විපක්ෂ නායක තේරීම, (මහින්ද භීතිය) සහ ජාතික ආණ්ඩු නිරුවත
Posted on March 27th, 2015
-රත්තනදෙණියේ මේධානන්ද හිමි – යුතුකම සංවාද කවය
2015. මාර්තු 23 දා පෙරවරුවේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්‍ෂ කිහිපයක් විපක්‍ෂ නායක තනතුරට මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පත් කළ යුතු යයි යෝජනා කැරුණි.ඊට හේතුව නිමල් සිරිපාල විපක්ෂ නායකමකම දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු, උප සභාතිවරු උප ලේකම්වරු ඇතුළුව දැනට 26 දෙනෙක් ආණ්ඩුවේ ඇමති තනතුරු භාරගෙන තිබෙන පසුබිමක සැබෑ විපක්ෂය කුමක්ද යන්න නොවිසදුනු උභතෝකෝටිකයයි.මේ පිලිබඳ පාර්ලිමේන්තුවේ ද වාද විවාද ඇතිවූ අතර කථානායකතුමාද පැවසුවේ එය තමන්ටත් සිතා ගත නොහැකි ප්‍රශ්නයක් බවයි. ඔහු සභාවට දැනුම් දුන්නේ විපක්ෂ නායක කවුදැයි පසුව තීරණය කර ඉදිරියේ දැනුම් දෙන බවයි. මේ අතර ඉදිරියේ තවත් පිරිසක් අමැති තනතුරුවල දිවුරුම් දෙන බව 23 දා පක්‍ෂ මූලස්‌ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිමල් සිරිපාල සඳහන් කළේය. එවිට තම පක්ෂය ආණ්ඩුව මිස විපක්ෂය වන්නේ කෙසේද යන්න ගැටලුවකි. මේ සියලු ව්‍යාකූලයන්ට පසුබිම් වුයේ මෛත්‍රීපාල උතුමාණන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වීම සහ මහින්ද නැවත කරළියට පැමිණිය හැකි අවධානමට මුහුණ දීම සඳහා අටවා ගත් ජාතික ආණ්ඩු කෙමනත් නිසාය.
1956 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා මහජන එක්‌සත් පෙරමුණ එක්‌වූ සභාග ආණ්‌ඩුවකින් රටේ පාලන බලය ගෙන ගිය අතර 1965 දී එක්‌සත් ජාතික පක්‍ෂය හා පිලිප් ගුණවර්ධනගේ මහජන එක්‌සත් පෙරමුණ එක්‌ව සන්ධානයකින් පාලන බලය ගෙන ගියහ.1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා වමේ පක්‍ෂ එක්‌ව පොදුජන එක්‌සත් පෙරමුණ පිහිටුවා බලය ලබාගත් අතර 2001 දී එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ දක්‌ෂිණාංශික බලවේග එක්‌ව ආණ්‌ඩු කළේ එක්‌සත් ජාතික පෙරමුණ පිහිටුවා ගනිමිනි. 2004 දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ජවිපෙ ප්‍රමුඛ වමේ පක්‍ෂ යළි බලය ලබා ගත්තේ එක්‌සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවමිනි. මේ සියල්ල සභාග ආණ්‌ඩු වන අතර මෙවර වෙනස වන්නේ ප්‍රධාන පක්ෂ දෙක මහින්දට මුහුණ දීම සඳහා එක් වීමයි. එහි ද වැඩි උවමනාව ඇත්තේ රනිල් ට නොව මෛත්‍රීපාලගේ නොන්ජල් කමට ආරක්ෂණයක් වශයෙනි.මේ පසුබිම යටතේ සිරිපාලගේ මෙගා ඩීල් විපක්ෂ නායකතත්වයට විරුද්ධව ඊට දිනේෂ් ගුණවර්ධනගේ නම යෝජනා කිරීම සාධාරණය. එහෙත් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිර අඩස්සියටගෙන ඇති නිසා දිනේෂ් ගුණවර්ධනට මහතාට වැඩි අසන සංඛ්‍යාවක් පිලිබඳ ගැටළුවක් TNA එක මතු කිරීමට ඉඩ තිබේ. තත්ත්වය එසේ වුවොත් ජාතික ආණ්ඩු යයි මේ ඊනියා සභාග ආණ්ඩුව තුළින් වැඩි වාසි ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානයටයි. මේ ව්‍යාකුල තත්ත්වය යටතේ ඔවුන් විපක්ෂ නායකකම ඉල්ලුව හොත් 1977 දී දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ හිමිකරගත් බලය හා ඉන්පසු ඇතිවූ තත්ත්වයන්ට සමාන තත්ත්වයක් රටේ ඇති වීමටද ඉඩ තිබේ. 1977 සිට 83 දක්‌වා විපක්‍ෂ නායකම හිමි වුණේ මන්ත්‍රිධුර 18 ක් හිමිවී තිබු අමිර්තලිංගම් මහතාටය. දැනටමත් ප්‍රාන්ත ස්වයං පාලනයක් ඉල්ලමින්ද , හමුදාව පලවා හරින්නැයි කියමින්ද , උතුර හා නැගනහිර යලි එක්කරන්නැයි ඉල්ලමින්ද යුධ අපරාධ පිලිබඳ දේශීය පරිෂණ නොව ජාත්‍යන්තර පරිෂණයක් කළ යුතු යයිද යෝජනා සම්මත කරමින් ද නටන නාඩගමට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර ලැබුන හොත් එය බළලුන්ට උම්බලකඩ ලැබුනාට සමානය. එසේ වුවහොත් එය ජාත්‍යන්තරයටද හැම අතින්ම රටට අහිතකර මැදිහත්වීම් හා බලපෑම් කිරීමට ලැබෙන අනවශ්‍ය ලැයිසන් එකක් වීමද වැලැක්‌විය නොහැකිය. දැනටමත් උතුරේ අධි ආරෂක මායිම් වල කණු ගලවන ගැලවිල්ලේ හැටියටත් ඡන්ද මලු පිරුණ ආකාරයේ හැටියටත් ජනවාරි 8 වෙනිදා පත් වුනේ රටේ ජනාධිපතිද ඊළමේ ජනාධිපතිද යන සාධාරණ සැකයක් අප ඉදිරිපිට තිබේ.


