එදා රට රැකලා මෙදා මාළු විකුණන කොමාන්ඩෝ සෙබළා
Posted on August 17th, 2018

Lankadeepa

2018 ජුලි 14 වන සෙනසුරාදා

ඇසිපිය හෙළන වේගයෙන් ක්රියා කරන පිහියෙන් තෙප්පිලියාගේ සිරුරේ කොටස් පිළිවෙළකට කැපී යයි. මුලින්ම වරල්ය. පසුව කරමල්ය. ඉනික්බිතිව කොරල, බඩවැල්, නහරය ඒවා පිළිවෙළින් ඉවත් කර දමා අවසන වල්ගය කපා තෙප්පිලියා මස් කිරීමට උක්කුටිකයෙන් හිඳ සිටින සාගරට ගත වන්නේ විනාඩියකටත් අඩු කාලයකි. දිනකට තෙප්පිලි කිලෝ දහ දාහක් හෝ කැපීම තමන්ට කජ්ජක් නොවන බව සාගර කියයි.

කේ.බී. රත්නායක විදුහල ඉදිරිපිට දහ පහළොස් දෙනෙකු රැස් වී සිටියේ සාගරගෙන් මාළු මිලට ගැනීමටය.

කපන මාළු සියල්ලම දමන්නේ ප්ලාස්ටික් බේසමකටය. එයින් අවැසි ප්‍රමාණය ගෙන ෂොපින් කවරයක දමා ​ෙදන්නී ප්‍රියංකාය. ඇය සාගරගේ ජීවන සහකාරියයි.

ඇය වරින් වර අසල ඇති ත්‍රිරෝද රියේ අසුනට එබී බලන්නීය. අවුරුදු තුන හමාරේ සිඟිත්තියක මුණින් අතට නිදන්නීය. ඒ ඔවුන්ගේ අාදර බර දියණියයි. අපට සාගර ගැන ලියන්නට විශේෂත්වයක් තිබේ.

රණවිරුවකු මාළු විකුණන ආරංචියක් අප සවණට වැකිණ. ‘ගලේවෙල ලොන්ග් සාගර’ නමින් කොමාන්ඩෝ බළකායේ එදා හැඳින් වූ රණවිරුවකු අනුරාධපුරයේ මෙදා මාළු විකුණන බව සවන් වැකුණේ දිනක් චාරිකාවක් අතරතුර මාතලේ හන්දියේ නැවතුණු විටකදීය. ඒ තොරතුරු ඔස්සේ ගිය විට දී මෙදා ‘මාත​ෙල් හන්දියේ මාළු සාගර එදා ගලේවෙල ලෝන්ග් සාගර’ ලෙස හැඳින් වූ රණවිරුවා ම බවට අපට හෙළි විය. ඉඳින් අපි ඔහු සොයා කුරුන්දන්කුලම සාගර පුර නිවසට පැමිණ සිටිමු. ඔහු සිය රණකාමී ජවාධික අතීතය අප හමුවේ සීරුවට මුදා හැරියේය. එය උණුසුම් මතක ධාරාවකි.

අමෘත හස්ත නවරත්න අබේකෝන් මුදියන්සේලාගේ සාගර නුවන් බණ්ඩාරගේ ගම ගලේවෙල වටගලය. මුල් අකුරු හත අටක් තිබූ නිසා රෙජිමේන්තු සගයන් අතර ඔහු ‘ඉනිසියල් බණ්ඩාර’ විය. අසාමාන්‍ය උසත් අසාමාන්‍ය හැකියාවත් නිසා ලෝන්ග් බණ්ඩාර හෙවත් ගලේවෙල සාගර වූයේද ඔහුය. මෙසේ අන්වර්ථ නම් රැසකින් ප්‍රචලිතව සිටි කොමාන්ඩෝ බළකායේ ලාන්ස් කෝප්‍රල් සාගර නුවන් බණ්ඩාරට වර්තමානයේ දී අන්වර්ථ නාමයන් හිඟ නැත. ‘මාළු සාගර, මාළු කොමා, මාතලේ හන්දියේ කොමා, මාතලේ හන්දියේ මාළු සාගර’ ද ඉන් සමහරකි.

ගමේ දඩබ්බරයා කොමාන්ඩෝ බළකායට 

ගලේවෙල බුදුගේහින්න මහා විද්‍යාලයෙන් දහය වසර දක්වා සිප් සතර හැදෑරූ සාගර ප්‍රදේශයේ දේශපාලනාධිකාරිය සේය. අද මෙන් නොව එදා ඔහු දඩබ්බරයකු වූයේය. විසි දෙවැනි වියේදී කොමාන්ඩෝ බළකායට එක්වීමට තීරණය කරන ලද්දේ ද ඒ නිසාම විය හැකිය.

2004 දෙසැම්බර් 25 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 නිත්‍ය බළ සේනාවේ ගැමුණු කාණ්ඩයේ සෙබළෙකු ලෙස එක්ව බූස්ස රෙජිමේන්තු පාසලින් මාස හයක මූලික පුහුණුව ඔහු ලැබීය.

පසුව කුඩා ඔය කොමාන්ඩෝ පුහුණු පාසලෙන් කොමාන්ඩෝ පුහුණුව ලැබීමට ගිය ඔහු ඉන් පිට වූයේ 2006 සැප්තැම්බර් දෙවැනි දිනය. අටසියයකට අධික සෙබළුන් පිරිසක් එයට සහභාගී වුවත් පුහුණුව අවසන් කර පිටවූයේ 138 දෙනෙකු පමණි. කොමාන්ඩෝ ​ෙසබළෙකු වීම කොතරම්ම බැරෑරුම් දැයි කිව යුතු නැත.

පුහුණු පාසලේ අතිදක්ෂතමයන් අතර සාගර ද පෙරමුණේ සිටියෙකි. වැඩි දිනක් යන්නට පෙර ඔහු ‘ඉනීෂියල් බණ්ඩාර’ විය.

ලෝන්ග් බණ්ඩාර යුද පිටියට

​තොප්පිගල මෙහෙයුමට මුලින්ම සම්බන්ධ වූ ඉනීෂියල් බණ්ඩාර පළමු යුද අද්දැකීම ලැබීය. යුද්ධය නිසා තමා සුළු තුවාලයක් හෝ ලද්දේ එම මෙහෙයුමේදී බවද ඔහු අපට කීවේය.

තොප්පිගල එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයට ඇතුළු වී සිටි කොමාන්ඩෝ සෙබළුන් අට දෙනෙකුගෙන් සමන්විත 8 මෑන් හි නායකයා වූයේ සාජන් පතිරණය. සාගර ද එම කණ්ඩායමට ඇතුළත් විය.

ඔවුන් ඇම්බුෂ් දමාගෙන සිටියේ සමාන්‍ය දමිළ මිනිසුන් සහිත ගම්මානයකය.

​ෙමහෙයුමක් අතරතුර දී දිනක් ඔවුන්ගේ කණ්ඩායම සීසීකඩ විසිරුණේ සියලු සබඳතා ඇණ හිටිමිනි. හත් දෙනෙක් ආපසු ආවද සාජන් පතිරණ ආවේ නැත. ඔහු එල්ටීටීඊය විසින් අල්ලා ගනු ලැබ ඇත. එදින සවස් ජාමයේ ගම පුරා සිහින් බෙර හඬක් ඇසිණි. කිසිත් නොදත් සෙබළු නින්දට ගියහ. මුර සේවයේ සිටි සෙබළාට හදිසියේම වයර් කපන ශබ්දයක් ඇසුණි. ඔහුගේ දැනුම් දීමෙන් කඳවුරම අවදි වෙද්දී සතුරන් මුළු කඳවුරම වටලා තිබුණි.
සාගර මුහුණ දුන් පළමු ප්‍රහාරය සිතාගත නොහැකි තරම් බිහිසුණුය.

ඔවුහු නිදි ඇඳුම් පිටින් කඳවුර සිසාරා දිව ගියහ. නිදිමරගාතේ සිටි ඇතැම් සෙබළුන් නිලධාරීන්ගේ විධාන වලින් පියවි සිහියට එළැඹුණහ. එසේ දිව යන විට මොකක්දෝ පැටලී සාගරටද සුළු සීරීමක්‍්‍විය. විධාන වලින් සිය එඩිය තර කර ගත් කොමාන්ඩෝ සෙබළු තමන් වට කර සිටි සතුරන්ට ප්‍රබල ප්‍රහාරයක් නිකුත් කළහ.

ප්‍රතිඵලය ලෙස තුන් හතර දෙනෙකුට තුවාල සිදු වුවත් සතුරන් 13 දෙනෙකුගේ සිරුරුද ආයුධ ද කඳවුර සිසාරා තිබුණි. මුලින් අන්දුන් කුන්දුන්ව ගියත් පළමු මෙහෙයුම ඉතා සාර්ථක වූ බව සාගර සිහිපත් කරයි.

බණ්ඩාරගේ අතින් සාජන් නමට පාරක්

පසුව දැන ගත් පරිදි සාජන් පතිරණ එල්ටීටීඊය විසින් අත්අඩංගුවට ගෙන ඔහුට දස වද දී ​ෙකාමාන්ඩෝ සෙබළුන් සිටින ස්ථානත් ඉදිරි සැලසුම් ගැනත් තොරතුරු වමාරාගෙන ඇත.

ඉන් පසු වෙන් කරන ලද සාජන් පතිරණගේ අත පය කොටස් ට්‍රැක්ටර්වලින් ඇඳ ගෙන ගම පුරා ගෙන ගිය බවද සැලවිය. බෙර හඬක් මගින් දැනුම් දී තිබුණේ රාත්‍රී ප්‍රහාරයක් සිදු වන බැවින් ගම්මානවලින් දමිළ සාමාන්‍ය වැසියන්ට ඉවත් වන ලෙසටත්ය. එය හමුදාව නොදැන සිටි කරුණකි. සියල්ල එළිවන විට පෙරහර බොහෝ දුරක් ගොස් ඇති බව නවක සෙබළුද වටහා ගත්හ. එය සිය දිවියේ ඉදිරි මෙහෙයුම්වලට අත්දැකීම් තර කර ගන්නට හේතුවක් විය. අලුත විවාහ වී සිටි සාජන් පතිරණගේ ඉරණම පසුව සැල විය.

සියල්ල දැනගත් කල සාගරගේ සිත වේදනාවෙන් අැඹරිණි. එකට සිටි සගයාගේ ස්මරණයන් ඔහු සිතට වද දුණි. කඳවුරේ තිබූ රතු ලැකර් ටින් එකකින් ලැකර් ටික ටික ගෙන ලෑලි කෑල්ලක සාජන් පතිරණගේ නම ලියා දැමුවේ ඔහුට අත්වූ ශෝක ජනක ඉරණම ගැන සිහි කරමිනි. එය ලියා අවසන් වන විට ඔහුගේ නමින් මාර්ගයක් නම් වුව හොත් සාජන් පතිරණට වූ අවනඩුව එම ප්‍රදේශවල ජනයා අතර පවතිනු ඇතැයි ඔහුට සිතුණි.
එ් නිසාම පතිරණගේ නම අගට මාවත යන්න ද යෙදූ එම ලෑලි කෑල්ල අසල තිබූ පොත් කඩයේ ලෑලි බිත්තියේ එල්ලුවේය. එතනින් තොප්පිගලට යන මාර්ගය ද සමග සිවු මංසල වූ බව සාගර සිහිපත් කළේය.

One Response to “එදා රට රැකලා මෙදා මාළු විකුණන කොමාන්ඩෝ සෙබළා”

  1. Christie Says:

    India will never pardon those who wiped out the Indian terrorist arm the LTTE. The current puppet government installed by India will follow Indian directions.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress