මා සිටින තුරු රට දෙකඩ කරන්න ෆෙඩරල් පිහිටුවන්න උතුර-නැඟෙනහිර පළාත් එකතු කරන්න ඉඩ දෙන්නේ නෑ
Posted on November 1st, 2018

පහන් විජේසේකර, රුචිර දිලාන් මධුසංඛ  උපුටාගැණීම  මව්බිම

තමා ජනාධිපතිවරයා වශයෙන් සිටින තුරු රට දෙකඩ කරන්නටවත් ෆෙඩරල් රාජ්‍යයක් පිහිටුවීමටවත් උතුර – නැඟෙනහිර ඒකාබද්ධ කිරීමටවත් කිසිදා ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩිව ප්‍රකාශ කර සිටී.

මහින්ද රාජපක්‍ෂ මහතා රට බෙදීමටවත් මහජන දේපොළ විකිණීමටවත් කටයුතු නොකළ අයකු බවත් ඔහු සමඟ දිගු කලක් දේශපාලනය කළ අයකු ලෙස තමාට ඔහු විශ්වාස බවත් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තමාව ඝාතනය කරන්න තැත් කළ කෙනකු සමඟ එකට ඉන්න පුළුවන් දැයි ප්‍රශ්න කර තිබේ.

පරාජය කරනවා යන්නත් ඝාතනය කරනවා යන්නත් දෙකක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (31දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායකවරුන්ගේ විශේෂ හමුවකදීය.

දේශපාලන වශයෙන් මෙතෙක් ජනතාව හමුවේ හෙළිදරව් නොකළ විශේෂ කරුණක් ගැන සඳහන් කළ ජනාධිපතිවරයා තමා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු එ.ජා.ප.යේ අයකු තමාට ලිපියක් ගෙනැවිත් දුන් බවත් එම ලිපියෙන් ඉල්ලා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ඔහුට විධායක බලතල පවරන ලෙස මෙමඟින් ඉල්ලා සිටින බවත්ය.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන මෙහිදී අදහස් පළ කළ ජනාධිපතිවරයාඑම කුමන්ත්‍රණයේ තොරතුරු සියල්ල හෙළිදරව් කරන බවත් ඒ සම්බන්ධයෙන් පොතක් ද ලිවීමට තමා අදහස් කරන බවත් ප්‍රකාශ කොට තිබේ.

තමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් හෝ දෝෂාභියෝගයක් හෝ ගෙනැවිත් තමාව පරාජයට පත් කළ හොත් තමා පැයක්වත් මේ තනතුරේ නොසිට ගෙදර යන බවත් ගෙදර ගොස් ජනතාව සමඟ එකතු වී දේශපාලන සටන ගෙන යන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන බවටත් අපි දෙගොල්ලෝ එකතු වුණොත් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බවටත් ජනාධිපතිවරයා එහිදී විශ්වාසය පළ කර තිබේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress