විදුලි බල අවශ්‍යතාවය පිළිබදව විදුලි බල ඉංඩිනේරුවන් පෙන්වා දුන්නත් ආන්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැතිව ඉදලා දැන් තමන්ට කැමැති පුද්ගලයින්ගෙන් විදුලිය මිලදි ගැනීම සැලසුම්සහගතව කරපු දෙයක්
Posted on April 4th, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුව

පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා

මේ වන විට ලංකාවේ ඇති වෙලා තියෙන ජල විදුලි අර්බුදය හේතුවෙන් රටේ සමස්ත ජනතාවටම ප්‍රශ්න ඇති වෙලා. පහුගිය කාල සීමාවේ ජාතික විදුලි පද්ධතියට අලුතෙන් විදුලි ඒකක එකතු කිරීමේ ක්‍රමවේදයකට ආණ්ඩුව පිවිසියේ නැහැ.දැනට ජාතික අවශ්‍යතාවය ලෙස පවතින දෛනික මෙගා වොට් 2700ක පමණ අවශ්‍යතාවය ජල විදුලිය නිපදවීමට නොහැකිවීම නිසා අර්බුදයකට පත්වෙලා. ලංකාවේ දැනට ජලවිදුලිය ඇතුලුව නිපදවෙන්නේ මෙගාවොට් 4000 පමණ ප්‍රමාණයක්. වර්තමානයේ වියළ කාලගුණ තත්ත්වය නිසා ජල විදුලි අත්පාදනය අඩුවීමෙන් විදුලි ජනනය මෙගා වොට් 2500 පමණ ප්‍රමාණයකට අඩු වෙලා තියෙන්නේ.

විදුලි බල ඉල්ලුම වාර්ෂිකව සියයට හයක් හතක් වැනි ප්‍රමාණයකින් වැඩිවන බව විදුලි බල මණ්ඩලය පුරෝකතනය කර තිබුණත් අපි විශ්වාසකරනවා වාර්ෂීක විදුලි බල ඉල්ලුම ඊට වඩා වැඩියි කියලා. දැන් කාර්යබහුල අවස්ථාවල මෙගාවොට් 750කට වැඩි විදුලි ඉල්ලුමක් මේ රටේ පවතිනවා. මේ විදුලි සැපයුම වෙනුවෙන් ආන්ඩුව සාධණීය මැදිහත්වීමක් නොකිරීමේ වගකීම වත්මන් විදුලුබල ඇමැතිවරයා රජය මෙන්ම මිට පෙර සිටි විදුලි බල ඇමැතිවරයාත් භාරගන්න වෙනවා. අපි 2013නොරොච්චෝලේ විදුලි බලාගාරය ස්ථාපනය කරලා මෙගාවොට් 900 විදුලි ධාරිතාවක් විදුලි බල පද්ධතියට එක් කිරිමට පියවර ගත්තාට පසුව විදුලි බල නිෂ්පාදනය එකතැන පල්වෙමින් තිබෙනව.

විදුලි බල අවශ්‍යතාවය පිළිබදව විදුලි බල ඉංඩිනේරුවන් පෙන්වා දුන්නත් ආන්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැතිව ඉදලා දැන් හදිසි මිලදී ගැනීම් හරහා මෙගාවොට් 100ක් මිලදි ගන්න උත්සාහ දරමින් සිටිනවා. බොරදියේ මාලුබෑමේ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. දැන් තමන්ට කැමැති පුද්ගලයින්ගෙන් විදුලිය මිලදි ගැනීමේ හැකියාව ආන්ඩුවට ලැබෙනවා. මේක සැලසුම්සහගතව කරපු දෙයක් කියලා අපි විශ්වාස කරනවා.

සාම්පූර් බලාගාරය ඉදිකලේ නැහැ. එල්. එන්. ජී. බලාගාරයේ ගැටලුව විසදන්න ආන්ඩුව පියවර ගත්තේ නැහැ. ඒ හරහා විශාල අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ. අදට නිෂ්පාදනය කිරීමට යෝජිත මෙගාවොට් 350ට අමතරව එළැඹෙන වර්ෂයේ තවත් මෙගාවොට් 350ක් පමණ ලංකාවට අවශ්‍ය වෙනවා. මේ රට පෙලන  විදුලිබල සැපයීම අඩාලවීම හේතුවෙන් අපි ආන්ඩුවට යෝජනා කරනවා  එල්. එන්.ජී බලාගාරයේ ටෙන්ඩරය අදාල චීන සමාගමට හෝ ලබාදීලා අනෙක් ටෙන්ඩරයේ පාර්ශ්වකරුවා වන ලක්දනව් සමාගමටත් එම ප්‍රමාණයේම විදුලි බලාගාරයක් හදන්න පහසුකම් සපයන්න කියලා.

සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය යටතේ මේ කටයුත්ත කළයුතු වුවත් මේක ජාතික අර්බුදයක් වෙලා තියෙන්නේ. මේ ජාතික අරුබ්දය විසදාගන්න අපිත් දේශපාලන පක්ෂ භේදයකින් තොරව කටයුතු කළ යුතුයි. නැත්නම් අපේ ආන්ඩුවක් පැමිණීමෙන් පසුවත් මේ අරුබුදය විසදා ගන්න බැරි වෙනවා. මෙවැනි බලාගාරයක් හදන්න වසර දෙකහමාරක පමණ කාලයක් ගත වෙනවා. නමුත් ආන්ඩුව භාරගන්න අපිට මේ තත්ත්වය කළමණාකරණය කරගන්න අපහසුවෙනවා.

අද විදුලි බලය නොමැතිවීම හරහා රට අරාජිකයි. මේ දිනවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට ජල කප්පදුවක් සිදුවෙනවා. කොළඹ අවට ප්‍රදේශවල සමස්ත ප්‍රජාවටම ජන ජිවිතය පවත්වා ගෙනයාමට බාධාවක් වුනා. ජල සම්පාදනයේ අලුත් වැඩියාව පමණක් නෙවේ. අඹතලේ ප්‍රදේශවලට විදුලි විසන්දිවිමක් වුනාම ඔවුන්ගේ පොම්පාගාර සියල්ල අක්‍රීය වෙනවා. බත්තරමුල්ල ඇතුලු ප්‍රදේශවල තියෙන පීඩන පොම්ප සියල්ල මේ නිසා අකර්මන්‍ය වෙනවා.

ජල සම්පාදන මණ්ඩලය සමග විදුලිබල මණ්ඩලය අවබෝධයකින් කටයුතු කරනවා නම් රටේ ජල සම්පාදනයට බාධා නොවන අකාරයකින් විදුලි කප්පාදුකිරීම කරන්න හැකියාව තියෙනවා. පොම්ප ක්‍රියාකරන ස්ථානවල විදුලිය අත්හිටුවීම වලැක්වීමේ පියවරක් ගන්න තිබුණා. එවැනි සම්බන්ධීකරණයක් නැති නිසා සියලු පොම්පාගාරවල ජල පොම්ප අක්‍රීය වෙනවා. ඒවායේ ජල පීඩනය  යථා තත්ත්වයට පත්වීමත් සමග නැවත විදුලිය අක්‍රීයවීමක් සිද්ධ වෙනවා. ගිය සෙනසුරාදා සිට පැවැතුනු ජල කප්පාදුවෙන් පස්සේ ඊයේ රෑ ඉදලයි කොළඹ ජනතාවට හරියට ජලය ලැබෙන්න ගත්තේ. මේ කෙන් දරුවා පාසල් යවන්න, රාජකාරිවලට යවන්න බැරි වුනා.

ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය සතුව මෙවැනි හදිසි අවශ්‍යතා කළමණාකරණය කිරීමේ පහසුකම් නැති බව අපිට අවබෝධ වුනා. ඔවුන් සතුව ප්‍රමාණවත් බවුසර් තිබුනේ නැහැ. හදිසි අවස්ථාවල පොම්ප සක්‍රීය කරන්න ජෙනරේටර් තිබුණා. ඒවා අක්‍රීය වෙලා තිබුනේ. ඔවුන්ට හදිසි ජෙනරේටර් මිලදී ගෙන තත්ත්වය යථා තත්ත්වයට පත්කරන්න හැකියාවක් තිබුනේ නැහැ. මේ නිසා විදුලිය වගේම ජලයත් නැති වෙලා ජන ජිවිත අඩාල වුනා.  රෝහල්වලට විශාල බලපෑමක් වුනා. ශල්‍යකර්ම කිරීම නතර කරන්න වුනා. ඔසුසල්වල ඔසුතොග නැවත භාවිතා කිරීම අපහසුයි. අඛණ්ඩ උෂ්ණත්වයකින් පවත්වා ගෙන යා යුතු එන්නත් වර්ග තිබෙනවා. සුපර් මාර්කට්වල සිට සෑම ව්‍යවසායයෙක්ටම තමන්ගේ භාණ්ඩ කල්තියා ගැනීමේ ක්‍රමවේද සොයාගන්න සිදුවුනා. සමහරක්විට භාවිතයට නුසුදුසු ආහාර වර්ග පාරිබෝගික ජනතාව අතරට එන්න පුලුවන්. මේ වැනි ජාතික අරුබ්දයකට ආණ්ඩුව සාධනීය මැදිහත්වීමක් නොකරන බව පේනවා. මේ රට ගොඩනැගීමේ ශක්තිය ආන්ඩුවට නැති බව විශ්වාසයි.

ඒනිසා තීරණාත්මක මැතිවරණයකදී ජනාතව නිවැරදි තින්දුවක් ගනියි. මීට වසර 15ට පෙරයි මේ වගේ විදුලි කප්පාදුවක් වුනේ. ඒ කියන්නේ රට ආපස්සටයි ගමන් කරමින් තිබෙන්නේ. හෙට (05) පාර්ලිමේන්තුවේ තීරණාත්මක දවසක්.

අයවැය තුන්වැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ අපි සියලුදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා. ශ්‍රීලනීප අපේ සහෝදරවරු ඔවුන්ගේ ගැටලුව නිරාකරණය කරගෙන ඇති කියලා අපි විශ්වාසකරනවා. අයවැය තුන්වැනි වර කියැවීමේදී මේ අසාර්ථක අයවැයටත් අදූරදර්ශී පාලනයටත් එරෙහිව ඡන්දය දෙයි කියලා අපි විශ්වාස කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා

මේ ආන්ඩුව අවුරුදු 4ට ආසන්න කාලය තුල රටෙ සියලුම අංශ විනාශ කරලා ඉවරයි. විවිධ පක්ෂවලින් රට පාලනය කරලා තිබුණත් මේ විදියට රට අගාධයකට ගිය කසිම ආන්ඩුවක් මේ රටේ තිබුලා නැහැ. මේ ආන්ඩුවට සැලැස්මක්, වැඩපිළිවෙලක් නැහැ. හෙට දකින්නේ නැහැ. මිට කලින් තෙල් නැව එනකල් අපිට බලාගෙන ඉන්න වුනා. අද දකුණූ ආසියාවේ පැය 24ම විදුලිය දෙන්න බැරි එකම රට ලංකාවයි. ජනතාවට කියනවා දවල්ට පැය තුනක් සහ රෑට පැයක් විදුලිය කප්පාදු කරනවා කියලා. ඒක අමූලික බොරුවක්. සමහර ප්‍රදේශවලට පැය 6ක් 8ක් විතර විදුලිය කප්පාදු කරනවා. අද රටේ ආර්ථකයට මේක සෑහෙන්න බලපාලා තිබෙනවා. හැම රටකම වාර්ෂීකව විදුලි ඉල්ලුම වැඩිවෙනවා. නමුත් මේ ආන්ඩුවට කිසිම බලාගාරයක් හදාගන්න බැරිවුනා. හම්බන්තොට තිබුන මෙගාවොට් තුනක් විදුලිය නිපදවපු සුළං බලාගාරයත් අද ගලවලා දාලා. වරාය චිනයට දෙන අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ගිවිසුමකට ආවානම් මේ විදුලි කප්පාදුන විනාඩි පහකින් හෝ අඩු කරන්න තිබුණා.

2014 වෙද්දි හම්බන්තොට කර්මාන්තපුරයට එල්. එන්. ජී බලාගාරයක් එනවා. එනර් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් කියන බලාගාරයෙන් මෙගාවොට් 1200ක් සැපයීමේ හැකියාව තියෙන බලාගාරයක් ආවේ. 2016 වෙද්දි මොගාවොට් 300ක්,2018 වෙද්දි තව 300ක් 2020 වෙද්දි ඉතිරි 600ත් විදියට විදුලි ධාරිතාව සපයන්නයි මේ බලාගාරය ආවේ. නමුත් මේ ආන්ඩුවට කොමිෂ් මුදල ලැබෙන්නේ නැති වුනාම ඒ සමාගම හරවලා යැව්වා. මේ අය බලාපොරොත්තු වුනේ බ්‍රිතාන්‍ය සමාගම එක්ක ගිවිසුම් ගත වෙන්න. ඒ සමාගමෙන් එක විදුලි ඒකකයක් මිලදී ගන්න නියමිතව තිබුනේ රුපියල් 10.50කට. මේ බලාගාරය හැදුවේ නැති නිසා අද පැය ගණන් විදුලිය කපනවා. මේ වෙද්දි පාවෙනබලාගාර දෙකක් ලංකාවට ඇවිත් තියෙනවා. අපිට මේවායින් විදුලිය ගන්න වෙන්නේ රුපියල් 30 ගානේ. 10.50ට ගන්න ඒකකය 30ට ගන්න වීම නිසා වසරකට රුපියල් කෝටි 4200ක් පාඩු වෙනවා. 2016 වර්ෂයේ සිට අද වෙනකල් වුනු පාඩුව කෝටි 12000ක්. මේක මහ බැංකුවේ වංචාවට ආසන්න පාඩුවක්. එදා මේ එල්. එන්. ජි බලාගාරය ඉදිකරලා තිබුණා නම් අද විදුලි කප්පාදුවකුත් නැහැ. ජනතාවට මීට වඩා සහන මිලකට විදුලිය දෙන්නත් තිබුණා. ඒ සම්බන්ධයෙන් මේ ආන්ඩුව කටයුතු කලේ නැතිව අද වෙද්දි සියලු වැරදි රවි කරුණානයක ඇමැතිවරයා පිටදාන්න අත්සාහ කරනවා.

පහුගිය කාලයේ හැම දේකටම කතා කරපු අජිත් පී. පෙරේරා කොහෙද කියලා දැනගන්න අපි කැමැතියි. එතුමා කිව්වේ ලංකාවට විතරක් නෙවෙයි වැඩි වෙන විදුලිය අපි ඉන්දියාවට දෙනවා කියලයි. සූර්ය බල ශක්තිය ගැන කතා කළා. න්‍යෂ්ඨික බලාගාර ගැන කතා කළා. පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කළා. ද කෝ මේ අජිත් පි. පෙරේරා. පුලුවන්නම් අපිට මේ නියෝජ්‍ය ඇමැතිතුමාව හොයලා දෙන්න.

අයවැය සම්මත කිරීමට නියමිතව තිබුනා. නමුත් අයවැයක් ගැන කිසිම හැගීමක් රටේ නැහැ. ගිය අයවැයෙන් මුදල් අමාත්‍යංශයෙන්ම සියයට 80ක මුදලක් ආපස්සට යනවා. මේ මාස අටකට තියෙන අයවැයෙන් සියයට 90ක් ආපස්සට යන බව නම් විශ්වාසයි. මේ අයැවැය අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි. මේ අයවැය ජය ගැනීම ආන්ඩුවට ප්‍රශ්නයක්. මේ වෙද්දි ඡන්දය ගන්න විවිධ සාකච්ඡා තියෙනවා. වරප්‍රසාද, මුදල් ලබා දෙන්න අත්සාහ කරනවා. බැරිම නන් අයවැයට සහභාගි නොවී ඉන්න හරි වරප්‍රසාද දෙන්න හදනවා. ඒ නිසා ඔබගේ මන්ත්‍රීවරයා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අවබෝධයෙන් ඉන්න.

මලික් සමරවික්‍රම ඇමැතිවරයාගේ වැය ශිර්ෂයට ඡන්දය දෙන්න නොපැමිණි මන්ත්‍රීවරුන්ට විනය පරික්ෂණ ආරම්භ කර තිබෙනවාලු. එහෙම නම් අපි පරාජය කරපු වැය ශීර්ෂ දෙක සම්බන්ධයෙන් මෙවැනි පියවරක් ගත්තේ නැත්තේ ඒ වැය ශිර්ෂ දෙක පරාජය කරන්න ආණ්ඩුවෙනුත් උදව් කරපු නිසාද. මේක තමයි අද ආන්ඩුවේ තත්ත්වය. එජාපයේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ඡන්ද අයිතිය පෙන්වන්න ක්‍රමවේදයක් නැහැ. ඒ පිපිරීම වැඩිකල් යන්න පෙර එලියට එනවා. සමහර විට අයවැය ඡන්දයේදී එළියට එන්නත් පුලුවන්. අපි නම් අනිවාර්යයෙන්ම මේ අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා.

මාධ්‍ය – අයවැය පරාජය වුනොත් ආන්ඩුව විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න සූදානමක් තියෙන බව කියනවා.

රමේෂ් පතිරණ – එවැනි යෝජනාවක් සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍යයි. අයවැය පරාජයට පත්වුනොත් අලුත් ආන්ඩුවකට ආරාධනා කරන්න ජනාධිපතිවරයාට අවස්ථාව තියෙනවා. එහෙම දෙයක් වුනොත් ඒ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් සලකා බලනවා.

මාධ්‍ය – අයවැය පරාජය කිරීමේ හැකියාවක් සංඛ්‍යාත්මකව තියෙනවාද.

රමේෂ් පතිරණ – දැනට ඒකාබද්ධ විපක්ෂයේ අපි සියලු දෙනා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු සහ ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු ඔක්කොම 101ක්. දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය හා අනෙකුත් සහාය දක්වන මුස්ලිහම් කොංග්‍රසය වැනි පක්ෂ එකතු වීමේදී ආන්ඩුවේ පිරිස බලාගන්න පුලුවන්. පරාජය වුනු වැයශීර්ෂ දෙකට ආන්ඩුවේ මන්ත්‍රීවරු හිතාමතා සහභාගි නොවුනු බවත් අපිට වාර්තා වුනා. ඒ වගේම අපිත් සමහර මන්ත්‍රීවරු සමග සාකච්ඡා කරනවා. අපි අත්සාහ කරනවා.

 මාධ්‍ය – ඒකියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය මේ සදහා අවශ්‍ය වෙනවා .

රමේෂ් පතිරණ – සංඛ්‍යාත්මකව අවශ්‍ය වෙනවා. එජනිස විදියට 95යි. ජවිපේ 6යි. කිහිප දෙනෙක් එකතු වුනොත් පරාජ කරන්න පුලුවන්.

මාධ්‍ය -නමුත් ශ්‍රිලනිපයේ ඉන්න කිහිප දෙනෙක් දැනුත් ඉන්නේ එජාපයේ වගෙයි පේනනේ.

රමේෂී පතිරණ – ඇත්තෙන්ම එවැනි ජුගුප්සාජක තත්ත්වයක් තියෙනවා.ඒ පැත්තේ ඉන්නවා වගේ ඉදලා තීරණාත්මක අවස්ථාවක අපිට සහයෝගය දෙන් ඉඩ තියෙන අයත් ඉන්නවා.

මාධ්‍ය – රාජිත සේනාරත්න ඇමැතිවරයා කියනවා ඉදිරියේ හැදෙන පුලුල් සංවිධානයට ශ්‍රිලනීපයේ කෙනෙක්ගේ නායකත්වයෙක් පිරිසක් එජාපය වේදිකාවට එන බව. බැලුවම ඒක ඇත්ත වගෙත් පේනවා.

රමේෂ් පතිරණ – එතුමා එවැනි දේශපාලන ප්‍රකාශ කොහොමත් කරනවා. පසුගිය ඔක්තෝම්බර් ආන්ඩුවට එකතු වෙන්න හිටපු ප්‍රබල ඇමැතිවරු හිටියා. නම නරක් වුනු අය අරන් ආන්ඩුවක් හදන්න අපිත් අකමැති වුනා. එන්න අහපු අහපු හැම කෙනාම අරගන්න අකමැති වුන නිසයි අපිට 113 හදා ගන්න බැරිවුනේ. අපිත් කැමැති නැහැ එන හැම කෙනාවම ලංකර ගන්න. දේශපාලන වශයෙන් අපිටත් සමහර දේශපාලන නම් ලං කර ගන්න අපිටත් පිළිකුලක් තියෙනවා.

මාධ්‍ය – අයවැය සම්බන්ධයෙන් ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් තියෙනවා කියලා මාධ්‍ය වාර්තා කරනවා.

රමේෂ් පතිරණ – ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අඛණ්ඩව පවතිනවා. අපි විශ්වාස කරනවා ශ්‍රිලනිප මන්ත්‍රීවරු අයවැයට විරුද්ධ වෙයි කියලා.

මාධ්‍ය – අයවැය පරාජය කරගන්න බැරිවුනොත් මොකද කරන්නේ.

රමේෂ් පතිරණ – 2019 අපි හදුනාගෙන තියෙන්නේ විජයග්‍රහණයේ වසර විදියටයි. කවුරු එකග නොවුනත් නැතත් කල් තබන්න බැරි මැතිවරණයක් වෙන්නේ ජනාධීපතිවරණය. පළාත් සභා මැතිවරණය කල් තියාගන්න පුලුවන්. අපක්‍රම භාවිතා කරලා මහ මැතිවරණ්‍ය කල් තියාගන්නත් පුලුවන්. හැබැයි ජනාධීපතිවරණය සම්බන්ධයෙන් එවැනි පියවරක් ගන්න බැහැ. මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ අට වෙනිදායින් පස්සේ කැදවිය යුතුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මැතිවරණයක් පැවැත්විය යුතුයි. බලය ලබාගැනීමේ කෙටි මාර්ග නැහැ. අපි මැතිවරණයට සුදානම් වෙනවා.

මාධ්‍ය – 202 ජනාධීපතිවරණ අපේක්ෂකයා අනිවර්යයෙන්ම ශ්‍රීලනිප විය යුතුයි කියලා මහලේකම්වරයා කියනවා.

රමේෂ් පතිරණ – ඔවුන් අවසන් මෙහොත දක්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයාට අපේක්ෂකත්වය දිනාගන්න උත්සාහ කරනවා. මේ වෙනතුරු මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කරලා නැහැ. ඒ පක්ෂයේ නියෝජිත මහත්වරුන්ගේ පැත්ත අනුව සාධාරණයි. බලය සමගයි ජනතාව රැදී සටින්නේ. රදවාගැනීම පිණිසත් සත්‍ය ලෙසම නාමයෝජනා ලබා ගැනීමේ උත්සාහයතක් තියෙන්නේ. හැබැයි මහ පොලොවේ සත්‍ය නම් අපි ශ්‍රීලංකා පොදුජන පෙරමුණ විදියට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. එජාපයෙනුත් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙයි. තුන්වැනි අපේක්ෂකයෙක්ට ඉඩ නැති බව ඉතිහාසය පෙන්වා දිලා තියෙනවා. තුන්වැනි අපේක්ෂකයෙක් විදියට ඇවිත් වැඩිම ඡන්ද ප්‍රමාණ්‍යක් අරන් තියෙන්නේ නන්දන ගුණතිලක මහත්තයා. ඒ ඡන්ද තුන්ලක්ෂ පනස්පන්දහසක්. ඊට පසුව රෝහන විජේනවීර මහතා දෙලක්ෂ අසූතුන්දහසක් අරන් තියෙනවා. නන්දන ගුණතිලක මහතා එතරම් ඡන්ද ගත්තේ පක්ෂය හොද තැනක සිටින අවස්ථාවකයි. නැවත වතාවක් බලයට පත් කරන්නේ රටේ ආර්ථික අර්බුදයක් ඇති කරපු ආන්ඩුවද රට නිදහස් කරලා සැම අංශයකම ප්‍රවර්ධනයක් ඇති කරපු පැත්තේ කෙනෙක්ද කියලා මේ රටේ ජනතාව තීරණය කරයි.

මාධ්‍ය – අගමැතියවරයා එල්ත එන්. ජී බලාගාරය හම්බන්තොටින් ත්‍රිකුණාමලයට යවනවා.

ඩි. වි. චානක – මේ ආන්ඩුවට ලැබෙන කමිෂන් එක විතරයි අදාලයිත සමහර සමාගම් රටවල් කොමිෂන් දෙන්නේ නැහැ.

රමේෂ් පතිරණ – මේ ආන්ඩුවට විදුලි අර්බුදය සම්බන්ධයෙන් තියෙන්නේ වැසිදෙවියන් යැදීම විතරයි. වැහි නැති හෙණ පහත් වෙයිද කියන්න බැහැ. සැබෑ අර්බුදය හමුවේ බොරදියේ මාලු බාමින් පුද්ගලික හිතවතුන්ගෙන් මිලදි ගන්නයි සූදානම.

මාධ්‍ය – රජයේ ඉඩම් නොවටිනා මුදලකට අර්ජුන ඇලෝසියස්ට ලබාදීම ගැන ඔබලා දැනුම්වත්ද

අර්ජුන ඇලෝසියස් ට රජයේ ඉඩම් නොවටිනා මුදලකට දිම සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් පවා ඉල්ලා තියෙනවා.අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩිතොරතුරු ලබා දෙනවා. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress