Ectopic Pregnancy හෙවත් බහිෂිකේතනක ගර්භණීභාවය
Posted on October 13th, 2016

වෛද් රුවන් එම් ජයතුංග 

ඉතා තද බඩේ කැක්කුම නිසා වාට්ටුවට ඇතුලත් වූ කාන්තාවගේ මුත්‍රා පරික්‍ෂා කරන ලෙස මම හෙදියට කීවෙමි. මගේ සැකය තීව්‍ර කරමින් ඇය ගැබ්දැරි  බව මුත්‍රා පරීක්‍ෂණය දෙස් දුන්නේය. 

ඇයගේ යෝනි පරීක්‍ෂණයේදී ගැබ් ගෙලට යටින් ප්‍රතිරෝධයක් මෙන්ම ග්‍රීවය ඔසවන විට වේදනාව අධික වේ. කාන්තාව මලානිකය. ඇයගෙ රුධිර පීඩනය පහත බසී. ඇස් යට සුදුමැලිය. ඇයගේ උදරය පිම්බී තිබේ. අභ්‍යන්තර රුධිර වහනයේ සලකුණු දක්නට තිබේ.  තවත් බලාගෙන සිටි නොහැක. අප වහාම ඇයව ශල්‍යාගාරයට ගෙන ගියෙමු. 

ස්කෑන් යන්ත්‍රයක් තිබුනේ නම් මගේ රෝග නිර්ණය නිවැරදි බව මම අත් දකිනු ඇත. එහෙත් ස්කෑන් යන්ත්‍ර නොමැති යුගයේ අප රෝග නිර්ණය කලේ රෝගියාගේ රෝග ලක්‍ෂණ වලිනි. 

ruwan13101601

මම නිර්වින් දනය කල රෝගී කාන්තාවගේ උදර කුහරය විවෘත කලෙමි. උදරය පුරවා ලේ පිරී තිබේ. රුධිරය ඉවත් කරන ගමන් අප ඇයට රුධිර පාරවිළනය කලෙමු. 

මෙම කාන්තාවගේ ගැබ ඇතිවී තිබෙන්නේ ඝර්භාෂයේ නොව පැලෝපීය නාලයකය.  මෙම තත්වය Ectopic pregnancy  හෙවත්  බහිෂිකේතනක ගර්භණීභාවය ලෙස හැඳින්වේ. 

මම පුපුරා ගිය පැලෝපීය නාලය සොයා ගත්තෙමි. එතනින් නැවුම් රුධිරය වහනය වෙයි. වහාම කැට්ගට් යොදා රුධිර වහනය මම නවතා දැමුවෙමි. මේ අතර අප සිව් වන රුධිර පයින්ටුවද ඇයට ලබා දුන්නෙමු. රුධිර වහනය නවතා දැමූ මම උදර කුහරය මසා ශල්‍යකර්මය අවසන් කලෙමි. 

රෝගී කත  ගේ තත්වය දැන් ස්ථායීය. ඇය රෝහලට ඒමට තව පැය දෙක තුනක් ප්‍රමාද වූයේ නම් මේ කාන්තාව මරණයට පත් වනු නිසැකය. සුපුරුදු ලෙස අප ජීවිතයක් බේරා ගත්තෙමු. ඇය කවරෙක්ද කොහෙන් ද කියා අප නොදත්තෙමු. රෝගියා කවරෙක්ද ඇයගේ තරාතිරම, ජාතිය ,ආගම අපට වැදගත් වූයේ නැත.  ඇය අපගේ රෝගියෙකු වූ අතර අප අපගේ රාජකාරිය කලෙමු. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress