කාන්තා නියෝජනයේ 25% අහිමි වන්නේ පළාත් පාලන ආයතන 15 කට පමණයි.  ආයතන වලින් 96% ක කාන්තා නියෝජනයේ 25% ස්ථාපනය වෙනවා
Posted on March 4th, 2018

පුවත්පත් නිවේදනය කැෆේ සංවිධානය

ඡන්ද විමසීම පැවති පළාත් පාලන ආයතනන 340 කින් ආයතන 325 කම 25% ක කාන්තා නියෝජනය තහවුරු කිරීමට හැකියාව ලැබී තිබේ.  එය 96% ක ප්‍ර‍තිශතයකි.  කාන්තා නියෝජනය 25% ක් නොමැතිව ස්ථාපනය වන්නේ පළාත් පාලන ආයතන 15 ක් පමණී. එයින් බහුතරයක් උතුරු – නැගෙනහිර පලාතේ පිහිටා තිබේ.   සංස්කෘතික හේතු නිසා කොට්ඨාශ මට්ටමින් කාන්තාවන් ජයග්‍ර‍හණය නොකිරීමේ ප්‍ර‍තිඑලය පළාත් පාලන ආයතනයේ 2 හා 3 වන ස්ථාන සදහා පත්වන කණ්ඩායම් වෙත දැරීමට සිදුවේ. මෙවර ඡන්දයේ දී පොහොට්ටුව පක්ෂයට අති දැවැන්ත ජයග්‍ර‍හණයක් හිමිවීමේ ආන්තික තත්වයතුල,  25% ක කාන්තා නියෝජනය තහවුරු කිරීමේ දී වැඩි දායකත්වයක් දැරීමට දෙවන ස්ථානයට පත් වූ එජාපයට සිදුව තිබේ. 

කොටගල, පේදුරුතුඩුව, මන්නාරම, මුසලි, වෙරුගල්, ත්‍රිකුණාමල නගරය සහ කඩවත්, තඹලගමුව, මුත්තූර්, වනාතවිල්ලුව, කරෙයිතිව්, පදියතලාව, තිරුක්කෝවිල්, මන්මුනෙයි යන ප්‍රාදේශීය සභා 13 ද, ත්‍රිකුණාමලය හා කින්නියා නගර සභා 2 ද පමණක් කාන්තා නියෝජනය 25% නොමැතිව ස්ථාපනය වන පළාත් පාලන ආයතන වෙති. පළාත් පාලන ආයතන 325 කම 25% ක අවම කාන්තා නියෝජනයක් පවතී.  එය මෙයට පෙර පැවති 1%ක් පමණ වූ ප්‍ර‍මාණය හා සැසදීමේ දී ඉතා යහපත් තත්වයකි.

පළාත් පාලන ආයතනයක සභික ධූර 3 ක් සහ 20% ක ඡන්ද ලැබූ දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන පනතට අනුව, 25% ක කාන්තා නියෝජනය තහවුරු කිරීම සදහා අනිවාර්යයෙන්ම කාන්තා නියෝජිතයින් තෝරා පත් කර එවිය යුතුය.

25% ක කාන්තා නියෝජනයක් කෝට්ඨාශ මට්ටමින්ම ස්ථාපනය වී ඇත්තේ මහරගම නගර සභාවේ පමණී.  කොට්ඨාශ සියල්ලම ජයග්‍ර‍හණය කළ මෝටර් බයිසිකලය ස්වාධීන කණ්ඩායමේ බහුතරයක් කාන්තාවන්වීම නිසා අතිරේක ලැයිස්තුව අවශ්‍ය පරිදි පුරවා ගැනීමට දේශපාලන පක්ෂවලට හැකියාව ලැබී ඇත. අනුරාධපුර නගර සභාවට අවම කාන්තා කොට්ඨාශ තරග කිරීමේ අවශ්‍යතාව 2 ක් විය. නමුත්, පොහොට්ටුව පක්ෂය එහි කාන්තාවන් 4 ක් ඉදිරිපත් කළ අතර, ඔවුන් සියලු දෙනා ජයගෙන ඇත. එබැවින් සියලු පක්ෂවලට අතිරේක ලැයිස්තුවෙන් නිදහසේ සභිකයින් පත් කිරීමේ අවස්ථාව හිමිවී ඇත.

කුණ්ඩසාලේ ප්‍රා.ස. හි සභික සංඛ්‍යාව 41 කින් කාන්තා නියෝජනය සදහා සභිකයින් 10 ක් අවශ්‍යය.  කොට්ඨාශ ජයග්‍ර‍හණය කර ඇත්තේ කාන්තාවන් 3 කි. එජාපයට අතිරේක ලැයිස්තුවේ සභික ධූර 7 ක් හිමිවන අතර ඒ 7 ම කාන්තාවන් විය යුතුය.  ඒ අනුව, කුණ්ඩසාලේ කාන්තා නියෝජනයේ 70%  ක් එජාපය විසින් දරනු ඇත. දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ එජාපයට අතිරේක ලැයිස්තුවේ සභික ධූර 7 න් 6 ක්ම කාන්තාවන් විය යුතුය. 

කාන්තා නියෝජනය හේතුවෙන් පලාත් පාලන ආයතන ස්ථාපනය කිරීමට කල් ගත වන්නේය යන අදහස නිවැරදි නොවේ.  අද වන විට පරාජිත දේශපාලන පක්ෂ හා එහි දේශාලන වියවුල් සහ කුමන පක්ෂය පශ්චාත් මැතිවරණ සන්ධානගතවීම් සිදු කරන්නේ ද යන්න පලාත් පාලන ආයතන ස්ථාපනය කිරීමට අවහිරයක් වී ඇත.

කාන්තා නියෝජනය අනවශ්‍ය ගැටලුවක් බවට පත් කර ඇත්තේ අද පවත්නා දේශපාලන අස්ථාවරත්වය ගැන වන අවධානය වෙනතකට යොමු කිරීම සදහා බව කැෆේ සංවිධානයේ අදහස යි.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

2018 මාර්තු 4

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress