2017 UGC වැය ඇස්තමේන්තුවෙන් 42 න් පංගුවක් දුෂිත බැදුම්කර ගණුදෙනුවේ ආයෝජනය කරලා-සෘජු අනාවරණය වී ඇති පාඩුව පමණක් මිලියන 146. අවසන් පාඩුව ගණනය කළ නොහැකියි!  කීර්ති තෙන්නකෝන්  
Posted on June 24th, 2018

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සහ කැෆේ සංවිධානය

සෘජු අනාවරණය වී ඇති පාඩුව පමණක් මිලියන 146. අවසන් පාඩුව ගණනය කළ නොහැකියි!  කීර්ති තෙන්නකෝන්  

දුෂිත බැදුම්කර ගණුදෙනුවට රුපියල් මිලියන 1000 කට ආසන්න විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභා අරමුදල් සැපයීම නිසා, මේ රටේ විශ්වවිද්‍යා අධ්‍යාපනයට සිදුවන දිගු කාලීන බලපෑම දශක ගණනාවක් පවතිනු ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය පවසයි. 

විශ්වවිද්‍යා ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ අරමුදල් මගින්,  පර්පචුවල් සමාගමේ දුෂිත බැදුම්කර වංචාවට රු. මිලියන 1000 කට ආසන්න මුදලක් සපයා ඇත.  විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ 2017 වැය ඇස්තමේන්තුව රු. මිලියන 42,000 කි. ඒ අනුව, උසස් අධ්‍යාපනය සදහා රජය වෙන් කර ඇති සෑම රුපියල් 42 කින් එකකට සමාන මුදලක් දුෂිත බැදුම්කර මිල දී ගැනීමට යොදා ගෙන ඇත. 

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා බැදුම්කර හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවට රු. මිලියන 141 ක පාඩුවක් සිදුව ඇතැයි ප්‍ර‍කාශ කර ඇත. නමුත්, එහි දැනට අනාවරණය වී ඇති අවම පාඩුව රු. මිලියන 146 ඉක්මවයි.  

අප අවධාරණය කරන්නේ, විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදල (UFP) මිල දී ගත් පළමු පර්පචුවල් බැදුම්කරයෙන් පමණක් රු. මිලියන 5 ක පාඩුවක් සිදුව ඇති බවයි.  

මෙවැනි බැදුම්කර කොපමණ සංඛ්‍යාවක් UFP අරමුදල මිල දී ගෙන ඇති ද යන්න තවමත් අනාවරණය වී නැත.

අනුමැතිය දුන්නේ කවුද?

‘විශ්වවිද්‍යාල අරමුදල් දිගු කාලීන හා කෙටි කාලීන ආයෝජනය‘ සදහා ඉඩ සලසන ගැසට් නිවේදනය විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ ලේකම් විසින් ප්‍ර‍කාශයට පත් කොට ඇත්තේ 2015 මාර්තු 17 වන දින යි.  එම ගැසට් නිවේදනයේ 6 වන වගන්තිය අනුව, ‘සුළු පරිමාණ ආයෝජන කමිටුව‘ සමන්විත වන්නේ විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ සභාපති, ලේකම් හා මුදල් අංශයේ ප්‍ර‍ධානියා (ගණකාධිකාරි) ගෙනි.  

‘සුළු පරිමාන ආයෝජන කමිටුව‘ සෑම මාස හයකට (6) කට වරක්ම අධීක්ෂණ මණ්ඩලය‘ වෙත වාර්තා ඉදිරිපත් කළ යුතුය. විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාවේ සභාපති, ලේකම් හා මුදල් අංශයේ ප්‍ර‍ධානි තිදෙනා ‘එම අධීක්ෂණ මණ්ඩලයේ‘ ද සාමාජිකයින් වෙති.  එයට අමතරව, විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු, අර්ථික විද්‍යා හා කළමනාකරණ විශේෂඥයෙකු (මහාචාර්යවරයෙකු) හා රජයේ නියෝජිතයින් මෙම අධීක්ෂණ කමිටුවට ඇතුලත්ය.  දුෂිත බැදුම්කර වංචාව සිදුවී වසර 3 ක් ගතවී ඇතත් මෙම ‘අධීක්ෂණ කමිටුව‘ එකම අවස්ථාවක දී හෝ මෙම දුෂිත බැදුම්කර ගණුදෙනුවෙන් විශ්වවිද්‍යාල අරමුදල් සදහා සිදුව ඇති රු. මිලියන 146 කට වැඩි පාඩුව පිළිබද නිරීක්ෂණය කර නැත.

මේ පිළිබද වි.වි.ප්‍ර‍.කො.ස. සභාපතිවරුන් වූ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම, මහාචාර්ය මොහාන් සිල්වා, ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර, ගණකාධිකාරි උභයකුල රණවීර යන අය කරුණු පැහැදිලි කළ යුතුය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අවධාරණය කරන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙනුවෙන්, විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාව හා ගණුදෙනු කළ පුද්ගලයින් ද තවමත් එම වගකීම් දරමින් සිටින බවයි. බැදුම්කර වාර්තාවේ ඇමුණුම් ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍ර‍සිද්ධිය පත් නොකිරීමත්, විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මෙම ගණුදෙනුව සම්බන්ධ සියළු පාර්ශව විසින් මෙම ජාතික අපරාධයේ සැබෑ මුල්‍ය හානිය වසන් කරමින් සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අවධාරණය කරයි.

2015 පෙබරවාරි 27 දින සිදුවන පළමු බැදුම්කර වංචාවට අවශ්‍ය ප්‍ර‍තිපාදන සැපයීම සදහා විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාව, 2015 මාර්තු 17 දින ගැසට් පත්‍ර‍යක් පළ කිරීමත්, එම ගැසට් පත්‍ර‍ය 2015 මාර්තු 11 දින සිට බලාත්මක කිරීමත් සිදුව ඇත්තේ කුප්‍ර‍කට ‘උදෑසන ආහාරවේළ සහිත රැස්වීමේ  (Breakfast meeting) න් පසුවය. මෙම අනාවරණය බැදුම්කර වංචා විමර්ශනය නව මානයකට යොමු කරනු ඇතැයි ද, බැදුම්කර වංචාවේ මේ වන විට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් නොව, සැබෑ මහමොළකරුවන් තවමත් අමාත්‍ය ධූර දරමින් සිටින බව, පැහැදිලිවන බව ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අවධාරණය කරයි.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සහ කැෆේ සංවිධානය

2018 ජූනි 24

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress