නැඟෙනහිර මහ ඇමැති තව ටිකෙන් හපනවා
Posted on May 28th, 2016

දිවයින කතුවැකිය උපුටා ගැන්ම දිවයින

නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා නාවික හමුදා නිලධාරියකුට නින්දිත ආකාරයට බැණ වැදුණු පුවතක්‌ ඊයේ පෙරේදා වාර්තා වී තිබිණි. අද වන විට ප්‍රාදේශීය දේශපාලනයේ පමණක්‌ නොව ජාතික තලයේ දේශපාලනයේ ද මහත්වරු සොයා ගැනීම තරමක්‌ අසීරු කාරණයක්‌ නිසා මෙවැනි බාල වර්ගයේ හැසිරීම් ගැන අපට ඒ තරම්ම පුදුමයක්‌ නැත. එහෙත් අපට තිබෙන පුදුමය වන්නේ නාවික හමුදා නිලධාරියකුට නො එසේ නම් රාජ්‍ය නිලධාරියකුට මේ සිදුවීමට මුහුණ පාන්නට සිදුවන්නේ ඇමරිකානු තානාපති වැනි රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම තවත් බොහෝ සම්භාවනීය පිරිසක්‌ සහභාගි වී සිටි උත්සවයකදී වීම ය. මහ ඇමැතිවරයා ඒ ආකාරයෙන් නාවික හමුදා නිලධාරියකුට සද්ද දමා ඇත්තේ ‘මහත්තයා’ වර්ගයේ ඇඳුමකින් සැරසී ගෙනය. හරියටම කිවුවොත් ටයි කෝට්‌ හැඳ පැළඳගෙන ය. එයින් පෙන්නුම් කරන්නේ ටයිකෝට්‌ හැඳ කරන ඕනෑම තුට්‌ටු දෙකේ වැඩක්‌ මහත්වරුන්ගේ වැඩ යෑයි ඕනෑම දේශපාලනඥයකු කල්පනා කරන බව ය.

මේ රටේ කුරිරු ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීමට දිවි හිමියෙන් කටයුතු කළ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අවමානයට ලක්‌ කරනු ලැබීමේ ෙ€දවාචකයේ කූටප්‍රාප්තිය මහ ඇමැතිවරයා ඉතා හොඳින් ප්‍රදර්ශනය කර තිබේ. ඔහුට මේ ආකාරයට නැඟෙනහිර පළාතේදී පවා සිය චණ්‌ඩිකම මුදා හරින්නට හැකිව ඇත්තේ ද ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට පින් සිදු වන්නට බව ඔහු මහ ඇමැති පුටුවට පත්කළ අය මතක්‌ කර ගත යුතුය. මහ ඇමැති තනතුරේ විනය හෝ රැක ගැනීමට බැරි මෙවැනි අඳබාල දේශපාලනඥයන් සිය ගමන මොන්ටිසෝරියේ සිට ආරම්භ කළ යුතු බව අපේ විශ්වාසයයි.

වාර්තා වන ආකාරයට මේ පුද්ගලයාට මින්පසු කිසිදු ත්‍රිවිධ හමුදා කඳවුරකට ඇතුළුවීම සඳහා අවසර නොදීමට තීරණයක්‌ ගෙන තිබේ. රජය විසින් ගත් මේ තීරණය අපේ නොමඳ ප්‍රශංසාවට හේතු වන බව කිව යුතුයි.

සාම්පූර් මහා විද්‍යාලයේ පැවැති උත්සවයට සහභාගි වීම සඳහා මේ මහ ඇමැතිවරයාට සහ පළාත් අධ්‍යාපන ඇමැතිවරයාට ආරාධනාවක්‌ තිබී නැත. මේ දෙදෙනාම උත්සවයට සහභාගි වන්නේ අනාරාධිතව ය. උත්සව සභාවට පැමිණි ඒ දෙදෙනාටම කිසිදු පිළිගැනීමක්‌ තිබී නැත. (අප ස්‌ථිර වශයෙන් ම කියන්නේ එවැනි පිළිගැනීමක්‌ දේශපාලනඥයකුට කිසිසේත් අවශ්‍ය වන්නේ ද නැති බවය.) නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාරවරයාම කියන පරිදි පාසල් විද්‍යාගාරයක්‌ විවෘත කිරීමේ උත්සවය සංවිධානය කර ඇත්තේ නාවික හමුදාව හා පෞද්ගලික ආයතනයකි. මහ ඇමැතිවරයා අසික්‌ෂිත ලෙස බැණවැදුණු නාවික හමුදා නිලධාරියා පාසලේ සංවර්ධන වැඩ කටයුතු වෙනුවෙන් විශාල වශයෙන් වෙහෙස වූ නිලධාරියෙකි. එහෙත් අපේ රටේ අවතැන් දේශපාලනඥයන් කුමක්‌ හෝ ‘ඇමැති අංතට්‌ටුවක්‌’ පැළැඳි විට අනුන්ගේ මඟුල්වලට කඩා පැන පටලවා ගැනීම අතිශය සාමාන්‍ය සිදුවීමක්‌ නිසා ඒ ගැන පුදුම වන්නට දෙයක්‌ ද නැත. තමන්ට ‘ගරු’ කිරීමක්‌ නොලැබෙන තැන ඒ කේන්තියට හමුදා නිලධාරින් ‘බයිට්‌’ එකට ගැනීමේ නින්දිත සහ අවමන් සහගත ක්‍රියාවලිය අපි සහමුලින් ම ප්‍රතික්‍ෂේප කරන්නෙමු.

පළාතේ ප්‍රධාන පුරවැසියා මේ ආකාරයේ ‘සුනඛ’ වෙස්‌ ගැනීම ගැන පළාත් සභාවද, මධ්‍යම ආණ්‌ඩුව ද වහා පරීක්‍ෂණයක්‌ ආරම්භ කළ යුතු බව අපි ඉඳුරාම කියමු. ඔහුට අයත් පක්‍ෂය කවරක්‌ වුවත් ඔවුන් මේ සම්බන්ධයෙන් කිසිදුÊවිනය පියවරකට නො යන බව ද අපි විශ්වාස කරමු. මේ රටේ කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ එවැනි ‘ලස්‌සන’ වැඩ කරන්නේ යෑයි කොහෙත්ම බලාපොරොත්තු තබා ගැනීමට හැකියාවක්‌ නැත. එහෙත් අපට ඒකාන්තයෙන්ම කිව හැකි යමක්‌ තිබේ. ඒ මේ අමන වැඩ උතුර – නැඟෙනහිර සියලු දේශපාලනඥයන් පූර්වාදර්ශ කර ගැනීම කොහෙත්ම හොඳ නැති බව ය.

රට බේරාගත් රණවිරුවන්ට දේශපාලනඥයන් විසින් අවමන් කිරීම නතර විය යුතුයි
– සාම්පූර් සිද්ධිය ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්‌

නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා නාවික හමුදා නිලධාරියකුට අවමන් කිරීමත් පසුගිය වසරේ ජනවාරියේ සිට ආරම්භ වූ රණවිරුවන්ගේ ජීවගුණය බිඳ දැමිමේ වැඩපිළිවෙළේ තවත් අදියරක්‌ දැයි සාධාරණ සැකයක්‌ ඇතිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී. ත්‍රස්‌තවාදයෙන් රට බේරාගත් ආරක්‌ෂක හමුදා සාමාජිකයනට මේ ආකාරයට දේශපාලන බලධාරීන් සිතා මත අවමන් කිරීම නතර විය යුතු බවත් මෙයද කලින් උතුරේ ඇතිවූ සිද්ධියක්‌ සුළුකොට පෙන්වා යට ගැසූ ආකාරයට යට නොගසන ලෙස හිටපු ජනාධිපතිවරයා ආණ්‌ඩුවෙන්a ඉල්ලා සිටී.

හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

සාම්පූර් ප්‍රදේශයේ පැවැත්වූ ප්‍රසිද්ධ රැස්‌වීමකදී නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා විසින් නාවික හමුදාවේ උසස්‌ නිලධාරියකුට ඉතා පහත් ආකාරයට බැණවදින වීඩියෝ පටයක්‌ අද මුළු රටේම අවධානයට ලක්‌වී ඇත. මේ වීඩියෝපටය ප්‍රසිද්ධ ජනමාධ්‍යවල මෙන්ම සමාජ ජාල ඔස්‌සේද ප්‍රචාරය වී ඇත. මේ අශෝභන සිද්ධිය ඇමෙරිකානු තානාපතිවරයා ඉදිරියේ සිදුවීමෙන් මෙහි බරපතළ බව තවත් තීව්‍ර වේ. වේදිකාව මත තමන්ට හිමි තැන ගැන ආරවුලක්‌ ඇතිකරගන්නා මහඇමැතිවරයා, එවැනි කාරණා ගැන වගකිවයුතු නැති නාවුක හමුදා නිලධාරියාට ඉතා පහත් ලෙස “යනව යන්න මෙතනින්” ” මුග්ධයා” “කට වහගන්නවා” යනාදී වශයෙන් ඉංග්‍රීසි බසින් නැවත නැවත බැණවදින ආකාරය වීsඩියෝ පටයේ සටහන්ව ඇත.

මීට කලින් අවස්‌ථාවකදී දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන් පිරිසක්‌ හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය ගැන ආන්දෝලනයක්‌ ඇතිවූ විට ආණ්‌ඩුව එය සුළු සිද්ධියක්‌ ලෙස හුවා දක්‌වා ඒ ගැන කිසිදු පියවරක්‌ නොගෙන සිටියේය. මේ ඊට සමාන දෙවන සිද්ධියයි. උතුරේ සිදු වීමත්, සාම්පූර්වල සිදුවීමත් යන දෙකම ලංකාවේ මොන පළාතකවත් සිදු නොවිය යුතු සිදුවීම්ය. මොන පළාතකවත් දේශපාලනඥයන් පූර්ව අවසරයක්‌ හෝ දැනුම්දීමක්‌ නොමැතිව හමුදා කඳවුරකට ඇතුළු නොවිය යුතුය. මොන පළාතකවත් දේශපාලනඥයන් ආරක්‌ෂක හමුදා නිලධාරියකුට නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා ප්‍රසිද්ධ වේදිකාවේදී කථා කළ ආකාරයට කතා නොකළ යුතුය.

මේ රට ත්‍රස්‌තවාදයෙන් බේරාගත් ආරක්‌ෂක හමුදා සාමාජිකයන්ට මේ ආකාරයට දේශපාලන බලධාරීන් විසින් සිතා මතා අවමන් කිරීම නතර විය යුතුය. මේ නවතම සිද්ධිය පසුගිය වසරේ ජනවාරියේ සිට ආරම්භ වූ රණවිරුවන්ගේ ජීවගුණයද බිඳ දැමීමේ වැඩපිළිවෙළේ තවත් අදියරක්‌ දැයි සාධාරණ සැකයක්‌ අප තුළ ඇති වී තිබේ. කලින් උතුරේ ඇති වූ සිද්ධියක්‌ සුළුකොට පෙන්වා යට ගැසූ ආකාරයට සාම්පූර් සිද්ධියත් යට නොගසන මෙන් මම ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටිමි. නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය ගැන විධිමත් ලෙස සොයා බලා මෙවැනි සිද්ධීන් නැවත ලංකාවේ මොන පළාතකවත් ඇති නොවන තැනට වග බලා ගැනීම ආණ්‌ඩුවේ යුතුකම වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress