ඇලෝසියස්‌ට ලංසු තබන්න මහ බැංකුවෙන් රහස්‌ තොරතුරු බිලියන 11ක්‌ ලාභ ලැබුවේ ඒනිසයි කොමිසමෙන් නොතීසි: භාර ගන්න ඇලෝසියස්‌ නැහැ – පර්පෙචුවල් ප්‍රධාන අලෙවිකරු බැඳුම්කර කොමිසමේදී පිළිගනී
Posted on September 6th, 2017

ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන උපුටා ගැන්ම දිවයින

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට පෙර නොවිරූ අසාමාන්‍ය අධික ලාභ උපයා ගැනීමට හැකි වූයේ එම සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබුණු අභ්‍යන්තර තොරතුරු (Inside Information) සහ මිල සංවේදී රහසිගත තොරතුරු (Price Sensitive Confidential Information) නිසා බව ඊයේ (06 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු මහතා පිළිගත්තේය.

2015 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්‌වා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම රු. බිලියන 11 ක (රු. කෝටි 1100 ක) පමණ අති විශාල අසාමාන්‍ය ලාභයක්‌ උපයාගෙන තිබුණු බවත් එම ලාභ උපයා ගැනීමට සමාගමට හැකි වූයේ අර්ජුන ඇලෝෂියස්‌ මහතා විසින් ලබාදෙන ලද එම මිල සංවේදී රහසිගත තොරතුරු සමාගමේ බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීමේ තීරණ ගැනීම සඳහා යොදාගත් නිසා බවත් සල්ගාදු මහතා කොමිසම හමුවේ පිළිගත්තේය.

අර්ජුන් ඇලෝෂියස්‌ මහතා භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී මහ බැංකුව විසින් ලංසු පිළිගන්නා මට්‌ටම පිළිබඳව අන්තිම දශමය දක්‌වාම දැන සිටි බවත් එය ඔහු මහ බැංකුවෙන් දැනගත් බවත් කොමිසමේ සාමාජික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා කීවේය.

එසේ ලංසු පිළිගන්නා මට්‌ටම පිළිබඳ අවසාන තීරණය ගන්නේ මහ බැංකු අධිපතිවරයා විසින් පමණක්‌ බව ද විනිසුරු ජයවර්ධන ඇසූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම කීවේය.

මේ අවස්‌ථාවේ මහ බැංකු අධිපතිවරයා වූයේ අර්ජුන ඇලෝෂියස්‌ මහතාගේ මාමා වන අර්ජුන මහේන්ද්‍රන් මහතා බව ද සාක්‌ෂිකරු කීවේය.

එසේම 2016.03.29 දින සේවක අර්ථ සාධක අරමුදල විසින් ලංසු ඉදිරිපත් කරන ආකාරය අවසාන රුපියලටම අර්ජුන් ඇලෝෂියස්‌ මහතා දැන සිටි බව ද සල්ගාදු මහතා කොමිසමේ සාමාජික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.

ඔහුට තොරතුරු ලබාදෙන අය එම ස්‌ථානවල සිටි බව ද සල්ගාදු මහතා පැවසූ අතර, ඒ ඉන්දික සමන් කුමාර නේදැයි විනිසුරු ජයවර්ධන ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එය සත්‍යයක්‌ බව ද සල්ගාදු මහතා කීවේය.

එසේම ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉදිරිපත් කරන ලංසු පිළිබඳ විස්‌තර නවීන් අනුරාධ විසින් ලබාදුන් බව ද සල්ගාදු මහතා පිළිගත්තේය.

ඇලෝෂියස්‌ මහතා විසින් තමා ලද මිල සංවේදී රහසිගත තොරතුරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාට ලබාදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ඒ අනුව භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි වලදී ලංසු ඉදිරිපත් කිරීමට එම අභ්‍යන්තර තොරතුරු සහ මිල සංවේදී තොරතුරු යොදාගත් බවට ද ඊයේ කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් නුවන් සල්ගාදු මහතා පිළිගත්තේය.

දුරකථනයෙන් එවැනි තොරතුරු ලබාදෙන අවස්‌ථාවක තමා අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සමඟ සිංගප්පූරුවේ සිටි බවත් එය නීති විරෝධී ක්‍රියාවක්‌ බව හැඟී ගිය නිසා තමා ඒ අවස්‌ථාවේදී අදාළ කාමරයෙන් පිටතට පැමිණි බවත් සල්ගාදු මහතා කීවේය.

කසුන් පලිසේන මහතා සහ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා අතර සිදු වූ පටිගත කළ දුරකථන සංවාදයක්‌ ඊයේ (06 දා) කොමිසම හමුවේදී වාදනය කර අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඒ පිළිබඳව අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා මේ බව ප්‍රකාශ කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress