මෛත්‍රිපාල ශ්‍රි ල නි පක්‍ෂයට දෙන නායකත්වය
Posted on March 18th, 2015

නලින් ද සිල්වා

මෛත්‍රිපාල සිරිසේන පසුගිය දා පදනම් ආයතනයේ පැවති ශ්‍රී ල නි ප රැස්වීමක දී ආයාචනයක් කර ඇත. ඒ ආයාචනය කාහට යන්න පැහැදිලි ව කියා නැතත් අපට සිතන්නට ඇත්තේ ඒ මහින්ද රාජපක්‍ෂට බව ය. ඒ ගැන කතාකිරීමට පළමුව ශ්‍රී ල නි පක්‍ෂයට සම්බන්ධ රැස්වීම් බොහෝමයක් පදනම් ආයතනයේ දී පැවැත්වෙන්නේ ඇයි ද යන ප්‍රශ්නය නොඅසා ම බැරි ය. අද එහි ප්‍රධානියා ඉන්දියාවේ පශ්චාත් උපාධියක් ලබා ඇත්තෙකැයි කියැවෙයි. ඔහු කොටි සංවිධානයට එරෙහි මානුෂික මෙහෙයුම් පිළිබඳ ව ඉන්දීය දෘෂ්ටි කෝණයකින් පොතක් ලියා ඇති බව නම් මම දනිමි. මෛත්‍රිපාල සිරිසේන, චම්පික රණවක, කරුණාරත්න පරනවිතාන, රතන හිමි ආදීන් ඒ පොත කියවා ඇත් දැයි නො දනිමි. 

ඒ කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන කියා ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම අත්හැරීමෙන් පසුව මහින්දට ඒ කරගෙන යෑමට ඉඩ දී අයින් වූ බවත් තමාට ද එසේ පක්‍ෂයේ සභාපතිකම කරගෙන යෑමට ඉඩ දීය යුතු බවත් ය. එයින් ගම්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂ මෛත්‍රිපාලට ප්ක්‍ෂයේ සභාපතිකම කරගෙන යෑමට ඉඩ නොදෙන බව ය. මේ කතාව ඇත්තක් ද? මෛත්‍රිපාල තවමත් කියන්නේ ඔහු ඇමතිවරයකු ව සිටිය දී ඇමතිකමේ වැඩ කටයුතු කරගෙන යෑමට ඉඩ නොදුන් බව ය. මේ වැඩ බැරි අයකුගේ දුක් ගැනවිල්ලක් පමණක් ද?

මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම පික්පොකට් ගැසූ තැනැත්තෙකි. මහින්ද රාජපක්‍ෂ තම දේශපාලන ජීවිතයේ කළ වඩාත් ම වැරදි දෙය නම් පක්‍ෂයේ සභාපතිකම අත්හැරීම බව අපි කිහිප විටක් ම කියා ඇත්තෙමු. ඔහු දැන්වත් පක්‍ෂයේ සභාපතිකම පක්‍ෂ සම්මේලනයක් මගින් ලබාගත යුතු ය. මහින්ද රාජපක්‍ෂ නැතිව ශ්‍රී ල නි පක්‍ෂයට පැවැත්මක් නැත. ඔහු නොමැතිව ශ්‍රී ල නි ප මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් ඔවුන්ට දෙමළ ජාතික සංධානයට තරම්වත් ආසන සංඛ්‍යාවක් නො ලැබෙනු ඇත. එවැනි පසුබිමක පාර්ලිමේන්තුවේ මන්ත්‍රී   සංඛ්‍යාව අතින් හතරවැනි තැන ලබාගන්නේ කවු ද යන්න පිළිබඳ ව ශ්‍රී ල නි පක්‍ෂයට ජ වි පෙරමුණ සමග තරග කිරීමට සිදුවනු ඇත. 

පක්‍ෂ නායකත්වය පික්පොකට් ගැසූ මෛත්‍රිපාල අද ශ්‍රී ල නි පක්‍ෂයට නායකත්වයක් නො සපයයි. ඔහු කිසි දිනෙක ජාතික නායකයෙක් නො වී ය. ඔහු වැඩිම වුවහොත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නායකයා විය. අඩුම තරමෙන් රජරට පක්‍ෂ නායකයා වීමටවත් ඔහුට නො හැකි විය. එවැනි පසුබිමක් සහිත අයකුගෙන් ශ්‍රී ල නි පක්‍ෂයට බලාපොරොත්තු විය හැක්කේ කුමක් ද? ඔහු කිසි දිනෙක ශ්‍රී ල නි පක්‍ෂයේ හෝ සංධානයේ හෝ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරා නොගැනෙනු ඇත. ඔහු ජනාධිපති අපේක්‍ෂකයා බවට පත්කරනු ලැබුයේ ඇමරිකන් හා එංගලන්ත ඔත්තු සේවාවල අනුග්‍රහය ලැබූ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය හා ඔවුන්ගේ සිංහල ඒජන්තයන් විසිනි. එයට අවසානයේ දී රනිල්ගේ ද අනුමැතිය ලැබිණි. දුර්වලයකු වූ මෛත්‍රිපාල අද මෙහෙයවනු ලබන්නේ රනිල් විසිනි. මහින්ද නොවන්නට මෛත්‍රිපාල රනිල් විසින් මු්‍රළුමනින් ම මෙහෙයවනු ඇත. මහින්ද මෛත්‍රිපාලට බලපෑම් නො කරයි. එහෙත් මෛත්‍රිපාලට මහින්ද නොසලකා කටයුතු කිරීමට නො හැකි ය. ඒ බව වසාගැනීමට මෛත්‍රිපාල තමාට පක්‍ෂ සභාපතිත්වය කරගෙන යෑමට ඉඩ නොදෙන්නේ යැයි මැසිවිලි කියයි.

මහින්ද වරදක් වුවත් සිය කැමැත්තෙන් ම පක්‍ෂ සභාපතිකම අත්හැරියේ ය. එහෙත් චන්ද්‍රිකා එසේ කළේ නැත. මහින්දට පක්‍ෂ නායකත්වය ලබා ගැනීමට තරමක සටනක් කිරීමට සිදුවිය. එහෙත් චන්ද්‍රිකාට සියල්ල හකුළා ගෙන යෑමට සිදුවිය. ඒ මහින්දගේ පෞරෂය හේතුකොට ගෙන ය. මෛත්‍රිපාලට එවැනි පෞරෂයක් නැත. එයට මහින්ද වරදකරුවා නො වේ. අද කැබිනට් මණ්ඩලය මෛත්‍රිපාල නැතිව ද රැස්වෙයි. මේ කැබිනට්ටුව රනිල්ගේ කැබිනට්ටුවක් මිස මෛත්‍රිපාලගේ කැබිනට්ටුවක් නො වේ. ජාතික හෙළ උරුම නායකයෝ දේශපාලන තොත්ත බබාලා මෙන් හදිසියේ ම මෙය එ ජා ප ආණ්ඩුවක් බව වටහා ගනිති. සිංහලයන් පාවා දුන් බලලෝභී කුහක ජා හෙළ උරුමය ජාතික ව්‍යාපාරයේ හතර මායිමට වද්දා නොගත යුතු ය. ඔවුන්ට මෝදිගේ ව්‍යාපාරයේ නම් තැනක් ඇත. 

විනිමය වංචාවක් පිළිබඳ නඩුවක් ඇති රවි කරුණානායක මුදල් ඇමති ලෙස පත්කෙරුනේ මෛත්‍රිපාල විසිනි. අද රවි කරුණානායක තම අමාත්‍යාංශයට වග කිව යුතු නියෝජ්‍ය විනිමය පාලක ලවා තමා වරදකරුවකු නො වේ යැයි කියවා ගන්නේ ද? නඩු විභාගය අවසන් වන තුරු රවි කරුණානායක ඇමති ධුරයෙන් ඉවත් කිරීමට මෛත්‍රිපාලට නො හැකි ය. ඒ රනිල්ගේ නායකත්වය මෛත්‍රිපාලට පිළිගැනීමට සිදු වී ඇති බැවිනි. 

මහා බැංකුවේ යමපාලනය යටතේ සිිදු වී ඇති යහදූෂණය ගැන සෙවීමට කමිටුවක් පත්කර ඇත. එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වනු ඇතැයි කියැවෙයි. ඒ කෙසේ වෙතත් මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරු පුරවැසියකු බව කියැවෙයි. ඔහුට හදිසියේ ම ශ්‍රී ලංකා පුරවැසි කමක් දවිත්ව පුරවැසි පනත යටතේ ලබා දී ඇත. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පත්වීමට නොහැකි යැයි කියන රනිල් එවැන්නන් මහා බැංකුවේ අධිපති ලෙස පත්කිරීමට උපදෙස් දෙන්නේ කෙසේ ද? එහෙත් එයටත් වඩා පුදුමය නම් අර්ජුන් මහේ්න්ද්‍රන් තමා වංචා පරීක්‍ෂණය නිමවන තෙක්  මහා බැංකුවේ අධිපතිකමෙන් නිවාඩු ගන්නා බව දන්වන්නේ අගමැතිට වීම ය. රනිල් අගමැති මිස ජනාධිපති හෝ මුදල් ඇමති හෝ නො වේ. එහෙත් ඔහු ක්‍රියාකරන්නේත් අර්ජුන්ලා කටයුතු කරන්නේත් රනිල් ජනාධිපති ලෙස සලකමිනි. 

මෛත්‍රිපාලට රටටවත් ශ්‍රී ල නි පක්‍ෂයටවත් නායකත්වය දිය නො හැකි බව පැහැදිලි ය. ඔහු පසුගිය දා එංගලන්තයට ගියේ ය. එලිසබෙත් හා කැමරන් තම ගැත්තාට දැක්වූ සැලකිල්ලෙන් ඔහු උද්දාමයට පත් වී ඇත. වාර්තාවන අන්දමට ලංඩනයේ පැවැත්වූ රැස්වීමක දී මුලිකත්වය ගෙන ඇත්තේ මෛත්‍රිපාල නොව ඇමති ස්වාමිනාදන් හා අසාද් අලි ය. රැස්වීමට සහභාගි වූ ඇතැම් සිංහලයන්ට තමන්ට නායකයකු නැත යන හැඟීම මෛත්‍රිපාලගේ හැසිරීමෙන් ලැබී ඇත. එක් එක් අයට චෝදනා නොකර මෛත්‍රිපාල සිරිසේන ශ්‍රි ල නි ප’ක්‍ෂයට හා රටට නායකත්වය දිය යුතු ය.

නලින් ද සිල්වා

2015 මාර්තු 18

 

4 Responses to “මෛත්‍රිපාල ශ්‍රි ල නි පක්‍ෂයට දෙන නායකත්වය”

  1. Leela Says:

    නලින් කියන දේ හරියටම හරි. සිරිසේන ශ්‍රිලනිප සභාපති කම පිට් පොකට් ගහ ගත්ත නම් නහයෙන් අඬන්නෙ නැතුව කැඳහැලි අාණ්ඩුවෙ වැඩ අත හැරල සංධාන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වැඩ කළ යුතුයි. ජාතියන්තර කුමන්ත්‍රණකාරයින්ගෙ මති මතාන්තර වලින් ගොඩ අැවිත් ශ්‍රිලනි පාක්‍ෂිකයන්ගෙ මතයට කන් දිය යුතුයි.

    නමුත් සිරිසේන කරන්නෙ තැනේ හැටියට එක එක දවසට එක එක බයිලා කියන එකයි. එයාට ජනාධිපති වෙන්න උදව් කලේ එජාප නිසා එයාට එජාපය අමතක කරන්න බැහැ කියල දවසක් කියනවා. ඊලඟ දවසෙ කියනවා ඊලඟ චන්දෙදි එයා මධ්‍යස්තයිලු. අායිත් දවසක් කියනවා ශ්‍රිලනිපය දිනවනවලු. තවත් දවසක් කියනවා චන්දෙන් පස්සෙ ජාතික අාණ්ඩුවක් පිහිටවනවලු. අපි සිරිසේනගෙන් අහනව එයාට ජාතික අාණ්ඩු පිහිටුවන්න ශ්‍රිලනි පක්‍ෂෙට චන්දෙ දෙන අපි කැමතිද කියල එයා හොයල බැලුවද කියල?

    සිරිසේනගෙ වැඩ වලට තමන්ගෙ අාසනය පරදින සිරිපාලල ඩිලාන්ල වගේ අය විතරක් කැමති වෙලා මදි. සිරිසේනගෙ වැඩ වලට සන්ධානෙ වැඩිම චන්ද ගත්ත මංත්‍රිවරු, ශ්‍රිලනිප පුංචි මත්‍රිවරු, පාක්‍ෂියො සහ චන්දෙ දෙන අපි කැමතිද නැද්ද කියල බලාගන්න මහා සම්මේලනයක් කැඳවල සාමාජිකයො එක්ක බේරුමක් කර ගන්න එක තමයි හොඳම දේ. නැත්නම් සිරිසේනගෙ නායකත්වය යටතෙ ශ්‍රිලනිපට වෙන්න 1969 දි ඉන්දියාවෙ ඉන්දියන් නැෂනල් කොංග්‍රස් පක්‍ෂයට උන දේ තමයි. ලංකාවෙ අසාර්ථකම ජනාධිපතිවරයා හැටියටත් සිරිසේන ඉතිහාස ගත වෙනව.

  2. Senevirath Says:

    අපේ බැංකුවේ හිටියා අටවත් පස්ස නැති පියන් කෙනෙක්ඩේවිඩ් කියල එයා දවසක් කිව්වා නිමල් සිරිපාල මගේ කරට උදුන් ඇත දාගෙන”’ ආ කොහොමද”” කියල ඇහැව්වා කියල හරි ආඩම්බරන් . මුන් වාගේ පහත එවුන්ට ඩේවිඩ් ල හරි ඉහළය් තමුන්ගේ සුවච කීකරු ගෝලයන්ට ස්වාමිවරු ඔහොම කරනවා පියන් ඩේවිඩ් වාගේමය් සිරිසේනත්

  3. Independent Says:

    සෙනෙවි,
    මගේ පියා අටවත් පාස් නැති පියන් කෙනෙක්. හබැයි රජීව් පැරඩ් එකේ දක්කාදගෙන එනවිට කිවුවා “අනේ මුගේ ඔලුවට තඩිබාන්නෙ නැතිව මුං පෙල්ලගැසී ඉන්නහැටි කියලා”. තප්පරයකින් රෝහණ විජේමුනි ඒවැඩේ කළා. අටවත් පාස් නැති පියන් කෙනෙක් උනාට පසු කලෙක එතුමාගෙන් උපදෙස් ගන්න නාවික හමුදා පති , හමුදාවේ ලොක්කෝ පවා ආවා.
    එතුමා නිවටයෙක් නොවෙයි. කොම්පැනියේ ඩිරෙක්ටර්ව සිටි එවකට අගමැතිනියගේ ලඟම නෑයෙකුට පවා බැන වැදී තියෙනවා වැරදි ලෙස එතුමාට උස් හඞින් කතා කලැයි කියා.

    ඒනිසා , “අටවත් පාස් නැති පියන් ” ලාට නිගා කිරීමෙන් ඔබගේ නිවටකම පැහැදිලිව හෙලිවේ.

    ඔයකියන බැංකුවේ පියන් මහතා ඔයටික කිවුව පලියට එතුමා නිවට යයි සලකන්න බැහැ. ඔහු පන්සිල් නොරකින , බිය අධික, මුදල් පස්සේ යන​, මව් පියන් නොසලකන , බොරු පොරොන් දු දෙන​, ද්‍රව්‍යම පොහොසත්කම හඹා යන්නෙක් නම් එසේ කීවාට කම් නැත​.

  4. NAK Says:

    Sirisena wants a national government to pay his debt to Ranil Wickramasinghe for putting him up on the mantel.

    To achieve that he needs the SLFP to support him thinking that Sirisena will look after them after elections.
    In a national goevernment Ranil will be the PM and a few SLFPers will be given second class Ministerial postions and will be treated as second class citizens like they did to Rajiva Wijesinghe and Faizer Mustafa.

    Once the elections are over and Ranil becomes the PM, what IF, Sirisena becomes indisposed or resigns as per the agreement and the payments made during the Jan 08th election? Ranil becomes president for the balance period.
    How convenient!!!
    A dream come true!!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress