හමුදාව උතුරු නැඟෙනහිර ඉන්නම ඕනෑ-කරුණා අම්මාන්
Posted on February 20th, 2017

තාරක වික්‍රමසේකර උපුටා ගැන්ම සිළුමිණ

Sunday, 19 February 2017

පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි වශයෙන් කතා බහට ලක් වූ චරිතයක් වූයේ නැවත පදිංචි කිරීම් පිළිබඳ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ය. දෙමළ ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම නිසා දේශපාලන ක්ෂේත්‍රයේද ඔහු සම්බන්ධව විවිධ කතා බහ ඇති විය. ඔහුගේ නව දේශපාලන පක්ෂය හා රටේ පවත්නා වත්මන් වාතාවරණය පිළිබඳ අද සිළුමිණ කතා බහට එක් වන්නේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතාය.

කලක් නිහඬව හිටපු ඔබ එක්වරම කරළියට මතු වෙන්නේ නව පක්ෂයක් ආරම්භ කිරීමෙන්. නව පක්ෂයක් ආරම්භ කරන්න හිතුවේ ඇයි?

අද උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවට නිවැරැදි නායකත්වයක් නෑ. හැම දේශපාලනඥයාම කරන්නේ තමන්ගේ පක්ෂය වර්ධනය කර ගන්න ජනතාව රවට්ටන එකයි. කාලාන්තරයක් තිස්සේ යුද්ධයකට මැදිව හිටි ඔවුන් තව දුරටත් රැවටීමෙන් වළක්වා ගෙන ඔවුන්ට නිවැරැදි නායකත්වයක් දෙන්නයි නව පක්ෂය පිහිටුවා ගත්තේ.

ඔබ එහෙම කිව්වත් අද උතුරු හා නැඟෙනහිර දෙමළ ජාතීන් වෙනුවෙන් කතා කරන ඔවුන් වෙනුවෙන් හඬ නඟන අය කොයිතරම් ඉන්නවද?

ඒ හැම කෙනෙක්ම ජාතිවාදීවයි විසඳුම සොයන්නේ. අපි අවුරුදු 30ක් පීඩා වින්දා හොඳටම ඇති. ජාතිවාදය නවත්වා සාකච්ඡා මට්ටමින් විසඳුම් සොයන්න ඕන.

ඔබ ඔහොම කිව්වත් ඔබත් ජාතිවාදීව යුද්ධයකින් විසඳුම් සොයන්න ගියා

ඒ වරද අපි නිවැරැදිව තේරුම් අරගෙනයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් වුණේ. ජාතිවාදය පැතිරවීමෙන් සිංහල දෙමළ මුස්ලිම් අසමගිය පැතිරවීමෙන් අපට මොනවද ඉතිරි වුණේ. එකිනෙකා මරා ගන්නා සංස්කෘතියක් විතරයි. ඒ බව දැන දැනත් දෙමළ දේශපාලන නායකයො තව තවත් ජනතාව යුද්ධයකට බර කරන ක්‍රියාවන්හි නිරත වෙනවා.

ඒ වුණත් පහුගිය දිනවල මඩකළපුවේ විග්නෙෂ්වරන් මහතාගේ මූලිකත්වයෙන් තිබුණු පිබිදෙව් දෙමළුනිරැලියට අතිවිශාල ජනතාවක් සහභාගි වුණා. මේ ජනතාව සියලු දෙනාම රැවටිලාද?

ජනතාව පෙරටු කරගෙන ඔවුන්ගේ අවශ්‍යතා ඉල්ලීම් ඉටු කරන බව පෙන්වා ,තම තමන්ගේ දේශපාලන අවශ්‍යතා ඉටු කරන්ගන්නයි විග්නේෂ්වරන් ප්‍රමුඛ කට්ටිය හදන්නේ. ජනතා ප්‍රශ්න ගැන කතා කරන බවට ජනතාව රවට්ටලා ඔවුන්ගේ දේශපාලනයයි එතැනින් එළියට ගෙනාවේ. එදා දෙමළ ජනතාවගේ එක ප්‍රශ්නයක් කතා කළාද කියල මම අහනවා. ජනතාව උසි ගන්වලා ඔවුන්ගේ මොළයට විෂබීජ දානවා. රටේ සමගිය බිඳ දාන්න එපා කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ රැලියෙදි දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාම අවශ්‍ය බවටයි කතා වුණේ.

ඔබ අලුත් පක්ෂය හරහා දෙමළ ජනතාවට නිවැරැදි නායකත්වයක් ලබා දෙන්නේ කෙසේද?

මම දෙමළ එක්සත් නිදහස් පක්ෂය ඇති කළේ ජනතා ප්‍රශ්න සාකච්ඡාවෙන් කතා කරල විසඳා ගන්නයි. මාත් එක්ක හිටපු සේරම අද ඉන්නේ පිටරට. මම විතරයි ලංකාවේ ඉන්නේ. ඒ අයගෙනුත් මට ඉල්ලීම් ආවා පක්ෂයක් පිහිටුවන්න කියලා. ඒ අයට පිටරට ඉඳල බැලුවමත් පේනව ඇති විග්නේෂ්වරන්ලාගේ ක්‍රියා දාමයේ තියෙන ජාතිවාදය ගැන. ඒ එක්කම සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳාගන්න ගොඩක් දෙමළ ජනතාව කැමැතියි. නමුත් එයාල තනිවෙලා වගේ පේනවා. සාකච්ඡා කියන්නේ එක පාරක් කතා කරලා හරිගියේ නැත්නම් ඊළග දවසේ හර්තාල් කරන එක නෙමෙයි. ඒක විග්නේෂ්වරන්ලා දන්නේ නෑ. එක්කො දැනගෙන ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.

ඒ කියන්නේ ඔබ ආණ්ඩුවට එකතු වෙන පක්ෂයක්ද හදන්නේ

ආණ්ඩුවට එකතු වෙන කතාවක් නෙමෙයි. ආණ්ඩුවත් එක්ක කතා කරල සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳා ගැනීම වගේම ජනතා ඉල්ලීම් ලබා ගැනීමයි අපේ අරමුණ.

ඔබ දීර්ඝ කාලයක් යුද්දෙන් දිනන්න හදපු නායකයෙක්. ඔබ කොහොමද සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳා ගැනීම ගැන අවබෝධයක් ඇති කර ගන්නේ

මම දේශපාලනයට ආධුනික නැහැ. අමතක කරන්න එපා මම අවුරුදු 10ක් පාර්ලිමේන්තුවේ හිටියා. මම නියෝජ්‍ය ඇමැතිකමක් දැරුවා. ඒ වගේම මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ලෙසත් කටයුතු කළ බව අමතක කරන්න එපා. අවුරුදු 10ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මට සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳා ගැනීම ගැන හොඳ දැක්මක් තියෙනවා. යුද්ධය ගැන මතක් කරන්න එපා‍ අපි ඒක අමතක කරලයි දැන් සමඟිව ඉන්නේ.

ඔබ ජාතිවාදී ලෙස හුවා දක්වන පක්ෂ ඔබට විරුද්ධව නැඟී සිටියොත් ඔබට ජනතා සහයෝගයක් ලැබේවිද?

ජනතාව ඇත්ත තේරුම් ගනීවි. මම අස්ගිරි මල්වතු මහනායක හාමුදුරුවරු්‍න් එක්කත් හොඳ සබඳතාවක් ගොඩ නඟාගෙන තිබෙනවා. උන් වහන්සේලා දන්නවා මගේ අදහස් ගැන. මම නියෝජනය කරන ක්‍රමවේදය ගැන.

ඔබගේ පක්ෂය ඇරැඹීම පිටුපස කිසියම් දේශපාලන පක්ෂයක් පසුපසින් ඉන්නවද?

කිසිම කෙනෙක් මේ පක්ෂය පසුපස නැහැ. දෙමළ ජනතාවට නිවැරැදි නායකත්වයක් ලබා දී තනි වූ ඔවුන් වෙනුවෙන් කටයුතු කිරීමයි එකම අරමුණ වන්නේ.

දෙමළ ජනතාවගේ නිජබිම් සංකල්පයක් ගැන විග්නේෂ්වරන් කතා කරනවා. හමුදාව කඳවුරු පිහිටා ඇති ඉඩම් ඉල්ලනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

මම මුලින්ම කිව්වේ ඒකයි ඔහුගේ අදහස් ජාතිවාදීයි කියලා, නැඟෙනහිර ජනතාවගේ ඉඩම් සියල්ලම යළි ජනතාවට බාරදීලා තියෙන්නේ. ඇයි ඒ. අපි සාකච්ඡා කළා. හමුදාවට අවශ්‍ය ආරක්ෂක ස්ථාන ගැන අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. නමුත් විග්නේෂ්වරන්ට ඒ අවබෝධය නැහැ. එයා යන්නේ හැම තිස්සෙම බලහත්කාරයෙන් වගේ ලබා ගන්න. ආරක්ෂාව ගැනත් හිතන්න ඕන. ඒ දැක්ම ඔහුට නැහැ.

නමුත් විග්නේෂ්වරන් කියනවා උතුරේ හමුදා කඳවුරු අවශ්‍ය නැහැ කියලා. උතුරින් හමුදාව ඉවත් කරන්න කියන එකත් ඔහුගේ ඉල්ලීමක්.

විග්නේෂ්වරන් මොනවද ආරක්ෂාව ගැන දන්නේ. එයා යුද්ධ කරපු කෙනෙක්ද? ඕක තමයි දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්නෙ. සැබෑ දැක්මක් ඇති යමක් ගැන හරි අවබෝධයක් ඇති නායකයෙක් නැති එකේ අඩුව. ජාතික ආරක්ෂාවට අනිවාර්යෙන්ම හමුදාව උතුරු නැඟෙනහිර ඉන්න ඕන. දැන් නැඟෙනහිර කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ඇයි මේ උතුරේ විතරක් ප්‍රශ්නයක් කර ගන්නේ. තනිකරම දේශපාලන වැඩක්නේ.

උතුරු නැඟෙනහිර එකතු කිරීම ගැනත් වරින් වර කියැවෙනවා. ‍මේ තත්ත්වය ජාතික සමඟියට බාධාවක් නේද?

ජනතා කැමැත්ත අනුවයි සියල්ල සිදුවිය යුත්තේ. දෙමළ ජනතාව කැමැතියි උතුරු නැඟෙනහිර එක්ව තිබෙනවාට. නමුත් සිංහල ජනතාවත් මුස්ලිම් ජනතාවත් ඊට කැමැති විය යුතුයි. එහෙම නොකර තීරණ ගත්තොත් ඇති වන්නේ ගැටුමක් විතරයි.

ජාතීන් අතර එකමුතුව සමඟිය ඇති කරන්න ඔබ යෝජනා කරන්නේ කුමනාකාරයේ ක්‍රියාදාමයක්ද?

ජාති අනුව ආගම් අනුව බෙදී වෙන්වීම නෙමෙයි එකමුතුව රටක් හැටියට වැඩ කරන්න හැම කෙනෙක්ම සිහි තබා ගත්තානම් සමඟිය ඇති කරන්න පුළුවන්. නමුත් ඒකට දේශපාලනඥයන්ගේ සහාය අත්‍යවශ්‍යයි. ඔවුන්ට තමයි සමඟිය ඇති කරන්නත් නැති කරන්නත් පුළුවන් වෙන්නේ.

ඔබ නැවත පදිංචි කිරීම් නියෝජ්‍ය ඇමැති ලෙසත් කටයුතු කළා. නැඟෙනහිර අවතැන් ජනතාවගේ දැන් තත්ත්වය කොහොමද?

කිසිම අවතැන් කඳවුරක් නෑ. සියලු දෙනාම නැවත පදිංචි කර අවසන්. මම ජනතා නියෝජනය අකුරටම කළා. කිසිම භේදයක් වුණේ නැහැනේ. ආරක්ෂක ප්‍රශ්නත් නැහැනේ. මට අවශ්‍ය ඒ වගේ සාමකාමී පරිසරයක දේශපාලන ගමනක්.

උතුරු නැඟෙනහිර ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල දැන් සංවර්ධන වැඩ නැවතිලා කියලා ඇතැමුන් කියනවා, නමුත් මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග කිහිපයකම වැඩ පටන් ගත්තා

අපට නම් මේ රජයේ කිසිම සංවර්ධනයක් පේන්න නැහැ. උතුරු නැඟෙනහිර තිබුණු ශීඝ්‍ර සංවර්ධනය දැන් ඇන හිටිලා. මේ රජය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා හදාගෙන ආපු සංවර්ධන වැඩ විවෘත කරන එක විතරයි. මහින්ද මහතා තියපු සමහර මුල්ගල් තවම එහෙමමයි. ඒවා සංවර්ධනය කරන්න මේ රජයේ කිසිම උනන්දුවක් නැහැ.

මහින්ද රාජපක්ෂ මහතා දෙවරක් විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා. එතුමා තව දුරටත් දේශපාලනයේ යෙදී සිටිමින් මැතිවරණ තරග කිරීම ඔබ අනුමත කරනවද?

දේශපාලනයේ රැදී සිටීම හෝ නොසිටීම එතුමාගේ තීරණයක්. නමුත් එතුමාට තිබෙන ජනතා ප්‍රචාරය වැඩි වෙන බවයි අපට පෙනෙන්නේ.

ඔබ පවසන්නේ මේ රජය කිසිදු සංවර්ධන වැඩක් නොකරන බවයි

මේ රජයේ පළි ගැනීම් වැඩියි. මම ඉල්ලා සිටින්නේ පලි ගැනීම් නතර කරලා සංවර්ධනය කරන්න කියලා. හැම තැනම වර්ජන පිකටිං, බඩු මිල අහස උසට ගිහින් අද හාල් කිලෝ එකක් කීයද? මේවා ජනතාවට දරා ගන්න බැහැ. ඒ තත්ත්වයයි රජය තේරුම් ගන්න ඕන.

ඔබේ නව දේශපාලන පක්ෂයේ ගමන් මඟ කොහොමද?

මම පක්ෂයේ නායකයා, ලේකම්වරයා ලෙස ටී. කමලදාසන් මහතා පත් කර තිබෙනවා. ඔහු මානව හිමිකම් සම්බන්ධව කටයුතු කළ හොඳ දැක්මක් ඇති කෙනෙක්. ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවා පක්ෂය තර කරනවා.

පළාත් පාලන ඡන්දෙට තරග කරන්න එහෙම බලාපොරොත්තුවක් තියෙනවද?

අනිවාර්යෙන්ම තරග කරනවා,

ඔබගේ නැත්නම් පක්ෂයේ අනාගත බලාපොරොත්තු මොනවාද?

පක්ෂයේ බලාපොරොත්තුව නම් ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාටම සමඟිව දිවි ගෙවන්න පුළුවන් ක්‍රමවේදයක් ගොඩ නැඟීමයි.මගේ ලොකුම බලාපොරොත්තුවක් වෙන්නේ සිංහල ඉගෙන ගන්න එකයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress