ෆෙඩරල් බලලා මල්ලෙන් එළියට
Posted on August 3rd, 2015

සඳුන් ජීවන්ත  Courtesy Mawbima

මෙච්චර දවසක් මල්ල ඇතුළේ ඤාව්, ඤාව්, ඤාව් කියමින් හිටි දෙමළ සන්ධානයේ ෆෙඩරල් බළලා පහුගිය සතියේදී මල්ලෙන් එළියට පැන්නේය.
යාපනයේ උඩුවිල් මරදනාර්තෝට්ටම් ක්‍රීඩාංගණයේ පැවැති දෙමළ ජාතික සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයේදී මේ ෆෙඩරල් බළලා මල්ලෙන් එළියට පැන්නේය.

දෙමළ ජාතික සන්ධානයේ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් කියන්නේ උතුර හා නැඟෙනහිර දෙපළාත් යළි ඒකාබද්ධ කළ යුතු බවය. එසේ ඒකාබද්ධ කරනු ලබන උතුරු – නැඟෙනහිර පළාතට වෙනම ෆෙඩරල් පාලනයක් දිය යුතු බවය. එසේම උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතිය පිළිගත යුතු බවද දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ උතුර හා නැඟෙනහිර පළාත් සභා ඒකාබද්ධ කර එයට ඉඩම්, පොලිස්, ආරක්ෂක හා අධිකරණ බලතල දිය යුතු බවය.

එසේම යුද අපරාධ ගැන ජාත්‍යන්තර අධීක්ෂණය සහිත පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද දෙමළ ජාතික සන්ධානය කියයි.

2015 ජූලි 25 වැනිදා ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේ උඩුවිල් මරදනාර්තෝට්ටම් ක්‍රීඩාංගණයේදී මහා සමුළුවක් පවත්වා සම්බන්ධන්ලා ෆෙඩරල් ඉල්ලා සිටින විට අපට මතක් වෙන්නේ 1976 මැයි 14 වැනිදා උතුරේ වඩුක්කොඩෙයි ප්‍රදේශයේ පන්නකාම්හිදී මහා සමුළුවක් පවත්වා චෙල්වනායගම්ලා දෙමළ ඊළාම් රාජ්‍යයක් ඉල්ලා සිටීමය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒ සම්මේලනයේදී දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවිය යුතු බව අවධාරණය කෙරුණු අතර ඒ මහා සමුළුව වඩුක්කොඩෙයි සමුළුව නමින් ඉතිහාසයේ සඳහන් වෙලා තිබේ. එදා දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවිය යුතු බව අවධාරණය කරමින් කළ ප්‍රකාශය වඩුක්කොඩෙයි ප්‍රකාශනය ලෙස ප්‍රසිද්ධියට පත්වුණේය.
මීට අවුරුදු 39කට කලින් චෙල්වනායගම් යන්න ගිය පාරේ අද යන්න හදන්නේ ආර්. සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයය.

“ඉතින් දෙමළ ජාතික සන්ධානය මොනවා කිව්වම අපිට මොකද? ඒගොල්ලන්ට ඕන දෙයක් කියා ගන්න පුළුවන්නේ. කවුද ඒගොල්ලෝ ඉල්ලන එව්ව දෙන්න යන්නේ?”
කවුරුහරි එහෙම අහන්න පුළුවන්ය. එහෙම අහන කෙනකුට කියන්න තියෙන්නේ දෙමළ ජාතික සන්ධානය කියන්නේ හුදෙකලා දේශපාලන පක්ෂයක් නොවන බවය. ඇත්තම කිව්වොත් දෙමළ ජාතික සන්ධානය අද මේ රටේ පාලක පක්ෂයේ ප්‍රබල හවුල්කාරයෙකි. ඉතින් දෙමළ ජාතික සන්ධානයේ ෆෙඩරල් තීන්දුව ලේසියෙන් අමතක කරන්න බැරිය.
පහුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල ජයග්‍රහණය කළේ දෙමළ ජාතික සන්ධානයේ හයියෙන් කිව්වොත් ඒක හරියටම හරිය.
“එහෙම කියන්නේ කොහොමද? මෛත්‍රිපාලට උදවු කළේ දෙමළ ජාතික සන්ධානය විතරක් නෙවෙයිනේ. යූ.ඇන්.පී. එක උදවු කළා. ජේ.වී.පී. එක උදවු කළා. හෙළ උරුමය උදවු කළා. ෆොන්සේකා උදවු කළා.”

කතාව ඇත්තය. මෛත්‍රිපාලට යූ.ඇන්.පී. එකත්, ජේ.වී.පී. එකත්, හෙළ උරුමයත්, ෆොන්සේකාත් උදවු කළාට මෛත්‍රිපාලට දකුණ දිනන්න බැරි වුණේය. යූ.ඇන්.පී. එකට, ජේ.වී.පී. එකට, හෙළ උරුමයට, ෆොන්සේකාට ඡන්ද තියෙන්නේ දකුණේය. ඔය කට්ටියගේ උදවු ලබාගෙන දකුණ, බස්නාහිර, සබරගමුව, උෟව, වයඹ, උතුරු මැද, මධ්‍යම කියන පළාත් හතෙන් මෛත්‍රිපාලට ගන්න පුළුවන් වුණු ඡන්ද ගණන 52,39,051කි. හැබැයි ඔය පළාත් හතෙන් මහින්ද ඡන්ද 54,44,490ක් ගත්තේය. ඒ කියන්නේ මෛත්‍රිපාලට වඩා මහින්දට ඡන්ද දෙලක්ෂ පන්දහස් හාරසිය තිස් නවයක් වැඩිය. ඉතින් එහෙම බලනකොට උතුර හා නැඟෙනහිර ඡන්ද ටික පැත්තකින් තිබ්බාම මෛත්‍රිපාල පරාදය. මහින්ද දිනුම්ය. යූ.ඇන්.පී., ජේ.පී.පී., හෙළ උරුම, ෆොන්සේකා කියන මේ අයගේ ඡන්ද ගොඩ ලැබිලාත් මෛත්‍රිපාල වැඩි ඡන්ද 2,05,439කින් මහින්දට පරාදය.
“එහෙනම් මෛත්‍රිපාල දිනුවේ කොහොමද?”

මෛත්‍රිපාල දිනුවේ උතුරු – නැඟෙනහිර දෙමළ ඡන්ද ටික මෛත්‍රිපාලට ලැබුණු නිසාය. උතුර හා නැඟෙනහිර දෙපළාතෙන් මෛත්‍රිපාලට ඡන්ද 9,78,111ක් ලැබුණේය. මහින්දට ලැබුණේ ඡන්ද 3,23,600ක් පමණි. ඒ අනුව උතුරු නැඟෙනහිර දෙපළාතෙන් මෛත්‍රිපාල මහින්දට වඩා ඡන්ද හයලක්ෂ පනස් හතරදාස් එකසිය එකොළහක් ගත්තේය.
මෛත්‍රිපාල දින්නේ උතුරු නැඟෙනහිරෙන් ලැබුණු වැඩි ඡන්ද 6,54,511 නිසාය. ඉතින් එහෙම බලනකොට මෛත්‍රිපාල ජනාධිපති වුණේ උතුරු නැඟෙනහිර දෙමළ ඡන්ද නිසාය.

ඒ කියන්නේ දෙමළ ජාතික සන්ධානය නිසාය. ඉතින් දෙමළ ජාතික සන්ධානය කියන කරන දේවල් අපට ලේසියෙන් බැහැර කරන්න බැරිය. ඒ වගේම දෙමළ ජාතික සන්ධානය ඉල්ලන දේවල් නොදී ඉන්න මෛත්‍රිපාලටත් බැරිය. ඒකට හේතුව මෛත්‍රිපාල බලයට එන්න වගේම රනිල් අගමැති වෙන්නත් ලොකුම ශක්තිය දුන්නේ දෙමළ සන්ධානය වීමය.

“දෙමළ සන්ධානය මෛත්‍රිපාලට ජනාධිපති වෙන්නයි, රනිල්ට අගමැති වෙන්නයි උදවු කළාට මෛත්‍රිපාලයි, රනිලුයි දෙමළ සන්ධානය ගහන පදේට නටන්න යන්නේ නැහැ.”
කාට හරි එහෙම කියන්න පුළුවන්ය. හැබැයි එහෙම කියන කෙනකුට කියන්න තියෙන්නේ මෛත්‍රිපාලයි, රනිලුයි දෙන්නාම නටන්නේ දෙමළ ජාතික සන්ධානයේ පදයට කියන එක ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කියලාය. ඒකට තියෙන එක සාක්ෂියක් වන්නේ මෛත්‍රිපාලගේ හා රනිල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වන කැබිනට් මණ්ඩලයට ඇමැති ඩී. එම්. ස්වාමිනාදන් ගෙනා කැබිනට් පත්‍රිකාවය. ඩී. එම්. ස්වාමිනාදන් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකි. ඔහු මෙවරත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ සිටියි. ඒ වාගේම ඔහු එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරිකවරයාය. ඩී. එම්. ස්වාමිනාදන් කැබිනට් මණ්ඩලයට ගෙනා කැබිනට් සංදේශයෙන් යෝජනා කළේ යුද්ධයේදී තුවාල ලැබූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට රජයේ මුදල්වලින් වන්දි ගෙවන්නය. ඒක හරියට මැරුණු ඔසාමා බින්ලාදන් ප්‍රමුඛ තලේබාන් ත්‍රස්තවාදීන්ට ඇමෙරිකාවේ භාණ්ඩාගාරයෙන් සල්ලි ගෙවනවා වාගේ වැඩකි.

රජයක් ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවූ අවස්ථා ලෝක ඉතිහාසයේ කොහේවත් නැත. හැබැයි ‘වෙනසක්’ කරන්න හැදූ එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති ඩී. එම්. ස්වාමිනාදන් කොටි ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාවේ මහජනයාගේ මුදල්වලින් වන්දි ගෙවන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. දෙමළ ජාතික සන්ධානය පහුගියදා ඉදිරිපත් කළ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ඔය කාරණය ගැන සඳහන් කර තිබේ. දෙමළ ජාතික සන්ධානය කියන්නේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ගේ සුබසාධනය සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාවට නැඟිය යුතු බවය. දෙමළ ජාතික සන්ධානය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළියට දාන්නත් කලින්ම එක්සත් ජාතික පක්ෂය මියගිය කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න කැබිනට් මණ්ඩලයට පත්‍රිකා ගෙනෙන්නේ කාගේ වුවමනාවටද කියලා ජනතාව තේරුම් ගත යුතුය.

මේ වෙලාවේ කරළියට එන දෙමළ ජාතික සන්ධානයේ මේ ෆෙඩරල් යක්ෂයා මරා දමන්න පුළුවන් මහින්දට විතරය. උතුර හා නැඟෙනහිර ඒකාබද්ධ කර ෆෙඩරල් දී රට නැවැත ජාතිවාදී මඩගොහොරුවට තල්ලුවෙලා යන එකෙන් රට රැක ගන්න පුළුවන් මහින්දට විතරය. මොන වැරැදි තිබුණත් මහින්ද කියන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බෙර පදයට නටන්නේ නැති නායකයෙකි. ආරක්ෂක ලේකම් පුටුවේ ගෝඨාභය රාජපක්ෂ හිටියා නම් එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඕන ඕන විදියට උඩ පනින්න ලැබෙන්නේ නැත.
මල්ලෙන් එළියට පැන්න මේ ෆෙඩරල් බළලා අල්ලලා ආපහු මල්ලට දාන්න පුළුවන් කොටි සංවිධානය පැරැදවූ මහින්ද රාජපක්ෂට විතරය. ගෝඨාභය රාජපක්ෂට විතරය. අගෝස්තු 17 වැනිදාට ගහන කතිරයෙන් ෆෙඩරල් බළලා අල්ලලා මල්ලට දානවාද නැත්නම් ගෙදර හා මිදුල පුරා සෙල්ලම් කරන්න උෟට ඉඩ දෙනවාද කියලා තීරණය කරන්න මේ රටේ ජනතාවට අවස්ථාවක් ලැබේ. අගෝස්තු 17 වැනිදාට එන්නේ නොබෙදුණු ඒකීය ශ්‍රී ලංකාවක් වෙත යන්න තියෙන අන්තිම බස් එකය. ඒ බස් එක මිස්කර ගත්තොත් ෆෙඩරල් බස් එකට නඟිනවා හැර වෙන විකල්පයක් නැත.

සඳුන් ජීවන්ත

One Response to “ෆෙඩරල් බලලා මල්ලෙන් එළියට”

  1. ranjit Says:

    Yes not a joke.No time to play around.We have only 13 days to decide.Better decide now itself whether you want to keep our country united as one or divided in to different enclaves with Tamils and Muslims lives separately. This is not a matter to decide on colors or party. This is a fight for our land, Sinhala land which we cherished for thousand years. We cannot allow our stupid power hungry bunch of crooked politicians to play checkers with the Sinhala people’s lives. UNP is not a party for the poor but for the rich and famous.Their slogans are full of lies. If anyone loves his country of birth vote for Mahinda and help to restore a clean Democratic Govt after Aug 17th.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress