මේ අයවැය හුදු ලියවිල්ලක් මිස ඉදිරි දශකය සදහා කළ ආයෝජනයක් ලෙස අපි දකින්නේ නැහැ.
Posted on April 5th, 2019

අද දින (05) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා

මාසයක් පුරා සාකච්ඡාවට ලක්වුනු 2019 සදහා වූ අයවැය ලේඛණයට ඡන්දය විමසීමට නියමිතව තියෙනවා. රටේ ආර්ථික දේශපාලන තත්ත්වයත් සමග මේ අයවැය හුදු ලියවිල්ලක් මිස ඉදිරි දශකය සදහා කළ ආයෝජනයක් ලෙස අපි දකින්නේ නැහැ. රට මුහුණ දී සිටින සමාජ ආර්ථික ප්‍රශ්නවලට මේ අයවැයෙන් කිසිදු සහනයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අයවැය ඉදිරිපත් කළ දිනයේ සිට මේ දක්වා ආණ්ඩුව පැත්තෙන් අයවැය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව පේන්නේ නැහැ. අපි ආන්ඩු පක්ෂයේ ඉදලා තියෙනවා. ඒ කාලේ අයවැය ගැන තිබුනේ පුදුම උනන්දුවක්. රටේ ජනතාව හිටියේ පුදුම උනන්දුවකින්. අද ඒ දේවල් පේන්නේ නැහැ. අයවැය ගැන වැඩිම උනන්දුවකින් බලාගෙන හිටිය පිරිස වුනේ විපක්ෂය. එහි ප්‍රතිඵලයක් නිසා පසුගිය සතියේ අපිට වැයශීර්ෂ දෙකක් පරාජය කරන්න පුලුවන් වුනා. අඩුම තරමේ ශ්‍රේෂ්ඨාධිකරණයට, රටට  තමන්ට බහුතර බලයක් තිබෙන බව ඔප්පු කරපු ආණ්ඩු පක්ෂයට තමන්ගේ අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ පරාජය වීමෙන් ගලවා ගැනීමේ හැකියාවක් තිබුනේ නැහැ. ඒ පරාජය වීමට පසු දින ලක්ෂ්මන් කිරිඇල්ල ඇවිත් කියනවා මේක පරාජය වුනාට ප්‍රශ්නයක් නැහැ. රුපියල් 360ක් අඩුවෙනවා විතරයි කිව්වා. ඊට පහුවෙනිදා අගමැතිවරයා කියනවා සේවකයින් ලක්ෂ තුනකට වැටුප් ගෙවීමේ හැකියාවක් නැහැ. පළාත් පාලන ආයතන සියයට 90ට වැටුප් ගෙවා ගන්න විදියක් නැහැ. මේක පොහොට්ටුවේ අය හිතා මතාම කරපු දෙයක් කියලා. ඔව්. අපි මේක හිතාමතාම තමයි කලේ. සැලසුම්සහගතවයි කලේ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කරමින් මැතිවරණ කල් දැමීමට එරෙහිව කරපු උද්ඝෝෂණයේ එක පියවරක් විදියට, උද්ධච්චකාරි, ද්වේශ සහගත හැගීම් ප්‍රකාශ කරන චම්පික රණවකට අනතුරු ඇගවිමටත් තමයි අපි මේ දේ කලේ. අද දවසේ මේ වැය ශීර්ෂ දෙකටත් සමස්ත අයවැයටත් නැවත ඡන්දය විමසීමක් සිදුවෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ කණ්ඩායම විදියට අපි තීන්දුවක් ගත්තා. රටේ දේපල විකුණන, කිසිම හරයක් නැති, ජාතිය විජාතික කරන මේ ආන්ඩුවට එරෙහිව ඔවුන්ගේ අයවැය පරාජය කරන්න අපේ ඡන්දය ප්‍රකාශ කරනවා. ඒ සදහා විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම්වල සහායත් අවශයයි. ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව කියලා තියෙනවා. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අද දවසේ අයවැයට විරුද්ද ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න. මේ සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් සහභාගිත්වයෙන් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වුනා. එතැනදි ජනාධිපතිතුමා ප්‍රකාශ කලේ අද දවල් 12ට ඡන්දය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ගන්න තීන්දුව ප්‍රකාශයට පත්කරනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරයි කියලා. යම් ආකාරයකින් අයවැය දෙවන වර කියවීමේදී සිදුවූ ආකාරයට ඡන්දය ප්‍රකාශ නොකිරිම හෝ අයවැයට පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමක් සිදුවුවහොත් එය ශ්‍රීලනීප මන්ත්‍රීවරුන්ගේ ඉදිරි අනාගතයට බරපතල ලෙස බලපාන සාධයකයක් බවට පත්වෙනවා. ජන්දය දීමෙන් හෝ නොදීමෙන් අයවැය දිනවන්න සහාය දැක්වූවොත් ඒක මේ රටේ ජනතාවට කරන අසාධාරණයක්. අද මේ රටේ ජනතාවට කන්න නැහැ. සිංහල අලුත් අවුරුද්ද එනවා. ඒ වුනාට අද බලන්න නගරවල කඩසාප්පු සියල්ල වේලිලා. කිසිම වෙලදාමක් නැහැ. මිනිස්සුන්ට විදුලිය නැහැ. වතුර නැහැ. අද කොළඹ නගරයත් එක්ක මුලු රටේම ජනතාව කරවෙලා පිච්චිලා ඉන්නේ. දවල් දවසේ වැඩක් කරගන්න බැහැ. රාත්‍රී කාලයේ කෑමක් හදාගන්න ඇදුමක් මැද ගන්න විදියක් නැහැ. සාමාන්‍ය ජන ජිවිතය සම්පූර්ණයෙන් කඩා වැටිලා. මේ වෙද්දි විදුලිය දෙන්න කිසිම වැඩපිළීවෙලක් ආන්ඩුවට නැහැ. ජනතාවට එපා වුනා තිත්ත වුනු මේ ආන්ඩුව වෙනුවෙන් සෘජුව හෝ වක්‍රව සහාය දීමක් ශ්‍රීලනීප මන්ත්‍රීවරුන් අතින් සිදුවුනොත් ඒක ඛේදවාචකයක් වෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මේ ආන්ඩුව පෙරළීමට ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා.මේ සැබෑ වුවමනාවට අවශ්‍යතාවයක් තිබේ නම් අද දවසේ අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ වෙද්දි සමහර මන්ත්‍රීවරු ප්‍රකාශ කරලා තියෙනවා පක්ෂය මොන තින්දුව ගත්තත් ඔවුන් අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව. අයවැයට ඡන්දය දුන්නොත් හෝ ඡන්දය නොදී පළා යාමෙන් මේ රටේ ප්‍රගතිශීලී, ආන්ඩු විරෝධී , එජාප විරෝධී ජනතාවගෙන් නම් කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා

තව දින කිහිපයකින් සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වුනත් ජනතාව ඉන්නේ එදා වේල ගැටගසා ගන්න බැරිව. දරුවන්ට රෙදි කෑල්ලක් ගන්න, නෑගම් යන්න, විනෝද ගමනක් යන්න බැරි තත්ත්වයට අද මේ රටේ ජනතාව පත්වෙලා ඉන්නවා. මේක සම්පූර්ණයෙන්ම රජය වගකිව යුතු තත්ත්වයක්. පොලොන්නරුවේ වී කිලෝව රුපියල් 25යි. වී දාන මල්ල රුපියල් 55යි. වී කිලෝ දෙකක් විකුණන්න වෙනවා වි මල්ල ගන්න.2015 වි මිල තිබුනේ රුපියල් 35ට. හාල් කිලෝව තිබුනේ රුපියල් 60ට. අද වීකිලෝව රුපියල් 25යි. හාල් කිලෝව රුපියල් 100ට වැඩියි. වි ගොවියාට අස්වැන්න අරන් ජිවත් වෙන්නත් බැහැ. ගොවියෝ නොවෙන අයට ලාබෙට හාල් අරන් කාලා බිලා ඉන්න විදියක් නැහැ.

සුලු අපනයන බෝගවලින් මහනුවර ප්‍රදේශයේ ජනතාව ජිවත් වෙනවා. අද ගම්මිරිස් මිල ඉතාම පහත වැටිමක් වෙලා තියෙනවා. එදා කිලෝව 800ක් විතර වුන ගම්මිරිස් අද රුපියල් 300ට බැහැලා.කරාබු මිලත් ඒ වගේමයි. මම දන්නේ නැහැ මේ ආන්ඩුව කොහොමද කරන්නේ කියලා. අද රබර් කිරි මැලේසියාවෙන් ගෙන්වීම නිසා රබර් කර්මාන්තය පහත වැටෙමින් තිබෙනවා. බදු පිට බදු පනවලා ලයිසන් ගන්න ගියාම බද්දක් තියෙනවා. ඊට වැඩියි කාබන් බද්ද. අයෙත් දුම් සහතිකයකුත් ගන්න වෙනවා. මේ ඇමතිතුමා තව ටික දවසකින් රෝදවලට හුලං ගහනවා කියලා හුලං බද්දකුත් පනවයිද කියලා කියන්න බැහැ. මේ වගේ ජනතාව පීඩාවට පත්කරලා. තමන්ගේ දරුවාට ඇදුමක් ගන්න බැරි තත්ත්වයට ගොවියා පත්වෙලා. විනෝද ගමනක් නෑගමනක් යන්න බැරි තැනට ජනතාව පත්වෙලා. මේ අයවැය පරාජය කිරීමටඅපි සෑම උත්සාහයක්ම ගන්නවා. අපේ මන්ත්‍රීවරු වැය ශීර්ෂ දෙකක් පරාජය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මොනවගේ තීන්දුවක් ගනියිද කියන්න අපි දන්නේ නැහැ. මොන දේ කළත් වෙන්නේ විහිලු සැපයිමයි. එක දවසකට විරුද්ධව ඡන්දය දෙනවා. තව දවසට පක්ෂව ඡන්දය දෙනවා. ආයෙත් පැනලා යනවා. මේ ප්‍රතිපත්ති මොනවාද කියලා අපිට තේරෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ රජය ගෙදර යා යුතුයි කියන තැනයි ජනතාව ඉන්නේ. බලහත්කාරයෙන් තමි රැදී ඉන්නේ. මෙවැනි වියලි කාලගුණික තත්ත්වයන් මීට පෙරත් තිබුණා. හැබැයි හැම තිස්සෙම බැන්නේ රාජපක්ෂ ණය රාජපක්ෂ ණය කියලයි. ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ තියෙනවා ඔය ගත්ත ණය. අද මේවා හදලා නොතිබුණානම් වෙන්නේ කලුවරේම ඉන්නයි.

ඊයේ පෙරේදා අසන්දිමිත්තා කියලා චිත්‍රපටයක් සම්මානයට පාත්‍රවුනා. අපි දැක්කා විදුලි බල ඇමැතිතුමාට සමාජ ජාලා වල විසන්දි මුත්තා කියලා දාලා තියෙනවා. මේවිසන්දි මුත්තලා එක්ක රට ඉදිරියට ගෙනියන්න බැරි නිසා විසන්දි මුත්තලා ටික විසන්දි කරලාම දාන්න මැතිවරණයක් ලබා දෙන්න කියලයි අපි කියන්නේ

මාධ්‍ය – අයවැයෙන් ජනතාවට ණය දෙන්න සූදාම් වෙනවා.

දිලුම් අමුණුගම – ඔව්. ජනතාව තවත් ණය කරන එක ගැන ජනතාව තින්දුවක් ගනියි. තාම එක ණයක් දීපු තැනක් පෙන්වන්න. එහෙම තැනක් නැහැ. වික්‍රමසිංහ මහත්තයා එන්ටර්ප්‍රයිස් එන්ටප්‍රයිස් කියලා කෑ ගහනවා.නමුත් කරාබුවලට, ගම්මිරිස්වලට, රබර්වලට, හාල්වලට කිසිම ප්‍රයිස් එකක් නැහැ. බදුවලට විතරයි ප්‍රයිස් තියෙන්නේ. ඒක තමයි එතුමාගේ ප්‍රයිස් එක.

රංජිත් සොයිසා – දේශීයව රට ඇතුලේ තියෙන මුදල් ටික ණය විදියට දුන්නා කියලා රටේ ආර්ථිකය කොයි විදියටද ප්‍රසාරණය වෙන්නේ කියන්න වෙනවා. අනිත් එක මේකෙන් දේශීය රාජ්‍ය බැංකු ටික කඩා වැටීමේ අවධානමක් තියෙනවා. මේවා ජනතාවගේ මුදල්.

මාධ්‍ය – ඔය කියන විදියට ණය දෙන්න බැංකු සූදානම්ද

රංජිත් සොයිසා –  මේ අය කියන විදියට බැංකු ණය දීලා නැහැ. බැංකුවල නිර්ණායක අනුව ඇප තියාගෙන තමයි ණය දේනනේ. බැංකුවල තියෙන්නේ ජනතාවගේ මුදල්. මේ අය කියන විදියට අඥාන වෙලා බැංකු වැඩ කරන්නේ නැහැ.

දිලුම් අමුණුගම – පොලියෙන් එක කොටසක් ආන්ඩුව බැංකුවට දෙන බවයි කියන්නේ. පහුගිය අවුරුද්දේ පොලිය බැංකුවලට ගෙවන්නේ නැතිව බිලියන ගාණක් තියෙනවා. එහෙම වෙලා මේ අවුරුද්දේ ණය දෙයි කියලා හිතන්න බැහැ. ණය අරන් මොනවාද කරන්න පුලුවන්. ණය අරන් ණය කාරයෙක් වෙලා  කාලා බීලා බෙල්ලේ වැල දාගන්න එක තමයි කරන්න වෙන්නේ. අද කොන්ඩේ කපන මිනිහාට කොන්ඩේ කපන්න විදුලිය නැහැ. රෙදි හොදන ලොන්ඩරියකට වැඩ කරගන්න විදියක් නැහැ. සරවිස්ටේෂන්වල වාහනක හොදගන්න බැහැ. දවසේ පැය ගාණක් අක්‍රිය වෙලයි තියනේනේ. මිට වඩා පායන කාලවල් තිබුණා. මේවාට පෙර සූදානමක් තියෙන්න වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා රට භාරගන්න අවස්ථාවේ විදුලිය තිබුනේ ජනතාවගෙන් සියයට 70ටයි. මහින්ද මහත්තයා ජනතාවගෙන් සියයට 95ටම විදුලිය දෙන්න අවශ්‍ය පියවර ගත්තා. දැන් අලුත් සම්බන්ධතාවයක් දෙනවා තියා දීලා තියෙන සම්බන්ධතාවයන් ටිකවත් පවත්වා ගෙන යන්නේ නැහැ. කරන්නේ වෙන වැඩනේ. දිවුරුම් දෙනවා. ඒවගේ කරන්න තියෙන දේවල් නොකර වෙනවෙන දේ කරපුවාම මෙහෙම තමයි වෙන්නේ.

මාධ්‍ය – මාධ්‍ය වාර්තා කරනවා කොළඹටත් විදුලිය කැපීමේ සූදානමක් තියෙන බව. ඇැතිවරයාකියනවා අවුරුද්දෙදි කලුවරේ තියෙන්නේම නැහැ කිව්වා.

දිලුම් අමුණුගම – ඔය කතාවෙන්ම පේනවා නේ මේ අයගේ ප්‍රතිපත්තිය. කොළඹ විතරක් අදුරේ නොතිබුනොත් ඇතිද. එතකොට ගම. කොළඹට කිරි ගමට කැකිරි පුතිපත්තියක් . කොළඹ එලියේ තියෙද්දි ගම අදුරේ. කොළඹ එන්ටර්ප්‍රයිස් තියෙනවා. ගම වී විකුණ ගන්න බැහැ.

මාධ්‍ය – අවුරුද්දට කපන්නෙම නැහැ කිව්වා.

රංජිත් සොයිසා – මේ අය ජෙරේටර් නැවක් ඇණවුම් කරලාතියෙනවා. ඒ කියන්නේ මේ අය පායන කොටම මේක කරලා කියලා නොයෙකුත් කතන්දර තියෙනවා. අවුරුද්දට කොමිස් එකක් හොයා ගන්න  හදන බව පේනවා. නිලධාරීන්ට හොදටයි. මල්ල කරේ.

මාධ්‍ය – ලංකාවේ හදන තැන්වලින් විදුලිය නොගෙන ඇයි මේ නැව් වලින් ගන්නේ.

රංජිත් සොයිසා – ප්‍රමාණවත් නැහැ කියන මතයේ ඉන්නවා ඇති. තුර්කියෙන් නැවක් ගෙන්වලා විදුලිය දෙන්න ප්ලෑන් කරන වෙලේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දත්ත අරන් විදුලිය අඛණ්ඩව දෙන්න පියවරක් ගන්න තිබුණා.

දිලුම් අමුණුගම- රබර්කිරිත් පිටරටින් ගෙන්වන කාලයක්. ලංකාවේ මිනිස්සු වතුරයි විදුලියයි විතරයි ලංකාවේ කියලා දෙයක් පාවිච්චි කලේ. විදුලියත් තුර්කියෙන් ගෙනත් විතුරත් ගෙනාවනාම් සියයට සියයක් විදේශ රටවල් මත යැපෙන්නේ.ඒ සම්මානයත් ලැබෙයි. අපි දැක්කානේ පහුගිය කාලයේ ස්වාමින් වහන්සේලාට සලකපු අයට එහෙම සම්මාන ලැබෙන හැටි. මේ අයටත් සියලු දේ රටින් ගෙන්වන තත්ත්වයට පත්කිරීමේ සම්මානය හමුවෙයි.

රංජිත් සොයිසා – අපි යෝජනාව කරනවා ශ්‍රි මුඛ මදුර භාෂීනී සම්මානය ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාට දෙන්න කියලා.

මාධ්‍ය –  හදිසි මිලදි ගැනීම් වලට පනතේ අවසර තියෙනවා.

දිලුම් අමුනුගම –  පනතේ වගන්ති තියෙන්නේ හදිසි අවස්ථා සදහානේ. නිත්‍යානුකූල නොවන දෙයක් වෙනවා කියලා අපි චෝදනා කරන්නේ නැහැ. ඒ වගේම රවී කරුණානායක මහත්තයා ආපු මාස කිහිපයේ නෙවෙයි මේක වුනෙත් නැහැ. ජනාධිපතිවරයාගේ සිට මේ කැබිනට් මණ්ඩලයේ හිටපු සහ ඉන්න සියලු දෙනා මේ රටට අත්වෙලා තියෙන තත්ත්වයට වගකිවයුතුයි.බැරිනම් ගෙදර යායුතුය්. නැත්නම් මැතිවරණයකින් ගෙදර යැවීමට ජනතාව සූදානමින් සිටින බව වටහා ගත යුතුයි.

මාධ්‍ය – හදිසි මිලදී ගැනීමේ යටතේ නැවෙන් විදුලිය මිලදි ගන්න කොට වාසි තියෙනවාද

දිලුම් අමුණූගම – මොනවා හරි වෙනවා. හදිසි මිලදී ගැනීම්වලින් වාසි තියෙන නිසානේ පෙර සූදානමක් නැතිව හදිසි මිලදිගැනීම් කරන්න වෙනකල් බලන් ඉන්නේ. පස්සේ මේ දේවල් එළියට එයි.

රංජිත් සොයිසා – නිති විරෝධී මත් ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීම් වෙනවා. ඒ සදහා නවින තාක්ෂණය උපයෝගි කරගත්තේ නැහැ කියලා ජනාධීපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මත්ද්‍රව්‍ය වැටලිම් අපකරණ හදසි මිලදී ගැනීම් යටතේ මිලදි ගන්න සූදානම් වෙන බවට අපි ලග ලිපි ලේඛණ තියෙනවා. රුපියල් බිලියන ගානක් වැය කරමින් මේ හදිසි මිලදිගැනිම් කිරිම පිටුපස්සේ දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවා.

 මාධ්‍ය – මේ අය රටට වැඩක් කරනවා වෙනුවට හදිසි මිලදි ගැනෟම් කරමින් සිටිනවා කියලාද කියන්නේ.

රංජිත් සොයිසා- තව හය මාසේනේ තියෙන්නේ. දැන් ඉන්නේ ගෙදර යන ගමන්. මේ කරන්නේ ගෙදර යන ගමන් කීයක් හරි සාක්කුවට දාගන්න එකයි

මාධ්‍ය -අයවැය සම්බන්ධයෙන් ශ්‍රිලනිපයේ තීන්දුවත් එක්ක ඉදිරියේ ගොඩනැගෙන සන්ධානයට මොනවගේ බලපෑමක්ද වෙන්නේ.

දිලුම් අමුණුගම – එදා පැනලා ගියා. අද මොනවා කරයිද දන්නේ නැහැ. සන්ධානගතවිම කෙසේවෙතත් අවුරුද්දට නැවත ගම්වලට යාමේ ප්‍රශ්නයක් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ට ඇතිවෙලා තියෙනවා මේ පැනලා යාම නිසා. විරුද්ධ නම් විරුද්දයි. පක්ෂ නම් පක්ෂයි. හැංගෙන්න පැනලා යන්න දෙයක් නැහැනේ. අවුරැද්දට ගෙදර යාමේ එකම හැකියාව ලැබෙන්නේ අයවැයට විරුද්දව ජන්දය භාවිතා කිරිමයි.

මාධ්‍ය – ශ්‍රීලනිපයේ මොනවගේ අයද සැක කියලා කියන්න පුලුවන්ද

දිලුම් අමුණුගම – එහෙම නම් කියන්න වුවමනාවක් නැහැ. අපි හොයන්න කලඹල වෙන්නෙත් නැහැ. වැඩි හරියක් ඇවිත් තියෙන්නේ ලයිස්තුවෙන්. ඡන්දෙන් ආපු අය නම් ටිකක් කළඹල විය යුතුයි. ඒ අයට දිස්ත්‍රික්කයෙන් ඡන්ද ලැබිලා තියෙන නිසා.

මාධ්‍ය -ජනතාවට නම් මේ අය ගැන දැන ගන්න අවශ්‍යයි.

දිලුම් අමුණුගම – අද රෑ අටේ ප්‍රවෘත්ති විකාශය යද්දි ජනතාවට දැන ගන්න ලැබෙයි.

මාධ්‍ය – අපි බැලුවේ දෙක තුනවෙද්දි මේ අය යනවා කියලා කියන්නයි.

දිලුම් අමුණුගම – ගිය වතාවේ පහ වෙනකලුත් හිටියානේ. හය වෙද්දිනේ නැතිවුනේ. ඒ නිසා දැන්ම කිව්වාට වැඩක් නැහැ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress