට සමඟාමීව සිරිමතීපාය, අරලියගහ මන්දිරය සහ නුවරඑළිය අග්‍රාමාත්‍ය නිල නිවසේ සිතුවම් යෙදූ රුපියල් 15ක වටිනාකමින් යුතු සමරු මුද්දර තුනක් මෙහි දී නිකුත් කෙරිණි. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් අදාළ සමරු මුද්දර ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාටත් එතුමා විසින් එම සමරු මුද්දර ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමාටත් පිළිගන්වන ලදි.           

සිරිමතීපාය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා චිත්‍රපටයක් ද මෙහි දී තිරගත කෙරිණි. හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරුන් වන බ්‍රැඩ්මන් වීරකෝන්, කේ.එච්.ජේ විජේදාස,කේ.එම් අබේසිංහ, කේ.බාලපටබැඳි, ලලිත් වීරතුංග මහත්වරු සහ සිරිමතීපාය අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා ප්‍රදානය කළ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මහතාගේ පවුලේ ඥාතීහු පිරිසක් ද මෙහි පැමිණ සිටියහ.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග,අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචර්ය කපිල ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, තැපැල්පති රංජිත් ආරියරත්න, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන්වන හර්ෂ විජේවර්ධන, නීතිඥ චමින්ද කුලරත්න,ඇන්ටන් පෙරේරා,නිශාන්ත වීරසිංහ,මහත්වරු ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress