‘විසිවැනි සංශෝධනය කෙටුම්පත් කර ඇත්තේ වැස්සකටවත් නීතී විද්‍යාලයකට ගොඩ නොවුණ කෙනෙක්‘ – ගම්මන්පිල
Posted on May 28th, 2018

විනීතා එම් ගමගේ උපුටාගැණීම ලංකාදීප

විසි වන සංශෝධනය කෙටුම්පත් කර ඇත්තේ වැස්සකටවත් නීති විද්‍යාලයකට ගොඩ නොවුණු කෙනෙක් විසින් යැයි බිය නැතිව කිව හැකියැයි  පිවිතුරු හෙළ උරුමයෙ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය. 

එකී කෙටුම්පත අඩුපාඩු පිරි එකක් බවත් තමන් හඳුනා ගත් අඩුපාඩු 9ක් තිබු බවත් කී ගම්මන්පිල මහතා එය පොඩි එකාගේ ලියුම වගේ යැයි ද පැවැසීය. 

මේ කෙටුම්පත පිළිබඳ විවාදයක් පැවැත්වුණහොත් එකින් එක එම අඩුපාඩු පැහැදිලි කළ හැකි යැයි ද හෙතෙම කියා සිටියේය. 

කෙසේ වෙතත් මේ සංශෝධනය කරන්නට යන්නේ රටේ උත්තරීතර නීතිය මිස පොඩි එකාගේ ලිපිය නොවන බව ජවිපෙට මතක් කර දිය යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ දී අද  (28) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද කීය. 

‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටක තිබෙන උත්තරීතර නීතිය.  එම ව්‍යවස්ථාවේ වැරදි වෙනසක් කළොත් රටම අවුලෙන් අවුලට යනවා.  ඒ නිසා ව්‍යවස්ථාව ගැන ටිකක් දන්න අය ව්‍යවස්ථාවට අත තියන්න බයයි.  ඒක විෂය පිළිබඳ විශේෂඥයින්ට භාර දෙනවා.  

නමුත් මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අය බය නැතුව ව්‍යවස්ථාවට සංශෝධන ගේනවා.  මොකද ඒ අය කරන දෙයින් රටට විය හැකි අනතුර පිළිබඳ මෙලෝ අවබෝධයක් නැති නිසා.  මේක හරියට පණ්ඩිතයින් පය ගහන්න බය තැන මෝඩයෝ බඩ පිනුම් ගහනවා වගේ වැඩක්.

ගැඹුරු නීතිමය කාරණා පැත්තකින් තියලා සරල උදාහරණයක් කියන්නම්.  මේ කෙටුම්පත අනුව විධායක ජනාධිපති ධූරය අහෝසි වන්නේ 2020 ජනවාරි 09 දිනයි.  නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31(3) වගන්තිය අනුව ධූරය දරණ ජනාධිපතිගේ ධූර කාලය අවසන් වීමට මාස දෙකකට නොඅඩු  මාසයකට නොවැඩි කාලයක් ඇතුළත ඊළග ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.  

වත්මන් ජනාධිපතිතුමාගේ ධූර කාලය අවසන් වන්නේ 2020 ජනවාරි 9 දා.  එහෙම නම් 2019 නොවැම්බර් 9 සහ දෙසැම්බර් 9 අතර ජනාධිපතිවරණය පවත්වා අවසන් විය යුතුයි.

ඒ කියන්නේ අලුතෙන් පත් වන ජනාධිපති 2019 නොවැම්බර් 9 වුණත් වැඩ භාර ගන්න පුළුවන්.  විසි වන සංශෝධනය අනුව 2020 ජනවාරි 9 දිනෙන් විධායක ජනාධිපති ධූරය අහෝසියි.  එතකොට නව ජනපතිතුමා 2019 නොවැම්බර් 9 වුණත් වැඩ භාර ගන්න පුළුවන්.  විසි වන සංශෝධනය අනුව 2020 ජනවාරි 9 දිනෙන් විධායක ජනාධිපති ධූරය අහෝසියි.  එතකොට නව ජනපතිතුමා 2019 නොවැම්බර් 9 වැඩ භාර ගත්තොත් තනතුරේ වැඩ කරන්න වෙන්නේ මාස දෙකකට අඩු කාලයක්.  

නව ජනාධිපතිට වැඩ භාර ගන්න ව්‍යස්ථාවෙන් සති දෙකක් කල් දෙනවා.  

දෙසැම්බර් 9 ජනපතිවරණය පවත්වලා සති දෙකකට පස්සේ ඒ කියන්නේ දෙසැම්බර් 23 වැඩ බාර ගත්තොත් ජනපති ධූරයේ කටයුතු කරන්න තිබෙන්නේ දින 16යි.  දින 16ක් ජනපති ධූරය දරන්න කෝටි ගණන් මහජන මුදල් වැය කර ජනාධිපතිවරණයක් පවත්වන්න  ඕනෑ ද?

2020 ජනවාරි 9 දින සිට මේ පනත ක‍්‍රියාත්මක වීමට නියමිතයි.  එදාට විධායක ජනාධිපති ධූරය අහෝසියි.  එවිට ආණ්ඩු ප‍්‍රධානියා වන්නේ අගමැති.  එදාටත් තිබෙන්නේ මේ අට වන පාර්ලිමේන්තුවයි. 

 එතකොට 2020 ජනවාරි 9 දින සිට ආණ්ඩුවේ ප‍්‍රධානියා වගේම ඇමති මණ්ඩලයේ ප‍්‍රධානියා වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ අගමැති ධූරය දරණ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා. මෙම 20 වන සංශෝධනය අගමැති රනිල්ට විධායක බලය පැවරීමේ කුමන්ත‍්‍රණයක් බව අපි කියද්දි  එහෙම වෙන්න ඉඩ දෙන්නේ නෑ කියල පොලවේ අත ගහල අනුර කුමාර මන්ත‍්‍රිතුමා මේ දවස්වල  දිවුරනවා අපි රූපවාහිනියෙන් දකිනවා. එක්කෝ එතුමන් රට රවටන්න උත්සහ කරනවා.  එහෙමත් නැති නම් තමන් පාර්ලිමේන්තුවට භාර දුන්නු ලේඛනයේ තිබෙන්නේ මොනවාද කියා එතුමාවත් කියවලා නෑ.

4 වන ව්‍යවස්ථාවේ (ආ) ජේදයෙන් ජනාධිපතිවරයාට ලබා දුන් විධායක බලය මේ කෙටුම්පත මගින් ජනාධිපති සහ ඇමති මණ්ඩලය අතර බෙදා හරිනවා. ඒ වගේම අගමැතිවරයා ආණ්ඩුවේ ප‍්‍රධානියා කරනවා.  19 වන සංශෝධනයෙන් ජනපතිගේ බලතල කප්පාදු කරලා අගමැතිව සවිමත් කළා.  දැන් රටට නායකයෝ දෙන්නෙක් ඉඳ ගෙන දෙපැත්තට අදිනවා. මුකුත් වෙන්නේ නැතුව රට එක තැන පල් වෙනවා. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress