ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ කතන්දර පරිච්ඡේදය
Posted on September 20th, 2017

 තේජා ගොඩකන්දෙආරච්චි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වැඩිමහලු දියණිය වන චතුරිකා සිරිසේන විසින් රචනා කරන ලද ‘ජනාධිපති තාත්තා’ නම් කෘතිය පසුගියදා දොරට වැඩියේය. මීට සමගාමීව කතුවරිය විසින් පවත්වන ලද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල සම්මුඛ සාකච්ඡාවන් බොහෝ ගණනක්ද දක්නට ලැබිනි.

නවකතාව (ඈ කියන පරිදි එය ‘චරිතප්‍රධානයක්’ නොව නවකතාවක ස්වරූපයෙන් ලියැවුනකි) දොරට වැඩීමට දින දෙක තුනකට පෙර, චතුරිකා සිරිසේනගේ ඡායා රූ ගත කිරීමක් එනම් ෆොටෝ ෂූට් එකක්ද සිදුකර එම පින්තූර මාධ්‍ය වෙතට නිකුත්කර තිබිනි. එය මෙන්ම පොත දොරට වැඩීමේ උළෙලේ සියලු සංවිධාන කටයුතු සිදුකර තිබෙන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකය විසිනි. ජනාධිපති මාධ්‍ය ඒකකයට අයවැයෙන් වෙන්වන මුදල් කාගේද? 2017 වසර සඳහා වූ අයවැයේදී අධ්‍යාපනයට සහ සෞඛයට වෙන්කල පිරිවැය 50% ක ප්‍රමාණයකින් කප්පාදු කල බවත්, ජනාධිපති සහ අගමැති කාර්යාල සඳහා වූ පිරිවැය තුන් ගුණයකින් ඉහල නැංවූ අයුරු ඔබට සිහි විය යුතුය. මදි හරියට මෙම කෘතිය ‘ජනාධිපති පියෙකු පිලිබඳව දියණියක විසින් රචනා කරන ලද පළමු කෘතිය’ ලෙස ඉතිහාස ගත කරන්නටද ඔවුන් උත්සුක වූහ. හරිනම් කෘතියක් එලි දැක්වීමට පෙර ලේඛිකාව විසින් මහජන මුදලින් ෆොටෝ ෂූට් කර මෝස්තර සන්දර්ශනයක්ද පැවැත්වූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය ඉතිහාස ගතවිය යුතුය.

චතුරිකාට අනුව නම් ඇගේ පියා ඉතාම සාමාන්‍ය ගොවි පවුලක ඉපිද, ජනාධිපතිකම දක්වා පැමිනි ඉතාම සරල මිනිසෙකි. මේ දරුවන් ජනාධිපති මැදුරේ එක රැයක් ගතකර නැත. තාත්තා තවමත් කන්නේ අම්මා අතින්ම උයා පිහා, කෙසෙල් කොලයේ ඔතා දෙන බත් එකයි. කෙසෙල් කොලයේ එතූ, මිල අධික වූ ‘ලම්ප් රයිස්’ නොහොත් සිංහලෙන් කියනවා නම් ‘බත් ගෙඩිය’ අනුභව කරන ලොකු ලොක්කන් ඕනෑ තරම් සිටිති. හැබැයි මෙතැන ඇති විශේෂය ඒ ලම්ප් රයිස් එක හැදෙන්නේ ජනාධිපති ආර්යාව අතින් වීමයි.

පොත නොකියවා මේ පොතේ අන්තර්ගත කරුණු ගැන අදහස් පල කිරීම අසීරුය. මා යම් කරුණු අහුලා ගත්තේ චතුරිකා සිරිසේනගේ කෘතිය පිලිබඳ සම්මුඛ පරීක්ෂණ එකක් නෑර කියවා බැලීමෙනි. ඒ කෙසේ වෙතත් එක දෙයක් කිව හැකිය. ජනාධිපති වුව, චතුරිකාට මෛත්‍රීපාල සිරිසේන යනු තාත්තාය. නමුත් ජනතාවට ඔහු රටේ නායකයා වුව, තවත් එක දේශපාලකයෙකු පමනි. තාත්තෙකු අතින් තීරණය වන දරුවෙකුගේ අනාගතය සහ, බලය හමුවේ ගිනිකණ වැටුනු නව යුගයේ දේශපාලකයෙකු අතින් තීරණය වන රටක අනාගතය අහසට පොලව මෙන් වෙනස්ය. එමෙන්ම තම දරුවන්ගේ ක්‍රියා පටිපාටිය, ජනාධිපතිවරයාට තාත්තෙකුගේ ඇසින් බැලූකල සාධාරණ විය හැකි නමුදු, සාමාන්‍ය ජනතාවට එසේ නොපෙනීම පුදුමයක් නොවේ. පොත එලි දැක්වීමට පෙර ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් කල චතුරිකාගේ ෆොටෝ ෂූට් එක මෙන්ම පොත දොරට වැඩීමේ උත්සවයද එවන් ක්‍රියා පටිපාටියක කැපී පෙනෙන අංගයන්ය. ජනාධිපති මාධ්‍ය ඒකකය හරහා මේ විගඩම්වලට වැයකලේ මහජන මුදල්ය. මේ මුදල් වැය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතියද අවශ්‍ය වන අතර, ඒ අනුව බලන කල දුව මෙන්ම තාත්තාද කියන තරම් සරල නැත. මෙවන් ප්‍රචාරයකට ජනාධිපති මාධ්‍ය ඒකකය හරහා මුදල් යෙදවීම තුල තම ප්‍රතිරූපය වෙනස්ම ආකාරයකට ගොඩ නගා ගැනීම උදෙසා ජනාධිපති සිරිසේන තුල වන කැමැත්ත පැහැදිලිව පෙනේ. මේ පෙත එලිදැක්වීමේ සිදුවීම් දෙස මතුපිටින් බලා අපට මෙසේ කතාකල හැකිය. නමුත් ඇතුලතින් මොන මොන කතන්දර ඇත්ද කියා කවුරු දනිත්ද?

2014 නොවැම්බරයේ ඔහු හිටපු ජනාධිපතිවරයා සමග එකට ආප්ප කා, එලියට බැස, පොදු අපේක්ෂකත්වය භාරගත් කරුණ ජනතාව දකිනුයේ චතුරිකා දකින ඇසින් නම් නොවේ. ඒ තුල ඔහු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඇතිකල බෙදීම අදටත් ඉවරයක් නැත. මොකද්දෝ හේතුවකට මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණ පැවැත්වීම දිනෙන් දින කල් දමන නිසා මිසෙක එක්සත් ජාතික පක්ෂය උඩ පැනගෙන මැතිවරණයට ලැහැස්ති වන්නේ කල දුටු කල වල ඉහ ගැන්මට බව මේ දුවට නොවැටහෙන්නේ ඇයි? මේ ජනාධිපති තාත්තාගේ ක්‍රියා කලාපය තුල ශ්‍රී ලාංකික දේශපාලනයම විහිලුවක් බවට පත්වූ අතර, හොරුන් නැති බංගස්තාන කරන බවට පාරම් බාමින් ජනතා කැමැත්ත තමන් වෙතට හරවා ගත්තෝය. ඊලඟට ඔවුන්ම පට්ට ගැසූ හොරුන්ගෙන්ම කොටසක් ඇමතිකම් වරදාන ප්‍රදානය කරමින් බිලී බා ගත්තේ තම බලය පවත්වා ගැනීම පිනිසය. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යලි පාස්සනු නොහැකි ලෙසින් කඩතොලු කලේය. ඔහු ඔය කියන තරම් සරල, සාධාරණ අයෙකු නම් තම ප්‍රතිවාදියා වන මහින්ද රාජපක්ෂගේ කැරැට්ටුව පතුරු අරින්නටත්, ඒ හා සමානවම හෝ ඊටත් වැඩි යහපාලන රජයේ වංචාකාරීන් කර උඩ තබා ගන්නටත් කටයුතු කරනුයේ කෙසේද? රවි කරුණානායකගේ නීල හොරකම් ඇස් පනාපිට ඔප්පු වී තිබියදීත් ‘ඔහු ජනතාවට ආදර්ශයකි’යි පවසනුයේ මෛත්‍රීපාල සිරිසේනගේ යහපාලන දීගයේ සම කොටස්කරුවා වන අගමැති රනිල් වික්‍රමසිංහය. මෙතැන ඇති එකම හේතුව බලයට ඇති නොසන්සිඳෙන ආසාවයි. දියණියට හෘද සාක්ෂිය කියා දෙයක් ඇති නම් මේ ගැන විවේචනයක් ඈ ලඟද තිබිය යුතුය.

 දුව පවසන පරිදි තාත්තා 71 කැරැල්ලට හසුව, සිරබත් කා, මාංචු පිටින්ම උසස් පෙලට ලියා ඇත. මේ කතාවල ඇත්ත නැත්ත දන්නේ තාත්තාම පමනි. මගේ මතකයේ හැටියට, තමා ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගත්තේ 1968 දී බව සෑම පක්ෂ සංවත්සර රැස්වීමකදීම ඔහු පවසයි. එසේ නම් ශ්‍රීලනිප රජයක් පවතිද්දී ඔහු ජවිපෙ සැකකරුවෙකු ලෙස මාස 15 ක් සිරගතවසිටියේ කෙසේද? ඔහු නිදහස ලැබූ වහාම අනුර බණ්ඩාරනායක සාමාජිකත්වය දැරූ සමස්ත ලංකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යොවුන් පෙරමුනේ ලේකම් තනතුරට පත්ව ඇත. එවන් තනතුරක් ලබාගැනීමටද අනිවාර්යයෙන්ම යම් දීඝර්‍ කාලීන පලපුරුද්දක් හා පක්ෂය තුල පිලිගැනීමක් තිබිය යුතුය. ලේඛණගතව ඇති ආකාරයට ඔහු පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත්තේ 1978 දී ය.

චතුරිකාට අනුව ළමාවියේ සිටියත් ඈට 80 දශකය අග භාගයේදී ශ්‍රී ලංකාවේ සිදු වූ තරුණ නැගිටීම මතකයේ ඇත්තේ ඒ වන විට පියාගේ දේශපාලනයද යම් තත්වයක තිබූ බැවිනි. මෙය – දෙදෙනාම පෙනෙන ආකාරයට සම වයසේ නිසා – චතුර සේනාරත්නගේ මතකය බඳු නොවේවා කියා ප්‍රාර්ථනා කරමි. කෙසේ වුව දුවට ඒවා මතක ඇත්නම්, ඒ වනවිට වයස තිස් ගණන්වල පසුවූ පියාට (අද වනවිට මතකයේ යම් ආබාධයක් මතුව නැත්නම්) ඒ සිදුවීම් මතකයෙන් ගිලිහී යන්නට ක්‍රමයක් නැත. එකල පැවති එජාප රජයේ ක්‍රියාකාරකම්ද, බටලන්ද වධකාගාරය වැනි ඉතිහාසගත ජීවමාන අපායවල නිර්මාතෘන් ගැනද හොඳින් දන්නා ඔහු 2014 දී ඒ සා වැදගත් තීරණයක් ගෙන වරක් අප රට විසාලාවක් බවට පත්කල වුන්ගේම දෑතට භාර දුන්නේ බලය ඉදිරියේ තමා පෙනෙන තරම් සරල නොවන බව ඔප්පු කරමින් නොවේද?

අද පක්ෂයේ සභාපති ලෙස, සිරිමාවෝ බණ්ඩාරනායක පිලිරුවට මල්මාලා පලඳන විට ඇගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට තරම් දරදඬු වූයේ කවුද යන්න ඔහුට අමතකව ඇති සේ ය.

ඒ ජනාධිපතිවරණයට පෙර එවකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හිමිව තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කැමැත්ත පරිදි, ව්‍යවස්ථාව වෙනස් කරමින් තමන්ට තුන්වන වාරය සඳහාද බලය ඉල්ලීමට හිටපු ජනාධිපතිවරයා පෙලඹුන ආකාරය පමන ඉක්මවා යාමක් බවත්, කිසිසේත්ම සාධාරණීකරනය කල නොහැකි බවත් සැබෑවකි. නමුත් එයට විසඳුම ලෙස තමා බලයට පත්වූ විගස ව්‍යවස්ථාවට පිටින් ගොස් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැතිව සිටි එජාපයට බලය ලබාදී රනිල් වික්‍රමසිංහ ඇතුලු එජාපයේ මනදොල සැපිරීමද කිසිසේත් පිලිගත නොහැක. පලමු දින සියය කෙසේ වෙතත් 2015 අගෝස්තුවේ එළැඹුනු මහ මැතිවරණයේදී පක්ෂයක් ලෙස යම් භේද බින්නකම් අතහැර ශ්‍රීලනිපය ජයග්‍රහණය කරවීමට ඔහුට අවශ්‍යතාවයක් ඇති බවක් පෙනුනේ නැත.

ඔහු සතුව ඔයකියන තරමේ දේශපාලන බුද්ධියක් හා සංවිධාන ශක්තියක් වී නම් හිටපු ජනාධිපතිවරයාගේ තෙවන වර ඉල්ලීමේ අපේක්ෂාව පරදවාලන්නට කටයුතු නොකලේ ඇයි? මේ යෝජනාවට නොඅනුමානවම මොහුද අත ඔසවන්නට ඇත. මේ යෝජනාවේ ඇති හරි වැරැද්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පහදා දෙන්නට කෙනෙකු සන්ධානයේ නොසිටි බව පැහැදිලිය. එසේ වූයේ බියකට වඩා කවුරුන් හෝ බලයේ සිටින කෙනා මුරුංගා අත්තේ තබා ඒ ඔස්සේ තම බඩ වඩා ගැනීම මේ මැති ඇමති ගොල්ලගේ එදත් අදත් ප්‍රතිපත්තිය වී ඇති බැවිනි.

මෑතකදී විජිත් විජිතමුණි සොයිසා ඇමතිවරයා පැවසූ පරිදි එකල ඔවුන්ට සිදුවී තිබුනේ හිටපු ජනාධිපතිවරයාගේ අධෝමුඛය සිඹ සිඹ ඉන්නටය. ඔහුට එසේ කරන්නට බලකලේ කවුද? ජනතාව නම් නොවේ. ඒ ඔහුගේම තෝරා ගැනීමයි. ඔහු කියන පරිදි ‘පුෂ්පෙට පොල්, මට වල්’. තමන් ලද ඇමතිකම ඔහුගේ තත්වයට මදි වූයේ එලෙසය. තමාට එසේ ඇමතිකම සම්බන්ධ මදි පුංචිකමක් දැනුනා නම්, ඉන් ජනතාවට වැඩක් කරන්නටද බැරි බව වැටහුනා නම්, ඔහුට පිට කොන්දක් ඇතියෙකු ලෙස ඉල්ලා අස්වන්නට තිබිනි. එසේ නොකර නායකයාගේ අධෝ මුඛය සිඹ සිඹ කල් යල් බැලූ ඔහු නායකයා පැරදුන පසු අනිත් පසට එකතු වූයේ එම ප්‍රතිපත්තියම ඉදිරියට ගෙන යන්නට මිස වෙන කුමකටද? චතුරිකාගේ ජනාධිපති තාත්තා, රනිල් තමාට අත්කර දුන් වාසනාවට කලගුණ සැලකුවේ, බලය සඳහා ඕනෑම අයෙකුගේ අධෝ මුඛය සිඹ සිඹ ඉන්නට සැදී පැහැදී සිටින, ජනතාව වෙතින් ප්‍රතික්ෂේප කෙරුනු මෙවන් පුස්සන් රැලක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට කැඳවා ගනිමිනි.

ඇත්තෙන්ම සන්ධාන මන්ත්‍රීවරුන් කොටසක් විරුද්ධ වූයේ මොහු එජාපය සමග ඇරඹූ දීගයටය. 2015 අගෝස්තු මැතිවරණයේදී මෛත්‍රී පිලෙන් පතුරු ගැසුනේ මහින්ද පිල මිස එජාපය නොවේ. බලය ඇති තැනට එක් රොක් වනුයේ බලයේ රස වැටුනු බඩජාරියන්ම මිස වෙන කවුරුන්ද? තම පියා ජනාධිපති වේ යැයි සිහිනයක් තමාට කිසි දිනෙක නොවූ බව දුව පවසයි. දුවට තබා එවන් සිහිනයක් තාත්තාට වත් තිබෙන්නට නැත.ඉතින් එවන් අනපේක්ෂිත රජ පුටුවක තමාව හිඳවූ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප නඩයට කළගුණ සැලකීම ඔහුගේ න්‍යාය පත්‍රයේ අංක එක වනු ඇති බව නියතය. අද ඔහු මහින්ද හිතවාදීන් ලෙස සැලකෙන, ජනතා මනාපය වැඩිපුර ලබාගත් පිරිස එකිනෙකා කප්පාදු කරමින්, නෙරපා හරිමින් ගමන් කරන්නේ මේ න්‍යාය පත්‍රය ඔස්සේය. පක්ෂය තුල සිදු කෙරෙන මේ සෝදා පාලු ප්‍රතිසංවිධානයේ අරමුණ පැහැදිලිය. ඒ දෙවන වතාවටද බලය ලබා ගැනීම මිස අන් කවරක් නොවේ.

ජනාධිපති මැදුරේ රැයක් නොගෙව්වාට, ජනාධිපති දියණිය මිලදී ගත් අති සුඛෝපභෝගී නිවාස, ක්‍රිකට් ආයතනය ඇතුලුව රජයේ දැන්වීම් එකක් නෑර ලැබෙන ඇගේ දැන්වීම් ආයතනය ආදිය ජනතාවට රහසක් නොවේ. සරල ජනාධිපති තාත්තා හෙලිකොප්ටර්වලින් හෝ රථ දහය පහලව සහිත පෙරහරවලින් ගමන් යද්දී, මේ සරල මිනිසාගේ දියණියටද රාජ්‍ය උත්සවයන්හිදී සම්මතයට පිට යමින් රතු පලස එලනු ලබයි. පසුගිය දිනෙක වකුගඩු රෝගයට ප්‍රතිකාර ගන්නට ගිය මිනිසුන් දෙදෙනෙකු, අපරීක්ෂාකාරීව පැදවූ තම සුඛෝපභෝගී රියට යටකර මරාදැමූ බාප්පා, ඔවුන්ගේ ආදායමේ හැටියට කජු ඇට, කොස්ඇට ගණනට වැටෙන රුපියල් ලක්ෂයක් වැනි සොච්චම් මුදලකට අැප පිට මුදා හැරුනේ තම පියාගේ තනතුර හමුවේ නීතියද නැමෙන බව ඔප්පු වන කරවමින් චතුරිකාට නිකමට හෝ සිතුනාද?

පොතේ පිදුම මෙතෙක් සිටි ජනාධිපතිවරුන්ගේ දියණියන්ටය. ඉන් ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයාගේ දියණිය අද ජීවතුන් අතර නැත. සිටියත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සරල මිනිසෙකුගේ සරල දියණියකව සිටි ඈට නම් තාත්තාගේ පම්පෝරිය ගසා පොත් ලියා ඉතිහාස ගතවීමේ උණක් නොතිබෙන්නට ඇත. පොත දොරට වැඩීමේ උත්සවයට ජැන්ඩි පහට සැරසී පැමිනි ප්‍රේමදාස දියණියද පොතක් ලබා ගත්තාය. එදා ඒ අම්මලා දුවලා ඒ ජනාධිපති තාත්තාගේ බලතල භාවිතා කල හැටි අමතක නැති ජනතාවක්ද තවමත් ඇති බව නිසැකය. එමෙන්ම චතුරිකා සහ ඇගේ සොයුරු දහම්හට හෘද සාක්ෂියක් ඇතිනම්, තමන් කරන කියන දේ පිලිබඳව නියම අරුත තමන්ටම වැටහෙනු ඇත.

දුවගේ පොත දෙස ආදරයෙන් බලන පියා මෙන්ම, පියාව සතුටු කරනු වස් ඔහුගේ අධෝ මුඛය සිඹින්නට වුව සූදානම්ව සිටින හෙංචයියලාද මේ පොත දකිනු ඇත්තේ පියෙකු වෙනුවෙන් දුවකගේ සිතේ මතුවූ දයාබර හැඟුම් සමුදායක් ලෙසයි. එයද සැබෑවකි. එහෙත් මොවුනට අමතකව යන්නේ මේ මව් පිය දූ දරු ආදරය සියලු මනුෂ්‍ය ගණයාට පොදුය කියාය. එය රාජපක්ෂලාටද අදාලය.

නමුත් රාජපක්ෂලා වේවා, සිරිසේනලා වේවා තම මව් පිය දූ දරු සෙනෙහස නිසා තම දූ දරුවන්ගේ අපේක්ෂාවන්, ආශාවන් මුදුන්පත් කර ගැන්මට තම දේශපාලන බලයද, මහජන මුදල්ද යොදා ගන්නේ නම් එය ඉතාම අසාධාරණ වන්නේ, තමන් ලඟද දු සෙනෙහස උතුරා යන්නට තිබුනත් ඊට සවි ශක්තියක් නැති මව්පියන් ලක්ෂ ගණන් අප රටේ සිටින බැවිනි. මෙයට චතුරිකාගේ තොරතුරු තාක්ෂණ උපාධියද, නාමල්ගේ නීති උපාධියද, චතුරිකාගේ පොත් ලිවිල්ලද, නාමල්ගේ රගර් ගැහිල්ලද යන්න අදාල නොවේ. විශේෂ වරප්‍රසාද යන වචනය මින් එක අයෙකු සඳහා යෙදේ නම් එයම අනිත් අය වෙනුවෙන්ද පොදු යෙදුමක් වනු ඇත.

එබැවින් මහජන මුදල් යොදාගෙන වත්මන් ජනාධිපති දියණිය විසින් සිදුකරන මේ පීතෘ වන්දනය සහ ප්‍රතිරූප ගොඩනැගීම දෙස පසුගිය සමයේ දේශපාලන දරුවන්ගේ ක්‍රියාකාරකම්වලට වඩා වෙනස් විදියකට බැලුවොත් එය අනිකුත් දේශපාලන දූ දරුවනට කරන අසාධාරණයකි.

එහෙමය කියා එදා වූ වැරදිඅපට සුලුවෙන් තකන්නට බැරිවා මෙන්ම, මෙහෙමය කියා අද සිදුවන අවභාවිතාවන්ද සරලව බලා ඉවත ලිය නොහැකිය.

One Response to “ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ කතන්දර පරිච්ඡේදය”

  1. Kumari Says:

    Sirisena tried to groom the thug boy Daham. He was also taken to the UN. Failing that now the daughter. From what the author says there don’t seem to be much difference between Chathurika and Chathura (Senaratne).

    The then UNP has to bear lot of responsibility for the destruction of Anura Bandaranayake. Now they are supporing this good for nothing President knowing very well that without his the UNP will never win an election.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress