පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ ජනතාව මත පටවා ඇති බදු ඉවත් කරනවා
Posted on September 5th, 2018

මොනරාගල – සංජීව බණ්ඩාර උපුටාගැණීම  මව්බිම

ආණ්ඩුවට අවශ්‍ය පරිදි ව්‍යවස්ථාව වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේදී ඉඩ නොතබන බවත් පොදුජන පෙරමුණ ආණ්ඩුවක් යටතේ රටේ ජනතාව මත පටවා ඇති බදු බර ඉවත් කිරීමට වහා කටයුතු කරන බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ දැනට ඉන්න ස්ථාවරය වෙනස් කොට ඔවුන් නියෝජනය කරන පන්තියේ ජනතාව පිළිබඳව සිතා තීරණයක් ගනීවි යැයි තමන් බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන ව්‍යාපාරික පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමිනි.
එහිදී රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

මේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව ඉන් සිදුවෙලා තියෙන මහජන පීඩාව පිළිබඳව මට වඩා හොඳට මේ රටේ ජනතාව දන්නවා. රටේ ආර්ථිකය විශාල කඩාවැටීමකට ලක්වී තියෙනවා. ආර්ථිකය පිළිබඳව මේ ආණ්ඩුවට පැහැදිලි දර්ශනයක් නැහැ. අඳුරු වලාකුළකින් එය වැහිලයි තියෙන්නේ. මේ ආණ්ඩුව බලයට පත්වෙලා දැන් අවුරුදු හතරකට ආසන්න වෙනවා. මේ කාලයට එදා තිබුණ බදු බරට වඩා දෙගුණයක බදු බරක් ජනතාව මත පනවලා තියෙනවා. වසර තිහක යුද්ධය තිබුණ අවධියේ මේ රටේ ව්‍යාපාර දියුණු කරන්න අවස්ථාව තිබුණේ නැහැ. අපි යුද්ධය නිමා කරලා ව්‍යාපාරිකයන්ට අලුත් ව්‍යාපාර රට තුළඅරඹන්න අවස්ථාව හදලා දුන්නා. අද සමහරු ෂැංග්‍රිලා හෝටලයට ගිහින් කාලා ඇවිත් මට බනිනවා.

සමහරු විවාහ උත්සව ගත්තෙත් ඒකේ. ෂැංග්‍රිලා ආයෝජනයත් එක්ක හෝටල් ක්‍ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇති වුණා. ලෝකයේ පිළිගත් විශාල හෝටල් හිමියන් ප්‍රමාණයක් ලංකාවේ ආයෝජනයට යොමු වුණා.

උතුරු මැද පළාතේ ගොවි ජනතාව කන්න හයක් වතුර නැතිව වගා කරලා නැහැ. පසුගිය කාලේ වී තොග ගෙනත් මත්තල ගුවන් තොටුපොළේ ගොඩ ගහලා වී වලට, සහල්වලට ආණ්ඩුව කළ අපහාසයට දේව කෝපයක් විදියට ලැබෙයි. ඒක තමයි වැස්සත් නැත්තේ.

අපිට ගෑවිච්ච හැම කෙනාම එෆ්.සී.අයි.ඩී. එකට ගෙන්වනවා. ළඟදී බදු අයකරන්න ඕන කිව්ව. ධම්මික පෙරේරා හතළිස් නව වතාවක් එෆ්.සී.අයි.ඩී. එකට ගෙනැල්ලා තියෙනවා. පසුගිය කාලේ එතුමාගේ ටයිල් ෆැක්ටරි හතරක් වහලා සේවකයන් එළියට දාන්න එතුමාට සිද්ධ වුණා. මොකද මේ ආර්ථිකය කඩා වැටිලා නිසා ව්‍යාපාර පවත්වාගෙන යන්න බැහැ. දැන් එතුමා ඉන්දියාවෙන් ටයිල් ගෙන්වලා තමයි විකුණන්නේ.

සිල් රෙදි බෙදුවා කියලා මගේ ලේකම්වරයා හිරේ දැම්මා. පොළොන්නරුවේ සිල්රෙදි බෙදුවේ දැන් ඉන්න ජනාධිපතිතුමයි. දැන් ඇමැති මණ්ඩලයේ ඉඳලා මට බනින උදවිය ඒ කාලේ ඔක්කොම සිල් රෙදි බෙදුවේ. බුද්ධ ජයන්තිය දවසේ මහ නායක හාමුදුරුවන්ගෙන් ආව යෝජනාවකට අනුවයි. අපේ ආණ්ඩුව කාලේ බුද්ධාගම ආරක්ෂා කරමින් අනෙකුත් ආගම්වලට සැලකුවා. අද මොකද වෙලා තියෙන්නේ. “බුදුන්ගේ රස්තියාදුව” කියලා බුදුන්ට අපහාස වන පොත් ලියනවා. සමහරු හෙලුවැල්ල පරමං සුඛං කියලා කියනවා. අපි මේකට හිනා වෙන්න නෙවෙයි අඬන්න ඕන.

ලංකාවේ ස්වර්ණාභරණ ව්‍යාපෘතිය කඩා වැටිලා මැණික් ව්‍යාපාරය කඩා වැටිලා. මේ කඩා වැටීම බරපතළයි. අපි බලයට පැමිණි පසු ව්‍යාපාරිකයන් සහ ජනතාව මත පටවා තිබෙන බදු බර අඩු කරනවා අඩු කරනවාමයි. කඩා වැටුණු ව්‍යාපාර නැවත ගොඩගෙන ව්‍යාපාරිකයන් ශක්තිමත් කරනවා. ව්‍යාපාරිකයන් ගත් ණය පිළිබඳව නැවත සිතා බලා ඔවුන්ට තව තවත් ණය ලබාදෙන්න අපි කටයුතු කරනවා.

අපේ ආණ්ඩුව කාලේ දැයට කිරුළ වැඩසටහන යටතේ දිස්ත්‍රික් සියයට අනූහයකට විදුලිය දුන්නා. මාර්ග කාපට් කළා. වැව් අමුණු හැදුවා. මේ අය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කියලා එකක් ගෙනැල්ලා අක්කර 25ක රබර් වත්තක් කපලා දමලා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress