රනිල් මල්ලී සහ චන්ද්‍රිකා අක්කා සර් ටෙස්ට් එක පාස්ද? කමත ටෙස්ට් එක
Posted on July 13th, 2016
චන්ද්‍රසිරි විජයවික්‍රම
කමත ටෙස්ට් එක
ප්‍රේමදාස මහතා ජනාධිපතිව සිටියදී ඔහු විසින් “කමත ටෙස්ට්” එකක් කලා යයි කටකතාවක් ඇත. යම් නිලධාරියෙකුට පත්‌වීමක් දීමට කලින් ඔහු ජීවිතයේ කවර දිනක හෝ කමතකට ගොඩවී ඇත්දැයි ඔහුගෙන් විමසා බැලීම මේ ටෙස්ට් එක විය. බස් ටිකට් එකේ අනිත් පැත්තේ බජට් එක හදන්න පුළුවන් යයි කී හා තමන්ට පාන්දරයාමේ නින්ද නොයන නිසාදෝ ගෙවල්වල නිදාගෙන ඉන්නා නිලධාරීන්ට කෝල්කර ඔවුන් නැඟිට්ටවූ කෙනෙකු වශයෙන් ඔහු මෙවැනි ටෙස්ට් එකක් කලා නම් එය පුදුමයට කරුණක් නොවේ. මේ රටේ ජනාධිපතිලා හා ඔවුන් යටතේ සිටි අගමැතිලා රටට බොරුකල අය නිසා මේ ටෙස්ට් එක ඇත්‌තටම කලා නම් එය බොරු ශොභනයක් පමණය කියා මට සිතෙන්නේ ඔහු විසින් පැනවූ නිලධාරීන් විසින් ටයි දැමිය යුතුය යන නියෝගය නිසාය. ලංකාව වගේ ග්‍රීෂ්ම දේශගුණයක් ඇති රටකට ටයි කුමකටද?
කෙසේ වෙතත් මේ බොරු කමත ටෙස්ට් එක වගේ නොව ඊට වඩා වැදගත් ටෙස්ට් එකක් ගැන මගේ හිතට ආවේ, සිරිසේන ජනාධිපතිතුමා රනිල් අගමැති කියනදේ කරණ කෙනෙක් යයි මේ දිනවල යන කතාව නිසාය. මහබැංකුවේ අර්ජුන මහේන්ද්‍රන්-ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කචල් එකේදී මෙය හොඳටම ඉස්මතුවී පෙණුන කාරණයක් විය. මා මෙය කචල් එකක් ලෙස හඳුන්වන්නේ මහබැංකුවේ අධිපතිකම දියයුත්තේ මහබැංකුවේම නිලධාරියෙකුට මිස පිටින් ගේනා පන්දමෙකුට නොවන නිසාය. මිසිස් චන්ද්‍රිකා 2004 දී සුනිල් මෙන්ඩිස් නම් පිටස්තර කොම්පැනි පන්දමෙක් පත්කර, 1950හේ සිටම පැවති නියමිත ක්‍රියා චරියාව වෙනුවට මහබැංකුව සමූපාකාර බැංකුවක් වගේ දේශපාලන මඩවගුරක් කලේය. ඒ අනුව යමින් මහින්ද රාජපක්‍ෂ මහතා 2006 දී කබ්‍රාල් උන්නැහේ දමාගත් විට කබ්‍රාල් මහින්ද රූපය දමා රුපියල් දාහේ නෝට්ටුවක්ද ගැසුවේය. ජීවත්‌ව සිටියදී මේවා කිරීම වස් වදිනා වැඩය. රූපයට, යටි රැවුල් දැමීම, අං දැමීම විනෝදයටත්, තරහටත් කිරීමට ඉන් ජනයාට ඉඩ ලැබේ. හරිනම් කලයුතුව තිබුණේ හසලක වීරයාගේ රූපය දැමීමය. මිසිස් බණ්ඩාරණායකද මෙසේ ඇගේ රූපය සහිත මුද්දරයක් ගසාගෙන තැපැල් කන්තෝරුවල දේශපාලන තරහ කාරයින්ගෙන් මුද්දරයේ ඇති මුහුණ පසාරු කරගෙන යන සීල්පාර කෑවේය.
ආපසු අපි සර් ටෙස්ට් එකට ආවොත්, මට මතක් වන්නේ මහාචාර්ය හෙට්ටිාරච්චි මහතා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සමග ගිය ට්‍රිප් එකක් ගැනය. අතරමගදී තේ බොන්නට කඩයකට ගොස් බිල් ගෙවන්නට කලිසම් ඇඳගත් කොල්ලෙකුත් හෙට්ටිාරච්චි මහතාත් එකවරම කවුන්ටරය ලඟට යනවිට දුර සිටි වේටර් සර් ගෙන් රුපියලයි මුදලාලිගෙන් එකයි පනහයි කියා කෑගැසුවේය. රෙද්ද හා බැනියම (ජාතික ඇඳුම?) හා කලිසම අතර වෙනස එයය. කලිසම අඳින එකාට ඉංග්‍රීසි පුළුවන්ද නැද්ද යන්නට වඩා රෙදි-බැනියම් කාරයාට නම් ඉංග්‍රීසි බැරි විය යුතුය යන පූර්‍ව නිගමනයක් සමාජයේ තිබේ. අදවුනත් සමාජයේ ඇති මේ බෙදීම ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් ලඟදී කිව්වා වගේ මයි ගෝඩ් කියන අය හා බුදු අම්මෝ කියන අය අතර වෙනස වගේ ය.
එම් ජේ පෙරේරා දිසාපතිව සිටියදී, මෛත්‍රීපාල සේනානායක මහතා ඔහු යටතේ ඉඩම් නිලධාරියෙකු වශයෙන් සිටියේය. පසුව ඔහු ඇමති කෙනෙක් වූ විට ඔහු දිගටම එම් ජේ පෙරේරාට සර් කිව්වේය. අනිත් අතට එම් ජේ පෙරේරා මෛත්‍රීපාල ඇමතිට සර් කිව්වේ ය. ඇමෙරිකාවේ නම් සර් කියන වචනයට සතපහකවත් වටිනාකමක් නැත. එය, අයිසේ, ඕයි, උන්නැහේ, කියනවා වගේ හුදෙක් ඇමතීමක් පමණය. එහෙත් තමන්ගේ පරණ යාළුවෙක් තමන්ට සර් කියා අමතන්නේ නැතිබව ගැන චෝදනාකල ලංකා ජනාධිපති කෙනෙක් ගැන මම අසා ඇත්තෙමි.
ඉංග්‍රීසි කතා කරන කොළඹ කළු සුද්දන්ගෙන්, සරම අඳින සිංහල කතා කරන අයෙකුට මහජන චන්දයෙන් බලය මාරුවුණේ 2005 දීය. ඊටත් වඩා වෙනසක් 2015 දී සිදුවිය. මහින්ද රාජපක්‍ෂ මන්ත්‍රී කෙනෙකුගේ පුතෙක් විය. විද්‍යෝදය පුස්තකාලයේ සහකාරයෙකු ලෙස රක්‍ෂාවක් කලේය. මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ ගොවි ජනපදයක ගොවියෙකුගේ පුතෙක් විය. ඔහු ග්‍රාම සේවකයෙක් විය. ඔහු වැඩකලේ ඔස්ටින් ප්‍රනාන්දු දිසාපති යටතේය. ඔස්ටින්ට සිරිසේන මහතා විසින් ආණ්ඩුකාර කමක් දුන්නේය. මේ නිසා මෛත්‍රීපාල සේනානායක මෙන් මේ දෙන්නාද දැන් එකිනෙකාට සර් කියනවාදැයි මම නොදනිමි.
නමුත් සිරිසේන මහතා විසින් රනිල්ට හා මිසිස් චන්ද්‍රිකාට සර් හා මැඩම් යයි ඇමතීමේ ක්‍රියාවට ඔහු විසින්ම අනවශ්‍ය අවධානයක් පටවා ගත්තේය. අගමැති හා ජනාධිපතිධූර දරද්දී ඒ අයට සර් මැඩම් කීම දිගටම ගෙනයාම නිහතමානි හෝ අවංක භාවයේ ගැමි ලක්‍ෂණයක් විය හැකිය. පුද්ගලික ජීවිතයේදී තනිව සිටින විට සර්-මැඩම්-මෛත්‍රී කියා මේ තුන්‌දෙනා එකිනෙකාට කියා ගන්නවා නම් එය මනෝවිද්‍යාත්‌මකව වැදගත් නැත. නමුත් දැන් මෛත්‍රී ජනාධිපති නිසා අනිත් දෙන්නාත් කැබිනට් රැස්වීම් හෝ වෙනත් රාජ්‍ය පොදු රැස්වීම් වලදී මෛත්‍රීට සර් කියනවාද යන ප්‍රශ්නය මගේ හිතට ඒ.
ඔවුන් දෙන්නා එසේ නොකරනවා නම් එය මා සළකන්නේ, මයි ගෝඩ් කියන අය, බුදු අම්මෝ කියන අයව පහතට දමා සිතන බවට එය උදාහරණයක් ලෙසය. චන්ද්‍රිකා හා රනිල් නිසා නොවේ නම් මෛත්‍රීට ජනාධිපති වීමට ඉඩක් තිබුණේ නැත. අනිත් අතට මෛත්‍රී හරහා මිසක් රනිල්ට පස්ස දොරෙන් අගමැති වීමටත්, චන්ද්‍රිකාට යටින් බලය පාවිච්චි කිරීමට ඉඩක්වත් ලැබෙන්නේද නැත. මේ නිසා කෙළෙහිගුණ සැලකීම දෙපැත්තෙන්ම සිදුවිය යුතු නිසා මහින්දගෙන් හා බැසිල්ගෙන් අපමණ හිරිහැර විඳි ගැමියෙකුවූ මෛත්‍රීට, සමානයෙකු ලෙස සැළකීම කුඩා කාලයේ සිට කුරුඳුවත්තේ එක ලඟ බංගලාවල සිට රනිල් මල්ලී-චන්ද්‍රිකා අක්කා කියමින් හැඳුන දෙන්නා විසින් කලයුතු නොවේද? මේ ලඟදී රජීව විජේසිංහ විසින් ටී වී වන් නිවුස් ලයින් එකේදී (ජූලි 5) ලස්සන කතාවක් කිව්වේය. මෛත්‍රීපාල, රනිල් කියන දේකට එකඟ නොවන විට, මම චන්ද්‍රිකාට කියනවා යයි රනිල් අඬන බව (මමී ලඟට යෑම) රජීව් එළි කළේය. බොදු බල සේනාව ගැන ඇති වැරදි මතය හැරෙන විට රජීව ඉතා අවංක පුද්ගලයෙකි. රනිල් ඔහුගේ මාමාගේ පුතාය. බොරු ආරංචියක් එළිකිරීමට ඔහුට හේතුවක් නැත.
අපේ රටේ පාලන බලය අල්ලාගෙන ඉන්නා කොළඹ පවුල්වල නියම ස්වරූපය මේ ටෙස්ට් එකෙන් දැනගත හැකි නොවේද? ඔබත් මා මෙන් මේ ගැන සිතා බලන්න.
චන්ද්‍රසිරි විජයවික්‍රම
ජූලි 12, 2016
July 13th, 2016 at 6:37 pm
ඉන්දියානු පරපෝසිතයන් හා ඉන්දියානු අදිරදයත් නොවන්නට 1956 දී බන්ඩිගේ මහ එකා රජවෙන්නේ නැත. චන්ඩ්‍රිකා (බන්ඩී) මහ එකා වගේම ඉන්දියානු ගැත්තියකි. ඒකි තමයි පස්සෙන් වැඩේ දෙන්නෙ,
July 15th, 2016 at 1:45 am
“කලිසම අඳින එකාට ඉංග්‍රීසි පුළුවන්ද නැද්ද යන්නට වඩා රෙදි-බැනියම් කාරයාට නම් ඉංග්‍රීසි බැරි විය යුතුය යන පූර්‍ව නිගමනයක් සමාජයේ තිබේ. ”
රෙදි බැනියම සහ කලිසම ඇඳීමට භාෂා පිලිබඳ දැනුම මිම්මක් ලෙස ගැනීමට තරම් උගත් චන්දරසිරි වික්‍රමගේ අඳ බාලයෙකු වීම කණගාටුවට කරුණකි. රෙදි බැනියම හෝ කලිසම හෝ අමුඩය හෝ කුර්දාව හෝ වෙනවෙනත් ඕනෑම ඇඳුමක් ඇඳීම අතර සහ මිනිසුන්ගේ භාෂා දැනුම අතර කිසිම සම්බන්දයක් නැති බව මතක් කරදෙමි. ගොළුවන් සහ ලිවීමට බැරි අය හෙළුවෙන් සිටිය යුතුද?
July 15th, 2016 at 2:00 am
“සර් ” යන්නට තවමත් ගෞරවයක් ඇත්තේ යටත් විජිත වූ රටවල පමණි. නවසීලන්තයේදී හිටපු අගමැති හෙලන් ක්ලාක් ඇමතීම ට හෙලන් කීමෙන් හෝ වර්තමාන අගමැති ජෝන් කී ට ජෝන් හෝ කී යයි ඇමතීමෙන් කිසිවෙකුට අවැඩක් වන්නේ නැත. ජෝන් කී ද සමහර විට සාකච්චා වලදී අනිත් යට මෙට් (mate) කියන්නේ පුරුද්දටය.