කොසවෝ සමූල ඝාතක ‘රම්බෝ’ බේරාගත්  බෙන් එමර්සන් ශ්‍රී ලංකාවට පැමිණෙයි
Posted on July 20th, 2017

35 වැනි ජිනීවා මානව සැසිවාරය අවසන් වී ජුලි 10 වැනිදාට දින 17 කි. එහෙත් ශ්‍රී ලංකාවට ගැලවීමක්‌ නැත. මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ජුලි 10 වැනිදා මෙරටට තවත් එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු එවනු ලැබීය. ඔහු බෙන් එමර්සන් නැමැත්තෙකි.

එමර්සන් යනු එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ ත්‍රස්‌තවාදය පිටුදැකීමේ ක්‍රියාවලියට සම්බන්ධ විශේෂ නියෝජිතයායි. මොහු ශ්‍රී ලංකාවට පැමිණියේ කුමක්‌ සඳහාද? ඒ ශ්‍රී ලංකා රජය ත්‍රස්‌ත මර්දන ක්‍රියාදාමයක්‌ දියත්කළ ප්‍රදේශවල තත්ත්වය සහ මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සඳහා එකී ක්‍රියාදාමයක්‌ වෙතින් සිදුවූ හානිය ගැන සෙවීමටයි. දින පහක්‌ තිස්‌සේ මෙරට නතර වී සිටි බෙන් එමර්සන් ත්‍රස්‌තවාදී කටයුතුවලට සම්බන්ධව රැඳවුම් භාරයේ සිටින ත්‍රස්‌තයන් ත්‍රස්‌තවාදී ක්‍රියා පිළිබඳව දඬුවම් නියමවූවන් රඳවා ඇති මධ්‍යස්‌ථානවලට ගොස්‌ ඔවුන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

මෙයට අමතරව ඔහු ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රී ලංකා රජය බෙන්එමර්සන්ට හිටපු කොටි ත්‍රස්‌තවාදීන් හමුවීමට ඉඩදීම යනු ඉල්ලන් කෑමකි.

ඇමරිකානු රජය කිසිදු එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකුට ත්‍රස්‌තවාදීන් රඳවා ඇති ගුන්තනාමෝබේ සිරකඳවුරට යැමට ඉඩ දුන්නේ නැත. එසේම ඉන්දීය රජයද ත්‍රස්‌තවාදීන් රදවා ඇති සිරකගෙවල් එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් හමුවේ විවෘත කර නැත.

එහෙත් මෙරට රාජ්‍ය යාන්ත්‍රණය එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන්ට හිටපු කොටි හමුවීමටද ඉඩදී ඇත.

මෙම පසුබිම මැද බෙන් එමර්සන් හිටපු කොටියන් එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් සහ වෙනත් අතරමැදියන් සපයන තොරතුරු මත වාර්තාවක්‌ කෙටුම්පත් කර ඇත.

එම වාර්තාවේ අඩංගු තොරතුරු සත්‍යදැයි ඔහු විමර්ශනය කරන්නේ නැත. එහෙත් එම වාර්තා 2015 මාර්තු මස ආරම්භවන 37 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය වෙත ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කරන බව වාර්තාවී ඇත.

බෙන් එමර්සන් මෙරටට පැමිණියේ ජිනීවා යෝජනාව අනුව ශ්‍රී ලංකාවේ බෙල්ලට ශ්‍රී ලංකාව ලවා තොන්ඩුව දැමීමටය. එසේවූවත් මේ සැබෑ යථාර්ථය තේරුම් ගැනීමට මෙරට බලධාරීන්ට හැකිවී නැත. ඔවුන් සෙයිද්රාද් හුසේන් හමුවේ අන්ධයන් ලෙස කටයුතු කරති.

මේ තත්ත්වය මත මානව හිමිකම් කොමාසාරිස්‌ සෙයිද් රාද් හුසෙන් විසින් ශ්‍රී ලංකාවට අටවා ඇති උගුලේ ශ්‍රී ලංකාව ඇද වැටී ඇති අයුරු බෙන් එමර්සන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් තහවුරු විය.

එසේ වූවත් මෙරට දේශපාලකයන් සිතන්නේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවට යහපතක්‌ කිරීමට එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයා මෙරටට එවා ඇති බවයි.

එහෙත් මේ බෙන් එමර්සන් කවුද?

කොසවෝ විමුක්‌ති පෙරමුණ නැමැති බෙදුම්වාදී සංවිධානයේ ගරිල්ලා හමුදා නායකයකුවූ රවුෂ් හර්දිනාඡ් හෙවත් “රම්බෝ” නැමැත්තාට සර්බියානු සිවිල් ජනතාව සමූල ඝාතනය කිරීම ගැන යුද අපරාධ චෝදනා එල්ලවූ අවස්‌ථාවේ එම නඩුවෙන් බේරාගත්තේ බෙන් එමර්සන්ය.

ගර්දිනාඡ් සමඟ යුද අපරාධ චෝදනා එල්ලවූ තවත් ඇල්බේනියානු ගරිල්ලා නායකයන් දෙදෙනෙක්‌වූ ඉද්ජිප් බලාඡ් සහ ලහි බ්‍රහිමාඡ්ද යුද අපරාධ නඩුවෙන් ගැලවුනේ බෙන් එමර්සන්ගේ නීති තර්ක නිසාය.

එමර්සන් මෙම කොසවෝ සමූල ඝාතකයන් තිදෙනා බේරාගැනීමට අධිකරණය හමුවේ ඉදිරිපත් කළ තර්කය ඝාතනය කළවූවන්ගේ සිරුරු කොහේද යන්නයි?

එසේම සර්බියාවේ පැවැති මිලොසවික්‌ රජය ජාති සංහාරයක යෙදී ඇති බවත් කොසවෝ ජනතාවගේ හමුදාව විමුක්‌තිය සහ ස්‌වයං පාලනය සඳහා සටන් වැදුන බවත් බෙන් එමර්සන් අධිකරණය හමුවේ පවසා ගර්දිනාඡ් නැමැති කොසවෝ බෙදුම්වාදී නායකයාට යුද අපරාධ චෝදනා එල්ල කිරීම ගැන ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂකව සිටි කාලා ඩෙල් පොන්ටේ ගර්දිකාඡ්ගෙන් සමාව යෑදිය යුතු බව කියා සිටියේය.


එසේ නම් ශ්‍රී ලංකාවට පැමිණියේ “රම්බෝ” නැමැති කොසවෝ යුද අපරාධකරු බේරාගත් බෙන් එමර්සන් නොවේද?

මේ පසුබිම මැද එමර්සන් කෙරේ විශ්වාසය තැබිය හැකිද?

එමර්සන් විසින් කොසවෝ සමූල ඝාතකයා බේරාගැනීම ගැන සර්බියා රජයේ දැඩි දොaෂාරෝපණයට ලක්‌විය.

කොසවෝහි ජබිලානිකා ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වධ කඳවුරකදී සිරකරුවන්ට වධහිංසා පැමිණවීම, ඝාතනය කිරීමට සහ ම්ලෙච්ඡ ක්‍රියා සිදුකිරීම ගැන ගර්දිනාඡ්ට චෝදනා එල්ලවී තිබුණි.

කොසවෝ බෙදුම්වාදී නායක ගර්දිනාඡ්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන අතරේ සාක්‍ෂිකරුවන් 19 ක්‌ ඝාතනය වූ අතර ඒ ගැන ජාත්‍යන්තර අධිකරණය අවධානය යොමුකර නොතිබුණි.

මෙලෙස කොසවෝ සමූල ඝාතකයාව ජාත්‍යන්තර අධිකරණයෙන් ගලවාගත් බෙන් එමර්සන් අනතුරුව යුරෝපා මානව හිමිකම් අධිකරණයක යුගෝස්‌ලාවියාව සඳහාවූ ජාත්‍යන්තර අධිකරය රුවන්ඩා ජාත්‍යන්තර අධිකරණය සහ කාම්බෝජ ජාත්‍යන්තර අධිකරණයේ සේවය කර ඇත.

2005 වසරේදී මානව හිමිකම් කොමිසම විසින් වසර තුනක කාලසීමාවක්‌ සඳහා බෙන් එමර්සන් පත්කර එය දීර්ඝ කරනු ලැබීය.

2011 අගෝස්‌තු 1 දා සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිතයකු ලෙස පත්වූ එමර්සන් 2014 දී බ්‍රිතාන්‍යයේ ලිංගික හිංසා පිළිබඳ ස්‌ථාපිත මණ්‌ඩලයේ නීතිවේදියා ලෙස පත්විය.

එහෙත් ඔහුගේ සේවය අත්හිටුවීමෙන් පසු 2016 දී ඔහු සේවයෙන් ඉල්ලා අස්‌විය. එවන් පුද්ගලයෙක්‌ මානව හිමිකම් සහ ත්‍රස්‌තවාදය පිටුදැකීමේ එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ලෙස පත්කිරීම විහිළුවක්‌ නොවේද? ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂිකාව ලෙස කටයුතු කළ කාලාබේල් පොන්ටේ විසින් කොසවෝ බෙදුම්වාදී හමුදා නායක ගර්දිනාඡ් එරෙහිව සිවිල් වැසියන් ඝාතනය කිරීම ගැන චෝදනා ඉදිරිපත් කර තිබුණි. එසේම අත්අඩංගුවේ සිටි සිරකරුවන්ගේ වකුගඩු ඉවත්කර වෙනත් රටවලට යෑවීමේ ජාවාරමට ඔහු සම්බන්ධ වී තිබේ.

එසේම ගර්දිනාඡ් සර්බියානු සිවිල් වැසියන්ට වධහිංසා පමුණුවා මරාදැවූ බවට සර්බියාව චෝදනා එල්ල කළේය.

මේ පසුබිම මැද 2016 ඔක්‌තෝම්බර් මහ බ්‍රිතාන්‍ය මාධ්‍ය බෙන් එමර්සන්ට පිළිබඳව වාර්තාවක්‌ ප්‍රකාශයට පත්කරමින් ඔහුට ලිංගික හිංසන චෝදනාවක්‌ එල්ලවී ඇති බව කීවේය.

බී. බී. සී. ප්‍රවෘත්ති සේවාව මේ චෝදනාව ගැන පසුව පැවසුවේ එම චෝදනාව වසන් කිරීමට ක්‍රියාකර ඇති බවයි.

ලිංගික හිංසා විමර්ශනය පැවැත්වෙන මිලිබාන්ක්‌ ගොඩනැඟිල්ලේදී කාන්තාවක්‌ විසින් තමන්ට ලිංගික හිංසාවක්‌ සිදුකළ බව දක්‌වමින් බෙන් එමර්සන්ට චෝදනා කෙරුණි.

මේ චෝදනාවක්‌ සමඟම බෙන් එමර්සන් විමර්ශන මණ්‌ඩලයෙන් ඉල්ලා අස්‌විය.

සිය බිරියගෙන් පවා වෙන්වී සිටින එමර්සන්ගේ මේ අතීතය මුළුමනින්ම අබිරහසක්‌ විය.

එහෙත් මානව හිමිකම් කවුන්සලය ඔහු එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ලෙස පත්කිරීමක්‌ සමඟ යටගියාව හෙළිවිය.

එමර්සන් මෙරටට පැමිණියේ මුල්වරටය. ඔහු පොලිසිය, නීතිකටයුතු බලධාරීන් බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ නැවත පදිංචිකිරීම් සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ බලධාරීන් සමඟ පමණක්‌ නොව ජාතික ආරක්‍ෂාවට අදාලව ඉහල පෙළේ බලධාරීන් සමගද සාකච්ඡා පවත්වා ඇත.

මේ අතර යුද අපරාධ චෝදනා 37 ක්‌ එල්ලවූ කොසවෝ බෙදුම්වාදී හමුදා නායක ගර්දිනාඡ් බේරාගත් බ්‍රිතාන්‍ය නීතිවේදී බෙන් එමර්සන් සිය ශ්‍රී ලංකා සංචාරය ගැන ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්‌තවාදය පිටුදැකීමේ පිළිවෙත් සහ නීතිරාමුව මෙන්ම අදාළ ව්‍යවස්‌ථා පණත් කෙටුම්පත් කිරීමට සහ සකස්‌කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලබන ක්‍රියාමාර්ගයන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිරීතිවලට අනුකූල බව සහතික කිරීමේ අදහසින් රටේ ආරම්භ වී ඇති සාකච්ඡාවලට සහයදීමට පැමිණි බවයි.

එහෙත් බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව ඇතුළු රටවල් තම ත්‍රස්‌ත පණත් කෙටුම්පත් කිරීමේදී හෝ සංශෝධනය කිරීමේදී එමර්සන්ගේ සහය ලබාගෙන නැත.

එක්‌සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත එමර්සන් මෙරටට පැමිණි බවයි.

මානව හිමිකම් සහ ත්‍රස්‌තවාදය පිටුදැකීමේ එක්‌සත්ජාතීන්ගේ විශේෂඥයකු ලෙස පැමිණි එමර්සන්ගේ ශ්‍රී ලංකා සංචාරය මෙරට අභ්‍යන්තර කටයුතු වලට බරපතල මැදිහත්වීමකි.

අනුරාධපුර සහ වව්නියාව සිරගෙවල් පරීක්‍ෂාවට ලක්‌කර ඇති මොහු ත්‍රස්‌තවාදී ක්‍රියා පිළිබඳ සැකකරුවන් හෝ දඬුවම් නියමවූ හිටපු කොටි ත්‍රස්‌තවාදීන් සමගද සම්මුඛ සාකච්ඡාවලට සම්බන්ධ වී ඇත.

එහෙත් එම සාකච්ඡා පවත්වා ඇත්තේ හිටපු කොටි ත්‍රස්‌තයන් සමඟය.

මේ අන්දමට ලොව වෙනත් රටවල බලධාරීන් දඬුවම් නියමවූ ත්‍රස්‌තයන් සමඟ සාකච්ඡා කිරීමට එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයකුට ඉඩදේද?

බෙන් එමර්සන් ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකා රජය නව ත්‍රස්‌ත මර්දන පණතක්‌ කෙටුම්පත් කර තිබියදීය. එම පණතද ද්‍රවිඩ ජනතාව මර්දනය කිරීමට උපයෝගි කර ගත හැකි පනතක්‌ බව පවසමින් ද්‍රවිඩ සන්ධානය එය ඉවත්කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ගෙන් ඉල්ලා තිබිණි.

ඒ අනුව මානව හිමිකම් කවුන්සලයේ විශේෂ ක්‍රියා පරීක්‍ෂා අංශයට සම්බන්ධ බෙන් එමර්සන්ට මානව හිමිකම් කොමසාරිස්‌ හුසෙන් මෙරට එවා ඇත්තේ හරියටම සුදුසු අවස්‌ථාව බලා බව තහවුරු වේ.

බෙන් එමර්සන් පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය කළහොත් බ්‍රිතාන්‍ය නීතිවේදී මහාචාර්ය ඇලෙක්‌සිස්‌ ඡේ පැවසුවේ එමර්සන් උද්දච්ච මිනිසකු බවයි.

එසේම ලිංගික හිංසා පිළිබඳ විමර්ශනය කිරීමේ ස්‌වාධීන මණ්‌ඩලය හමුවේ සාක්‌කි දුන් සාක්‌කිකරුවකුවූ ඉසන් මැන්සේටන් පැවසුවේ බෙන් එමර්සන් විශ්වාසය තැබිය නොහැකි අයකු බවයි.

එසේ නම් එමර්සන් ශ්‍රී ලංකාව සම්බන්ධව සකස්‌ කරන වාර්තාව කෙරේ විශ්වාසය තැබිය හැකිද?

මේ හැර සෑම මානව හිමිකම් සැසිවාරයකටම පෙර මානව හිමිකම් කොමාසාරිස්‌ සෙයිද් රාද් හුසේන් එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු මෙරටට එවීමට ක්‍රියාකර ඇත.

ඒ අනුව ගතවූ කාලයේදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජිතයන් සිව්දෙනෙක්‌ මෙරටට එවා තිබේ.

මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් පසුගිය ජුලි 6 දා කිලිනොච්චියේ පිහිටි ද්‍රවිඩ සන්ධාන කාර්යාලයේදී මරාගෙන මැරුනු කළු කොටි බෝම්බකරුවන් සැමරීමට ක්‍රියාකළේය. වසර ගණනකට පෙර කැප්ටන් මිලර් නැමැති කළුකොටි බෝම්බකරුවා පුපුරණ ද්‍රව්‍ය අඩංගු ට්‍රක්‌ රියක්‌ නෙල්ලඩි හමුදා කඳවුර වෙත පදවා සිදුකළ විනාශය සැමරීම උදෙසා ශ්‍රීධරන් පැවැත්වූ එම සමරුව ගැන රජය කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගත්තේ නැත. පොලිසියද නිහඬ විය. අලිමංකඩ හමුදා කඳවුරට මරාගෙන මැරෙන ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ලකළ නාදන් නැමැති ත්‍රස්‌තයාගේ සොහොයුරා පහනක්‌ දල්වා මෙම කළු කොටි සමරුව ආරම්භ කර ඇත.

මේ කළු කොටි සමරුව සංවිධානය කළ ශ්‍රීධරන් යනු යාපනය හිටපු කොටි හමුදා නායක කියන්නේ සමීපතම ඥතියෙකි. එසේම ශ්‍රීධරන් මේ සතියේදී තමිල්නාඩුවේ භාරතීය ජනතා පක්‍ෂ ශාඛාවේ සභාපතිනි තමිලිසායි සවුන්ද්‍රරාජන්ව යාපනයට කැඳවනු ලැබීය. ඇය උතුරේදී මහ ඇමැති විග්නේස්‌වරන් සහ පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් සමඟ සාකච්ඡා පවත්වා ඇත. අනතුරුව ඇය කොටි ත්‍රස්‌තයන් මියගිය මුල්ලිවයික්‌කාලේ ප්‍රදේශයට යාමට සූදානම්වූවත් යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලයේ උපදෙස්‌ මත එම සංචාරය අත්හැර දැමීය.

ඉන්පසු යාපනයේ සිට කොළඹට එන අතරේ ඇය කිලිනොච්චි කන්දසාමි කෝවිල ළඟදී සිය මෝටර් රියෙන් බැස අතුරුදන්වූවන්ගේ ඥතීන් හමුවීමට ගොස්‌ ඔවුන්ගේ ඡායාරූප ගෙන ඇත.

පුද්ගලික සංචාරයක්‌ සඳහා මෙරටට පැමිණි තමිල්නාඩුවේ භාරතීය ජනතා පක්‍ෂ සභාපතිනිය උතුරේ මාධ්‍ය අමතමින් පවසා ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාවගේ ඉල්ලීම් ඉටුකරදීම සඳහා භාරතීය ජනතා පක්‍ෂ රජය කැපවන බවයි.

එහෙත් ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් දේශපාලකයකුට ඉන්දුකාශ්මීරයට ගොස්‌ මෙවන් ප්‍රකාශ කිරීමට ඉන්දීය රජය ඉඩදෙනු ඇතැයි කිවහැකිද?

කොටි රූකඩයක්‌වූ ද්‍රවිඩ සන්ධානය පුද්ගලික සංචාර මුවාවෙන් තමිල්නාඩු දේශපාලකයන් උතුරට ගෙන්වා තමා ඉදිරි ඉලක්‌ක සපුරාගැනීමට කටයුතු කරද්දී රජයේ බලධාරීන් සංහිඳියාව ගැන හඬ නගති.

මේ අතර කොළඹ කටුනායක දුම්රිය මග පුපුරවා හැරීමට උත්සාහ කිරීම පිළිබඳව චෝදනා ලැබ සිටි රාමනාදන් ජෙයරාම් නැමැත්තා නිදහස්‌ විය.

ඊට හේතුවූයේ ඔහුගේ පාපොච්චාරණයේ පරස්‌පර විරෝධි තැන් ඇති බව වාර්තා වීමය.

මේ අතර 2015 අප්‍රේල් මස ලනඩන් නුවර සිට ද්‍රවිඩ ඩයස්‌පෝරාව හෙවත් ඊලම් හිතවාදී ඩයස්‌පෝරාව අයි. බී. සී. ටැමිල් ටී. වී. නමින් රූපවාහිනී නාලිකාවක්‌ ආරම්භ කර ඇති බව අපි මුලින්ම අනාවරණය කළෙමු.

යුරෝබර්ඩ් චන්ද්‍රිකාව ඔස්‌සේ විසුරුවා හරින ලද මේ නාලිකාව මගින් ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ සාවද්‍ය චෝදනා ඇතුලත් වැඩසටහන් විකාශනය කෙරුණි.

ජිනීවා මානව හිමිකම් සමුළුව වෙතද මෙම නාලිකාව විසින් නියෝජිතයන් එවා තිබුණි.

පසුගිය බ්‍රහස්‌පතින්දා ගෝලීය ශ්‍රී ලංකා සංසදය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට ලන්ඩන් නුවර අයි. බී. සී. රූපවාහිනියේ නියෝජිතයකු සහභාගි විය. ඔහු සිංහල මාධ්‍ය අඳ බාලයෙකි. ආරංචි මාර්ග දක්‌වන අන්දමට කොටි ඩයස්‌පෝරාවට එරෙහිව සටන්වදින ගෝලීය ශ්‍රී ලංකා සංසදය රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට සිදුකරනදේ සහ කොටි ඩයස්‌පෝරාව එල්ලකරන අභූත චෝදනා ඇතුලත් වීඩියෝ පටයක්‌ද තිරගත කිරීමේ අවස්‌ථාවට එම අයි. බී. සී. නියෝජිතයා මෙන්ම කොටි හිතවාදී ද්‍රවිඩ පුවත්පතක නියෝජිතයන් දෙදෙනෙක්‌ පැමිණ සිටියහ.

මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය නම් මේ කොටි හිතවාදීන් එම අවස්‌ථාවන්ට ඇරයුම් කර තිබීමයි. මේ පාර්ශව මාධ්‍ය සාකච්ඡාවට පැමිණීම අනතුරුදායක තත්ත්වයක්‌ නොවේද? කොටි ක්‍රියාදාමයන් ගැන නොදන්නා පාර්ශවයක්‌ එම පිරිසට මාධ්‍ය සාකච්ඡාවට ගෙන්වා ඇතැයි අනාවරණය වී ඇත.

මේ අතර වඩමාරච්චි ප්‍රදේශයේදී පොලිසිය අණනොතකා ගිය වැලි ලොරියකට වෙඩි තැබීමෙන් එක්‌ තරුණයකු මියයාමේ සිද්ධිය උතුරේ රාජ්‍ය නොවන සංවිධාන විගස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යවා ඇත.

ශ්‍රී ලංකා පොලිසිය නිරායුධ ද්‍රවිඩයන් ඝාතනය කරන බව ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නුම් කිරීම එම රාජ්‍ය නොවන සංවිධානවල අරමුණ වී තිබේ. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සමඟ ප්‍රදේශය පුරා කලබලකාරී තත්ත්වය ඇති කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කර ඇත. පේදුරුතුඩුව පොලිස්‌ මුරපලකටද ප්‍රහාර එල්ලවී තිබේ.

මෙම සිද්ධිය ගැන යාපනයේ මානව හිමිකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි ටී. කනගරාඡ් නැමැත්තාද පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

මේ අතර කොටි හිස්‌ වැසුමක්‌ කූරියර් සේවාව හරහා ලන්ඩන් නුවරට යෑවීමට තැත් කළ නගුලරාසා සුබ්‍රමනියම් ඇතුළු තවත් තිදෙනකු නීතිපතිවරයාගේ උපදෙස්‌ මත නිදහස්‌ කර ඇත.

එසේම බෙන් එමර්සන් වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත ගොස්‌ හිටපු කොටි ත්‍රස්‌තවාදීන් පස්‌දෙනෙකුද මුණගැසී ඇති බව වාර්ථාවිය.

One Response to “කොසවෝ සමූල ඝාතක ‘රම්බෝ’ බේරාගත්  බෙන් එමර්සන් ශ්‍රී ලංකාවට පැමිණෙයි”

  1. Ratanapala Says:

    We commend the Minister for his forthrightness in confronting another piece of white trash who thinks they can forever ride roughshod over smaller countries like Sri Lanka. However Minister’s bravado will remain just bravado if it is not possible to follow up with the UN authorities through the right channels.

    Much cannot be expected knowing we have a President who is only looking after his own personal welfare and living from day to day to survive his illgotten presidency. And much cannot be expected knowing we have a Prime Minister whose only task is to fulfil the foreign agenda given to him by the Western Christian powers led by the US who engineered the Regime Change of Jan 2015 and his personal agenda to undo the Sinhala Buddhist establishment in Sri Lanka.

    If the Minister is genuine he should follow his righteous anguish against this International interloper by making contacts with countries similar to Sri Lanka who are at the receiving end of similar unwarranted intrusions and forming a common front, so that Sri Lanka will not be alone to face the wrath of the UNITED HYPOCRITES also called the United Nations!

    We need the backing of Russia and China on this matter. They are the ones who can make an impact at the UN, UN Security Council and other relevant UN Agencies. It is high time the world look up to another mechanism to rival the now defunct and corrupt UN!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress