බැංකුවක් කැඩුවෙමි
Posted on December 24th, 2015

වෛද් රුවන් එම් ජයතුංග 

මෙය පාපෝච්චාරණයක් නොවේ. එහෙත් මම සත්‍ය නොවලහා ප්‍රකාශ කල යුතුය​.මම සිටියේ ඉතා දුෂ්කර තත්වයකය​. එම නිසා මට වෙනත් විකල්පයක් නොවීය​. මම බැංකුව  කැඩුවෙමි. බැංකුවක් කැඩීම බරපතළ වරදකි.බැංකුවක් කඩා වසර දහයකට සිපිරිගෙට ගිය අයෙකු ගැන මා දනිමි. මම බැංකුව කැඩුවේ මාගේ පුද්ගලික අවශ්‍යාතාවක් සපුරා ගන්නට නොවේ. එහෙත් එය එසේ සාදාරනීකරණය කළ හැකිදැයි මම නොදනිමි.

මේ කතාව අසා ඔබට මා වරදකරුවෙක්ද යන්න නිගමනය කල හැක​. මෙම සිද්ධිය අතීතයේ වූ සිදුවීමක් නිසා මම පොලිසියට බිය නොවෙමි.  මට නීති මගින් ක්‍රියා කිරීමට ඇති හැකියාවද අවමය. නමුත් මම සත්‍ය පවසමි. බැංකුව කැඩුවේ මාය​. ඒ මගේ අතින් සිදු වූ ප්‍රථම සහ අවසාන බැංකු කැඩීමයි.

Robbank

වේලාව අළුයම තුනට පමණ විය​. මුළු නගරයම සුවසේ නිදයි. අඳුර නිසා කිසිවෙකු දකින්නට නැත​. මගේ සහායකයා විදුළි පන් දමක් අල්ලාගෙන සිටියි. එම එළියෙන් මට බැංකුවේ දොරට දමා තිබෙන යකඩ ඉබ්බා පෙනෙයි. මම අතේ තිබූ යකඩයෙන්  ඉබ්බාට වේගවත් පහරක් දුන්නෙමි. රාත්‍රී නිහඞතාව බිඳ ගෙන විශාල ශබ්දයක් උත්පාදනය විය​. ආරක්‍ෂක නිලධාරීන් පෙනෙනෙ තෙක් මානයක නැත​. ඔවුන් නිදාගෙන හෝ නැතහොත් තම නිවෙස් වලට ගොස් තිබෙනවා විය හැකිය​. කිසිවෙකු පැමිනියේ නැත​. එම නිසා මට මානසික ඒකාග්‍රතාව තබා ගැනීමට හැකි විය​.

මම යළිත් වරක් ඉබ්බාට වැරයේ පහර දුන්නෙමි. යලිත් වරක් අර දෝංකාර නාදය ආවේය​. පෙනෙන තෙක් මානයක කිසිවෙකු දකින්නට නැත​. මුළු මාතලේ නගරයම තද නින්දක ගැලී සිටියි. එම නිසා මම වැරයේ තවත් පහරවල් නොකඩවා එල්ල කලෙමි. අවසානයේදී ඉබ්බා කැඩී ගියේය​. මම සෙමෙන් සෙමෙන් බැංකුවේ දොර ඇරියෙමි.  මම බැංකුවේ බිත්තියක තිබූ ස්විචය ක්‍රියාත්මක කොට විදුළි බුබුල දැල්වූයෙමි. බැංකුව ආලෝකමත් විය​.

මම බැංකුව පීරා මට අවශ්‍ය දේ සෙව්වෙමි. අවසානයේදී එය මට සමු විය​. ඉතා අනර්ඝ ඕ නෙගටිව් රුධිර ෆ්ලැකෝනය මා ඉදිරියේ විය මම එය අතට ගත්තෙමි.  රුධිර ෆ්ලැකෝනය අතට ගත් මා එක එල්ලයේම ශල්‍යාගාරයට දිව ගියේ අසාධ්‍ය රෝගියාට රුධිර පාරවිලනය කිරීමටයි. මගේ වෑයම නිසා රෝගියාගේ දිවි ගැලවුනේය​.

( 1994 වසරේ මාතලේ රෝහලේ ලේ බැංකුව භාර නිලධාරියා ලේ බැංකුවේ යතුර අමතක වීමක් නිසා ගෙදර ගෙන යන ලදි. රාත්‍රියේ රෝගියෙකුට රුධිරය අවශ්‍ය වූ අතර ලේ බැංකුවේ යතුර නොමැති නිසා ලේ බැංකුවේ දොර කඩා අවශ්‍ය රුධිර වර්ගය ලබා ගන්නා ලෙසට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා මට උපදෙස් දුන්නේය​)

 

One Response to “බැංකුවක් කැඩුවෙමි”

  1. Nanda Says:

    ඔය බැංකුවේ ප්‍රධාන දොරේ තිබුනේ කොන්ඩි පට්ටමක් සහ ඉබ්බෙක් ද ? ඉබ්බා දමන දොරක් තිබීම බැංකුව කියන වචනයටත් නින් දාවකි.
    කෙසේ වෙතත් ලොකු ෆයිට් එකක් දී ජීවිතයක් බේරාගැනීම කොතරම් සතුටක් ද ?
    හිරේයාම කෙසේ වෙතත්, කිසිදින හිරේ නොවැටීමට සුදුසු පිනකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress