රන්ජන් රාමනායකගේ කතාව හා සමාජ ප්‍රවණතා
Posted on July 18th, 2019

කතු වැකිය ලංකාදීප

යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය පදවියක් හොබවන රන්ජන් රාමනායක භික්ෂු සමාජය ගැන කරන ලදැයි කියන ප්‍රකාශයක් පිළිබඳව ලොකු කලබගෑනියක් හටගෙන තිබේ. ඔහු එම ප්‍රකාශය මගින් මෙරට භික්ෂු සමාජය දැඩි විවේචනයට ලක්කර ඇත. යූ ටියුබ්” මාධ්‍ය ඔස්සේ සාකච්ඡාවකට සහභාගී වෙමින් රන්ජන් රාමනායක විසින් කරන ලද ප්‍රකාශය වැරැදීමක් හෝ වැරදි අර්ථ දැක්වීමක් නොව ඔහු විසින්  පුවත් මැවීමට හෝ පොරක් වීම” සඳහා කරන ලද්දක් සේ සමාජයේ කතාබහට ලක්ව ඇත.

ඔහු මහජන  නියෝජිතයෙකි. මහජන නියෝජිතයකු වන්නට පෙර හෙතෙම ශ්‍රී ලාංකික සමාජයේ සාමාජිකයෙකි. නළුවෙකි. ප්‍රකට චරිතයකි. මෙවන් අයට සමහරුන් කියන්නේ ජනමත ප්‍රධානීන් කියාය. ජනමත ප්‍රධානියකු මහජන නියෝජිතයකු වනවිට ඔහු හැසිරිය යුත්තේ සංයමයෙනි. එහෙත් රන්ජන් රාමනායක තවත් වරක් හැසිරී ඇත්තේ සමාජයේ විවේචනයට ලක්වන ආකාරයටය.

මෙවන් සංඝයාවහන්සේලාගෙන් ආණ්ඩුව කරන හැටි ගැන දේශපාලන ලොක්කන් උපදෙස් ගන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කර ඇත. මේ කතාවට මාධ්‍ය ප්‍රචාරයක් ලැබීමෙන් රන්ජන් තෙමේගේ ප්‍රචාරක අරමුණ නම් ඉටු වී ඇත. එහෙත් දේශපාලනඥයකු වශයෙන් මෙන්ම මෙරට සමාජයේ සාමාජිකයකු ලෙස රන්ජන් මෙරට බහුතර දේශපාලනඥයන්ගේත් බෞද්ධ අබෞද්ධ යහපත් සමාජයේත් විවේචනයට පාත්‍රවී තිබේ. ඔහුට ඒ ගැන සතුටක් තිබෙන්නට පිළිවන. මෙම ප්‍රකාශයෙන් අපහසුතාවට පත් රන්ජන් නියෝජනය කරන එ.ජා.පයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගෙන් කරුණු විමසූ විට සහ අමාත්‍යවරුන් ගණනාවක්ම ඔහුට භික්ෂූන්වහන්සේලාගෙන් සමාව ගන්නා ලෙස දැන්වූ විට ලබාදුන් පිළිතුරෙන් පෙනී යන්නේ රන්ජන් තමාගේ ප්‍රකාශය ගැන එතරම් තැකීමක් නොකරන බවයි.

භික්ෂූන්වහන්සේගෙන් සමාව ගන්නැයි කී අයට රන්ජන් දුන් පිළිතුර අනුව ඔහු කළ දේ ගැන සමාව නොගත යුතු බව පවසමින් කියා ඇත්තේ තමන් ගරුතර මහා සංඝරත්නය අපහාසයටත් නින්දාවටත් ලක්කර නොමැති බවයි. ඒ නිසා සමාව ගැනීමක් අවශ්‍ය නොවන බවද හෙතෙම ප්‍රකාශ කර ඇත. එහෙත් ඔහුගේ පක්ෂයේ නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රන්ජන් රාමනායකගේ අදහස තරයේම ප්‍රතික්ෂේප කරන බවට විශේෂ ප්‍රකාශයක් කර තිබේ. මහා සංඝරත්නය ගැන සැමවිටම ගෞරව සම්ප්‍රයුක්තව ක්‍රියා කරන තමන්ගේත් තම පක්ෂයේත් මතය එය නොවන බවට අග්‍රාමාත්‍යවරයා කර ඇති ප්‍රකාශයෙන් ද එය ඉතා පැහැදිලිය. මේ අතර තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවත් එම වෙබ් අඩවියට විරුද්ධව නඩු මගට යන බවත් රන්ජන් රාමනායක කියයි.

දේශපාලනඥයෝ පුවත් මවති. අතීතයේ ගාල්ලේ ඩබ්. දහනායක, පිලිප් ගුණවර්ධන, සෝමවීර චන්ද්‍රසිරි, ඒ. ජේ. රණසිංහ ආදීහු විවිධාකාරයේ පුවත් මවා ප්‍රසිද්ධියට පත් වූහ. එහෙත් ඒ කිසිවෙක් අපේ සංස්කෘතික උරුමයට හා සමාජ සම්මතයට විකෘති ලෙස අභියෝග කළේ නැත. කට තිබෙන ඕනෑම කෙනකුට නිෂ්ඵල වචන කතා කරන්නත් අවශ්‍යනම් කුණුහරුප කියන්නටත් පිළිවන. එහෙත් ජනමත ප්‍රධානියකු වනවිට පුවත් මවන්නට ගොස් හත්පොළේ ගාගත යුතු නැත. අතීතයේ එක් වතාවක අගමැති ධුරය දැරූ සර් ජෝන් කොතලාවල මහතා භික්ෂූන්වහන්සේගේ තට්ටයේ තාර ගාන්නට ඕනෑ යැයි කියා කරගත් හරිය දන්නෝ දනිති. ඔහු තනිවම එහි ප්‍රතිඵල භුක්ති වින්දා නම් කමක් නැත. රටට මහත් සේවාවක් කළ එක්සත් ජාතික පක්ෂය ද ආසන අටට බස්සවා ආණ්ඩුව ද නැතිකර ගත්තේය. සර් ජෝන් සමඟ සසඳන විට රන්ජන් යනු දේශපාලන පැංචෙකි. එහෙත් මෙවන් දේශපාලන පැංචන්ගේ කතා නිසා බහුතර සංඝ සමාජය එ.ජා.පය ගැන ද වපර ඇසින් බලන්නට ඉඩ තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ඔහුගෙන් මේ ගැන පැහැදිලි කිරීමක් ඉල්ලා තිබේ. ඔහු මේ සම්බන්ධයෙන් අගමැතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා විය.

රන්ජන් මේ ආකාරයට අධිකරණය ගැන ද පණ්ඩිත කතා කියන්නට ගොස් ප්‍රශ්න මතුකරගෙන තිබේ. නීතිය හමුවේ දැන් ඔහු පරීක්ෂාවට ලක්වෙමින් සිටී. එසේ නීතිය හමුවේ පරීක්ෂාවට ලක්වෙද්දීත් ඔහු එයින් පාඩමක් ඉගෙන ගන්නේ නැතුව සමාජය ඉදිරියේ පරීක්ෂාවට භාජන වන තැනට කරුණු සලසාගෙන ඇත. ඔහු හැප්පුණේ සමාජයේ වැරැදි පිරිසක් සමඟය. හොඳ බෞද්ධයකුවත් හොඳ කතෝලිකයකුවත් හොඳ ඉස්ලාම් භක්තිකයකුවත් අන්‍යාගමිකයකුවත් තමන්ගේ ආගමික නායකයන්ට අපහාස උපහාස කරනවා දකින්නට අසන්නට කැමති නැත. ඒ අයට සමාජ සම්මත ගෞරවයක් තිබේ. ඒ ගෞරවය හා භක්තිය ප්‍රශ්න කරන්නට යායුතු නැත.
තමන් මහජන සේවකයකු යැයි ද කියන රන්ජන් රාමනායක තෙමේ නළුවකු ලෙස කිසියම් නමක් දිනා සිටින්නෙකි. එහෙත් අන්‍යයන්ට අපහාස උපහාස කර රටේ ගෞරවපූර්වක සංස්ථාවක් සමච්චලයට ලක්කොට කැපී පෙනෙන්නට ගියහොත් රන්ජන්ට ඇඩ්‍රස් නැතිවන බව කියනුම වටී. දැනටමත් ඒ සීමාවට ඔහු පැමිණ තිබේ. එක් පැත්තකින් ඔහු අධිකරණය හමුවේද ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටී. අනෙක් පසින් මහා සංඝරත්නය ගැන කළැයි කියන ප්‍රකාශයකින් අවැඩක් කරගෙන තිබේ.

රන්ජන් රාමනායක දේශපාලකයකු වශයෙන් කරන කියන කතාවලදී පරිස්සම් විය යුතුය. ඔහු දේශපාලන වශයෙන් අමාරුවේ වැටුණාට කාටවත් කම් නැත. එහෙත් ඔහු නියෝජනය කරන පක්ෂයට ද ඔහුගේ මේ කතා වාතයක් වී ඇති බව අගමැතිතුමාටම රන්ජන්ගේ කතාව ප්‍රතික්ෂේප කරන්නට සිදුවීමෙන් පෙනේ. ඒ ගැන රන්ජන්ට දැන් කළ හැකි කාරණා කිහිපයක් සිහිපත් කර දෙනු කැමැත්තෙමු. ඉන් පළමුවැන්න දැන්වත් කට පරිස්සම් කර ගැනීමයි. දෙවැන්න ඔහු අදහන ආගමේ හැටියට පව් සමාකර ගැනීමයි. යමෙකු අතින් වරදක් සිදු වූ විට එයට සමාව භජනය කරන්නේ නම් සමාව දීම බෞද්ධයන්ගේ උතුම් ගතියකි. ඒ නිසා රන්ජන් රාජ්‍ය අමාත්‍ය තෙමේ නිහතමානීවී දැන්වත් ඔහු අතින් සිදු වූ වරදට සමාව භජනය කළ යුතුය. නොඑසේව ඔහු කියන ලද කතාව තහවුරු කරන්නට තව තවත් උත්සාහ කළහොත් සිදුවන්නේ සමාජ අගෞරවයට පාත්‍රව දේශපාලනයේ අවලංගු කාසියක් වීමටයි. ඒ සඳහා ඉඩහසර ලැබෙන ලබන වසර මහා මැතිවරණ වසර බව ද සිහිකටයුතුය.

One Response to “රන්ජන් රාමනායකගේ කතාව හා සමාජ ප්‍රවණතා”

  1. jay-ran Says:

    It is reported that,This ILLETERATE man has apologised after meeting the MAHASANGAS for his INSULTING THE MAHASANGAS.But,this dirty selfrespectless IDIOT SAID TO THE NEWS PAPERS THAT “HE APOLOGISED FROM THE BUDDHIST PRIESTS,WHO REFRAIN FROM TAKING ALCOHOL.This idiot has STILL NOT LEARND A GOOD LESSON!!! Ranil W should take some meaningful ACTION AGAINST THIS,UNEDUCATED,ILLETERATE,FOOL!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress