අහසින් පොළොවට
Posted on May 8th, 2015

නලින් ද සිල්වා

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා අග්ගඤ්ඤ සූත්‍රය බටහිර විද්‍යාව සමග සංසන්දනය කිරීමට ගොස් මුසාවාදා වේරමණි අර්ථයෙන් ද පට්ටපල් බොරු කී හැටි අපි 2015 අප්‍රේල් 15 වැනි දා ලිපියෙන් හෙළිදරවු කෙළෙමු. ඔහු ජීවයේ හටගැනීම බුදුදහමෙහි සඳහන්වන බව කීමට ගොස් අමාරුවේ වැටුණේ ය. අපි තවදුරටත් ඔහුගේ බොරුව විමසමු. ඔහු තම අප්‍රේල් 8 වැනි දා ලිපියෙහි සඳහන් කළ කොටසක් මා නැවත උපුටා දක්වන්නේ බොහෝ පාඨකයන් ඒ ලිපිය සොයා ගෙන නොකියවන බව දන්නා බැවිනි. 

 

මහා පිපිරීම (Big Bang Theory) හෝ ජීව පරිණාමය හෝ ස්වාභාවික වරණය හෝ බුදුන් ගේ අග්ගඤ්ඤ සූත්රයට පටහැනි වන්නේ නැත. එම ක්රියාදාමයන් රේ‚ය වෙනුවට චක්රීය ලෙස සිදු වනවා යෑයි සිතා ගැනීම ඉතා ම පහසු ය. අග්ගඤ්ඤ සූත්රයට අනුව ද ජීවීන් හට ගැනෙන්නේ ආද්ය සූපය (primordial soup) වැනි ජලය තුළ ය. එම ජලය තුළ පවා සුවඳ, රස, ගිතෙල්වල පාට, රසය, බටර්වල පාට රසය, පැණිවල රසය තිබුණු බව විස්තර කොට ඇත. මෙලෙස එම ජලය විස්තර කොට ඇත්තේ එහි ජීවීන් බිහි වීමට අවශ්ය දේ තිබෙන බව පහදා දීම සඳහා ය.”

 

බටහිර විද්‍යාවට අනුව මහා පිපුරුමෙන් බොහෝ කලකට පසු විශ්වය ප්‍රසාරණය වී තාරකා හටගැනී ග්‍රහවස්තු නිර්මාණය වී පෘථිවියේ ජීවය හටගැනීමක් ගැන කියැවෙයි. සූර්යයා නමැති තාරකාව ද එය වටා ගමන් කරන ග්‍රහ වස්තුවක් වූ පෘථිවිය ද නිර්මාණය වීමෙන් පසු බටහිර විද්‍යාවට අනුව පෘථිවියෙහි ජීවය හටගැනිණි යැයි බටහිර විද්‍යාවේ ඉගැන්වෙයි. පෘථිවියෙන් බාහිර ව ජීවය ගැන කතා කළ ද, ෆ්‍රෙඩ් හොයිල් නම් සුප්‍රසිද්ධ තාරකා භෞතික විද්‍යාඥයා ඒ ගැන යම් මත පළකර තිබුණ ද, බටහිර විද්‍යාවෙහි ඒ පිළිබඳ පැහැදිලි එකඟත්වයක් නැත. 

 

ඒ කුමක් වුවත් බටහිර විද්‍යාවට අනුව ජීවය හටගැනෙන්නේ අජීවයෙනි. විශ්වය ආරම්භයේ කාබන් නම් මූල ද්‍රව්‍ය විශාල ප්‍රමාණයකින් තිබිණි යැයි කිව නො හැකි ය. එය තාරකාවල න්‍යෂ්ටික ප්‍රතික්‍රියා හේතුවෙන් ඇති වූවකි. ඒ කාබන් තව තවත් මූල ද්‍රව්‍ය සමග සංයෝග වී ඇමයිනෝ අම්ලය හටගත්තේ ය. ඒ අම්ලය රසායනික ප්‍රතික්‍රියාවලට භාජනය වී ජීවය හටගත්තේ ය. බටහිර විද්‍යාවෙහි ජීවය හටගැනීම යනු අජීවයෙන් ජීවය ඇති වීමකි. පළමු වරට ජීවය  හටගැනීමට පෙර (බටහිර විද්‍යාවට රේඛීය චින්තනයෙන් බැහැර විය නො හැකි ය.) ලෝකයේ හටගැනීමක් හා විකාශයක් ගැන එහි කියැවෙන්නේ චක්‍රිය ආකාරයකට නොව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ය. එය කිසිසේත් ම චක්‍රිය චින්තනයකින් බිහි වූවක් නො වේ. 

 

බුදුදහමෙහි ජීවය හටගැනීමක් ගැන නො කියැවෙයි. බුදුන් වහන්සේ එවැනි විෂය අචින්ත්‍ය යැයි දේශනා කළහ. හැකි නම් ජීවය හට ගැනීමක් ගැන විස්තර කෙරෙන සූත්‍රයකින්, සූත්‍රයෙහි හා නිකායෙහි නම් සහිතව, කරුණු උපුටා දක්වන ලෙස අමරතුංග මහතාට හෝ ධනපාල මහතාට හෝ අභියෝග කරමි. අමරතුංග මහතාගේ අනවබෝධය අනුව සූත්‍ර විකෘති කළ හැකි නො වේ. ඔහුටත් බෝධි ධනපාල මහතාටත් සිංහලෙන් හෝ ඉංගිරිසියෙන් හෝ ලියා ඇති දෙයක් තේරුම් ගැනීමේ අපහසුතාවක් ඇත. ඒ ගැන අපි කුමක් කරමු ද? 

 

ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් මෙහි (අහසින් පොළොවට) පැමිණි ජීවීන් බටහිර විද්‍යාවේ කියැවෙන අරුතින් මෙහි හටගැනීමක් ලෙස තේරුම් ගැනීමට මෙරට මහාචාර්යවරයකු විම අනිවාර්ය යැයි මම නො කියමි. බටහිර විද්‍යාවේ ජීවය හට ගැනෙන්නේ අජීවයෙනි. එසේ ජීවය හටගැනෙන තෙක් ජීවය තිබී නැත. එහෙත් අග්ගඤ්ඤ සූත්‍රයෙහි දැක්වෙන ආකාරයට කොහොමටත් ජීවත්වන ආභස්සර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ මෙහි පැමිණෙති. ඒ බ්‍රහ්මයන්ට එහි ද්‍රව්‍යමය වූ ශරීර තිබිණි ද නැද්ද යන්න ප්‍රශ්නයක් නො වේ. ඒ බ්‍රහ්මයන්, අමරතුංග මහතාගේ වචනවලින් නම්, මනස මුල්කරගත් දිළිසෙන ක්‍රියාදාමයන් ලෙස හැසිරී ඇත. අපි නැවතත්  අමරතුංග මහතාගේ අප්‍රේල් 8 වැනි දා ලිපියෙන් උපුටා දක්වමු.

 

ලෝකය විනාශ වන විට ආභස්සර ලෝකයට සංක්රමණය වූ ජීවීන් එහි දී පැවතුණේ මනස මුල් කරගත් අවස්ථාවක් හැටියට ය. ආහාරය වෙනුවට ඔවුහු සතුට භුක්ති වින්දො ය. දිළිසෙන ක්රියාදාමයන් ලෙස ඔවුහු හැසුරුණෝ ය. ලෝකය නැවතත් පරිණාමය වී ජීවීන් ගේ ආපසු පැමිණීමට සුදුසු තත්ත්වයකට පත් වන විට පෙර සඳහන් කළ ජලය එහි තුළ වූ ගුණාංග සහිතව නිර්මාණය විය.”

 

මෙය බටහිර විද්‍යාවේ දැක්වෙන ක්‍රමය නො වේ. එහි අජීවයෙන් ජීවය ඇති වී ඉන්පසු බහු ෙසෙලික සංකීර්ණ සත්ත්වයන් ඇති වී මොළය නම් ඉන්ද්‍රිය ඇති වී මනස ඇති වෙයි. ආභස්සර ලෝකයෙහි බ්‍රහ්මයන්ට ද්‍රව්‍යමය වූ මනසක් මොළයක් ඇතැයි නො කියැවෙයි. ඔවුහු දිළිසෙන ක්‍රියාදාම වූහ. ඔවුන් විකිරණ වී ද? ඔවුන් ෆෝටෝනවලින් සමන්විත විණි ද? ඔවුන්ට ස්කන්ධ තිබිණි ද? අමරතුංග මහතා හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස ධනපාල මහතාගෙන් හෝ වෙනත් අයකුගෙන් හෝ දැනගෙන ඒ පිළිබඳ යමක් පවසන්නේ ද? 

 

පැහැදිලි ව ම අමරතුංග මහතාගේ අග්ගඤ්ඤ සූත්‍ර විවරණයට අනුව වුව ද එහි ජීවීන් හටගැනීමක් ගැන නො කියැවෙයි. එහි කියැවෙන්නේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ජීවීන් පොළොවට පැමිණීමක් ගැන ය. අමරතුංග මහතා එසේ ජීවීන් පැමිණීම ජීවීන් හටගැනීමක් ලෙස දක්වන්නේ ඔහුගේ නොතේරුම්කම නිසා ද? කරුණු විකෘති කිරීමට ද? බුදුදහම බටහිර විද්‍යාව සමග සංසන්දනය කිරීමට ඇති අවශ්‍යතාව නිසා ද? නැත්නම් වෙනත් දෙයක් නිසා ද? 

 

කෙසේ වෙතත් බටහිර විද්‍යාව සමග බුදුදහම සංසන්දනය කිරීම අවසානයේ දී අහිතකර ප්‍රතිඵල ගෙන දෙනු ඇත. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කිරීමට වියුක්ත කතන්දර ගෙතීම ය. මේ කතන්දරවලට, ධර්මවර්ධන මහතා වෙනත් අයකුගෙන් ලබාගෙන ඉදිරිපත් කරන ඊනියා දිග් පරිමාණ හා කාල පරිම්ණ විකාශයන් අනුව නොව, ගොතන ලද කතන්දර සංගත නොවීම නිසා අලුතෙන් ගොතන කතන්දර ද ඇතුළත් වෙයි. බුධ ග්‍රහ වස්තුව ද ඇතලුව ග්‍රහ වස්තු සූර්යයා වටා අචල ඉලිප්සවල ගමන් නො කරයි. ඒ බව බොහෝ කලක සිට බටහිර වි්‍යාඥයෝ දැනසිටිය හ. ග්‍රහ වස්තූන් සූර්යයා වටා අචල ඉලිප්සවල ගමන් කළ යුතු යැයි කියැවෙන නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය ඒ අර්ථයෙන් ද පට්ටපල් බොරුවකි. එහෙත් එයින් වැඩගත හැකි නිසා බටහිර වි්‍යාඥයෝ එය රැකගත්හ. අද සූර්යයා වටා ග්‍රහ වස්තූන්ගේ චලිතය අයින්ස්ටයින්ගේ ප්‍රවාදයෙන් විස්තර කෙරෙයි. එය සංකල්පීය වශයෙන් නිවුටෝනීය ප්‍රවාදයෙන් සහමුලින්  ම වෙනස් ය. 

 

බටහිර විද්‍යවේ අද කියැවෙන දෙය සමග අග්ගඤ්ඤ සූත්‍රය සංසන්දනය කරන අමරතුංග මහතාට බටහිර විද්‍යාවෙහි අදාළ ප්‍රවාදය වෙනස් වූ දිනයක මහත් ගැටලුවකට මුහුණ පෑමට සිදුවනු ඇත. එදාට අග්ගඤ්ඤ සූත්‍රය බොරු යැයි කීමට අමරතුංග මහතාට සිදුවනු ඇත. අද වුවත් අමරතුංග මහතා කියන ආකාරයට නොව, අග්ගඤ්ඤ සූත්‍රය බටහිර විද්‍යාව සමග එකඟ නො වේ. බටහිර විද්‍යාවේ කියැවෙන ජීවය හටගැනීමක් ගැන බුදුදහමෙහි නො කියැවෙයි. 

 

මෙරට බටහිර විද්‍යා උගත් ඇතැම් සිංහල බෞද්ධයනට හීනමානයක් ඇත. බටහිර විද්‍යාවේ ආධිපත්‍යය හමුවේ හිස නමන ඔවුහු බුදුදහම විද්‍යාත්මක යැයි කීමට උත්සාහ දරති. කාළාම සූත්‍රය විද්‍යාත්මක යැයි කියති. එසේ නැතහොත් එහි විද්‍යත්මක ක්‍රමය ඇතැයි කියති. එය ද පට්ටපල් බොරුවකි. අප කිහිප වතාවක් ම පෙන්වා දී ඇත්තේ කාළාම සූත්‍රයෙහි බටහිර විද්‍යාවක් හෝ ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් හෝ නැති බව ය. බුදුදහමෙහි වියුක්ත කතන්දර ගෙතීමක් නැත. කාළාම සූත්‍රයෙහි ඇති වියුක්ත කතන්දරය (ඊනියා විද්‍යාත්මක ප්‍රවාදය) කුමක් ද?    

 

මනසට සංකල්පයක් නිර්මාණය කිරීමට පංචෙන්ද්‍රිය අවශ්‍ය ම නො වේ. මනසට පංචෙන්ද්‍රියවලින් ස්වායත්ත ව නිර්මාණය කරන යම් යම් සංකල්ප මවාගත හැකි අතර ඇතැම් සංකල්ප මවාගත නො හැකි ය. අප දැක නැතත් අපට දිව්‍ය ලෝකය, එහි ඇති දිව්‍ය විමාන, පරසතු මල්, දිව්‍ය රථ ආදිය සිතෙන් මවාගත හැකි ය. ඒ මවාගැනීම්  නිවැරදි ද යන්න මෙහි දී ප්‍රශ්නයක් නො වේ. 

 

එහෙත් සරල රේඛාවක් කිසිවකුට මනසෙන් නිර්මාණය කළ නො හැකි ය, සිතෙන් මවාගත නො හැකි ය. දිගක් පමණක් ඇති එහෙත් පළලක් ඝනකමක් නැති සරල රේඛාවක් සිතෙන් මවාගත හැක්කේ කාහට ද?  ධනපාල මහතා සරල රේඛාවක් යනු සීමාකාරී අවස්ථාවක් යැයි කියන්නේ ගණිතය හදාරා නො වේ. ගණිතය  තේරුම් ගැනීමෙන් තොරව ඒ පිළිබඳ ව කියවීම ගණිතය හැදෑරීමක් නො වේ. ධනපාල මහතා සරල රේඛාව සීමාකාරි වන්නේ කිනම් ගණිතමය සංකල්පයක ද යන්න ද පැහැදිලි කරන්නේ නම් මැනවි. සරල රේඛාව වැනි සංකල්ප වියුක්ත සංකල්ප වෙයි. බටහිර ගණිතය වියුක්ත සංකල්පවලින් සමන්විත වෙයි. සරල රේඛාව කිනම් ආකාරයකින් බටහිර ගණිතයෙහි අර්ථදැක්වුව ද ඒ වියුක්ත සංකල්පයකි. ඒ සිතෙන් මවාගත නො හැකි ය. ඒ යුදෙවු ක්‍රිස්තියානි හා ඉස්ලාම් සංස්කෘතීන්හි දෙවියන් වහන්සේ මෙනි. කිසිවකුට දෙවියන් වහන්සේ සිතෙන් මවාගත හැකි නො වේ.  එබැවින් දෙවියන් වහන්සේගේ චිත්‍ර පිළිම ආදිය නැත. මුස්ලිම් පල්ලිවල දෙවියන් වහන්සේගේ චිත්‍ර හෝ පිළිම හෝ නැත. යුදෙවුවෝ වෙනත් සංස්කෘතීන්හි දේව පිළිම කඩා දැමූහ.

 

බටහිර විද්‍යාවෙහි පංචෙන්ද්‍රියන් ඇසුරෙන් නිර්මාණය කරන සංසිද්ධි පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත සංකල්පවලින් තේරුම් කෙරෙයි. එහි ම පරස්පරයක් නො වේ ද? පංචෙන්ද්‍රිය ගෝචර නොවන ලෝකයක් ගැන විශ්වාස නොකරන බටහිර විද්‍යාඥයෝ පංචෙන්ද්‍රිය ගෝචර නොවන ප්‍රවාද (කතන්දර) යොදා ගනිති. පොල්ගෙඩි පොළොවට වැටීම යන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිය තේරුම් කෙරෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණ බලය යන සංකල්පය හා ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය යොදාගනිමිනි. පොල් ගෙඩි පොළොවට වැටීම පංචෙන්ද්‍රිය ඇසුරෙන් නිර්මාණය කෙරෙන බැවින් ඒ සංසිද්ධිය මනසෙන් ස්වායත්ත යැයි අපි සිතමු. එහෙත් ඒ එසේ නො වේ. මනස නොමැතිව අපට පොල් ගෙඩි වැටෙනු නො පෙනෙයි. මනසක් නොමැති කැමරාවකට පොල් ගෙඩි වැටෙනු නො පෙනෙයි. ඇස් තිබූ පමණින් අපට යමක් නොපෙනෙයි. එහි දී චක්ඛු විඤ්ඤාණය ද අවශ්‍ය වෙයි.

 

බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි මා කියන්නේ මූලික වශයෙන් සියලු දැනුම් බොරු නිසාත් එහි ඉහත සඳහන් පරිදි සංයුක්ත පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි වියුක්ත කතන්දර මගින් තේරුම් කරන නිසාත් ය. වියුක්ත කතන්දර අපට කිසිසේත්ම පංචෙන්ද්‍රියවලට ගෝචර කරගත නො හැකි ය. වියුක්ත කතන්දරවලින් නිගමනය කළ හැක්කේ වියුක්ත ප්‍රතිඵල ය. ඒ වියුක්ත ප්‍රතිඵලයක් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක් සමග සංසන්දනය කිරීමට නො හැකි ය. එහෙත් බටහිර විද්‍යාඥයෝ  එසේ කළ හැකි යැයි සිතති. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයෙන් නිගමනය කළ හැක්කේ ඕනෑම වියුක්ත වස්තුවක් අදාළ අවශ්‍යතා සපුරාලන්නේ නම් තවත් යම්කිසි වියුක්ත වස්තුවක් වියුක්ත නාභියෙහි පිහිටන ලෙස අචල වියුක්ත ඉලිප්සයක චලනය වන බව ය. එය සංයුක්ත ව සූර්යයා වටා චලනය වන ග්‍රහ වස්තු සඳහා යොදා ගැනීම තාර්කික වශයෙන් නිවැරදි නො වේ. එහෙත් බටහිර විද්‍යාඥයෝ එසේ කරති. එයින් ඒ තාර්කික වශයෙන්  නිවැරදි යැයි ගම්‍ය නො වේ. බුදුන් වහන්සේ චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් වක්‍ර වූ කතන්දර (ඊනියා ප්‍රවාද) ආශ්‍රිත වක්‍ර දැනුම නොව ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය පිළිගැනීමට අනුබල දුන්හ.  එහෙත් එයින් අදහස් කරන්නේ පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ඊනියා සත්‍ය බව නො වේ.

 

ඒ කුමක් වුවත්  අමරතුංග මහතාට හා ධනපාල මහතාට ඒ පිළිබඳ වැඩිදුර කරුණු සොයා ගැනීමට (විකෘති කිරීමට) ඉඩ දී අප ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතාගේ මාර්තු 11 ලිපියට නැවතත් අවධානය යොමු කළ යුතු ය. එහෙත් එයට පළමු මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා අප්‍රේල් 29 වැනි දා ආරම්භ කරන ලද ලිපිය හෝ ලිපි පෙළ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇසිය යුතුව ඇත. අවසානයේ දී මේ කතා සියල්ල ඊනියා ලෝකය සමග ගැට ගැසෙයි. සමහර විට තෙන්නකෝන් මහතා ඒ එසේ නො වේ යැයි කීමට ඉඩ ඇත. ඒ මහතා විද්‍යාවේ වාද ගැන සඳහන් කරයි. මේ වාද යනු බටහිර විද්‍යාවේ ප්‍රවාද (theories)  විය හැකි ය. බටහිර විද්‍යාවේ වාද ගොඩ නගන්නේ කුමක් සඳහා ද? 

 

ධර්මවර්ධන මහතා දක්වා ඇති m=sqrt{E2/c4-p2/c2}  සූත්‍රයෙන් ෆෝටෝනයක සාපේක්‍ෂතාවාදී ස්කන්ධය ශූන්‍යය යැයි නිගමනය කළ හැකි නො වේ. ඒ සූත්‍රයෙහි m යනු අංශුවක නිශ්චලතා හෙවත් අවිචලක ස්කන්ධය මිස සාපේක්‍ෂතාවාදී ස්කන්ධයක් නො වේ. ඒ සූත්‍රයෙන් කියැවෙන්නේ ෆෝටෝනයක අවිචලක හෙවත් නිශ්චලතා ස්කන්ධය ශූන්‍ය බව පමණ ය. එහෙත් ධර්මවර්ධන මහතා ඉන් සාප්ක්‍ෂතාවාදී ස්කන්ධය ශූන්‍යය යැයි කියයි.

 

බටහිර භෞතික විද්‍යාඥයන්ට ස්කන්ධය යන්න ගැන පැහැදිලි අවබෝධයක් නැත. ඔවුන්ගේ ලෝකය ද්‍රව්‍ය හා විකිරණවලින් සමන්විත වෙයි. බටහිරයන් ලෝකය බලන්නේ මේ ද්වෛතය ආධාර කර ගනිමිනි. ක්වොන්ටම් භෞතිකයෙහි මුල මේ ද්වෛතය ඇත. ප්ලෑන්ක් අයින්ස්ටයින් ආදීහු විකිරණවල ද්‍රව්‍යාත්මක ගුණ ගැන කතා කළහ. ද බෘලි  ද්‍රව්‍යවල තරංග ගුණ ගැන කතා කළේ ය. අමරතුංග මහතා තමන් නොදන්නා දෙයක් ගැන කතාකරමින් ක්වොන්ටම් භෞතිකයෙහි ලෝකය ද්‍රව්‍යය හා ශක්තිය යන ද්වෛධය (මෙය කුමක් දැයි අද වනතුරු අමරතුංග මහතා කියා නැත) ඇසුරෙන් විස්තර කරන බවක් කීවේ ය. එය මුලුමනින් ම වැරදිය. බෝධි ධනපාල කුමක් කීවත් ක්වොන්ටම් භෞතිකයෙහි ද්‍රව්‍යය (matter) හා ශක්තිය (energy) ද්වෛධයක් ඇසුරෙන් ලෝකය විස්තර නො කෙරෙයි.  එහි ද්‍රව්‍යය හා විකිරණය පිළිබඳ ද්වෛතයක් ගැන නම් කියැවෙයි. ශක්තිය ද්‍රව්‍යයෙහි ද විකිරණයෙහි ද වෙයි. එය විකිරණයට පමණක් සිමා නො වෙයි.  

 

අපි ෆෝටෝන පැත්තකට දමමු. අනෙක් සාමාන්‍ය අංශු සම්බන්ධයෙන් ද්‍රව්‍යය හා ශක්තිය ද්වෛධයක් ඇසුරෙන් ලෝකය විස්තර කිරීමක් වේ ද? අමරතුංග මහතාගේ පටලැවිල්ල ධනපාල මහතාට ලිහීමට නො හැකි ය. බටහිර භෞතික විද්‍යාඥයන් ස්කන්ධය ගැන මුලින් ම සිතුවේ වස්තුවක ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස ය. එය ඔවුන්ගේ මනස්වලින් තවමත් තුරන් වී නැත. ඔවුන් තම කතන්දර ගොතන්නේ ඒ අදහස් සිතෙහි කොණක රඳවා ගනිමිනි.

 

ෆෝටෝනවල අල්ලා ගත හැකි (tangible) ද්‍රව්‍යයක් නැත. ස්කන්ධය යනු ද්‍රව්‍ය ප්‍රමාණය යැයි කියැවෙයි. ද්‍රව්‍ය නොවන ෆෝටෝනවල ස්කන්ධය පිළිබඳ ප්‍රශ්නයේ මුල එතැන ය. හිග්ස් බෝසෝනය ආදිය ස්කන්ධය ඇතිවීම පිළිබඳ ව පසුව නිර්මාණය කරගත් කතන්දර ය. එහෙත් ඇතැම් මුල ද්‍රව්‍යවලට ස්කන්ධය ඇතිවන්නේ කෙසේ දැයි එයින් විස්තර නො කෙරෙයි. විකිරණවලට ශක්තියක් ඇත. ප්‍රශ්නය මේ ශක්තියට ස්කන්ධයක් තිබේ ද යන්න ය. අනෙක් සාමාන්‍ය අංශු ගැන ශක්තිය හා ස්කන්ධය අතර E = mc2 = m 0 c 2 / (1- v 2 /c 2 ) ½      සම්බන්ධයක් වෙයි. මෙහි E, m, m යනු යම් අවස්ථිති රාමුවක පිළිවෙළින් මැනෙන ශක්තිය සාපේක්‍ෂතාවාදී ස්කන්ධය හා නිශ්චලතා ස්කන්ධය වෙයි. ව යනු අවස්ථිති රාමුවෙහි අංශුවෙහි ප්‍රවේගය වෙයි.  මෙය හුදෙක් ග්‍රැම් රාත්තල් බවට හරවන සම්බන්ධයක් නො වේ. යම් අවස්ථිති රාමුවක මැනෙන අංශුවක ශක්තියෙහි අවිචලක හෙවත් නිශ්චලතා ස්කන්ධය මෙන් ම චාලක ශක්තිය ද අඩංගු වෙයි. මේ පිළිබඳ ලබන සතියේ තවදුරටත් සාකච්ඡා කරමු.

 

නලින් ද සිල්වා   

 

  2015 මැයි 06         

 

 
 

3 Responses to “අහසින් පොළොවට”

  1. Independent Says:

    විද්‍යාඥයා යනුවෙන් නම් කළ හැක්කේ කවරහු ද ?
    මේ ප්‍රශ්නයට පිලිතුරු සෙවීමේදී නවීන විද්‍යාවේ හෙලුව හෙලිවනු ඇත​.
    මේක පට්ට පල් බොරුවක් වී ඇත්තේ න්‍යායාත්මකව පමණක් නොව, බොරුකාරයින් රජකරවන නවීන සංස්කෘතිය නිසයි.

  2. Independent Says:

    සිනහ නුවන් දිලුනු ලොවක​
    නැවුම් මිහිර දුන් ඔබහට​
    මෙන්න මගෙන් පුංචි තෑග්ගක්
    සුසුම් සුලං හමා රහස්
    සිහින් කඳුළු මල් වැස්සක්
    අහසින් පොළවට දියහැකි – තහනම් නැති පුංචි තිලිනයක්

  3. AnuD Says:

    Here also, there are people who believe that Life migrated to the earth from some where else outside this planetary system. Some say, there are 144 different types of nucleic acids. Those people believe that they had talked to aliens from the outer space.

    Later, Stephan Hawking modified his theory and had said that the Big bang is a day to occurrence and it can happen at any moment inside a nucleus of an atom.

    Science knows it will never find the truth about the so called super string and it will stay for ever just theoretical. The only way to find the truth about that will be understanding it through meditation and development of the mind, and the scientific method or the trial and error science or indirect evidence will not give convincing evidence.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress