විදේශීය මැදිහත්වීමකින් විසඳන්න තරම් ප්‍රශ්නයක් අපේ රටේ නෑ
Posted on November 1st, 2018

 උපුටාගැණීම  මව්බිම

ඉතිහාසයේ සිට මේ රට රැක ගැනීමට කටයුතු කළේ දේශපාලන පක්ෂ හෝ දේශපාලනඥයන් නොව ගිහි හා පැවිදි පිරිස් බව ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවැසූහ.
ඒ බව එම හිමියෝ සඳහන් කළේ ඊයේ (31දා) සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවැති “අත පෙවීම් එපා” මැයෙන් යුතුකම සංවාද කවයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.
එහිදී ගුණවංශ හිමියෝ මෙසේද පැවැසූහ.

පසුගිය කාලේ තිබුණේ රටට අහිතකර කාලයක්. ත්‍රිවිධ හමුදාව වගේම රටේ නායකයන්ට පවා ඒ ආණ්ඩුව යටතේ අත තිබ්බා. ඒ විදේශයන්ගේ වුවමනාවට. ඒ වගේම රටට අහිතකර පනත් කීපයක් සම්මත කළා. සිංගප්පූරුව එක්ක ගහපු ගිවිසුම්, අතුරුදන්වීමේ පනත්, පළාත් සභා සීමා නිර්ණ පනත් මඟින් රට අර්බුදයකට ඇදලා දැම්මා. පසුව බුද්ධි අංශ නිලධාරීන් පාවා දීලා හිරේට යැව්වා. එහෙම කරපු ආණ්ඩුවේ අය දැන් විදෙස් රටවල්වලට බොරු කියලා විවිධ අත පෙවීම් කරන්න හදනවා. මේ වන විට රටේ තත්ත්වය අනුව නීත්‍යනුකූලව අගමැති කෙනෙක් පත් කළා. නමුත් පසුගිය ආණ්ඩුවේ අය විදේශයට කියලා විවිධ බලපෑම් කරන්න හදනවා මේ සිදුවීම ගැන. ඒ වගේම කථානායකවරයා දැන් යනවා හාමුදුරුවෝ හම්බවෙන්න මල්වතු පාර්ශ්වයට. අගමැති රනිල් කරන්න කියලා. නමුත් ඒක සුදුසු නැහැ කථානායක භූමිකාවට.

පුළුවන්නම් කාදිනල් හම්බවෙන්න යන්න කියන්න. අහගන්න පුළුවන් වෙයි. මොකද ආගමික නායකයන් කොටවලා දැන් එනවා ඒ පස්සේ යන්න. මේ වන විට එංගලන්තයෙන් නිවේදන තුනක් එවලා තියෙනවා ඇයි මෙහෙම කරන්නේ. මේක අපේ ගෙදර ප්‍රශ්නයක්. ගෙදර ගින්දර ඇයි වෙන ගෙදරකට දෙන්නේ. ගෙදර ගිනි ගේ ඇතුළේ මිස පිටට දෙන්නේ ඇයි? අපි ඒවා විස¼දාගමු. ප්‍රශ්න නැහැ මේවා බොරුවට මවලා තියෙන්නේ.

මේ ආණ්ඩුවත් අපි නිරීක්ෂණය කරනවා ගිය ආණ්ඩුව ගැන බැලුවා වගේ. ඒ නිසා රටට හානිකර දෙයක් අපි කරන්න දෙන්නේ නැහැ. ත්‍රිකුණාමලය වරායේ ඉඳලා සියලුම වරායවල් මුහුදු තීර අපේ රටට අහිමි කරන්න තමයි පසුගිය ආණ්ඩුව උත්සාහ කරලා බැලුවේ. අපි දැන් අලුතෙන් පටන් ගත්ත ආණ්ඩුවෙන් ඒවා බේරාගැනීමට කටයුතු කිරීමට වගබලා ගත යුතුයි. මොකද මේ රටේ විනාශයට හේතු වන විවිධ අණපනත් ව්‍යවස්ථා හදද්දී සාමාන්‍ය මිනිස්සු අපට තොරතුරු දුන්නේ අන්න ඒ නිසායි. රට විනාශ වෙනවට කැමැති නැති නිසා. ඒකයි හොර අස්සන් ගහලා ව්‍යවස්ථා සම්පාදනය කරන්න හදද්දී අපි නැවැත්තුවේ. අද මහින්ද අගමැති කළේ ඒ දේවල් නැවැත්වීමට.

තව අවුරුදු දෙකක් ගියොත් මේ මුළු රටම ඉවරයි. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා මෛත්‍රිපාල සිරිසේන මහතා තේරුම් ගත්තා. ඒ නිවැරැදි තීරණය නිසායි අද රට රැකුණේ. කෙසේ වුණත් ඉතිහාසයේ ඉඳලා රට රැක ගත්තේ මේ දේශපාලකයන් නෙවෙයි. ගිහි පක්ෂය හා පැවිදි පක්ෂය. නායකයො කළේ අපේ මත ප්‍රතිෂ්ඨාපනය කිරීම. ඒත් අද සමහරු ඉන්නවා රැවුල බාන්න ගිය ගමන් හිස බාගෙන චීවර දාගත්තු. ඒ අය අපට ඊයේ පෙරේදා දැක ගන්න ලැබුණා. ජාත්‍යන්තරයට කඩේ යනවා. රටේ අනාගතය විනාශ කරන්න. නමුත් අපි රට ආරක්ෂා කරනවා.

ආචාර්ය ගුණදාස අමරසේකර
මෛත්‍රි ජනපති ගැන විවිධ විවේචන අපට තිබ්බා. නමුත් අද නැහැ. පිටරට සතුටු කරන රනිල්ට මේ රට කරන්න බැහැ. ඒකයි මහින්ද රාජපක්ෂ මහතාට මේ රට දෙන්න වුණේ. විවිධ රටවල් මොනවා කිව්වත් චීනය අපේ ගැටලුව සම්බන්ධව කතා කළෙත් ඒ නිසයි රටේ ප්‍රශ්න විසඳගන්න ඉඩ දෙන්න කියලා. මේ රටේ අය වෙන රටවල්වලට අවශ්‍ය ආකාරයට නටන්න අවශ්‍ය නැහැ. අපි ඊට ඉඩ තියන්නේ නැහැ.

“යුතුකම” සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග
එදා සුළු පක්ෂයක් නියෝජනය කරන දෙමළ පක්ෂයේ ආර්. සම්පන්දන්ට විපක්ෂ නායකකම දුන්නා. මන්ත්‍රිවරු 6ක් හිටිය ජවිපෙට සංවිධායක කම දුන්නා. නමුත් එදා විදේශ රටවල් ආවේ නැහැ ඒවා ගැන හොයන්න. අද ව්‍යවස්ථානුකූලව සිදුවී තියෙන දේට තමයි රනිල් පිටරැටියෝ අරගෙන එන්න හදන්නේ විසඳන්න. ඒ වගේම මුදලට විකිණෙන මන්ත්‍රිවරු ඉන්න ගඳ ගහන පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී බලය පෙන්වන්න රනිල් කතා කරනවා.

නමුත් මහ මැතිවරණයට යන්න කතා කරන්නේ නැහැ. මොකද බයයි. පරදින බව දන්න නිසා. නමුත් ජාත්‍යන්තරය ගෙනල්ලා ගැටලු විසඳන්න හදනවා. නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මරන්න හැදුවා. ඒවා විසඳුවේ නැහැ. ඒ නිසා මේ පත්වූ ආණ්ඩුව අපි රැකගත යුතුයි. හෙට සිට අපි ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුයි.

නුවන් හෙට්ටිආරච්චි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress