දේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ කටයුත්ත ගැටලුවකින් තොරව නැවත ක්‍රියාත්මක කරනවා …..
Posted on November 30th, 2018

 මාධ්‍ය නිවේදනය රොහාන් වැලිවිට අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

2018.11.30

 ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද පෙරවරුවේ (2018.11.30)  අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී දේශීය ආයෝජකයින් සමඟ පැවැති සාකච්ඡාවේ දී මේ බව අවධාරණය කළේය. එතුමා මේ බව අවධාරණය කළේ පළතුරු බීම හා බිස්කට් නිෂ්පාදන ආයතන හිමියන් හමුවේ දීය.

මෙහිදී වෙළඳ පොළේ පාරිභෝගිකයින්ගේ පරිභෝජනයට ගන්නා කාබනික බීම සහ පළතුරු බීම නිෂ්පාදනයේ දී භාවිතා කරන සීනි සඳහා බද්ද අඩු කරන ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙන ලදී. ඒ අනුව කාබනික බීම වර්ග සඳහා සීනි ග්රූම් 06 දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්රූම් 09 දක්වා ද බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දෙන ලදී.  තවද පළතුරු බීම වර්ග සඳහා සීනි ග්රූම් 1 කට අය කළ ශත 50 බද්ද ශත 30 දක්වා අඩු කිරීමට ද උපදෙස් ලබාදුනි. එසේ හෙයින් වෙළඳ පොළේ පැණි බීම දැනට අලෙවි වන මිලට වඩා 30%කින් මිල අඩු කිරීමට හැකි වන බව නිෂ්පාදන ආයතන ප්‍රධානීන් මෙහිදී ප්‍රකාශ කළේය.

පසුගිය රජය බිස්කට් සඳහා සීනි බද්දක් අය කිරීමට සූදානමක් තිබූ බව එම සමාගම් වල නියෝජිතයින් මෙහිදී හෙළි කරන ලදී.  එහෙත් වත්මන් රජය එවැනි සීනි බද්දක් අය කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව ගරු අග්‍රාමාත්‍යතුමා මෙහිදී අවධාරණය කළේය.

ජාතික ආර්ථික සභාවේ දී ද මෙම කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, එකී සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස ජාතික ආර්ථික සභාවේ මඟපෙන්වීම හා ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් ලබාදෙන ලද උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය මෙම සහනය ලබාදීමට තීරණය කෙරිණි.  

ගරු අග්‍රාමාත්‍යතුමා ගත් මෙම තීරණය අනුව පැණි බීම නිෂ්පාදනයට හා බිස්කට් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන හා සේවා සපයන කුඩා ව්‍යාපාරිකයන්ට මෙයින් සහන සැලසෙන බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

මේ අවස්ථාවට ජාතික ආර්ථික සභාවේ මහලේකම් ආචාර්ය ලලිත් පී. සමරකෝන් මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්. ආටිගල මහතා ඇතුළුව කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් සහ නිෂ්පාදන ආයතන ප්‍රධානීන් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress