“බැඳුම්කර වාර්තාවේ ඇමුණුම් ලබාදෙනවා ද නැද්ද? ස්ථිරවම කියන්න “ – කීර්ති තෙන්නකෝන් කථානායක වරයාට සහ ජනාධිපති ලේකම් වරයාට ලියයි
Posted on June 12th, 2018

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය 

බැදුම්කර වාර්තාවට අදාල ඇමුණුම් තමා වෙත ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳව ස්ථිර වශයෙන් ලිඛිතව පිළිතුරක් ලබාදෙන ලෙස  ඉල්ලා කැෆේ සංවිධානයේ හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින්  ගරු කථානායක වරයා හා ජනාධිපති ලේකම් වරයා වෙත ලිපියක් යොමු කළේය. අදාල ලිපිය පහතින් දැක්වේ.

2018 ජූනි 12 

ගරු කථානායකතුමා,

කරු ජයසූරිය මැතිතුමා,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතා,

ජනාධිපති ලේකම්,

ජනාධිපති ලේකම් කාර්යාලය.

 

ගරු කථානායකතුමනි, ප්‍රිය ලේකම්තුමනි,

බැදුම්කර වාර්තාවේ ඇමුණුම් ලබා ගැනීම සම්බන්ධයෙනි

  1.      2018 ජනවාරි 18 දින සිට මේ දක්වා මා විසින් ඉල්ලා සිටි, උක්ත ඇමුණුම් කිසිවක් ජූනි 12 (අද) දක්වාම මා වෙත ලැබී නොමැත.  කෙසේ නමුත්, මෙම ලේඛන ජනාධිපති කාර්යාලය වෙතින් ගරු කථානායකතුමා වෙත යොමු කර ඇති බවට පුවත්පත් වාර්තා දුටිමි.  නමුත්, මාගේ අවබෝධය නම් මා විසින් ඉල්ලා සිටි ඇමුණුම් කිසිවක් ම වෙත ලබා දෙනු තබා තවමත් ගරු කථානායතුමා වෙත හෝ ලැබී නොමැති බව ය.
  2.      සී 350 ලේඛනය ප්‍ර‍සිද්ධි කිරීම සදහා නීතිපතිවරයා අනුමැතිය ලබා දී ඇති බව ද ජනමාධ්‍ය මගින් දුටිමි. එම ලේඛනය ද තවමත් මා වෙත නම් ලබා දී නොමැත.  එම ලේඛනය මා වෙත ලබා දෙන්නේ නම් ඒ කවදා ද යන්න නිශ්චිතව ප්‍ර‍කාශ කරන්නේ නම් මැනවි.
  3.      අනෙක් අතට, අද ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් දැනගැනීමට ලැබුණේ ජාතික ලේඛනාරක්ෂක පනතේ 3 වන වගන්තිය යටතේ සී 350 ලේඛනය මහජනතාව සදහා විවර කිරීම සදහා වන අනුමැතිය ජනාධිපති ලේකම්වරයා විසින් මේ දක්වාම ලබා දී නොමැති බැවින් තවත් වසර 30 කට මේ ලේඛන පරිශීලනය සදහා අවස්ථාව ලබා දිය නොහැකි බවය.
  4.      මා නැවත වරක් අවධාරණය කරන්නේ මා ඉල්ලා සිටින්නේ බැදුම්කර වාර්තාවේ සියළු ඇමුණුම් ප්‍ර‍සිද්ධ කරන ලෙසය.

ගරු කථානායකතුමනි, ජනාධිපති ලේකම්තුමනි,

මාස 4ක් සහ දින 26 ක් ඔබතුමන්ලා වෙත මාගේ ඉල්ලීම නැවත නැවත සිදු කර ඇත. මාගේ ඉල්ලීම මා සදහා නොව පොදුජන සුභසෙත උදෙසා බව ඔබතුමන්ලා විසින් වටහා ගෙන නොමැති බව මාගේ අදහසයි.  මන්ද, ඒ බව වටහා ගන්නේ නම්, එම ලේඛන පිළිබද ප්‍ර‍කාශ නිකුත් කරමින්, එක් එක් කොන්දේසි පණවමින්, එක් එක් ආයතනයන් වෙත මා යොමු කරමින්, මා රස්තියාදු කිරීමට ඔබ කටයුතු නොකරන නිසාය.

  1.      බැදුම්කර වාර්තාවේ ඇමුණුම් මා වෙත නිකුත් කරන්නේ ද?, නැති ද? යන්න මා වෙත ස්ථිර හා නිරවුල් ආකාරයක් ලිඛිතව ප්‍ර‍කාශ කරන ලෙස ද,
  2.      එසේ ලබා දෙන්නේ නම්, ඒ කවදා, කවුරුන් මගින් ද? යන්න ලිඛිතව ප්‍ර‍කාශ කරන ලෙස ද, ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට 

විශ්වාසී, 

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

 

පිටපත්

  1.      ගරු විපක්ෂ නායකතුමා – ගරු ආර්. සම්බන්ධන් මහතා
  2.      ගරු සභානායකතුමා – ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
  3.      ගරු අනුර කුමාර දිසානායක මහතා
  4.      ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
  5.      පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම ලියාපදිංචි දේශපාලන පක්ෂ ලේකම්වරු වෙත

One Response to ““බැඳුම්කර වාර්තාවේ ඇමුණුම් ලබාදෙනවා ද නැද්ද? ස්ථිරවම කියන්න “ – කීර්ති තෙන්නකෝන් කථානායක වරයාට සහ ජනාධිපති ලේකම් වරයාට ලියයි”

  1. Christie Says:

    I thought the Presidential commissions are like similar ones in other courtiers.

    What is the point in having an enquiry?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress