ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමට ජනතාවගේ අත්සන් ලක්ෂයක් එකතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී, විනයවත් සහ සංවර්ධිත සමාජයක් වෙනුවෙනි……!
Posted on August 23rd, 2019

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන BSc(Col), PGDC(Col) සමායෝජක)

ශ්‍රී ලංකාවේ නීතිය සොයාගත හැකි ප්‍රධාන නීති මූලාශ්‍ර 2කි.

  1. පාර්ලිමේන්තුව සම්මත කරන පනත්
  2. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු

නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවන හෙයින් ස්වාධීන රටක නීති පැනවීම ස්වදේශීය ජනතාවට කියවිය හැකි භාෂාවෙන් ලබා දීම ශිෂ්ට ලෝකයේ පිළිගැනීමයි.

පාර්ලිමේන්තුව නීති පැනවීම

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන නීති මූලාශ්‍ර 2ක අතරින් එකක්වන්නේ පාර්ලිමේන්තුව සම්මත කරන පනත්ය. පාර්ලිමේන්තුව රටේ බහුතර ජනතාවගෙන් සගවා නීති පැනවීම සිදු නොකරන අතර පාර්ලිමේන්තුව පනවන නීති එනම් පනත් සිංහල භාෂාවෙන් පනවා එයට ප්‍රමුඛස්ථානයද ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කරන පනත් සිංහල සහ දෙමළ භාෂාවෙන් සහ ඉංග්‍රීසි පරිවර්තනයක් සමග පනවනු ලැබේ. එමෙන්ම සිංහල සහ දෙමළ භාෂා පනත් අතර අනනුකූලතාවයක් ඇති වුවහොත් සිංහල පනත ප්‍රමුඛස්ථානයේ පවතී. ඒ අනුව පාර්ලිමේන්තුව ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම අනුගමනය කරමින් නීතියේ පාලනය ස්ථාපිත කිරීම සදහා නීති පනවනු ලබන්නේය යන්න කිව හැකිය.

පාර්ලිමේන්තුව පනවන ඉංග්‍රීසි භාෂා පනත පරිවර්තනයක් හෙයින් නීතිය හොදින් දන්නා අය පරිවර්තන දෙස බලාගෙන යුක්තිය පසිදලන්නේ නැත. යම් අධිකරණයක නඩු විභාග කරන විට ඉංග්‍රීසි භාෂා පනතේ අනනුකූලතාවයක් ඇති වුවහොත් කවර භාෂා පාඨය බලපවත්වන්නේද? යන පැනය නීතියේ පාලනය ඇති සමාජයක මතු නොවන්නේ පාර්ලිමේන්තුව සම්මත කරන පනතේ පරිවර්තනයක් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති බව නීති විශාරදයින් මැනවින් දන්නා හෙයින් පරිවර්තනයක් දෙස බලාගෙන යුක්තිය පසිදලීම නොකරන හෙයිනි. ඒ අනුව නීතියේ පාලනය පවතින ලාංකීය සමාජයේ නඩු විභාග කිරීමේදී පාර්ලිමේන්තුව පනවන ලද මුල් පනත එනම් ප්‍රමුඛස්ථානයේ ඇති සිංහල පනත අනුව යුක්තිය පසිදලනවා මිස ඉංග්‍රීසි භාෂා‍වෙන් ඇති මුල් පනතේ පරිවර්තනය අනුව යුක්තිය පසිදලීම සිදු නොවිය යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නීති පැනවීම

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන නීති මූලාශ්‍ර 2ක අතරින් අනෙක වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දුය. පාර්ලිමේන්තුව සම්මත කරන නීති මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු නීති වර්ගයකි.  

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු අනෙක් අධිකරණවන මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහාධිකරණ, වාණිජ මහාධිකරණ සහ සිවිල් අභියාචන මහාධිකරණවල නඩු තීන්දු මෙන් නඩුවේ පාර්ශවයන්ට පමණක් බලපාන ලෙස තීන්දු ලබා නොදේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු විශේෂ බලධාරීත්වයක් උසුලයි. එනම් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ සියලුම පුරවැසියන්ට අදාල වන අතර ඒවා පාර්ලිමේන්තුව පනවන නීති මෙන් බලධාරී වේ. එනම් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ සියලු ජනතාවට සහ පහළ අධිකරණ අනුගමනය කළ යුතු නීති ලෙස බැදීමක් ඇති කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නීති පැනවීම ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ භාෂාවෙන් සිදු කරන්නේද?

පාර්ලිමේන්තුව සම්මත කරන නීති මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු නීති වර්ගයක් වන හෙයින් නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවන හෙයින් පාර්ලිමේන්තුව පනවන පනතට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබා දෙන නඩු තීන්දුවටත් අදාලය. මන්ද යත් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබා දෙන නඩු තීන්දුව හෙට දවසේ රටේ නීතිය බවට නිරායාසයෙන් පත්වන නිසා ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුම එකී  ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබා දෙන නඩු තීන්දුව කියවා වටහා ගැනීමේ යුතුකම පවති.

පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුගමනය කරමින්  පුරවැසියන්ට කියවා වටහා ගැනීමට හැකි පරිදි සිංහල භාෂා පනත ප්‍රමුඛස්ථානයේ තබා නීති පනවයි. එසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නඩු තීන්දු මගින් නීති පැනවීම මේ අකාරයට සිදු නොකරන අතර රටේ බහුතර ජනතාව භාවිතා කරන සිංහල භාෂාවෙන් නොව සුලුතර ජනතාවට හැකියාව ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දේ.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නීති පැනවීම රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් වීමේ අවශ්‍යතාවය

රටේ බහුතරයක්වන ඉංග්‍රීසි නොදන්නා ජනතාව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පනවන නීතිය පිළිබද අවබෝධය ලැබීමට නොහැකිව සිටී.

මෙහි අහිතකර ප්‍රතිඵල රාශියක් සමාජයක් ලෙස ලාංකීය ජනතාවට විදින්නට සිදුවී ඇති අතර ප්‍රංශය, ජර්මනිය, ජපානය, චීනය, ඉතාලිය සහ බ්‍රිතාන්‍යය වැනි රටවල ජනතාව මෙහිදී පුළුල් නීතියේ නිදහසක් භුක්ති විදිති.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ විනය පිරිහී ඇති බවත්, අල්ලස දූෂණය සහ නාස්තිය සමාජයේ පැතීරී ඇති බවත්, දිනෙන් දින අපරාධ වැඩිවන බවත් දිනපතා මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබේ. අධිකරණවල නඩු තදබදයද, නඩු විසදීම ප්‍රමාද වීමද ලංකාවේ සමාජ ප්‍රශ්නයකි.

නඩු කියන සේවාදායකයා පැත්තක තබා නීතිඥවරයා සහ විනිසුරුවරයා පමණක් නඩු විභාගයට සම්බන්ධවන යුක්තිය පසිඳලන ක්‍රමයක් ලංකාවේ පැවතීම 1815 ඉංග්‍රීසි යටත් විජිතකරණය නිසා සිදුවූවා විය හැකිය.

පාර්ලිමේන්තුව වේවා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය වේවා නීති පනවන්නේ නම් ඒ නීති කියවා වටහා ගැනීමට අවස්ථාව සළසා දීම ප්‍රජාතන්ත්‍රවාදී, විනයවත් සහ සංවර්ධිත සමාජයක් වෙනුවෙන් බව විධායක ජනාධිපතිවරයා වටහා ගත යුතුය.

මෙම තත්ත්වය ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන මගින් මුලු රට පුරා ජනතාව දැනුවත් කරන වැඩපිළිවලක් දියත් කර ඇත.

එමගින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? යන කාරණය ජනමතවිචාරණයක් මගින් ජනතාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් පුරවැසියන් ලක්ෂයක් විසින් කැමැත්ත ලබා දී අත්සන් කරන ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

මේ වන විට මෙම ඉල්ලීමට භික්ෂූන් වහන්සේලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපති නීතිඥවරුන්, නීතිඥවරුන්, වෛද්‍යවරුන්, මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, රජයේ හා පෞද්ගලික අංශයේ විධායක නිලධාරීන් ඇතුළු සේවය කරන අය, විශ්ව විද්‍යාල කතිකාචාර්යවරු සිසුන් ඇතුළු දිවයිනේ විවිධ නගරවල සහ ගම්වල පොදු ජනතාව අති විශාල ප්‍රමාණයක් අත්සන් ලබා දී සහාය පළකර ඇත.

ජනාධිපතිවරයා වෙත යොමු කරන අත්සන් ලක්ෂය සදහා අත්සන් කර සහාය දැක්වීමට අදහස් කරන්නේ නම් ඒ සදහා කටයුතු කළ හැකිය. එමෙන්ම අත්සන් එකතු කිරීමට දායක විය හැකි නම් ඒ සදහාද අවස්ථාව ඇත.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
BSc(Col), PGDC(Col)
(සමායෝජක) – 2019.08.23
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන.

අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ. (10524)
දුරකථන 0342256066, 0342256067, 0712063394

One Response to “ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමට ජනතාවගේ අත්සන් ලක්ෂයක් එකතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී, විනයවත් සහ සංවර්ධිත සමාජයක් වෙනුවෙනි……!”

  1. Hiranthe Says:

    Best of Luck for your honest efforts Mr. Aruna Laksiri.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress