ලංකාව ඇතුලත වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උදව් නොදීම
Posted on August 22nd, 2015

චන්ද්‍රසිරි විජයවික්‍රම

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් දිවුරුම්දීමේදී ජේ ආර් ජේ ව්‍යවස්ථාවේ 7 වන ෂෙඩූල් එකට අනුව රටතුල වෙනම රජ්‍යයක් පිහිටුවීමට උදව් නොකරණවාය යන දිවුරුම් ප්‍රකාශයද ප්‍රසිද්ධියේ කළේය. මෙය ඔහුගේ අතීත ක්‍රියාවලිය ගැන මහජනයා තුල ඇති මත, ආකල්ප හා සැක දුරුකරලීමේ උපායක් වූවා වියහැකිය.

රටවල් වල නීති හා ගොන් නීති ඇත. කෙරෙන නීති හා නොකෙරෙන නීති ඇත. බොරු නීතිද ඇත. හිතපු නීතිය වෙනුවට හිතපු නැති දෙයක් සිදුවෙන්නටද පුළුවණ. ගැටළු විසඳනවා වෙනුවට පැණවූ නීතිය අළුත් ප්‍රශ්න මතුකලා විය හැකිය. සමහරු දැන දැනම හොර නීති ගේනවාද විය හැකිය. පොතේ ඇති නීතිය කුමක්ද කියා විවරණය කරන්න උසාවි ඇත. එය වෙනම කතාවකි. නඩුකාරයින් අනුව හා කාලය හා අවස්ථාව අනුව විවරණ වෙනස්වේ. මේ මොන පැත්තෙන බැලුවත් ඉහතකී 7 ෂෙඩූල් නීතිය ඇස්බැන්‌දුමක් පමණය. ඉන්දියාවේ, ලංකාවේ හෝ ඇමෙරිකාවේ පොත් වල තිබෙන නීති හරියට ක්‍රියාත්මක වුනා නම්, වෙනවා නම්  ඒ රටවල් මිහිබට සුරපුරවල් නොවන්නේද?

ලංකාවේ 7 ෂෙඩූල් එක ඇස්බැන්‌දුමක්/මුසාවක් යයි කීමට හේතුව කුමක්ද? වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උදව් කරන්නේ කෙසේද යන්න නොසලකා, වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උදව් නොකරන්නේ කෙසේද යන්න විස්තර කල නොහැකි නිසාය. මේ නිසා ඇත්තවශයෙන්ම ලංකාව ඇතුලත වෙනම රාජ්‍යයක් පිහිටුවීම වලක්වන්නට අවශ්‍යනම්, වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උදව් වන කාරණා ලැයිස්තුවක් සාදා ඒවා නොකලයුතු බව 7 ෂෙඩූල් එකේ සඳහන් කල යුතුය.

ලංකාවේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උදව් කරන්නේ කෙසේද?

1. වෙනම රාජ්‍යයක් පිහිටුවීමට යෝජනාව මුලින්ම ආවේ 1921 දී පොන්නම්බලම් අරුණාචලම් ගෙනි. 1949 දී චෙල්වනායගම් දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවේය. 1976 දී වඩ්ඩුකෝඩ්ඩෙයි යෝජනාව ආවේය. 1987 දී ගෙනා 13 වන සංශොධනය අනුව ලංකාවේ දෙමළ නිජ භූමියක් ඇත යන චෙල්වනායගම් මිථ්‍යාවට පණදී ඇත. 2009 දී මේ සියළුම මත යුද්ධ බලයෙන් පරාජය කරණ ලදී. එහෙත් 2014 දී විග්නේශ්වරන් සිංහල ආණ්ඩු 1948 න් පසුව දෙමළ ජනයා සමූලඝාතනය කරන බව කියා සිටියේය. මෙම කතා හා අධස් අතරින් පැහැදිළිවම ප්‍රතික්‍ෂේප වුනේ 1985 තිම්පු යෝජනා හතර පමණය. ඉතින් මේ අදහස් තවදුරටත් කියාගෙන යාමට ඉඩදීම 7 ෂෙඩූල් එකට පටහැනි නැද්ද? මේවා කරගෙන් යද්දී 7 ෂෙඩූල් එක අනුව දිවුරන්න පුළුවන් නොවේද?  මේ අනුව 7 ෂෙඩූල් එක කියන්නේ වළාකුල් වලින් සාදාගත් දැලක් නොවේද? කොටින් තබා මකුළුවෙක් වත් ඊට හසු නොවේ.

2. දැන හෝ නොදැන වෙනම රාජ්‍යයක් පිහිටුවීමට හේතු උපකාරවන ඉණිමං සදාදීම, පාර කපාදීම 7 ෂෙඩූල් එකට පටහැනි නැද්ද? මේ කාරණයේදී වුවත් දෙපැත්තක් ඇත. ඉංගිරිස් වලින් කියනවා නම් කමිෂන් හා ඔමිෂන් ය. කරණය හා අකරණය කියා සිංහලෙන් කියන්නට පුළුවන.

ලංකාවේ පෙඩරල් කාරයින් ඉන්දියාවේ පෙඩරල් කාරයින්ට වෙනස් ය. ලංකාවේ අය ඉල්ලන්නේ ස්වයංපාලන අයිතියද සහිත පෙඩරල් එකය. එසේ ඉල්ලන පෙඩරල් දීමට රනිල් සමග දැන් ඉන්නා රාජිත, ජයම්පති වික්‍රමරත්න, එරාන් වික්‍රමරත්න, මංගල සමරවීර යනාදී පෙරහැරක්ම සිටිති. මෙසේ පෙඩරල් ඉල්ලන අයට 13 සංශොධනය යටතේ ඉදිරියට ගොස් ඉඩම් හා පොළිස් බලතලදීම 7 ෂෙඩූල් එකට අනුකූලද?

කොසොවෝ ආකාරයේ චන්දයක් ඉල්ලුවේ චෙල්වනායගම් කාලයේ සිටමය. එසේ තිබියදී යූ එන් ඒජන්සි හරහා ඉදිරියේ උතුරේ හා නැගෙනහිර ජනමත විචාරණයකට ඉඩ පාදා ගැනීමට ආණ්ඩුවෙන්ම ඉඩදීම 7 ෂෙඩූල් එකට එකඟද?

3. ටැමිල් නාඩ් ලංකාවට යා කරන්න පාලමක් හා බිංගෙයක් හදන්නට යාම ලංකාව ටැමිල් නාඩ් වල කොටසක් කිරීම නොවේද? එසේ නම් එය 7 ෂෙඩූල් එකට ගැලපේද?

4. විග්නේශ්වරන් හා අනිත් අය රට කැඩීමට කෙළින්ම තුඩුදෙන කතා කරද්දී රටේ ඒකීය භාවය රකිනවාය කියන රාජ්‍ය නිලධාරීන් (ජනාධිපති, අගමැති, ඇමතිලා) ඒ ගැන නිහඬව සිටීම (අකරණය) 7 ෂෙඩූල් එකට එකඟද?

මේ කාරණා ගැන හොඳින්ම දන්නා කෙනෙක්නම් දයාන් ජයතිලක මහතාය. මේ කාරණා ගැන කතා කිරීමේ වගකීම ඇත්තේ කාටද? මාදුළුවාවේ සෝභිත හිමිටද? රතන හිමිටද? චම්පික රණවකටද?

මහින්ද පිල මේ ගැන කරන්නට යන්නේ කුමක්ද? බොදු බල සේනාව/බොදු ජන පෙරමුණ මේ ගැන පැහැදිලි කර ගම්වල පත්‍රිකා බෙදන්නට සිතනවාද?

මෙම 7 ෂෙඩූල් එක ඇස්බැන්‌දුමක් පමණක් බව සමහරවිට ජනාධිපතිතුමාවත් නොසිතුවා විය හැකිය.

චන්ද්‍රසිරි විජයවික්‍රම

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress