යොර්මාලියෙව්, ස්තෙත්සෙන්කෝ සහ අප්තොව්සි
Posted on February 5th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග

ව්ලැදිමීර් යොර්මාලියෙව් අපගේ ඇනටමි (ව්‍යවච්ඡෙදය) ගුරුවරයා විය​. යොර්මාලියෙව් පිටතින් පෙනෙන්නේ තද පුද්ගලයෙකු ලෙසටය​. බොහෝ ගුරුවරු සිසුනට ඔබ (වී) කියා ඇමතුවද යොර්මාලියෙව් අමතන්නේ නුඹ (තී) කියාය​. යොර්මාලියෙව් ගේ උඩු රැවුල හිට්ලර් ගේ මෙන්‍ය​. එම නිසා සිසුන් ඔහු නොමැති තැන ගිට්ලර් (හිට්ලර්) හෝ  ඇඩොෆ් යොර්මාලියෙව් කියා ඔහුව ඇමතූහ​. ශාන් පියෙර් කොංගෝවේ සිසුවෙකි. වරක් ඔහු පන්තියේදී යොර්මාලියෙව්   ගේ උඩු රැවුල තවත් කොංගෝවේ සිසුවෙකුට පෙන්වා ප්‍රන්ස බසින් “අරූගේ උඩු රැවුල හිට්ලර් වගේ නේ? කියා කීවේය​. බුරුන්ඩි වල වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට සිටි යොර්මාලියෙව් හට ප්‍රන්ස බස තේරුම් ගත හැකි විය​.

වැඩිපුර කතාබහක් නැති යොර්මාලියෙව් ඇනටමි කාමරයේ ෆෝමලීන් යෙදූ මෘත ශරීරය ඉදිරිපිට අසුන් වල වාඩිවී සිටි අපෙගෙන් වරින් වර ප්‍රශ්න කලේය​. ඔහු අසන ප්‍රශ්න වලට පිළිතුරු දිය යුත්තේ අදාල විවූහය මෘත ශරීරයයේ  පෙන්වමිනි. මගේ කණ්ඩායමේ සිටි සෙර්ගෙයි ස්තෙත්සෙන්කෝ සිකුරාදා දින වල ඔහුගේ ගම් වූ තුල්චින් නගරයට යයි සෙර්ගෙයි යළිත් විනිට්සා නගරයට එන්නේ සඳුදා උදෑසනය​. සති අන්තයේ හොඳට කාබී විනෝද වන ඔහු පාඩම් කරන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා පමණි. එහෙත් සෙර්ගෙයි දක්‍ෂ සිසුවෙකි.

 වරක් සඳුදා දිනෙක අතේ උඩ කොටසේ ස්නායු ව්‍යාප්තිය මෘත ශරීරය ආශ්‍රයෙන් පෙන්වන ලෙසට යොර්මාලියෙව් සෙර්ගෙයිට නියම කලේය​. පන්තියේ පසුපස පේලියේ සිටි සෙර්ගෙයි මේ අනපේක්‍ෂිත ප්‍රශ්නය නිසා කළබල විය​. සති අන්තයේ ඇනටමි පොත ඔහු අල්ලා නැත​. එම නිසා සෙර්ගෙයි ගේ කටින් කුණුහරපයක් පිට විය​. එය ඇසුනේ පසු පස පේලියේ සිටි මා ඇතුළු ගිනියානු ජාතික ෆෙරිබොරි කොන්ඩේ සහ ගහනාවේ ජාකොබ් ඔමාරිට පමණි. එහෙත් සෙර්ගෙයි අවස්ථානුකූලව කියූ කුණුහරපයට මට බුග් ගා සිනහ ගියේය​. මට රැවූ සෙර්ගෙයි මෘත ශරීරය වෙත ගොස් අදාල ස්නායු පෙන්වීය​. සති අන්තයේ පාඩම් කිරීමට නොහැකි වූ නමුත්  සෙර්ගෙයි මතකයෙන් කෙරූ විස්තර නිවැරදි වූ බැවින් යොර්මාලියෙව් සෙර්ගෙයිට ලකුණු දුන්නේය​.
 
අසාමාන්‍ය මතකයකින් හෙබි තවත් සිසුවෙක් අපගේ වෛද්‍ය පීඨයේ සිටියේය​. ඔහු සාෂා අප්තොව්සිය​. ඔහු අති දක්‍ෂ සිසුවෙකු විය​. පාඩම් කටයුතු දිගු වේලවක් නොකලද ඔහු දත යුතු සියළු දේ දැන සිටියේය​. පාඩම් කටයුතු දිගු වේලවක් කිරීමේ අවශ්‍යාතාව නොතිබූ සාෂා අප්තොව්සි කාලය ගත කලේ තැබෑරුමේය​. මේ බියර් විකුණු තැබෑරුම සිසුන් හැඳින්වූයේ සිද්මාය අවුදිතෝරියා ( හත් වන දේශන ශාලාව ලෙසටය​) වොඩ්කා බෝතලයක් කබාය තුල රුවා ගෙන හත් වන දේශන ශාලාවට යන සාෂා අප්තොව්සි මුලින්ම බියර් ජෝගු දෙක තුනක් බොයි. ඉන්පසු මුළු වොඩ්කා බෝතලයම බොන ඔහු සෙමෙන් සෙමෙන් සිසු නේවාසිකාගාරයට ගොස් නිදා ගනියි. ඒ අතරවාරයේ ඔහුගේ පන්තියේ සිසු සිසුවියන් නිදිවරාගෙන පාඩම් කරති. උදෙන්ම නැගිටින අප්තොව්සි පන්තිය වෙත යයි. ගුරුවරයා අසන ප්‍රශ්න සියල්ලටම ඔහු නිවැරදි පිළිතුරු දෙයි. විභාගයේදී සාෂා අප්තොව්සි ඉතා ඉහල ලකුණු ගත්තේය​. එහෙත් ඇස් ඉදිමී  සිටි මේ ලාබාල අයින්ස්ටයින් අසාමාන්‍ය චරිතයක් ලෙස මා වටහා ගත්තෙමි. අප්තොව්සි මා සමග මිතුරුය​. ඔහු හෙවි මෙට්ල් සංගීතය ප්‍රිය කලේය​. ඒ නිසා ඔහු නිතරම මා සමග හෙවි මෙට්ල් සංගීතය පිළිබඳව කථා කලේය​.
 සාෂා අප්තොව්සිගේ අවසානය සිදු වූයේ අනපේක්‍ෂිතව සහ අවාසනාවන්ත ලෙසය​. තෙවන  වසර අවසාන විභාගයේදී ඉතා ඉහළින් සමත්වූ ඔහු මිතුරන් සමග සාදයක් පැවැත්වීය​.  සාදයේදී ඔහු නොසෑහෙන ලෙස මත්පැන් පානය කලේය​. සාදය අවසානයේදී  මිතුරන් තම නිවෙස් කරා ගියේ මත්පැන් බී නිදාගෙන සිටි සාෂා අප්තොව්සි  එසේ වැතිරී සිටියදීය​.
මධ්‍යම රාත්‍රියේ අප්තොව්සිට ඔක්කාරය ආවේය​. වමනය ඔහුගේ ශ්වසන මාර්ගය අවහිර කරන ලදි. උදෑසන ඔහුගේ කාමරයට පැමිණි මිතුරන් දුටුවේ ප්‍රාණය නිරුද්ධ වූ සාෂා අප්තොව්සි ය​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress