මටම කියලා දැක්මක්, මතයක් නැති බාල අවධියක ජවිපෙ කයිවාරු දෙශපාලනයට රැවටෙන්න ආසා කරපු කාලයක්
Posted on August 19th, 2019

රත්තනදෙණියේ මේධානන්ද හිමිගෙන් උපුටා ගත්තකි.

දේශපාලනික දැනුමෙන් මෙන්ම වයසින් ද නොමේරූ අවධියක මටත් ජවිපෙ ගැන යම් පැහැදීමක් නොතිබුණාම නොවේ.! තිබුණා. ඒ මටම කියලා දැක්මක්, මතයක් නැති බාල අවධියක ජවිපෙ කයිවාරු දෙශපාලනයට රැවටෙන්න ආසා කරපු කාලයක්.ඒ ගැන පසුතැවීමකුත් නැහැ මොකද එදා ජවිපෙ කියන්නේ අද වගේ සමාජ සංස්කෘතියට මතවාදීව විසකුරු පක්ෂයක් නෙමෙයි. ඔවුන් තමයි මේ රටේ සම්පත් ගැන, සංස්කෘතික උරුමයන් ගැන, අපේ සංස්කෘතිය-

සදාචාරය ගැන , රට ගැන, ජාතිකාභිමානය ගැන වැඩියෙන්ම කතා කලේ. එදා ජවිපෙ වේදිකාවල රැස්වීම් පටන් ගන්නට පෙර ඇහුණේ හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන් සේ පොරණේ ,l ඉදුනිල් ගගුළැල් -රුව ලස්සන මව් ලංකා වගේ l රත්න දීප ජන්ම භුමි වගේ ගීත. නන්දා මාලනී , කපුගේ වැනි ප්‍රබුද්ධ කලාකරුවන්ගේ සෙවනැලිද වැටී තිබුණි ,
නමුත් අද එන්ජිඕ නඩවල සුරතලකු වී ඇති අනුර කුමාරගේ ජවිපෙ වේදිකාවේ මේ ගීත ඇහෙන්නේ නැතුවා පමණක් නොව මේවා ජාතිවාදය කුළුගන්වන ගීත ලෙස වර්ණ ගන්වන දෘෂ්ටිවාදයකට සිය සාමාජිකයා ඇදගෙන ගොස් තිබෙනවා. අද එන්ජීඕ කාරයන් සහ ජවිපෙ දෘෂ්ටිවාදය අතර වෙනසක් නෑ. පරතරයක් නෑ. අතීත ජවිපෙ හිටි මතවාදවලින් පිට පන්නවා අනුර කුමාර පක්ෂය එතැනට ඇදගෙන ගියා. එතකොට අපි එදා දේශපාලන අපරිණත බවකින් හෝ අනුමත කලේ 2002 -2005 වගේ කාලවල ජවිපෙ දේශපාලනේ. සාම ගිවිසුමට එරෙහිව දේශපාලන පක්ෂයක් ලෙස රටේ ලොකු මතවාදයක් සහ විරෝධයක් ගොඩ නගන්නත් දායක වුනේ එදා ජවිපෙ. එය අද අනුර කුමාරගේ ජවිපෙ මෙන් රට ජාතියට විසකුරු වුණේ නැහැ.

ජාතිකත්වය සමග විතැන් නොවුණ ජවිපෙ එදා චන්ද්‍රිකා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් මහින්ද රාජපක්ෂට උදව් නොකරද්දී කකුලෙන් අදිද්දී මහින්ද දිනවන්න වැඩිම වැඩකොටස කලේ ජවිපෙ.මහින්ද ජනපති කරන සටනේ වැඩිම බර ඇද්දේ ජවිපෙ. ඔවුන් මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය හදන්නත් දායක වුණා. මගේ පළමු ඡන්දය මහින්ද ජනාධිපති කරවන කදවුරට දෙන්න බලපෑවෙත් එදා ජවිපෙ. එහෙත් මහින්ද සමග එදා සන්ධාන ගතව 39 ක් පාර්ලිමේන්තු ගිය මහ මැතිවරණයේ දී ඇරෙන්න මම ජවිපෙට කිසිදාක චන්දයක් දී නැහැ.

අද අනුර කුමාරගේ ජවිපෙ කියන්නේ ඊට සම්පුර්ණයෙන්ම වෙනස් එකක්. එදා ජිප්සීස් සුනිල් පෙරේරා රාජකීය විදුහලේ ආදී ශිෂ්‍ය සංගමය සංවිධානය කළ ප්‍රසංගයක කාන්තාවක් නිරුවත් රංගනයක යෙදවීමට විරුද්ධව වැඩියෙන්ම පහර ගැහුවේ ලංකා පත්තරෙන්. අපේ සංස්කෘතිය සදාචාරය ඉස්මතු කර ලිපි ලිව්වේ ලංකා පත්තරෙන්. එහෙව් ජිප්සීස් සුනිල් අද අනුර කුමාරගේ ජවිපෙ වේදිකාවේ පහන පත්තු කරන ප්‍රධාන ආරාධිත අමුත්තෙක්. සුනිල් පෙරේරා වෙනස් වුනා ද නැහැ. නමුත් ජවිපෙ ජිප්සීස් වුණා. නමුත් එදා ජවිපෙ ජාතිකත්වයෙන් විතැන් වෙච්ච පක්ෂයක් නෙමෙයි. උරුමය සංස්කෘතික ගැන වැඩියෙන් කතා කරපු පක්ෂය ජවිපෙ නිසා තමයි ජාතික උරුමයන් පිලිබඳ අමාත්‍යංශය ජවිපෙට ලැබෙන්නේ. දේශීය හා කුඩා කර්මාන්ත අමාත්‍යංශය ජවිපෙට ලැබෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යංශය ජවිපෙට ලැබෙන්නේ. ජවිපෙ එදා දැරූ දේශපාලන ආකල්ප වලට වැඩියෙන්ම පහර ගැහුවේ එන්ජිඕ නඩේ තෝතැන්න වූ රාවය පත්තරෙන්. අධිරාජ්‍ය විරෝධී ජවිපෙ අධිරාජ්‍ය ගැත්තන්ගේ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් වත් නොදෙන ප්‍රතිපත්තිමය තීරණයක හිටියත් රාවයේ තිස්වන සංවත්සර කථිකයා අනුර කුමාරයි. අනුර කුමාරගේ ජවිපෙ කියන්නේ අද අධිරාජ්‍යවාදීන්ගේම අතකොළුවක් බවට පත්කළ පක්ෂයක්.දැන් ජවිපෙ මාධ්‍ය අනුග්‍රහකයා වී ඇත්තෙත් සිරස. ඒ නිසා දැන් ආයෙත් ජාතික ජන බලවේගය නමින් මිනිස්සු රැවටීමට පෙරට එන ජවිපෙ සර්පයා තේරුම් ගෙන ඔවුන් කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරන්න.

රත්තනදෙණියේ මේධානන්ද හිමිගෙන් උපුටා ගත්තකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress